Print this Article


සසරින් එතෙර වූ සේක මහ රහත් තෙරණිවරු පුණ්ණා මහ රහත් තෙරණිය - තිස්සා මහ රහත් තෙරණිය

ජීවිතවලින් සසර විවීම කරන්නා වූ සත්ත්වයා සසර බඳින ලද තෘෂ්ණාව නම් වූ කෙලෙස් ධර්මයෝ ප්‍රහාණය කොට අපලෝකිත වූ ඛේම වූ නිවනින් සැනසුනු ඒ උතුම් රහත් තෙරණින් වහන්සේලාගේ ජීවිත සුන්දරය, මනහරය, නොඇලෙන සුළුය. නොගැටෙන සුළුය.

කාම රූප අරූප සංඛ්‍යාත ලෝකත්‍රයෙහි වාසය කරන්නා වූ පහ නොකරන ලද තෘෂ්ණාව ඇත්තා වූ සෑම සත්ත්වයන්ගේම චුති ප්‍රතිසන්ධි දෙක නොනැවතී නිවනට පැමිණෙන තෙක් සිදුවේ. උපන් සත්ත්වයා මරණයට ද මරණයට පැමිණි සත්ත්වයා ඉපදීමට ද පැමිණෙන මේ භයානක සංසාර චක්‍රයට හසුවී වාසය කරයි. සංසාර චක්‍රයට හසුවෙමින් නැවත නැවත ඉපදීම මැරීමට ලක්වීම මහත් වූ දුකකි.

අනන්ත ඤාණ සම්භාරයකින් උපලක්ෂිත වූ ලෝකනාථයන් වහන්සේ විසින් අවබෝධ කොට වදාළ වෛනේය ජනයාට අවබෝධ කරවා වදාරන ලද සංසාර දුක්ඛ සාගරයෙහි නිමග්න සත්ත්වයිනට අසහාය ප්‍රතිෂ්ඨාව වූ පරම ප්‍රීතින් උපදනා වූ, ක්ලේශභාරයෙන් විමුක්ත වූ යම් ශාන්ත සුඛයක් ලොව පවතී ද ඒ උතුම් නිර්වාණ ධාතුවයි. ලෝකය ඉක්ම වූ උත්තරීතර ලෝකෝත්තර සැපය එ යයි.

නිර්වාණ ක්ෂේම භූමිය ස්පර්ශ කරන්නා වූ බුදු, පසේ බුදු මහරහත් උත්තමයන් වහන්සේලාගේ චිත්තයෝ රාගයෙන් දෝසයෙන්, මෝහයෙන් යුක්ත වූ මානසික තත්ත්වය විතරාගී, වීතදෝෂී, වීතමෝහී යන නික්ලේෂී ගුණයන්ගෙන් උපලක්ෂිත වන්නේ ය. නිවනින් සැනසුනු ඒ උතුම් රහතන් වහන්සේලාගේ රහත් තෙරණින් වහන්සේලාගේ චිත්ත සන්තානය රාගය, තෘෂ්ණාව, මානය, උපාදානය, අවිද්‍යාව, පිපාසය, ආලය, කුසල් අකුසල් රැස්කිරීම් ආදියෙන් වියුක්තය. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී මනුෂ්‍ය ධර්මයන්ගේ උත්තරීතර භාවයට පත්ව වාසය කරන්නේය.

ඇස, කන, දිව, නාසය, ශරීරය යන පසිඳුරන් පිනවීමෙන් විමුක්ත වූ කාමාදී ආස්‍රවයන් දුරුකළාවූ, වසන ලද බඹසර ඇත්තා වූ, කළයුතු දේ කොට නිම වූ, බහා තැබූ බර ඇති, උත්තරීතරත්ත්වයට පැමිණි, භව සංයෝන බිඳ දැමූ, මනාව මිදුනු රාගාදියෙන් මිදුනු, රාගාදි නිමිති රහිත වූ නිවන අරමුණු කොට වසන ලද මහරහතන් වහන්සේලාගේ, තෙරණින් වහන්සේලාගේ නැවත ඉපදීමක් නොදත හැකිවේ.

