Print this Article


සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 53

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 53

සම්බුදු උපත සිදුවූ බුද්ධ භූමි වන්දනාවෙන් අද අපි සාංචි පුදබිම වන්දනා කරමු. එම වන්දනාවේ පනස් තෙවන කොටස ලෙස මෙසේ වන්දනාව අරඹන අතර තවත් මෙසේ කොටස් කීපයකින් බුද්ධ භූමි වන්දනාව සිදු කරමු.

අවන්ති ජනපදය

මෙය දක්ෂිණා පථයට උතුරින් පිහිටියේය. බුද්ධ කාලයේත් ශත වර්ෂ 12 කින් පමණ පසු මෙයට මාලව දේශයැයි ව්‍යවහාර විය.මෙය උත්තර අවන්තිය, දක්ෂිණ අවන්ති යැයි පළාත් දෙකකට බෙදී පැවතිණැයි සිතිය හැකිය. අවන්ති දක්ෂිණ පථ යැයි දකුණු අවන්තියට කියන ලදැයි හැඟේ. වර්තමානයෙහි මල්චා නිමර් යන පළාත් දෙකත් එයට සමීප වූ මධ්‍යම පළාතේ සීමායෙහි කොටස් කීපයකුත් යන මෙකී සියල්ල පුරාතන අවන්ති දේශයට ඇතුළත් වූ බව පෙනේ. බුද්ධ කාලයෙහි මෙහි රජය කැරවූයේ චණ්ඩපජ්ජෝත රජතුමාය. එතුමා බෞද්ධයෙකු විය.

මෙහි කුරරඝර නුවරැ පපාත පබ්බතයෙහිද මක්කරකට ගම අසල කච්චාන තෙරුන්ගේ ආශ්‍රමය විය.

උජ්ජෙනි නුවර

මෙය බුද්ධ කාලයෙහි මුළු අවන්ති දේශයේ ප්‍රධාන නුවරයි. කච්චායන මහ රහතන් වහන්සේගේ ජාත භූමියයි. මිහිඳු මා හිමියන් වහන්සේ උපන්නේ මේ නුවරෙහිය. මෙය අවන්ති රටේ උතුරු කොටසේ චර්මන්වතී නදී තිරයේ පිහිටියේය.

මාහිස්සති


සාංචි තොරණ

අවන්ති දක්ෂිණා පථයේ ප්‍රධාන නගරය වූ මෙය බුද්ධ කාලයෙන් පෙරැ කලක් මුළු අවන්ති ජනපදයේම අග්‍ර නගරය විය. නර්මදා නදී තිරයේ පිහිටියේය. දැන් මෙය මාන්ධාතෘ පුර යැයි කියනු ලැබේ.

කුරරඝර

මෙහි විසූ කාලි නම් තැනැත්තිය සම්බුදු සස්නෙහි සෝවාන් වූ උපාසිකාවකි. ඇයගේ පුත්‍ර වූ සෝණකුටිකණ්ණ තෙම භාග්‍යවතුන් වහන්සේ ගෙන් තනතුරු ලත් මහා ශ්‍රාවකයෙකි.

වේදිසානුවර

මෙය මාහිස්සති නුවර සිට සැවැත් පුරට යන මහා මාර්ගයෙහි ෙචිත්‍රවතී නදී තිරයේ වූයේය. සැරියුත්, මුගලන් මහ රහත් දෑ අගසවුවන් වහන්සේ ගේ ධාතු නිදන් කොට කරවන ලද චෛත්‍ය දෙක මේ සමීපයෙහි ඇත. අශෝක රජු ගේ බිරින්දෑ මෙහි කුමරියකි. ඇයගේ දරුවන් මිහිදු කුමාරයා හා සංඝමිත්තා කුමාරිය විය. ලංකාවට බුදුදහම හා ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම වන ලද්දේද සාංචියේ සිටය.

බුද්්ධ කාලයේ භාරතය සොළොස් මහා ජනපද වශයෙන් වෙන්ව තිබිණි. ඒ අතර අවන්ති දේශය ලෙස හඳුන්වා ඇත්තේ වර්තමානයේ මධ්‍ය ප්‍රදේශයයි. මෙහි අගනගරය බෝපාල්ය. අගනගරයට ගමන් කිරීමට භාරතයේ අගනුවර වූ දිල්ලිය හරහා යා හැකිය. දිල්ලියේ සිට කි.මී. 705 කි. තවද ඉන්දියාවේ ප්‍රධාන නගරයක් වූ චෙන්නායි (මදුරාසිය) සිට පැමිණේ නම් දුම්රියෙන් කි.මී. 1486 ක් බෝපාල් දුම්රිය ස්ථානයට වේ. එහි සිට කි.මී. 46 ක් පමණ දිල්ලි ප්‍රධාන මාර්ගයේ යන විට සාංචි දුම්රිය ස්ථානය හමුවේ බෝපාල් සිට වීදිසා යන බස් රථයකින් පැමිණේ නම් කි.මී. 50 ක් පමණ යා යුතුය. සාංචි දුම්රියපළහි නවත්වනුයේ ශීඝ්‍රගාමී දුම්රිය දෙකකි. එහෙත් අනෙක් සියලුම සාමාන්‍ය දුම්රිය එහි නවත්වනු ලැබේ.

