UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුහුමන් ලැබිය යුතු වැඩිහිටියෝ

බුහුමන් ලැබිය යුතු වැඩිහිටියෝ

“තමන්ගේ ප්‍රඥාවට ගෝචර වන පිළිපැදිය යුතු යහපත් ධර්මතාවයක් ඇත්නම් එය ගරු කරන්නේ යමෙක් ද පිළිපදින්නේ කවරෙක් ද හෙතෙම බුදුරජාණන් වහන්සේ දකින්නේ ය” යනුවෙන් බුදු දහම ඇසුරෙන් අප උගෙන තිබේ. එය සමාජයේ වෙසෙන සෑම පුද්ගලයෙකු විසිනුත් අත්නොහැර පිළිපැදිය යුතු ධර්මතාවයකි.

යම් පුද්ගලයෙකු තම ගෞරවය පුද කළ යුතු ඉහළම තැනැත්තා ළඟට තම මවුපියන් තැබිය යුතු බව ආගමික ශාස්තෘන් විසින් පෙන්වා දී තිබේ. මව්පියන්ට සැලකීම මංගල කාරණයක් වශයෙන් පෙන්වා දෙන බුදු පියාණන් වහන්සේ ‘ගෙදර බුදුන්’ ‘පූර්ව දේවතාවන්’ ආදී වශයෙන් මව්පියන් උසස්කොට සලකන ආකාරය මනාව පැහැදිලි කර ඇත.

මව්පියන්ට නොසැලකීම පුද්ගලයා පිරිහීමට කරුණක් යැයි පෙන්වාදෙයි. පුරාතන සමාජය වැඩිහිටියන් නොසලකා හැරීම දඬුවම් ලැබිය යුතු වරදක් සේ සැලකූහ. මව්පියන්ට නොසලකන්නා සමාජය විසින් කොන්කර දමන ලද බවත් එබඳු පුද්ගලයන් කවර අන්දමේ දරිද්‍රතාවයකට පත් වූව ද කිසිදු උපකාරයක් නොකිරීමට එදා සමාජය ක්‍රියාකොට ඇත. එහෙත් වර්තමානයේ එම තත්ත්වය වෙනස් මුහුණුවරක් ගෙන තිබීම නිසා බොහෝ වැඩිහිටි මව්පියවරුන්ගේ ජීවිත අවසන් කාලය පීඩාකාර දුක්ඛ දෝමනස්සයන්ගෙන් ගෙවීයාමට සිදු වී ඇත.

මව්පියන්ට සැලකීම සම්බන්ධයෙන් බොහෝ ආදර්ශ අපට බුද්ධ චරිතයෙන් උගත හැකි ය. වියපත් සුදොවුන් මහ රජතුමා ගිලන්ව වැදහොත් රජ මාළිගයට එතුමා බැහැදකින්නට බුදුන් වහන්සේ කිඹුල්වත් පුර වැඩියේ මව්පියන් සැලකීම උතුම් ගුණධර්මයක්කොට සලකමින් ය.

සිංහල රාජ වංශය ගැන කතා කළොත් ඔටුනු පලන් කීර්තිමත් රාජ්‍ය නායකයෙකි අටවැනි අග්බෝ රජතුමා. එතුමා රාජ්‍ය සේවයට අයත් සියලුම කටයුතු මහත් කැපවීමෙන් සිදු කළ අතර තම මෑණියන් වහන්සේ සම්බන්ධයෙන් ද බොහෝ සෙනෙහසින් කටයුතු කළහ.

තම වියපත් ආදරණීය මෑණියන් සියතින් ම නහවා කවා පොවා උපස්ථානයෙහි යෙදුනහ. මෑණියන් නැහැවීමෙන් අනතුරුව එතුමිය නෑමට හැඳි වස්ත්‍රය රජතුමා විසින් ම සෝදා පවිත්‍ර කළහ. එම වස්ත්‍රය සේදූ ජලයෙන් රජතුමා තම මුව දෝවනය කළා පමණක් නොව එම ජලයෙන් තම ඔටුන්න අභිෂේකකොට හිස පැළඳ රාජ සභාවට යාමට පෙර මෑණියන් වහන්සේට වැඳ නමස්කාරකොට ආශිර්වාද ලබා ගැනීමට අමතක නොකළහ. මව්පියන්ට සැලකීම ගුණ ධර්ම අගය කරන යහපත් දරුවන් විසින් කළ යුතු යුතුකමක් බව මෙයින් මනාව පැහැදිලි වේ.

බුදුරජාණන් වහන්සේ මව්පියන් හඳුන්වන ලද්දේ “බ්‍රහ්මාති මාතා පිතරෝ’ යන උතුම් වචනයෙනි. ඒ දරුවන් හදන මව්පියන් කොතරම් උසස් තැනෙකලා බුදුන් වහන්සේ විසින් සලකා ඇත්දැයි පැහැදිලි කිරීමකි. සෑම මව්පිය කෙනෙක් ම ‘සතර බඹ විහරණයෙන්’ සමන්විත වන බැව් උන්වහන්සේ වදාළ සේක.

