Print this Article


ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්‍යය

ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්‍යය

මෙම ලිපියෙහි මුල් කොටස නිකිණි පුර පසළොස්වක පෝදා පළවු අතර ඉතිරි කොටස නිකිණි අමාවක පෝදා (සැප්තැම්බර් 12 ) පත්‍රයේ පළවේ.

අලුත් අවුරුදු මංගල්‍යය

තම රටේ සෑම ජාතික, සාමාජික, සංස්කෘතික උත්සවයක්ම පාහේ ආගමික උත්සවයක්ද වශයෙන් සලකා කටයුතුකිරීම බෞද්ධයන්ගේ සිරිතය. බුද්ධ කාලීන සමාජයේ පැවති සිරිත් විරිත් විශ්වාස හෙළා නොදුටු බුදුදහම තුළ ජනතාවගේ බොහෝ ජාතික, සාමාජික, සංස්කෘතික හරයන් බෞද්ධ සිරිත් තුළින්ද ඉස්මතු කොට දැක්වූ අයුරු පෙනේ. ඒ අනුව කෘෂිකාර්මික ජීවන ක්‍රමය හා බැඳී අනාදිමත් කාලයක් තිස්සේ වර්ධනය වෙමින්, සුරක්ෂිත වෙමින්, පැවත එන අලුත් අවුරුදු චාරිත්‍ර බොහෝමයක් ශී‍්‍ර දළදා මාළිගාව තුළ දාඨා ධාතුන් වහන්සේ කේන්ද්‍ර කොට චිරාගත සම්ප්‍රදායික චාරිත්‍ර වශයෙන් අඛණ්ඩව රාජ රාජ මහාමාත්‍යාදින් විසින් පවත්වා ගෙනැවිත් ඇත. මෙසේ අලුත් අවුුරුදු දිනය මුල්කොට පැවැත්වෙන අලුත් අවුරුදු මංගල්‍යය ශී‍්‍ර දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්‍යයන්ගෙන් එක් මංගල සම්මත මංගල්‍යයකි.


ශී‍්‍ර සෙංඛණ්ඩ ශෛලාභී ශී‍්‍ර වර්ධනපුර හෙවත් මහනුවර ශී‍්‍ර දන්තධාතු මන්දිරයේ සංවත්සර අවුරුදු මංගලෝත්සවයේ මූලික කාර්යය වන්නේ ශී‍්‍ර දළදා මාළිගාවේ දියඩවන නිලමේතුමාගේ උපදෙස් මත නැකැත් මොහොට්ටාල ලවා ශී‍්‍ර දළදා මාළිගාව ප්‍රධාන කොට සියලු විහාර දේවාලයන්හි ඉෂ්ට සිද්ධ කළ යුතු අලුත් අවුුරුදු චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ සුබ මුහුර්තීන් සම්පාදනයකොට ප්‍රකාශයට පත්කිරීමය. එකී නැකැත් පත්‍රයට අනුව

අලුත් අවුරුදු උදාව , කණ්ඨස්නානය , කිරි ඉතිරවීම , මුළුතැන් පිළිවෙල කිරීම හා පූජාකිරීම ,නානුමුර මංගල්‍යය යන ප්‍රධාන අවස්ථාවන් සඳහා සුබ නැකැත් සම්පාදනය කරනු ලැබේ. අවුරුදු දිනයට පෙර විදානේවරු ලවා දළදා මාළිගාව පවිත්‍ර කරවා සැරසීම සිදුකෙරේ. දළදා මාළිගාවේ කුඹල්කරුවන් විසින් කිරි ඉතිරවීම හා කිරිආහර පිසීමට අලුත් වළං ගෙනැවිත් දිය යුතුය.

