UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසරින් එතෙර වූ සේක මහරහත් තෙරණිවරු

සසරින් එතෙර වූ සේක මහරහත් තෙරණිවරු

දියණියක, මවක, බිරිඳක ලෙස විවිධ වූ භූමිකාවන්හි වාසය කරමින් තම යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට ඇය ප්‍රයත්න දරයි. උදෑසන පටන් රාත්‍රිය දක්වාම නිවසේ සුරක්ෂිතභාවය පවුලේ සුරක්ෂිතභාවය, දරුවන්ගේ ස්වාමියාගේ ආරක්ෂාව හා රැකවරණය උදෙසා මුළු ජීවිතයම කැපකරනු ලබයි.

සංසාර මිඝයෙහි ඇලී ගැලී වාසය කරන්නාවූ සංසාරගත සත්ත්වයින් අනේක දුක් සහිත ඝෝරතර සසර දුකින් මිදීමට මාර්ගය පෙන්වා වදාළ පරම පූජනීය වූ ගම්භීර වූ විමුක්ති සුවය ලබාදීමේ අසහාය වීර්යාණන් වහන්සේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේමය.

ඒ උත්තරීතර සම්බුදු සසුනේ උතුම් වූ සදහම් පහස ලබමින් ලෝභ, ද්වේෂ, මෝහ නම් වූ අකුසල් මුල් සිඳලමින් ලෞකික ආශාවන්ගෙන් බැහැරව ලෝකෝත්තර වූ විමුක්ති සුවය විඳි භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා පිරිස අනන්ත අප්‍රමාණය.

ස්වභාව ධර්මයාගේ නිර්මාණාත්මක ස්වරූපය අනුවත්, ලොවෙහි පැවැත්ම හා අඛණ්ඩතාව උදෙසා මෙලොව කිසිදු දෙයක් හෝ පුද්ගලයකු සර්ව සම ආකාරයට නිර්මාණය වීමක් සිදුවී නොමැත. මෙලෙස වූ ස්ත්‍රී, පුරුෂ ලෙස මිනිස් කොට්ඨාස පහළ වුවද, කාන්තාවට විවිධ කාල වකවානුවල ඇයගේ මනුෂ්‍ය ස්වභාවයද නොතකා මනුෂ්‍යත්වය ඉක්මවා යමින් ඇයට අනේක දුක් විඳීමට බ්‍රාහ්මණ සමාජය තුළ සිදු වූ කාලයක් පැවති බවට අතීතය සාක්ෂි දරනු ලබයි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාන්තාවක ලෙස උපත ලබන මාගමකට හෙවත් ස්ත්‍රීන්ට පමණක් අත්විඳීමට සිදුවන දුක් පිළිබඳව සංයුක්ත නිකායේ මාතුගාම සංයුක්තයේ ආවේනික දුක්ඛ සූත්‍රයේ දී දේශනා කොට වදාළ සේක.

මහණෙනි, මාගම තරුණ ජීවිතයට එළඹීමත් සමඟම පතිකුලයටයයි.

(දහරෝව සමානො පතිකුලං ගච්ඡති)

තරුණ ජීවිතයට එළඹෙන කාන්තාව තම දෙමව්පියන්ගෙන් වෙන්වෙති. තම ඥාතීන්ගෙන් වෙන්ව යති. මහණෙනි, පිරිමින්ගෙන් තොරව මාගම විඳින මාගමටම ආවේණික පළමුවන දුක මේ වන්නේය.

ස්ත්‍රියක ඔසප් වේ. (මාතුගාමො උතුනි හොති) පුරුෂයකුගෙන් තොරව කාන්තාව විඳින කාන්තාවටම ආවේණික දෙවන දුකයි.

ස්ත්‍රියක ගැබිනියක වේ. (මාතුගාමෝ ගබ්භනි හොති) ස්ත්‍රියක තරුණ කළ තම නිවසින් නික්ම විවාහයට එළඹෙන අතර විවාහක ස්ත්‍රිය ගැබිනියක බවට පත්වීම පිරිමින්ගෙන් තොරව මාගමම පමණක් විඳිනු ලබන ඇයටම ආවේණික තුන්වන දුකයි.

