UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැදැහැයෙන් ක්‍රියා කරමු

සැදැහැයෙන් ක්‍රියා කරමු

බුදු සමයෙහි සද්ධාවට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. බෞද්ධ ජීවිතයකට පදනම වැටෙන්නේ සද්ධාව තුළිනුයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය විෂයෙහි මනා අවබෝධයකින් යුක්තව පැහැදීමට පත්වීම ‘සද්ධාව‘ ලෙස ඉතා සරලව හඳුන්වාදිය හැකි ය.

“කසීභාරද්වාජ” සූත්‍රය තුළින් සද්ධාව යනු කුමක්දැයි, ඉතා පැහැදිලිව විස්තර කෙරේ. කසීභාරද්වාජ සුප්‍රසිද්ධ බ්‍රාහ්මණ ගෝත්‍රිකයෙකු වුවත් කෘෂිකර්මාන්තයෙන් ස්වකීය දිවිපෙවෙත රැක ගත්තෙකි. බමුණාගේ වප් මඟුල් දිනය දා බුදුරජාණන් වහන්සේ එම උළෙල පැවැති ස්ථානයට වැඩම කරවීම සුවිශේෂී සිද්ධියක් විය. කසීභාරද්වාජ සූත්‍රයෙහි අන්තර්ගතවන්නේ එහිදී බුදුරදුන් හා බමුණා අතර පැවැති සාකච්ඡාව යි.

පළමුව බමුණා බුදුරදුන්ට මෙසේ කීය. “භවත් ගෞතමයිනි, මම සී සාමි. වපුරමි. සී සා වපුරා වළඳමි. ඔබත් සී සා වපුරා වළඳනු මැනවි. එවිට බුදුරජාණන් වහන්සේ “බමුණා මමත් සී සාමි. වපුරමි. වපුරා වළඳමි’යි පිළිතුරු දුන්හ. නැවත බමුණා බුදුරදුන් අමතමින් ‘භවත් ගෞතමයන්ගේ ගොවි උපකරණ මම නො දකිමි. අපට ගෞතමයන් ගේ එම උපකරණ මොනවාදැයි, වදාරනු මැනවැයි කීය. එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

සද්ධා බීජං තපෝවුට්ඨී
පඤ්ඤා මේ යුගනංගලං
හිරි ඊසා මනො යොත්තං
සති මේ ඵාලපාචනං

“මාගේ සද්ධාව බිජුවටයි. තපස වැසි දහර වෙයි. ප්‍රඥාව විය නගුල් වෙයි. හිරිය (ලජ්ජාව) නගුලිසයි. සිත විය රැහැන් වෙයි. සිහිය මාගේ හී වැල හා කෙවිටයි.” තව දුරටත් බමුණාට කරුණු පහදාදුන් බුදුරදුන් ම විසින් මෙසේ කරන ලද සී සෑමෙහි අමාඵල තිබෙන බවත්, මෙම කෘෂිකර්මාන්තය කොට සී සා හැම දුකකින්ම මිදිය හැකි බවත් දේශනා කළහ. මෙම දේශනාව මනා ලෙස වටහාගත් කසීභාරද්වාජ බමුණා තෙරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත්ව පසුව පැවිදි උපසම්පදාව ද ලැබීය.

සී සාන උපකරණ සියල්ල සම්පූර්ණ කරගෙන සිටියත්, වැපිරීමට බීජ නොමැති නම් වගා කළ නොහැකිය. වී වගාවේ මූලික පදනම බීජ වැපිරීමයි. අස්වැන්න ලැබෙනුයේ ඒ තුළිනුයි. එසේම බෞද්ධ ජීවිතයේ මූලික පදනම සද්ධාවයි. සද්ධාව නොමැති නම් අන් කවර ගුණාංගයක් තිබුණ ද ප්‍රයෝජනයක් නොමැත. එබැවින් සද්ධාව බීජයකට උපමාකොට තිබේ. නිවන නමැති අස්වැන්න ලැබීමට නම් සද්ධාව නමැති බීජය අවශ්‍යමය.

