Print this Article


සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 57

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 57

දාර්ශනික අර්ථ දෙන ගල් කැටයම්

සාංචි තොරණ නිර්මාණය කළ කැටයම්කරුවන් කටුවයි, මිටියයි ගත් සාමාන්‍ය කැටයම්කරුවන් නොවේ. ඔවුන් තීක්ෂණ බුද්ධියකින් හා ත්‍රිපිටක අධ්‍යයනය කරමින් තොරණ නිර්මාණය කර ඇත. දාර්ශනික අර්ථ ඉදිරිපත් වන ආකාරයේ කැටයම්ද තොරණ සඳහා යොදා තිබේ. ඒ අතර ජීවන ලතාව බුදුරජාණන් වහන්සේගේ රූපය නිර්මාණය කරන්නට ගත් උත්සාහය, සාලභංජිකා රූප හා වාමන රූපද වේ. ජීවනලතාව නැගෙනහිර තොරණෙහි දකුණු කුලුනෙහි පිටපැත්තේ යොදා තිබේ. කැටයමේ මුළට මකරෙක් සිටින අතර මකරාගේ මුඛයෙන් පිටවන ලියවැල මුලද කුඩා නෙළුම් සහ හංසයෝ වෙති. මකරාගේ මුවෙන් පිටවන ලියවැල මුලද කුඩා නෙළුම් පොහොට්ටුවක් මදක් පිපුණ නෙළුමක් හා සම්පූර්ණ පිපුණූ නෙළුමක් වේ. ඊට ඉහළින් හංසයෝ තුන්දෙනෙක් හොටට හොට තියා සිටින අතර එයට ඉහළින් ඇති හංසයෝ දෙදෙනෙක් එක් හංසයෙක් හොට බිම තබාගෙනද අනිත් හංසයා හොට උඩ තියාගෙනද සිටි ඉහළම එක හංසයෙක් වේ. මෙහි දාර්ශනික අර්ථකථනය වනුයේ මෙය ජීවන ලතාවකි. එනම් ජීවිතය ගලා යන ආකාරය වේ. සතුටින් සිටින හංසයාගෙන් අපේ ළමා කාලයද හොටට හොට තියා සිටින හංස ජෝඩුවෙන් තරුණ කාලය හෙවත් විවාහක සමයද ඊට ඉහළින් ඇති අවස්ථාව ජීවන බර දැනෙන සමය හෙවත් ජීවිතයේ මැදිවියද ඉහළ ඇති තනි හංසයාගෙන් ජීවිතයේ මැදිවිය සහ හංසයාගෙන් ජීවිතයේ සැඳෑ සමය හා තනිකඩ බව පෙන්වයි. දෙදෙනකු ලෙස සිටියද කෙනෙකුට ඉස්සරවීමට සිදුවේ. මෙයවේ මෙහි යථාර්ථය. මකරාගෙන් ජීවිතයේ භයංකාරත්වය හා දුකද පොහොට්ටුව බාගෙට පිපුණු නෙළුම් හා විකසිත වූ නෙළුම යන මල්වලින් මිනිසාගේ බුද්ධි වර්ධනය පෙන්නුම් කරයි.


