දුක් දොම්නස් 
			හට ගන්නේ ඇයි?
			
			 
			 මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ 
			 
			භික්ෂු අධ්‍යයනාංශයේ 
			ප්‍රධානාචාර්ය  
			ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත  
			මහඔය අනුරුද්ධ හිමි   
			 
			මේ සූත්‍රයේ සංවාද හා දෙබස් මඟින් එහි අන්තර්ගත මූලික අදහස මැනැවින් 
			විස්තර කරයි. එසේ ම බුදුරදුන් විසින් දේශිත දහම් කරුණු දිවියට ඉතා සමීප 
			සිද්ධි මඟින් සියලු දෙනාටම වැටහෙන අයුරින් ඉදිරිපත් කැර ඇති බව පෙනේ. 
			 
			පිය ජාතික සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ රාජ වර්ගයේ 
			ඇතුළත් වෙයි. මේ සූත්‍රයේ සංවාද හා දෙබස් මඟින් එහි අන්තර්ගත මූලික 
			අදහස මැනැවින් විස්තර කරයි. එසේ ම බුදුරදුන් විසින් දේශිත දහම් කරුණු 
			දිවියට ඉතා සමීප සිද්ධි මඟින් සියලු දෙනාටම වැටහෙන අයුරින් ඉදිරිපත් 
			කැර ඇති බව පෙනේ. මෙහි සංවාද කිහිපයකි. 
			  
			පළමුවෙන් බුදුරජාණන් වහන්සේ හා ගෘහපතියා අතර සංවාදය ඉදිරිපත් කරන අතර, 
			ගෘහපතියා හා සූදුකාරයන් අතර සංවාදය දෙවනුව ඉදිරිපත් කරයි. තෙවනුව 
			කොසොල් රජතුමා හා මල්ලිකාදේවිය අතර සංවාදය ද සිවුවෙනුව බමුණු පඬිවරයකු 
			හා බුදුරජාණන් වහන්සේ අතර සංවාදය දැක්වෙයි. ඉන්පසු නැවත වරක් කොසොල් 
			රජතුමා හා මල්ලිකා දේවිය අතර ඇතිවන අවසන් සංවාදය දැක්වෙයි. මෙකී සංවාද 
			සාකච්ඡා තුළින් පි‍්‍රය දෙයින් ශෝක, දුක හා දොම්නස හටගනී යන බුදු වදන 
			පියවරෙන් පියවර සැබෑ වන අයුරු පෙනෙයි. මේ තුළින් එදා සමාජයේ පැවැති 
			සිද්ධි අද සමාජ ජීවිතයට කොතරම් සමීපද යන්න මැනැවින් ප්‍රකට වෙයි.  
			සැවැත් නුවර විසූ එක් ගෘහපතියකුට එක ම පුතෙක් විය. හේ අකාලයේ මිය ගියේ 
			ය. පුතුගේ ආදාහන කටයුතු කළ හේ වැඩපල කිසිත් නොකළේ ය. කෑම බීම නොගත්තේ 
			ය. දිනපතා සොහොනට ගොස් අනේ මගේ පුතු කොහිදැයි කියමින් හඬමින් ම හුන්නේ 
			ය. දිනක් මේ ගැහැවි තෙමේ බුදුරදුන් දක්නට දෙව්රමට ගියේ ය. මොහු දුටු 
			බුදුරදුන් ගෘහපතිය, ඔබේ ඉඳුරන් ප්‍රසන්න නැත. කිසියම් දුකකින් 
			පෙළෙන්නෙහිදැ’යි ඇසීය.  
			බුදුරජාණන් වහන්ස, එසේ ය. මාගේ ඉන්ද්‍රියයන් කෙසේ ප්‍රසන්න වන්නද? මට 
			සිටි එකම පි‍්‍රය මනාප පුතු අකාලයේ මිය ගියේ ය. ඒ දුක වේදනාව නිසා මට 
			කෑම බීම වැඩපළ කිසිවක් වුවමනා නොවේ. දිනපතා සොහොන ළඟට ගොස් අඬමින් 
			වැළපෙමින් කල් හරින්නෙමි’යි ගැහැවියා කීය.  
			ගෘහපතිය, එය එසේමය. පි‍්‍රය දේ නිසා දුක් දොම්නස් සෝක පරිදේවයන් ඇති 
			වන්නේ ය.  