විමුක්තිය ලද මහ රහතන් වහන්සේලාගේ පිරිනිවීමෙන් පසුව භවයෙහි රැඳීමට අවැසි හේතු – ප්‍රත්‍යය අවසන් වන නිසාවෙන් අහසෙහි පියාසර කරන පක්ෂීන්ගේ පිය සටහන් පෙන්වා දිය නොහැකි මෙන් (ආකාසෙව සකුන්තානං ගතිතේසං දුරන්නයා) ආ හෝ ගිය මඟක් නොදත හැක්කේමය. භවචක්‍රයට හසුවීමක්, එක්වීමක් ඒ උත්තමයන් හෝ උත්තමාවියන් තුළ නැත්තේය. වීතරාගී සිතින්, නික්ලේෂි හදවතින් යුක්ත වූ ඒ උත්තමාවියන් වෙසෙන තැන පවා සුන්දරය.

එවන් වූ චිත්ත සන්තානයකින් උපලක්ෂිත වූ පුණ්ණා මහරහත් තෙරණීන් වහන්සේගේ චිත්ත සන්තානයේ නික්මුණු උදානයෝ අපූර්ව වෙති.

‘පුණ්ණො පුරස්සු ධම්මෙහි
චන්දො පණ්ණරසොරිව
පරිපුණ්ණය පඤ්ඤාය තාමෝක්ඛන්ධං පදාලයාති

‘පින්වත් පුණ්ණ, පසළොස්වක පොහෝදින සඳක් සේ (පණුරැසි සඳ සෙයින්) උතුම් ගුණධර්මවලින් (සත්තිෂ්බෝධිපාක්ෂික ධර්මවලින්) ජීවිතය පුරවා ගන්න. ප්‍රඥාව සම්පූර්ණකොට මෝහාන්ධකාරය හෙවත් අවිද්‍යා අන්ධකාරය පලා දමන්න.

උතුම් නිර්වාණධාතුව සාක්ෂාත්කරණය උදෙසා ලෝකෝත්තර මාර්ග ඥානයන් ස්වකීය චිත්ත සන්තානයෙහි උපදවා ගත යුත්තේ ය. එම උත්තරීතර වූ ලෝකෝත්තර මාර්ගඥානයන් උපදවා ගැනීම උදෙසා ඉවහල්වන ධර්ම සමූහයෝ බෝධිපාක්ෂික ධර්මයෝ වෙති. ආර්යභුමියට පත්වන්නට පෙරාතුව ඒ උත්තමයෝ නිර්වාණගාමී ප්‍රතිපදාව ලෙස බෝධිපාක්ෂික ධර්ම කර්මස්ථාන වශයෙන් වඩන ලද්දේය.

සතර සතිපට්ඨානය, සතර සම්‍යග් ප්‍රධාන වීර්යය සතර සෘද්ධිපාද, පංචඉන්ද්‍රිය, පංචබල, සත්ත බොජ්ඣංග ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ බෝධිපාක්ෂික ධර්ම තිස්හතකි. එම ධර්මයන් වඩන ලද්දාවූ ඵල ලැබගත්තා වූ මොහඳුර දුරු කළ මහරහත් උත්තමයෝ අන්ධකාරය දුරුකොට පසළොස්වක සඳ සේ බබළතියි තමන් වහන්සේට ම අවවාද කරගනු ලබන අයුරු පුණ්ණා මහරහත් තෙරණියගේ උදානයෙන් මනාකොට විස්තෘත වේ.

නිකෙලෙස් හදවතින් සැනසුනු සසරෙහි නැවත නූපදින්නා වූ යෙහෙන් සසර කතරින් මිදුණා වූ තිස්සා මහරහත් තෙරණියෝ මෙලෙස උදානයක් පළ කරන්නෝය.