වාමන රූප සහිත තොරණ

මෙම තොරණවල යොදා ඇති ස්ත්‍රී රූප හෙවත් සාලභන්ජිකා රූප සැමගේ අවධානයට හසුවේ. ස්ත්‍රී රූප නිර්මාණය කර ඇත්තේ සියලු ශරීරරාංග ප්‍රදර්ශනය වන ලෙසය. සර්වඥ ධාතු තැන්පත් කර ඇති ස්ථූපයක් අසල භික්ෂූ භික්ෂුණීන් වැඩ සිටිය පුදබිමක මෙවැනි ස්ත්‍රී රූප නිර්මාණය කළේ මන්ද? යන්න දකින අයගේ සිත් තුළ ගැටලුවක් ඇතිවනු නිසැකය.තොරණ නිර්මාණය කළ කැටයම්කරුවන් තුළ තොරණ දකින අයගෙන් ඇස්වහ , කටවහ, වදී යැයි බියක් ඇතිවී ඇති අතර දකින අයගේ අවධානය මේ දෙසට යොමු කිරීම සඳහා ස්ත්‍රිරූප නිර්මාණය කළ බව දාර්ශනික මතයකි. තවද බණ භාවනා කර ධ්‍යාන ලබන්නට උත්සාහ දරන භික්ෂූන් වහන්සේලාගේ සිත පරීක්ෂා කර බැලීමේ කමටහනක් ලෙස මෙය යොදා ඇතැයි විශ්වාස කරයි. මෙම ස්ත්‍රී රූපවල පිටුපසට වස්ත්‍ර යොදා තිබේ.

උතුරු තොරණේ නැඟෙනහිර කුලුනෙහි පිටතින් බුදුරජාණන් වහන්සේගේ රූපය නිර්මාණය කළ ආකාරයද අති උසස්ය. සිරිපතුල්ද ශරීරය සඳහා නව අරහාදී බුදුගුණ සිහිකරමින් මල් නවයක්ද හදවත හෙවත් බුද්ධිය සංකේතවත් කිරීම සඳහා නෙළුමක්ද සිරස නෙළුමකින් හා ලියවැලකින් නිර්මාණය කර ඇත. මෙය බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීමට ගත් උත්සාහයකි. බුදුරදුන්ගේ ශරීරයට පිටතින් යොදා ඇති මාලා ආරක්ෂිත මාලා හෙවත් රශ්මි මාලාව ලෙස පිළිගැනේ. බටහිර තොරණේ ඇති බහිරව රූප දාර්ශණික අර්ථ දනවයි. තොරණේ බර දරණ බහිරවයන්ගේ මුහුණු එකිනෙකට වෙනස්ය. එලෙස ජීවන බරද මිනිසුන්ගේ අවබෝධයේ හා දැනුමේ ආකාරය අනුව අටලෝ දහමට ලෝකයා මුහුණ දෙන ආකාරය මෙයින් දනවයි.

සම්බුදු මනස අන්ත භේද විරහිතයි මෙම කැටයමද ඇත්තේ නැඟෙනහිර තොරණේ ඇතුළු පැත්තේ මැදය. මෙහි මැද බුදුරදුන්ද අවට විවිධ වර්ගයේ ප්‍රතිවිරුද්ධ සතුන්ද ඇත. මේ චිත්‍රයෙන් අර්ථ දෙකක් දැක්විය හැකිය. එක් අර්ථයක් නම් බුද්ධත්වය ලැබූ අවස්ථාවේ ඇතිවූ සාමය පිළිබඳ අදහසයි. එය සාම්ප්‍රදායික වූවකි. අනෙක් අර්ථය බුද්ධත්වය ලැබූවකුහට ලෝකයේ අන්තගාමී මනසක් නැත යන අදහසයි. සම්බුදුරදුන් සම සිතින් ලැබෙන අරමුණු දරති යන්නද මේ දර්ශනීය කැටයමෙන් නිරූපිතය.


තොරණ තුළ ඇති සිංහ මුහුණු

බුදු ගුණ බල පැතිරේ

මෙම කැටයම ඇත්තේ උතුරු තොරණේ වම් අත කුලුනේ පිට පැත්තේය. මෙම කැටයමින් බුදුරදුන් පිළිබඳ සංකේතයක් ගොඩනගයි. මෙහි ඇති පඳුරු නවය නව බුදු ගුණ සංකේතයෝය. දෙපැත්තේ ඇති මාලා බුදුගුණ පැතිරීම මාලා සංකේතවත් කරයි.