අලුත් අවුරුදු උදාවට පෙර නියමිත දිනයකදී පෙනුම් ගමන් චාරිත්‍රය ඉටු කිරීම ශී‍්‍ර දළදා මාළිගාවේ සියලු නිලකරුවන් විසින් ඉටුකරනු ලබන වැදගත් චාරිත්‍රයකි.මේ අනුව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේතුමා බැහැදැක ගෞරවාචාර දැක්වීමට කාරියකරවන කෝරාළ ඇතුළු අනෙකුත් නිල පංගුකරුවන්ද,අවශේෂ නිලධාරින්ද, බුලත් හුරුළු සමඟ තෑගි බෝග කත් බැඳගෙන යාමේ සිරිත පෙනුම් ගමන් යාම වශයෙන් සැලකේ. ස්වකීය නිල පංගුවට දළදා නිල ඇඳුමින් සැරසී යන නිලකරුවන් අදාළ තෑගි බෝග කද තැන්පත් කොට අනුපිළිවෙළට ගොස් බුලත් හුරුළු දී වඳිති. එවිට දියවඩන නිලමේතුමා අදාළ රාජකාරිකරුවන්ට ඇඳුම කුඩම තෑගි කොට දී සංග්‍රහයක්ද පවත්වයි. මෙහිදී පෙර වැරදි කමාකර ගැනීමත්, එලැඹෙන වසරට ආශිර්වාදය ලබා ගැනීමත් සිදුවේ.

අලුත් අවුරදු දිනයේදි නියමිත නැකැත් පත්‍රයට අනුව හිරු මීන රාශියෙන් මේෂ රාශියට පැමිණීමෙහි, සුබ පලාභිවර්ධනය පිණිස නියමිත සුබ නැකතට කණ්ඨස්නානය හා කිරි ඉතිරවීම සිදුකෙරේ කණ්ඨස්නානය බදාදා දිනයන්හි පැවැත්වෙන සප්තානික පූජාව හෙවත් නානුමුර මංගල්ලයේදී අනුගමනය කරනු ලබන චාරිත්‍රයන්ට සමාන ආකාරයෙන් සිදුකරනු ලැබේ’. කණ්ඨස්නානය කිරීමේදි බදාදා නානුමුර මංගල්ලයේදී මෙන් බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ශී‍්‍ර දේහය පවිත්‍ර ජලයෙන් ස්නානය කිරීම සංකේතවත් කරන්නේ නැත. මෙහිදී සිදුවන්නේ ශී‍්‍ර දේහයේ උඩ කොටස පමණක් පවිත්‍ර ජලයෙන් ස්නානය කරවීම සංකේතවත් කිරීමය.

ජනතාවට සෞභාග්‍යය, සමෘද්ධි ප්‍රාර්ථනා කොට වැඩසිටින මාළිගාවේ ප්‍රධාන දොරටුව, පල්ලේමාලේ විහාරගෙයි දොරටුව හා මුල්තැන්ගේ යන තුන් ස්ථානයේදී ලිප් බැඳ අලුත් වළං තුළ කිරි ඉතිරවීම සිදු කෙරේ. මෙම අවස්ථාවට තේවාභාර හිමිවරු ද දියවඩන නිලමේතුමා ඇතුළු රාජකාරිකරුවෝද සහභාගි වෙති. මෙදින නැකතට අනුව මුළුතැන්ගෙය තුළ ආහාර පූජාව සූදානම් කරන අතර නියමිත වේලාවට බුද්ධ පූජා මුළුතැන් මංගල්‍යය සිදුකරති.

එලඹෙන ආසන්නම බදාදා දිනයේද නානුමුර මංගල්ලය පැවැත්වේ. මේ සඳහා සුදුහඳුන්, රත්හඳුන්, කුංකුම,ගෝරෝචන, කුංකුමප්පු, විෂ්ණු ක්‍රාන්ති, ගොඩ මානෙල් අල, නස්නාරං මුල්, බෙලි මුල්, නෙළුම් දඬු, වෙනිවැල් ගැට, ඊතණ , ඉඹුල් මැලියම්, දිවුල් මැලියම්, සුවඳ කොට්ටම්, අමු කහ, වියළි ඉඟුරු ආදිය සම සමවගෙන සාදනු ලබන නානු, කුඩා මුට්ටිවල අසුරා නාථ දේවාල භූමියට කෙටි පෙරහරකින් ගෙන ගොස් වට්ටෝරුවේ සඳහන් වන විහාරස්ථාන හා සතරදේවාල ඇතුළු අනෙකුත් දේවාලවලට බෙදා දීම චිරාගත සම්ප්‍රදායයි. මෙම නානුවලින් නැකතට අනුව ඒ ඒ සිද්ධස්ථාන හා දේවාල වලදී නානුමුර මංගල්ලයන් සිදුවේ.