‘තිස්සෙ භික්ඛස්සු සික්ඛාය මාතං යොගා උපච්චගුං
සබ්බයෝග විසංයුත්තා චරලොකෙ අනාසවාති’

‘තිස්සාවෙනි, සීල, සමාධි, ප්‍රඥා ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙව. මේ දුර්ලභ අවස්ථාව මඟහැර නොගන්න. සියලු බන්ධනයන්ගෙන් නිදහස්ව නිකෙලෙස් කෙනෙකු ලෙස ලෝකේ ජීවත්වන්න.

ප්‍රේත, තිරිසන්, අසුර, නරකය යන සතර අපාදුකින් අතමිදී දුර්ලභ වූ මනෂ්‍ය ජීවිතයක් ලැබ ඇස්, කන්, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියන්හි අවිකලත්වයෙන් යුක්තව, දුර්ලභ වූ සම්මා සම්බුදුපියාණන් වහන්සේලා පහළ වූ බුද්ධෝත්පාද කාලයක් ලැබ ශ්‍රද්ධා ප්‍රතිලාභය බලවත් වූ ශ්‍රද්ධා සම්පන්නභාවයට පත් ඒ උතුම් ජීවිතය තුළ කාමාදී චතුර්යෝගයන්ගෙන් මිදුනු සිතක් ඇතිකර ගැනීම පිළිබඳව බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් දහම් කරුණු තිස්සා තෙරණියෝ තමන් වහන්සේට ම අවවාද කොට ගනිමින් ප්‍රකාශ කරනු ලබයි.

තණ්හක්ඛය සංඛ්‍යාත අජර වූ නන්දිරාග සහගත පොමෝභවික තෘෂ්ණාව ප්‍රමුඛ කොට ඇති සියලු කෙලෙසුන්ගෙන් මිදීම නම් වූ උතුම් නිවන් සුව ලබන පිණිස සීල, සමාධි, ප්‍රඥා ත්‍රිවිධ ශික්ෂා මාර්ගයට අනුගතවීම, ප්‍රතිපදාගාමී වීම, ශ්‍රේෂ්ඨබව උන්වහන්සේ නිවුනු සිතකින් යුක්තව දේශනා කොට වදාරනු ලබන්නේ නිවනට යොමු වූ සිතක, නිවනින් සැනසුනු සිතක අසිරිය ලෞකික කාමයන්ගේ ඇලී ගැලී වාසය කරන්නා වූ සත්ත්වයිනට විවර කරමිනි.

ජීවිතවලින් සසර විවීම කරන්නා වූ සත්ත්වයා සසර බඳින ලද තෘෂ්ණාව නම් වූ කෙලෙස් ධර්මයෝ ප්‍රහාණය කොට අපලෝකිත වූ ඛේම වූ නිවනින් සැනසුනු ඒ උතුම් රහත් තෙරණින් වහන්සේලාගේ ජීවිත සුන්දරය, මනහරය, නොඇලෙන සුළුය. නොගැටෙන සුළුය.

කතක ලෙස ඉපිද ගෘහීය ජීවිතයෙන් ලෞකික වශයෙන් ගත කළ දිවියෙන් විමුක්තව උත්තරීතර වූ ප්‍රවෘජ්‍යා භූමියට පත් වූ, සංසාර දුකින් විමුක්තවීම උදෙසා වෙරදරා මේ ලොවට පුණ්ණා මහ රහත් තෙරණියක ලෙස, තිස්සා මහරහත් තෙරණියක ලෙස පහළව උත්තරීතර වූ ලෝකෝත්තර සුවය ගෞතම සම්මා සම්බුදු සසුනින් ලැබ එවන් වූ ආර්ය සිතක ස්පර්ශය ලබන්නයැයි ලොවට හඬගා කියමින් මහරහත් තෙරණින් වහන්සේලා ලෙසින් පිරිනිවී වඩින්නට ඇති. ඒවන් උත්තරීතර සිතක ස්පර්ශය ලබන්නට මේ උතුම් සම්බුදු සසුන සැමට ම මහෝපකාරී වේවා!