			ස්වාමීනි, එසේ වන්නේ කෙසේද? පි‍්‍රය දෙය නිසා දුක් දොම්නස් හට ගන්නේ ය 
			යන කියමන මට නොතේරේ. පි‍්‍රය දේ නිසා ඇතිවන්නේ සතුට නොවේද? එහෙයින් 
			පි‍්‍රය දේ නිසා දුක් ඇතිවේ යන්න මට පිළිගත නොහැකිය. බුදුරජාණන් 
			වහන්සේගේ අදහසට නොසතුටු වූ ගෘහපති තෙමේ ඉන් පිටවී දෙව්රම අසල පිහිටි 
			සූදු පිටියට ගියේ ය. එහි ගොස් සූදු කාරයන්ට සියලු විස්තර කීය. ඒ සියල්ල 
			අසා සිටි සූදුකාර මිතුරෝ මෙසේ කීහ. පි‍්‍රය දෙය නිසා දුක් දොම්නස් 
			ඇතිවේ යන බුදුරදුන්ගේ කියමන පිළිගත නොහැක්කකි. ඔබ නිවැරැදිය. පි‍්‍රය 
			දෙයින් ඇතිවන්නේ සතුට හා සොම්නසයි. අපි ඔබේ කියමන හා එකඟ වන්නෙමු. 
			සූදුකාර මගේ මිතුරන් මාගේ අදහසට එකඟයැයි සිතා සතුටට පත් ගෘපහතියා 
			එතනින් බැහැරට ගියේ ය.  
			කෙසේ හෝ ප්‍රචාරයට පත් වූ මේ පුවත කොසොල් රජුට ද ආරංචි විය. එහි දී රජු 
			හා මල්ලිකා දේවිය අතර සංවාදයක් ඇති විය. කොසොල් රජු මල්ලිකා දේවිය අමතා 
			මෙසේ කීය. ඉදන්තේ මල්ලිකේ, සමණේන ගෝතමේන භාසිතං පියජාතිකා 
			සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පියප්පභවිකා - දේවිය, පි‍්‍රය දෙය 
			මුල්කොට ගෙන ශෝක දුක් ආදිය ඇති වන්නේය යන බුදුරදුන් විසින් දේශිත කරුණ 
			ඔබ පිළිගන්නේහිද? බුදුරජාණන් වහන්සේ විසින් එවන් දේශනයක් කළේ නම් මහරජ, 
			එය එසේමය. මල්ලිකා දේවිය පිළිවදන් දුන්නීය. කොසොල් රජු ඒ කියමනට අසතුටු 
			විය. හේ මෙසේ කීය. මල්ලිකා දේවිය පුදුම ගැහැනියකි. බුදුරදුන් කිනම් 
			දේශනාවක් කළ ද එය එසේ ම යැයි කියයි. ගෝලයෙක් ගුරුවරයා කියන කරන දෑට 
			එහෙමයි ගුරුතුමනි, එහෙමයි ගුරුතුමනි, කියන්නාක් මෙනි. මෙසේ කියා 
			කෝපයෙන් යුතුව දේවිය එතැනින් එළවා දැමීය.  
			ඉන්පසු මල්ලිකා දේවිය නාලිජංඝ බමුණු පඬිවරයා කැඳවා මෙසේ කීය. පඬිතුමනි, 
			දෙව්රමට යන්න. මගේ නමින් බුදු සිරිපා නමදින්න. සුව දුක් ආදිය විමසන්න. 
			මේ කරුණත් අසන්න. පි‍්‍රය දෙයින් ශෝක දුක් වේදනා ආදිය ඇති වෙනවායැයි ඔබ 
			වහන්සේ දේශනා කළා ද? මේ පැනයට උන්වහන්සේ දෙන පිළිතුර මනාව උගෙන සිත් හි 
			දරා අවුත් මට කියන්න. බමුණා හා බුදුරදුන් අතර සංවාදයට මඟ පෑදුනේ 
			මෙලෙසිනි.  
			මල්ලිකා දේවියගේ කියමන පරිදි ජේතවනයට ගිය බමුණා සුවදුක් විචාරා පි‍්‍රය 
			දෙයින් ශෝක දුක් දොම්නස් හටගන්නේය යනුවෙන් දේශනා කළේ දැයි 
			බුදුරදුන්ගෙන් විමසීය. එසේය බ්‍රාහ්මණය. ම විසින් එසේ දේශනා කරන ලදී. 
			මෙසේ පවසා ඒ කරුණ සවිස්තර වශයෙන් මෙසේ පැහැදිලි කළහ.  
