Print this Article


වාර්ෂික ඇසළ මහා පෙරහර සමාප්තිය සනිටුහන් කිරීමේ සංදේශය සාම්ප්‍රදායානු කූලව ජනපතිට භාර දෙයි

වාර්ෂික ඇසළ මහා පෙරහර සමාප්තිය සනිටුහන් කිරීමේ සංදේශය සාම්ප්‍රදායානු කූලව ජනපතිට භාර දෙයි

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉකුත් දා (29) පස්වරුවේ ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර නැරඹීමට එක්විය. ජනාධිපතිතුමන් සමඟ සිය පවුලේ සාමාජිකයින්ද පෙරහර නැරඹීම සඳහා එක්ව සිටියහ.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උත්තරීතර පූජනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකඩවා සෑම වසරකම පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහර මෙවර ද ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා එය සාර්ථකව නිම කිරීම පිළිබඳ සැලකිරීමේ සංදේශය සාම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඉකුත් දා (30) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබුවේ ය.

අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත භාර දුන්නේ ය.

සාම්ප්‍රදායානුකූලව පෙරහරට සහභාගි වූ කලාශිල්පීන් වෙත තිළිණ හා සම්මාන ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදුවිය. ජනාධිපති බිරිඳ ජයන්ති සිරිසේන මහත්මිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒරනායක, ජනාධිපති ලේකම්, පී.බී. අබේකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

(ඡායාරූප - සුදත් සිල්වා)

 


පෙරහර සමාප්ති උත්සවය ආරම්භ කිරීමට පෙර නා පැළ-යක් ජනාධිපති මන්දිරයේ රෝපණය කළ අවස්ථාව

ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රන්දොීලි අවසන් මහා පෙරහර නැරඹු අවස්ථාව

දියවඩන නිළමේතුමන් විසින් පෙරහර සමාප්තිය සනිටුහන් සංදේශය ජනපතිතුමන් වෙත පිළිගන්වමින්...

කලාශිල්පීන් වෙත තිළිණ හා සම්මාන ප්‍රදානය කරමින්

පෙරහරට සම්බන්ධ වු ඇත්පැටවුන්ට පළතුරු සංග්‍රහයක් කරම්න්

ජනාධිපතිතුමා සමඟ දියවඩන නිලමේතුමා ඇතුළු සතර මහා දේවාල හා පිටිසර දේවාලවල නිලමේවරුන්...