සාංචිය නම් මේ පූජාභූමිය ලාංකික බෞද්ධයන් දැකිය යුතුම පූජාබිමකි. බොහෝ වන්දනාකරුවන් සාංචිය වැඳ පුදා ගැනීමට නොයන අතර ඊට ප්‍රධානතම හේතුව වන්නේ ගමනේ ඇති දුෂ්කරතාවයයි. නමුත් ඔබ යන දඹදිව වන්දනා ගමන සම්පූර්ණ කර ගැනීම සඳහා සාංචි පුද බිමද වන්දනා කරගන්නට කටයුතු යොදා ගැනීම උචිතය.

සාංචිය වන්දනා කිරීමට හා දැකබලා ගැනීමට එන ඔබට ශී‍්‍ර ලංකා මහා බෝධි ධර්ම ශාලාවේ නේවාසික පහසුකම් ලබාගත හැකිය. පසුව එහි වැඩ සිටින භික්ෂූන් වහන්සේ නමක් සමඟ සාංචි මුදුනේ පිහිටි චේතියගර විහාරයට ගොස් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා තැම්පත් විහාරය ද වන්දානමාන කොට පුරාවිද්‍යා ප්‍රදේශය නැරඹිය හැකිවේ. සාංචි කඳුමුදුනට යන ඔබට පරිසරය තුළ ලාංකික අපට ඉතා සමීප බවක් දැනේ. මනහර අවට පරිසරය සිතට සුවදායකය. හමන සුළඟ ගත සිත සුවපත් කරයි. සැබැවින්ම මේ පූජා බිම තුළදී ඔබේ ගතට සිතට වෙහෙස නොදැනේ.


අශෝක රජු ඉදිකළ විහාරස්ථාන

එකල මෙ ප්‍රදේශය අවන්ති ජනපදයට අයත් වූ අතර මෙහි මූලික පියවර වශයෙන් ධර්මය ප්‍රචාරය කරන ලද්දේ අසූ මහා ශ්‍රාවකයන්ට අයත් කච්චායන මහරහතන් වහන්සේය. උන්වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා මෙම සාංචි පුදබිමේ වැඩ හිඳ තිබේ. බුද්ධ කාලයේ සිට පැවැත එන බෞද්ධ දායක පවුලකි. වේදිසා නුවර සිටු පවුල මෙම සිටු පවුල විසින් සාංචි පුද බිම සංරක්ෂණය කොට තිබේ.

පැලලුප් නුවර තම වාසස්ථානය කරගත් මෞර්ය වංශිකයෙකු වූ චන්ද්‍රගුප්ත පාටලී පුත්‍රය හෙවත් පැළලුප්නුවර අගනුවර කරගත්තේය. ක්‍රි.පූ. 298 දී ඔහු මිය ගිය අතර ඔහු පුත් බිංදුසාර පාටලී පුත්‍රයෙහි රජ විය.

අශෝක යුව රාජයෙක් ලෙස අවන්තියට එවන ලදී. ඒ පැමිණි අශෝක වේදිස නුවර සිටුතුමාගේ දියණිය වූ දේවි කුමරිය හා විවාහ කරගෙන අවන්තියේ අගනගරය වු උජ්පේත්වල වාසය කරන ලදී.

මෙසේ අවන්තියේ පාලකයා වශයෙන් කටයුතු කරන සමයේදී පියා වූ බිංදුසාර රජු අභාවයට පත් විය. අශෝක රජුට නැවත පාටලී පුත්‍රයට යන්නට සිදුවේ.

අශෝක රජු වේදිස දේවිය ඇසුරෙන් බුදු දහම පිළිබඳ මූලික අවබෝධයක්ද ලබාගත් බව කියැවේ. කෙසේ නමුත් අශෝක රජු සමඟ මහින්ද, සංඝමිත්තා දරු දෙදෙනා පිටත්කර යවා ඇත. ඒ ගිය අශෝක පාටලී පුත්‍රයේ රජ බවට පත්විය. තම රාජ්‍ය බලය ව්‍යාප්ත කර ගැනීමට අදහස් කළ අශෝක රජු රාජ්‍යයන් එකිනෙකා අල්ලා ගැනීම සඳහා මහා සංහාරයක යෙදිණි.

අවුරුදු හයක් පුරා යුද්ධ කොට අවසන් වරට කාලිංග නම් දේහය (වර්තමානයේ ඔරිස්සාව ප්‍රදේශය) යටත් කිරීම සඳහා යුධ වැදිණි. එහිදී විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදුවූ අතර එයින් සංවේගයට හා කළ කිරීමට පත් වූ අශෝක රජු යුද්ධ කිරීම නවතා දමන ලදී. යුද්ධයට දක්ෂයෙක් වූ අශෝක චණ්ඩාශෝක යැයි නමක්ද පට බැදිණි.

පසුව දරුණු ක්‍රියා අතහැර ධාර්මිෂ්ඨ රජෙක් විය. බුදු දහමෙහි දැක්වෙන මෛත්‍රිය, කරුණාව, අහිංසාව සංවරකම යන කරුණු පිළිබඳව නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගෙන් දැන ඉගෙනගත් එතුමා චණ්ඩාශෝක පිළිවෙත අතහැර ධර්මයෙන් දිග්විජය වෙත යමින් මිනිසුන්ට ධර්මය තුළින් සැනසීම උදා කර දීම සඳහා පසුව ඔහු ධර්මාශෝක බවට පත්විය.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම නරපතිඳුන් වූ ධර්මාශෝක මහා රජතුමන් මුලු දඹදිව අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකරන ලද්දේය. තුන්වන ධර්ම සංගායනාව පවත්වන ලද්දේ එතුමා ගේ මූලිකත්වයෙනි.

තවත් කොටසක් බිනර පුර අටවක පොහෝදා සැප්තැම්බර් 21 වනදා පත්‍රයේ


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 52