			බමුණ, පෙර කල මේ නුවර ම මව පියා දුව පුතා සොයුරා සොයුරිය ස්වාමියා 
			බිරිඳ මළ කොතරම් නම් ගැහැනු උමතු වී සිහිය අවුල් වී වීදියක් වීදියක් 
			ගානේ මගේ මව, පියා, සොයුරා, සොයුරිය, දුව, පුතා, ස්වාමියා, බිරිඳ 
			දුටුවාද කියා විලාප කියමින් ඇවිද්ද හැටි මතක ද? පි‍්‍රය දෙය නිසා දුක් 
			හට ගන්නේ ය. පි‍්‍රය දෙය දුකට මුල් වන්නේය කියා මා දේශනා කරන්නේ එනිසා 
			ය.  
			එසේ ම බමුණ, මේ නුවර ම පසුගිය කාලයේ ගැහැනු ළමයෙක් විවාපත් වූවා ය. එසේ 
			වුවත් ඇගේ නෑයෝ සැමියාගෙන් ඇය වෙන් කොට වෙනත් කෙනකුට විවාහ කැර දෙන්නට 
			උපා යෙදූහ. ඇය එයට අකැමැති වූවා ය. ඇය ඇගේ ස්වාමියාට මෙසේ කීවාය. 
			පි‍්‍රයය, මගේ නෑයෝ මා ඔබෙන් වෙන් කොට වෙනකෙකුට විවාහ කැර දෙන්නට 
			සූදානම් වෙයි. මා එයට කැමැති නැත. මෙය අසා ඇගේ ස්වාමියා කඩුවක් ගෙන ඇගේ 
			ගෙල සිඳ පරලොව දී අපි එකට හමුවෙමුයි කියා තම ගෙලත් කඩුවෙන් ම සිඳ ගත්තේ 
			ය. බමුණ, මෙවැනි කරුණු නිසා මම පි‍්‍රය දෙයින් දුක ශෝකය හට ගන්නා බව 
			කියමි. බමුණා මේ සියලු කරුණු බුදුරදුන්ගෙන් අසා දැන උගෙන මල්ලිකා දේවිය 
			වෙතට ගොස් ඇයට කීවේ ය. 
			මේ සිදුවීමෙන් අනතුරුව නැවතත් කොසොල් රජු හා මල්ලිකා දේවිය අතර මෙබඳු 
			සංවාදයක් ඇති විය. මල්ලිකා බිසව රජුගෙන් මෙසේ ප්‍රශ්න කළා ය. මහරජ, ඔබට 
			වජිරි කුමරිය පි‍්‍රය ද? මල්ලිකාවෙනි, මට වජිරි කුමරිය පි‍්‍රයයි. මහරජ 
			ඇය මළොත් නැතිනම් කා සමඟ හෝ රහසේ පැන ගියහොත් ඔබට මොකද වන්නේ? ඇයට එහෙම 
			දෙයක් වුණොත් මගේ ජීවිතය නැතිවුණා හා සමානයි. මට ඇතිවන ශෝක දුක් 
			දොම්නස් කියා නිම කරන්න බැහැ. මෙන්න මේ නිසයි මහරජ සියල්ල දන්නා සියල්ල 
			දක්නා සම්මා සම්බුදුපියාණන් වහන්සේ පි‍්‍රය දෙය නිසා දුක් හට ගන්නේය. 
			පි‍්‍රය දෙය දුකට මුල් වන්නේය යනුවෙන් දේශනා කළේ.  
			මේ කරුණ තව දුරටත් තහවුරු කරනු වස් මල්ලිකා බිසව රජුගෙන් මෙසේ ප්‍රශ්න 
			කළාය. තං කිං මඤ්ඤසි මහාරාජ, පියා තේ වාසහා ඛත්තියාති? මහරජ ඔබට වාසභ 
			ඛත්තියා මෙහෙසිය පි‍්‍රයද? එවං මල්ලිකේ, පියා මේ වාසභ ඛත්තියාති. 
			මල්ලිකාවෙනි, එසේය. වාසභ ඛත්තියා මට පි‍්‍රයය. මහරජ ඈ මළොත්? ලෙඩ 
			වුවහොත්? ඇයට එවැනි දෙයක් වූවොත් මට ඇතිවන දුක් දොම්නස් වේදනා ගැන 
			කිවයුතු දෙයක් නැහැ. මෙන්න මේ නිසයි මහරජ සියල්ල දන්නා සියල්ල දක්නා 
			සම්මා සම්බුදුපියාණන් වහන්සේ පි‍්‍රය දෙය නිසා දුක් හට ගන්නේ ය. 
			පි‍්‍රය දෙය දුකට මුල් වන්නේය යනුවෙන් දේශනා කළේ.  