පුණ්‍ය කාලය තුළද,අලුත්අවුරුදු දිනය තුළද සැදැහැවත් බැතිමතුන්ගෙන් ශ්‍රී දළදා මාළිගාව පිරී ඉතිරී යනු දැකිය හැකිය. නව වසර සෞභාග්‍යමත් නිරෝගිමත් එකක් බවට පත් කරගැනීම සඳහා දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම එමගින් අපේක්ෂිතය.

ඇසළ පෙරහර මංගල්ලය

වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරනුයේ” පණස” වෘක්ෂයේ ශාඛාවක් ගෙන ( බොහෝ විට ක්ෂීර වර්ගයේ කොස් ගසක) සිවු මහා දේවාලයන්හි ඇසළ කප සිටුවීමෙන් හා දේවාල අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වීමෙනි. ඉන් අනතුරුව වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක්ද, රනදෝලි පෙරහර පහක්ද,අවසන් රන්දෝලි මහ පෙරහර අවසානයේ මධ්‍යම රාති‍්‍රයෙහි ගෙඩිගේ විහාරයට පෙරහර කරඬුව වැඩමවන පෙරහරද, පසු දින දවල් පෙරහර ද පැවැත්වීමෙන් ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වේ.අනතුරුව රටේ පාලක ප්‍රධානියා වන අතිගරු ජනාධිපතිතුමා වෙත පෙරහර සංදේශය පිළිගැන්වීමද ශී‍්‍ර විෂ්ණු දේවාලයේ පැවැත්වෙන වළියක් නැටුම ද සුවිශේෂී තැනක් ගනී. ඇසළ පෙරහරේ පළමුව ගමන් කරනුයේ ශ්‍රී දළදා මාළිගාවේ පෙරහරයි. දෙවනුව අනු පිළිවෙළින් නාථ, විෂ්ණු, කතරගම හා ශ්‍රීපත්තිනි දේවාල පෙරහරද ගමන් කරනු ලැබේ’.

දළදා පෙරහර හෙවත් ඇසල, පෙරහර මංගල්‍යය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්‍යයකි. මෙකී පෙරහර ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජු (ක්‍රි.ව. 301-328) දවස දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟය. මහාවංශයේ සඳහන් වන අයුරු “රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහ පෙරහර කළේයි. “අවුරුදු පතා අභයගිරි විහාරයට වඩා ගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි. “නියෝග කළේය යන්නෙන් එය සනාථ වෙයි. පාහියංගේ දේශාටන වාර්තාවෙහි රජතෙමේ තුන් වන මස මැදදී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු ලැබේ’. මෙයට දින දහයකට පෙරාතුව කීමෙහි බිනීමෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම් , හඳවා පළදවා, මොනවට සැරසූ ඇතක්හු පිට නඟවා, නුවර හැවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි. “බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා, පෙරුම් පිරූ සේක. සිය සැප පහසුනොතකා සිය රජයද, සිය බිසවද, දරුවන් ද දන් දුන් සේක. තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක. අද සිට දස දිනකින් ඒ බුදුරඳුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ’. පින් කැමති සියල්ලෝ මග සම කෙරෙත්වා . කොවේ, මහවේ, සරසත්වා, පුද පිණිස මල් හා සුවඳ පිළියෙළ කෙරෙත්වා යනුවෙන් කෙරෙන විස්තරයෙන් එදවස ඇසළපෙරහර සංවිධානය වූ ආකාරය කියවෙයි.

මෙසේ අනුරපුර කිත්සිරිමෙවන් මහරජුගේ පටන් ලක්දිව සියලු රජවරු, සතුරු ආපදා සම්පන්න අවස්ථාවන්හි හැර,අන් හැම විටම, දළදා පෙරහර මනාසේ බැතියෙන් පැවැත්වූහ. ආපදාපන්න අවස්ථාවන්හි ද පෙරහර වීදි සංචාරය නොකළද සාම්ප්‍රදායික පෙරහර චාරිත්‍ර පවත්වා දළදා පූජෝපහාර දැක්වූහ.