මහණෙනි, ස්ත්‍රියක දරුවන් බිහි කරති. (මාතු ගාමො විජායති)

ලොව පවතින්නාවූ අප්‍රමාණ දුක් වේදනාවන් විඳිමින් ගැබිනියක වූ ස්ත්‍රිය දරුවන් බිහිකරයි. ජීවිතයත් මරණයත් අතර සටනක ඇය නිමග්න වන්නීය. තම ජීවිතය විනාශ වී යන්නට ද හැකිය. දරුවා පමණක් ඉතිරිව අනන්ත දුකක් ඇතිකරනු ලබයි. මෙලෙස පුරුෂයකුගෙන් තොරව හුදකලාවම මාගමටම උරුම වූ සිව්වන දුකයි.

ස්වාමියාගේ පාද පරිචාරිකාව වේ. (පුරිසස්ස පාරිචරියං උපෙති) විවාහ දිවියට එළඹි ස්ත්‍රියකගේ රැකවරණය, ආරක්ෂාව, පිහිට තම ස්වාමියායි. ස්වාමියාට නතු වූ බිරිඳක ලෙස, කිසිදු ස්වාධීන තීරණයකට එළඹීමක් නොමැතිව කුදුමහත් කටයුතු සේවිකාවකා ලෙස සිදුකරනු ලබයි.

මෙලෙස දියණියක, මවක, බිරිඳක ලෙස විවිධ වූ භූමිකාවන්හි වාසය කරමින් තම යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට ඇය ප්‍රයත්න දරයි. උදෑසන පටන් රාත්‍රිය දක්වාම නිවසේ සුරක්ෂිතභාවය පවුලේ සුරක්ෂිතභාවය, දරුවන්ගේ ස්වාමියාගේ ආරක්ෂකය, හා රැකවරණය උදෙසා මුළු ජීවිතයම කැපකරනු ලබයි.

ස්ත්‍රිය හා පුරුෂයා අතුරින් දුක්ඛ සූත්‍රයට අනුව අනන්ත දුක් විඳිනුයේ ස්ත්‍රියයි. ගෘහිය ජීවිතයකට බැඳුනු ඇය එම ජීවිතය තුළ කොටුවෙමින් සියලු කටයුතු නොපිරිහෙළා ඉටුකළ යුතු වන්නේ ය. වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් මහත් වූ කැපකිරීමක් ඇය සතුව ඇත්තේමය.

ගෘහිය ලෞකික ජීවිතයෙන් නික්මීම, උතුම් පැවිදි සුවයකට උරුමකම් කියන්නා වූ කතකට දුක්ඛ සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ ස්ත්‍රියකටම ආවේණික දුක්ඛයන් අතුරින් විඳිය යුතු වන්නේ එක් දුකක් පමණි. අනෙකුත් සියලු දුකින් ඇය මිදී ඇත්තේය.

“සම්බාධො ඝරාවාසො රාජාපථො අබිභොකාසො පබිබජ්ජා”

ගිහිගෙය කෙලෙස් ධර්මයෝ උපදනා තැනක් වන අතර පැවිද්ද ගුණදහම් පිරීමට අවකාශ ඇති තැනකි. සියලු කාම බන්ධනයන්ගෙන් මිදී පැවිදී ජීවිතයක් ලැබීම නිසාවෙන් උරුම වන දුක් අල්පය.

ස්ත්‍රිය යනු හුදෙක් අලංකරණයට, කාම බැදීම් උදෙසා ලෝලිත්වයක් දක්වන්නාවූ පිරිසක් ලෙස සලකති.ඇයගේ සුන්දරත්වය මුළු ලෝකයම වශීකෘත කරනු ලබයි. පංචකල්‍යාණයෙන් අනුන කාන්තාවෝ සෑම දෙනෙකුගේම මනස් සන්තර්පනය කරනු ලබයි. නිවුණු සිතක්, මිදීමට යොමුවූ සිතක් විරාගි සිතක් ඇයට ඇතිකරගැනීම ඉතාම දුෂ්කර කාරණාවකි.

භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ උතුම් ප්‍රඥාව ලැබීම උදෙසා ස්ත්‍රී, පුරුෂ භේදයක් නොමැති බව පෙන්වා වදාළමින් මහා ප්‍රජාපති ගෝතමි දේවිය පැවිද්ද ඉල්ලීමත් සමඟින් අෂ්ට ගරුධර්ම පිළිගැනිමම ඇයට පැවිදි උපසම්පදාව ලැබෙන්නේයැයි වදාරමින් කාන්තා පැවිද්ද ලබාදෙමින්, අනන්ත දුක් විඳිනු ලබන කාන්තාවට ස්ත්‍රි පැවිද්ද ලබාදුන් සේක.