මෙම "සද්ධා" යන වචනය නිර්වචනය කොට තිබෙන්නේ ‘සද්ධහතීති සද්ධා’ යනුවෙනි. මැනවින් තෙරුවන් ගුණ පිළිගැනීම සද්ධාව ලෙස එයින් කියැවේ. සමහරු එදිනෙදා මෙම වචනය භාවිතයේ දී ‘සද්ධා’ හෝ ‘ශ්‍රද්ධා’ යන්න වෙනුවට ‘ශර්ධා’ හෝ ‘සර්ධා’ යනුවෙන් ව්‍යවහාර කරති. එහෙත් ඒවා වැරදි යෙදුම්ය. එසේම තවත් සමහරු සද්ධා භක්තිය පෙරදැරිව යන යෙදුමක් ද, භාවිතා කරති. මෙහිදී යම් දෙයක් පිළිබඳ භක්තියක් හෙවත් ඇදහීමක් අවශ්‍ය වන්නේ දැකීමක් නොමැති වූ විට ය. යමක් තේරුම් ගැනීමෙන් පසුව ඒ ගැන භක්තිය හෝ ඇදහීම පිළිබඳ අවශ්‍යතාවක් ඇති නොවේ. සරල උදාහරණයක් මඟින් මෙය පැහැදිලි කරන්නේ නම්, මා අත මැණිකක් තිබේ යැයි, කිවහොත් එය ඔබට දැකිය හැකි වේ. එවිට භක්තිය හෝ ඇදහීම හෝ පිළිබඳ ගැටලුවක් ඇති නොවේ. එසේ වූයේ ප්‍රත්‍යක්ෂ ලෙස මැණික දක්නට ලැබුණු නිසයි. ඇතැම් ආගමික ඉගැන්වීම්වල පදනම වන්නේ භක්තියයි. එහෙත් බුදු සමයේ මුල්තැන ලැබෙන්නේ භක්තියට නොව අවබෝධයටයි. එබැවින් බුදුසමයේ ඉගැන්වෙන ‘සද්ධාව‘ යන වචනය ‘භක්තිය’ ‘ඇදහීම’ යන වචන හා සමාන නොවන බව වටහා ගත යුතු ය.

තවද ‘අමූලිකා සද්ධා’ හා ‘ආකාරවතී සද්ධා’ ලෙස සද්ධාවේ කොටස් දෙකක් තිබේ. මින් තෙරුවන් කෙරෙහි නිවැරදි අවබෝධයක් නොමැතිව ඇතිකර ගන්නා සද්ධාව ‘අමූලිකා සද්ධා’ ලෙසත්, හේතු යුක්ති සහිතව කරුණු දැන දැක, ඇති කරගන්නා පැහැදීම ‘ආකාරවතී සද්ධාව‘ ලෙසත් විග්‍රහ කෙරේ. මේ අතර අමූලිකා සද්ධාව පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, එහි මුල්තැන ලබා දී ඇත්තේ අවබෝධයට වඩා විශ්වාසයට හා ඇදහීමටයි. මෙම ධර්ම කරුණු ගැන මම නොදනිමි. එහෙත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබෙන අසීමිත පැහැදීම නිසා මම මෙම කරුණු පිළිගනිමි. යන අදහස තුළ ඇත්තේ එවන් ඇදහීමකි. මෙය අන්ධයන්ගේ පෙරහරකට උපමාකොට තිබේ. එහි මුලින්, මැදින් හා අගින් යන්නේ අන්ධයින්ය. එකිනෙකාගේ අත අල්ලාගෙන එකිනෙකා පසුපස යන ඔවුන් අතුරෙන්, මුලින්, මැදින් හෝ අගින් යන කවරෙකුටවත් පාර නො පෙනේ. මෙබඳු අවබෝධයෙන් තොර අන්ධානුකරණය බෞද්ධ සද්ධාව විෂයෙහි කිසිසේත්ම අදාළ නොවේ.

මේ අනුව සද්ධාව අප ජීවිතයට මනා ආලෝකයක් කොටගෙන අප අපේක්ෂා කරන යහපත් අරමුණු වෙත ළඟාවීමට පහසු මගක් සකසාගත හැකිය. එය අපගේ මෙලොව, පරලොව ජීවිතයේ සාර්ථකත්වයට හේතුවේ.

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]