1592 පළමු වන විමලධර්මසූරිය රජු දවස ශී‍්‍ර දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමෙන් අනතුරුවද ඇසළ පෙරහර මංගල්‍යය පවත්වාගෙන ආ බව සලකා ගත හැකිය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු ( ක්‍රි.ව. 1747-1781) දවස ක්‍රි.ව. 1753 දී දළදා පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි සිව් මහාදේවාලය අනුපිළිවෙළට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම ආරම්භ විය. එතැන් සිට අද දක්වාම මෙම පෙරහර මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව ශ්‍රී දළදා මාළිගාව පෙරටුකොට පැවැත්වේ.

ජෝන් ඩේව් හා වෙල්ලස්සේ දිසාව දුටු පෙරහර විස්තරයේ සඳහන් වන පරිදි නගරය දෙව්පුරයක් සේ සරසා තිබුණි. ඒ ඒ නිලයන් හදුනාගැනීම සඳහා අදාළ කොඩි සහිතවද, ඇතුන් ,අසුන් ගණනාවක්ද, විවිධ කොඩි චාමර දරන්නෝද, රජයේ නිලධාරිහුද, කඩු ගත්තෝද , පලස් දරන්නෝද , හෙල්ල දරන්නෝද, කොඩි කස්තාන දරන්නෝද, විදේශිකයෝ ද, නොයෙක් භාෂාවන්හි නිපුණයෝද, ශිල්පීහුද, ස්ත්‍රීහුද, ගමන් කළහ. අනතුරුව මහා ජනයාද ගමන් ගත්හ. මෙම පෙරහරේ රජතුමාද මහත් තේජසින් ගමන් ගත්තේය.මෙසේ පෙරහර නගරය ප්‍රදක්ෂිණා කළ අතර ධාතු කරඬුව සරසා මල්වැසි වැස්සවීය.

රජු පත්තිරිප්පුවට පැමිණෙන තුරු රඳලවරු හමුදා නිලධාරිහු හා සෙසු නිලධාරිහු තමනට ඇති උසස්ම අඳුමින් සැරසී තමන්ට වෙන්වූ කොඩියද රැගෙන සිටිති.රිදී යෂ්ටිය රැගත් අදිකාරම්වරු දෙදෙනාද, අංකුසය අතින් ගත් ගජනායක නිලමේද පැමිණීමෙන් අනතුරුව,රජු පත්තිරිප්පුවේ පෙනී සිටිත්ම ප්‍රශස්ති ගායනා ආරම්භ විය. රජු මහදිකාරම අමතා ඒ ඒ දිශාවල අය පෙළ ගැසී සිටින්නේ දැයි විමසයි. අදිකාරම්වරයා ඒ වග දැන්වූ පසු රජුගේ නියමයෙන් පෙරහර ආරම්භ වේ.

මෙසේ රජුගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු ඇසළ පෙරහර මංගල්‍යය, වර්තමානය වන විට මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද,අනුශාසනා,ආශිර්වාදය මත ශී‍්‍ර දළදා මාලිගාවේ ගිහි භාරකාර දියවඩන නිලමේතුමාගේ මෙහෙයවීමෙන් සිදුකෙරේ. මෙම උතුම් පෙරහර මංගල්‍යය දළදා වහන්සේට පූජෝපහාර පිණිස හා සිවුමහාදේවාලයන්හි දෙවියන්ට භක්ති ප්‍රණාමය පිණිසත්, කලට වැසි ලබා රටේ සමෘද්ධිය ,සෞභාග්‍යය ඇති කර ගැනීම පිණිසත් අසම්භින්නව පවත්වාගෙන යෑම දියවඩන නිලමේතුමන්ගේ හා සිවුමහාදේවාලයන්හි බස්නායක නිලමේවරුන්ගේ ප්‍රධාන කාර්යභාරයයි. ඇසළ පෙරහර මංගල්‍යය යනු ශ්‍රී දළදා පූජෝපහාර මංගල්‍යයක් පමණක් නොව උඩරට කලාකරුවන්ගේ කුසලතා ඔප්නංවන මහාසංස්කෘතික මංගල්‍යයක් ද වේ.

මෙහි සිරි අසිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් නරඹන්නන් බොහෝ දෙනා පෙරහර දිනවල සෙංකඩගලපුරයට ඇදී එතී. එය එක් අතකින් ලොව ඇති අසිරිමත්ම පෙරහර මංගල්‍යයයි.


පසුගිය සතියෙන් - ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික සතර මංගල්‍යය