ඒ උත්තරීතර වූ පැවිදි, උපසම්පදාව ලැබීමත් සමඟින් රාජකුමාරිකාවන්, බ්‍රාහ්මත කාන්තාවන්, සිටු දියණිවරු, සේනාපති දියණියන්, ස්වාමියා පැවිදි වූ කුමාරිකාවන් විවාහය ප්‍රතික්ෂේප කළ කාන්තාවන්, ගණිකාවන්, ලෝතුරු දියණියන්, දාසියන්, ස්වාමියා හැරදමා ගිය කාන්තාවන් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තම සිහින් දිගැටි කෙස්වැටි සිඳදමමින්, රුව සරසන ආභරණයෝ ඉවත් කරමින් නොයෙක් අයුරින් විසිතුරු ඇඳුම් ප්‍රතික්ෂේප කරමින් කහවතක් දරාගෙන පාත්‍රයක් අතින් ගත් සරල දිවියකට පිළිපන්නේ පැවිදි ජීවිතයක ඇති සුවය විඳීම උදෙසාමය.

උතුම් පැවිදි ජීවිතයේ සන්තුට්ඨි ඵලය නම් රහත් භූමියට පත්වීමයි. කතක විඳින දුක් වලින් හතරක් පැවිදි කාන්තාවක නොලබන්නීය.රහත්භූමියට පිළිපන් උත්තමාවියක කිසිදු දුකක් නොලබන්නීය. සසර ඕඝයෙන් මිදුණු තැනැත්තියක වන්නීය.

රාගාදියෙන් මිදුනාවුන්, රාගාදි නිමිති රහිතවූත් නිවන අරමුණ කොට වසන රහතන් වහන්සේ මරණින් මතු ගිය මග හෝ යන මඟ නොදත හැකිය. අහසෙහි කුරුල්ලකු ගිය මඟ නොදත හැකිවාක් මෙනි. මතු සසරෙහි ප්‍රේතලෝකයෙහි, තිරිසන් ලෝකයෙහි අසුර නිකායෙහි, අටමහා නරකයෙහි නූපදිති. බ්‍රහ්ම ලෝකයන්හි දිව්‍ය ලෝකයන්හි නූපදිති. මිදී ගිය මඟද නොදත හැක්කේමය. සියලු කාම බන්ධනයන්ගෙන් වෙන් වූ වීතරාගී වීත දෝසි, වීත මෝහි සිතක් ඒ උත්තරීතර වූ රහත් භූමියට පත් උත්තමයෝ උත්තමාවියෝ ලබන්නේමය.

රහත් උතුමන් වහන්සේලා සතර සතිපට්ඨානය තුළ ජීවත්ව තෘෂ්ණාවට නොඇලි ජලය අතහැර යන හංසයන් සේ ලොකු කුඩා සෑම දෙයක්ම අතහැර දමති. එම සියල්ල අතහැර දමා යති. සසර ඉපදීම නැතිකළ, ශෝක දුරුකළ, සියලු තැන්හි නොඇලි ඉන් මිදුනාවූ සියලු කෙලෙස් ගැට සිඳලු උතුම් රහතන් වහන්සේලාට දැවිල්ලක් නැත. සිත් තැවුල් නැත්තේමය.

මෙවන් වූ උත්තරීතර සුව විඳින්නාවූ මිදුනු සැනසුම් දායක ජීවිතයක යථාර්ථය, ආධ්‍යාත්මික සිතක ප්‍රබල බව සුවදායක බව මිදීමේ ඇති ශ්‍රේෂ්ඨත්වය ලොවට හඬගා කියන්නට නිලින සිතකින් යුක්ත වූ කතකට දිරියක් වන්නට රහත් තෙරණින් වහන්සේලා දේශනා කොට වදාළ එම ප්‍රීති වාක්‍යයෝ අපූරු වෙති. අරුත් බර වෙති. ලබන්නට එවන් වූ සැපක් නිතර ස්ත්‍රී සිතකට සිත් වන්නේමය.

ඛුද්දක නිකායෙහි ථේරිගාථා කාණ්ඩයෙහි රහත් තෙරණින් වහන්සේලා 74 දෙනෙකු උන්වහන්සේලා ලද සුවය දේශනා කොට වදාළ සේක. ඒකක නිපාතයට අනුව දක්වන පළමුවන තෙරණින් වහන්සේ එක්තරා රහත් තෙරණියක ලෙස දක්වති.

