Print this Article


ගැටබරු රජ මහා විහාරස්ථ රජ්්ජුරු බණ්ඩාර දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය

ගැටබරු රජ මහා විහාරස්ථ රජ්්ජුරු බණ්ඩාර දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය

රුහුණු පුරවර මහා සංස්කෘතික මංගල්‍යය වශයෙන් ප්‍රචලිත මොරවක්කෝරළේ කොටපොළ ඓතිහාසික ගැටබරු රජ මහා විහාරස්ථ රජ්ජුරු බණ්ඩාර දේවාල ඇසළ පෙරහර මංගල්‍යය මේ මස 23 දා පේළි පෙරහරින් ආරම්භ කෙරේ.

පාරිසරික අලංකාරයෙන් පෝෂිත වූ සිංහරාජ වනාන්තරයේ දියදාව රක්ෂිතයේ ගැටබරු කඳු මුදුන්තලයේ විශාල පර්වත ලෙනක් තුළ පිහිටි එම විහාරස්ථානය සහිත දෙවොලේ ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා පැතිරී යයි. ලක්දිව පරසතුරු උවදුරු පැවැති සමයේ රුහුණට වැදී සේනා සංවිධානයේ යෙදුනු රජතුමා විසින් මෙම ලෙන් විහාරස්ථානය ඉදිකොට ඇති බව එහි ඉතිහාසගත තොරතුරු අනාවරණය කරයි. බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ අණසක පවතින මේ ඓතිහාසික දේවාලයේ වාර්ෂික ඇසළ උළෙල සැප්තැම්බර් 23 දා සිට 29 දා දක්වා පුරා දින 7 ක් මහත් අභිමානවත් ලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ. මොරවක් කෝරළේ පුංචි කතරගම යනුවෙන්ද මේ පුදබිම හැඳින්වේ.

ඇසළ උත්සව සමයේ ගැටබරු කඳු මුදුනට ඇදී එන බැතිමතුන් සඳහා පහසුකම්ද විහාරාධිපති බෙරලපනාතර චන්දවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි උත්සව කමිටුව මගින් සළසා ඇත.

පෙරහර මංගල්‍යය ඇරැඹෙන්නේ සැප්තැම්බර් 23 දා හිඟුරුපනාගල සිට ආරම්භ කෙරෙන පේළි පෙරහරිනි. දෙවෙනි පේළි පෙරහර 24 දා ගල්දොළ සිටත් තෙවැනි පේළි පෙරහර 25 දා කොස්මෝදර සිටත් විහාරස්ථානය දක්වා වීථි සංචාරය කෙරේ. සංස්කෘතික අංශයන්ගෙන් සපිරි රන්දෝලි පෙරහර 26,27 යන දිනයන්හි වීථි සංචාරය කෙරේ. දෙවොල් යාගය හෙවත් දේව තොවිලය 28 දා රාත්‍රි ආරම්භ කෙරෙන අතර 29 දා අලුයම ගිනි පෑගීමෙන් අනතුරුව එදින (29) දහවල් පැවැත්වෙන දේව දානයෙන් උත්සව සමය නිමාවට පත්කෙරේ. උත්සව සමය තුළ වාර්ෂික සල්පිලද පැවැත්වෙන අතර පූජා භුමි ප්‍රවේශ මාර්ගය අසළ ඉදිකෙරෙන තොරණද ප්‍රදර්ශනය කෙරේ. ප්‍රවාහන පහසුකම් සැපයීමේ අරමුණින් උත්සව සමය තුළ විශේෂ බස් සේවයක්ද ක්‍රියාත්මක කෙරේ.