සාංචිය හා සිරිලක අතර සබැඳියාව

පාටලී පුත්‍රයේ සිට යුවරාජයෙක් ලෙස අවන්තියට පැමිණි අශෝකට වේදිස නුවරදී ලැබුණ වටිනාම වස්තුව වූයේ වේදිස දේවියයි. අශෝක විසින් එම දේවිය විවාහ කරගත් අතර අශෝක රජතුමාගේ දේවියට ලැබුණ දරුවන් මහින්ද හා සංඝමිත්තා වේ. ඔවුන්ගේ කුඩා කාය වේදිස නුවර හා උජ්ඡෙයන්වල ගතවිය. කුමරුට වයස අවුරුදු 14 ක් වැනි කාලයේදි දරු දෙදෙනා සමඟ අශෝක රජතුමා පාටලී පුත්‍රයට ගොස් රජකම ලබාගනී. යුද්ධයෙහි දක්ෂයෙක් වූ අශෝක රජු ඔහුගේ බලය පැතිරවීම සඳහා අසල්වැසි රාජ්‍යයන් සමඟ යුද වැදිණ. පසු කලකදී ඒ සියලු යුද ක්‍රියා අතහැර ධර්මිෂ්ඨ රජෙක් වූ අශෝක බුදු සමය වැළඳගෙන තම දරු දෙදෙනාද සසුන් ගත කෙරිණි. ධර්මයෙහි දුර්මත වූ හෙයින් ධර්මය පිරිසුදු කිරීම සඳහා තුන්වන ධර්ම සංගායනාවක් පැවැත්වීමට මුලිකත්වය දරමින් ක්‍රියා කරන ලදී. රහතන් වහන්සේලා දහසක් සම්බන්ධ වී පාටලී පුත්‍රයේ අශෝකාරමයේදි ධර්ම සංගායනාව පවත්වන ලදී.

අසල්වැසි රටවලටද ධර්මය ලබා දීමේ අදහසින් රටවල් නමයකට තථාගත ධර්මය ප්‍රචාරය කරන ලදී.


මාලා සහිතව බුදුරජාණන් වහන්සේ නිර්මාණය කර ඇති අයුරු.

ඒ අනුව මොග්ගලීපුත්ත තිස්ස තෙරුන්ගේ හා අශෝක රජුගේ අනුදැනුම ඇතිව ලංකාදීපයට මිහිඳු මා හිමියන්ට නියම විය. ලක්දිවට වඩින්නට පෙර කුඩා කාලය ගත කළ වේදිස නුවරට වැඩම කොට මෑණියන් විසින් කරවූ චේතිය ගිරි වෙහෙරේ වැඩ සිටියේය. මිහිඳු මාහිමියන් සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් හා භණ්ඩුක උපාසකද විය. තම දෙමාපියන් හා ඥාතීන් බැහැදකිමින් තථාගත ධර්මය ඔවුන්ටද දේශනා කරන ලදී.

එකල ලක්දිව මිනිසුන් භාවිතා කළ භාෂාවද මෙහිදී හදාරා ඇතැයි සමහරකු විශ්වාස කරයි. ලක්දිවට වඩින්නට සුදුසු කාලය නොවු හෙයින් චේතියගිරියෙහි වැඩ හිඳ ඇත.

සුදුසු කාලය උදා වූ පසු මිහිඳු මාහිමියන් හා දූත පිරිස පොසොන් පුන් පොහොය දිනයක මිහින්තලා කඳු මුදුනට වැඩම කළ අතර කඳු මුදුනේදී හමු වූ දේවානම්පියතිස්ස රජුට තමන් කවුදැයි මෙසේ හඳුන්වා දී ඇත.

මහ රජතුමනි, ‘අපි ශ්‍රමණයෝ වෙමු’ ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබතුමා කෙරෙහි අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු. රටේ රජු ඇතුළු රාජ්‍ය මණ්ඩලයද පළමුව මෙම තථාගත ධර්මය කෙරෙහි පැහැදී එය වැළඳගත් අතර ලක් වැසි ජනයාද මෙය අනුමත කරන ලදී .

තවත් කොටසක් වප් පුර අටවක පොහෝදා ඔක්තෝබර් 20 වනදා පත්‍රයේ