‘සුඛං සුපාහි ථෙරිකෙ කත්වා චොළෙන පාරුතා උපසන්තො හි තෙ රාගො සුක්ඛඩාකං ව කුම්භියන්ති”

“ථෙරිකාවෙනි, පාංශුකූල වස්ත්‍රයෙන් (පහුල් වතින්) මසාගත්ත සිවුරු පොරව ගත්තට පස්සෙ සැපසේ වාසය කරන්නට පුළුවන්. ඔබේ රාගයත් ප්‍රහාණය වෙලා සන්සිඳී ගියේ භාජනයක මැල්ලුමක් රොස් වුණා වගෙයි.

ගිහි අභරණයන්, සැරසිලිවලින් මිදී තැන්තැන්වල විසිකර දමා තිබෙන හෝ වැටී තිබෙන රෙදි කැබලි එකතු කොට සෝදා පිළිවෙළකට මසාගත් පාංශුකූලික සිවුරක් පොරවමින් ලෞකික ආසාවෙන් තොරව එම සිවුර දැරීම කෙතරම් අපූරුදැයි උන්වහන්සේ දේශනා කොට වදාළ සේක.

සුව පහසු නොවූ එවැනි වස්ත්‍රයක් දරා ගනිමින් ඇලීමක් හෝ ගැටීමක් නොමැතිව වෙරදරා කාම රාගයන් දුරුකළ වීතරාගී සිතකට නිමග්න වෙති. එවන් වූ සිතක් කෙතරම් අපූරුද? කෙතරම් නික්ලේෂද?

එවන් වූ තණ්හක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නම් වූ නිවන් සුව විඳින්නාවූ රහත් භූමියට පිළිපන් මුත්තා තෙරණින් වහන්සේ මෙසේ තමන් වහන්සේගේ උදානයන් ප්‍රකාශකොට වදාළ සේක.

‘මුත්තෙ මුච්චස්සු යොගෙහි චන්දො රාහුග්ගහා ඉව විප්පමුත්තේන චිත්තේන අනණ භුඤ්ජ පිණ්ඩකන්ති”

“පින්වත් මුත්තාවෙනි, රාහුගේ ග්‍රහණයෙන් පුන්සඳ, මිඳී යන්නා සේ මාරයාගේ ග්‍රහණයෙන් ඔබ ගැලවී යන්න. කෙලෙස් වලින් නිදහස්ව (සමුච්ඡේද විමුක්තිය ලැබ) මිදුණු සිතින් යුක්තව ණයක් නැතිව පින්ඩපාතෙ වළඳන්න ඕනෙ.”

මාරයා නම් වූ රාග, ද්වේශ, මෝහ බලවත් කරන්නාවූ සතර අපායට සහායක වන්නාවූ දුෂ්ට පුද්ගලයා බිඳ දමමින් වීර්යය වඩමින් සිත කිලිටි කරන්නාවූ සිතුවිලි ධර්මයන් වූ කෙලෙස්වලින් මිදුනු සිතක අපූර්වත්වය හා ලෝකයාට ණයක් නැතිව රහත් උත්තමාවියක ලෙස පිණ්ඩපාතය වැළඳිය හැකි බැව් උන්වහන්සේ නිවණින් සැනසුනු විමුක්ති සිතකින් යුක්තව පී‍්‍රති උදානයන් දේශනා කොට වදාරන සේක.

සැබවින්ම රහතන් වහන්සේ නමක් බවට පත්වීම ඉතා දුෂ්කරවූ ක්‍රියාවකි. චංචල වූ චපල වූ රැකීමට අපහසු වූ සිත ඒ උත්තමාවියෝ වඩුවකු හි දණ්ඩක් සෘජු කරන්නාක් මෙන් සෘජු කරති. කෙදිනකවත් මේ බිහිසුනු සසර දුකට නැවත පත් නොවෙති.

දුක්වලින් මිරිකී වාසය කරන, ගිහි ජීවිතයක එළඹ කාම බන්ධනයන්ට නතුව කෙලෙස් වඩමින් සිටින කතක උතුම් වූ ශ්‍රී සදහමින් සැනසී ජීවිතය මෙලොව වශයෙන් මෙන්ම පරලොව වශයෙන් සැපවත් කරගන්නට රහත් තෙරණියකගේ මඟ අනුගමනයෙන් ප්‍රවිශිෂ්ට වන්නට ඇත්නම් කෙතරම් සුන්දරදැයි මොහොතකට කුදු සිතිය යුතුමය. එකම සැනසීමම වන්නේ ය.

 

     ‍ නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.56 ට ලබයි. 06 වැනිදා ඉරිදා පූර්වභාග 03.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 05 බදාදා සෙනසුරාදාය.

 මීළඟ පෝය සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]