			මල්ලිකා දේවිය තව දුරටත් රජුගෙන් ප්‍රශ්න කළාය. තං කිං මඤ්ඤසි මහාරාජ 
			පියෝ තේ විඩූඩහෝ සේනාපතීති? මහරජ ඔබට ඔබේ පුත් විඩූඩහ සෙන්පති 
			පි‍්‍රයද? එසේය මල්ලිකාවෙනි. ඔහු මළොත්. නපුරක් වුවහොත්? එය මට මහත් 
			දුකක් වේදනාවක් වේවි. මෙන්න මේ නිසයි මහරජ සියල්ල දන්නා සියල්ල දක්නා 
			සම්මා සම්බුදුපියාණන් වහන්සේ පි‍්‍රය දෙය නිසා දුක් හට ගන්නේය. පි‍්‍රය 
			දෙය දුකට මුල් වන්නේය යනුවෙන් දේශනා කළේ.  
			ඊළඟට මල්ලිකා බිසව කදිම පැනයක් අසන්නීය. තං කිං මඤ්ඤසි මහාරාජ පියා තේ 
			අහංති? මහරජ ඔබට මා පි‍්‍රයද? දේවිය මල්ලිකා ඔබ මට ඉතා ම පි‍්‍රයයි. 
			මහරජ මා මළොත්? ඔබ අකැමැති දෙයක් වුවහොත්? මට මගේ ජීවිතය නැතිවුණා හා 
			සමානයි. දුක් වේදනා ගැන කිවයුත්තක් නැහැ. මෙන්න මේ නිසයි මහරජ සියල්ල 
			දන්නා සියල්ල දක්නා සම්මා සම්බුදුපියාණන් වහන්සේ පි‍්‍රය දෙය නිසා දුක් 
			හට ගන්නේ ය. පි‍්‍රය දෙය දුකට මුල් වන්නේය යනුවෙන් දේශනා කළේ.  
			අවසන දේවිය රජුට තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නීය. තං කිං මඤ්ඤසි 
			මහාරාජ, පියා තේ කාසිකෝසලාති? මහරජ ඔබට කාසිකෝසල රාජ්‍යය පි‍්‍රයද? ඒවං 
			මල්ලිකේ, පියා මේ කාසිකෝසලා, කාසිකෝසලානං මල්ලිකේ ආනුභාවේන කාසිකෝසලං 
			කාසිකචන්දනං පච්චනුහෝම, මාලාගන්ධ විලේපනං ධාරයාම – මගේ රාජ්‍යය මට ඉතා 
			පි‍්‍රයයි. මේ සියලු සැප සම්පත් යස ඉසුරු මේ රාජ්‍යය නිසාය. යම් 
			අයුරකින් ඔබට මේ රාජ්‍යය නැති වුවහොත්? සොර සතුරන් පැහැර ගතහොත්? මට 
			මගේ ජීවිතය නැතිවුණා හා සමානයි. දුක් වේදනා ගැන කිවයුත්තක් නැහැ. මෙන්න 
			මේ නිසයි මහරජ සියල්ල දන්නා සියල්ල දක්නා සම්මා සම්බුදුපියාණන් වහන්සේ 
			පි‍්‍රය දෙය නිසා දුක් හට ගන්නේ ය. පි‍්‍රය දෙය දුකට මුල් වන්නේය 
			යනුවෙන් දේශනා කළේ.  
			කරුණු වටහා ගත් රජු මල්ලිකා දේවියට මෙසේ කීවේ ය. අච්ඡරියං මල්ලිකේ, 
			අබ්භූතං මල්ලිකේ, යාවඤ්ච සෝ භගවා පඤ්ඤාය අතිවිජ්ඣ මඤ්ඥේ පස්සති ඒහි 
			මල්ලිකේ, ආචාමේහීති. මල්ලිකාවෙනි, හරි පුදුමයි. බුදුරදුන්ගේ විනිවිද 
			දක්නා නුවණ සියල්ලම ඇති සැටියෙන් දන්නේ ය. උන්වහන්සේට කරුණු නොදැන දොස් 
			කී කට පිරිසුදු දියෙන් දෝවනය කිරීම සඳහා වහාම දිය ගෙනෙන්න. රජු 
			හුනස්නෙන් නැඟිට පිරිසුදු දියෙන් මුව දොවා බුදුරදුන් වැඩ සිටි දෙසට 
			ඇඟිලි බැඳගෙන උතුරු සළුව සකස් කොට ගෙන තෙවරක් නමෝ තස්ස භගවතෝ අරහතෝ 
			සම්මා සම්බුද්ධස්ස යැයි කියමින් ප්‍රණාම දැක්වීය.   |