Print this Article


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ සාහිත්‍ය උත්සවය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ

බෞද්ධ සාහිත්‍ය උත්සවය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය හා බුද්ධ ශාසන අමාත්‍යාංශය ඒකාබද්ධව නව වන වරටත් බෞද්ධ සාහිත්‍ය උත්සවය සම්මේලන ශාලාවේදී සැප්තැම්බර් 20 වන ඉරුදින පෙරවරු 10.00 ට උත්කර්ෂවත් ව පැවැත්වේ. මෙවර උත්සවයේ මුලසුන ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නා හිමියන් උසුලන අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බුද්ධශාසන හා අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගි වීමට නියමිතය.

රාජ්‍ය සාහිත්‍ය උත්සවය සහ වෙනත් සාහිත්‍ය උත්සව අතරට බෞද්ධ සාහිත්‍ය උත්සවයත් ප්‍රථම වරට සංවිධානය කිරීමේ ගෞරවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට හිමිවන අතර එම කටයුත්ත සම්මේලනයේ හිටපු සභාපති ජගත් සුමතිපාල මහතාගේ සංකල්පයක් මත සිදුවූ බව සිහිපත් කරනු කැමැත්තෙමු. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් සභාපති ආචාර්ය ප්‍රණිත් අභයසුන්දර මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ලද කමිටුවකින් 2014 වසරේ බිහි වූ බෞද්ධ සාහිත්‍ය පොත් තෝරා ගැනීම සිදුවිය. මෙවර සම්මාන සඳහා පොත් 15 ක් තෝරාගෙන ඇත. බෞද්ධ සාහිත්‍ය උත්සවයේ තවත් විශේෂාංගයක් වනුයේ කැලණි රජමහා විහාරයේ බිතිසිතුවම් කළ සොයිලියස් මෙන්ඩිස් නම් වු අසහාය චිත්‍ර ශිල්පියාණන් සිහිපත් කොට එතුමා වෙනුවෙන් විශේෂ සම්මානයක් වත්මන් ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකුට ලබාදීමයි.

එමෙන්ම සිංහල සාහිත්‍යයට හා බුදු දහමේ තිර පැවැත්මට ලෝක බොදු සමුළුව ආරම්භ කරමින් සුවිශේෂි සේවාවක් කළ බෞද්ධ මහා සම්මේල-නයේ හිටපු සභාපතිවරයෙක් වූද මහාචාර්ය ගුණපාල මලලසේකර ශූරීන් සැමරීම සඳහා එතුමා වෙනුවෙන් බෞද්ධ පොතපත බිහිකිරීම හා බුදුදහමට කැපී වැඩ කරන තවත් එවැනි බුද්ධිමතෙකුට විශේෂ සම්මානයක් පිරිනැමීමට කටයුතු යොදා තිබීමයි. මෙවර සාහිත්‍ය උත්සවයේ තවත් විශේෂාංගයක් වනුයේ අපගේ බෞද්ධ ඉතිහාසය වර්ණවත් කළ ආගමික නායකයන් වූ පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද නාහිමියන්ගේ 125 වන ජන්ම සංවත්ස-රයට සහ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 ජන්ම සංවත්සරය සැමරීමට ක්‍රියාකිරීමත් විශේෂයෙන් සඳහන් කළ යුතුය. බෞද්ධ සාහිත්‍ය උත්සව සඳහා මහා සංඝයා වහන්සේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන පිරිස් ඇතුළු දහම් පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් සහභාගි කරවා ගැනීමට කටයුතු කොට ඇත. උත්සවයට සහභාගි වන සෑම සිසුවෙකුටම සාහිත්‍ය සමරු කලාපයක් සහ වටිනා පොතක් පිරිනැමීමට ක්‍රියා කරන බව උත්සව සංවිධායක කමිටුව වෙනුවෙන් සෙන්පති සුදත් මඩුගල්ල මහතා සඳහන් කරයි.