සතර බඹ විහරණයන් යනු මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ෂා යන ගුණාංගයෝ ය. තම දරුවන් තුළ යහපත් ගති පැවතුම් පුරුදු පුහුණු කිරීමෙන් වරදෙහි ආදීනව පෙන්වා දෙමින් සමාජයට වැඩදායක දරුවන් තැනීමේ ගුණය මෙත්තා නම් වේ.

දරුවන්ගේ දුක් කම්කටොලු ඉවසා විඳ දරා ගනිමින් කම්පා වූ සිතින් ඔවුනට පිහිටවීමේ ගුණය කරුණා නම් වේ. තම දරුවන් ඉගෙනීමේ කටයුතුවල යොදමින් යහපත් සමාජයක හොඳ පුරවැසියන් වශයෙන් ජීවත් වීමේ ගුණය මුදිතා නම් වෙයි. එසේ ම තම දරුවන් එකිනෙකා අතර, අමනාපයක්, තරහක් ක්‍රෝධයක් ඇති නොවන පරිදි සියලු දෙනාට ම එක හා සමානව සැලකීමේ ගුණය උපේක්ෂා නම් වෙයි. මෙකී ගුණාංගයන් යහපත් දෙමව්පියන් තුළ දැකිය හැකිය.

මෙසේ මව්පියන් සහ දරුවන් අතර ඇති බැඳීම තහවුරු කෙරෙන තවත් පදනමක් ඇත. එනම් ‘සතර සංග්‍රහ වස්තූන්’ කෙරෙහි මනා අවබෝධයකින් කටයුතු කිරීමේ ගුණය දෙමව්පියන් තුළ අඩුවක් නැතිව පැවතීම ය. තම ශක්ති පමණින් දරුවන්ට සංග්‍රහ කිරීම, ප්‍රිය වචනයෙන් ඇමතීම, කතාබස් කිරීම, ගුණ ධර්ම කියා දෙමින් අධ්‍යාපන කටයුතු කෙරෙහි සාර්ථකව යොමු කිරීම දරුවන්ගේ මානසික ක්‍රියාකාරකම් අනුව ඔවුන් සමඟ මිත්‍රශීලිව සතුටින් කල් ගෙවීම යන මෙකී කරුණු යහපත් දෙමව්පියන් විසින් මනාව ඉටු කළ යුතුය.

දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව හා සමානාත්මතාවය යනුවෙන් බුදුන් වහන්සේ විසින් දක්වා ඇත්තේ මෙයයි. මෙයාකාරයෙන් දිවි ඇතිතාක් කල් දෙමව්පියන් හා දරුවන් අතර ඇති බැඳීම් එමෙන් ම සහයෝගීතාව නොකෙළෙසා රැකිය යුතුවාක් මෙන් ම තම ජීවිතය පරදුවට තබා දරුවන් රකින දෙමව්පියන්ට කළගුණ සැලකීමෙන් පිහිට වීමට නම් දෙමව්පියන් විසින් තමන් වෙනුවෙන් කරන ලද සුවිශාල වූ මෙහෙය දරුවන් විසින් අමතක නොකළ යුතුය.

නූතන සමාජය දෙස බලන විට මව්පියන්ට සැලකීම බොහෝදුරට දරුවන් අතින් නොසලකා හැරෙන්නේ දරුවන්ට ආවාහ විවාහ කටයුතු කරදීමෙන් අනතුරුව හා ඉඩකඩම් ගේ දොර වැනි දේපළ දරුවන්ට උරුම කරදීමෙන් පසුව ය. දිවි ඇති තාක්කල් තමන්ව පෝෂණය කරමින් රැකබලා ගනීවිය යන විශ්වාසය මත බොහෝ දෙමව්පියන් තම දරුවන්ට දේපොළ පවරා දෙන්නේ අසීමිත සතුටකිනි. එය දෙමව්පියන් සතු යුතුකමක් ද වශයෙනි. දරුවන් පමණක් නොව දරුවන්ගේ දරුවන් (මුණුපුරන්) සමඟ එක්ව විසීමේ ඉමහත් ආශාවෙනි.

එහෙත් වැඩි කලක් ගතවෙන්නට පෙර මව්පියන් වෙතින් සිය පැතුම් බොඳවීයන්නේ, ඔවුන් නිතර නිතර රෝගාතුරවීමෙන්, රුචි අරුචිකම් අනුව ආහාරපාන සැපයීමෙන්, ආගමික කටයුතු සඳහා සහයෝගයදීමෙන්, ඇඳුම් පැළඳුම් සැපයීම වැනි කළ යුතු යුතුකම් ඇතැම් දරුවන්ට මහත් හිසරදයක්වීමෙනි. අවංකවම කල්පනා කළහොත් එම තත්ත්වය කෙළෙහිගුණ දන්නා දරුවන් තුළ ඇති නොවිය යුතු නමුත් තම බලාපොරොත්තු සිහිනයක් බවට පත් වූ දෙමාපියන් අවසානයේ අසරණ බවට පත්වන්නේ මෙතැන්හිදී ය. ඉන් පසු මව්පියන්ගේ බලාපොරොත්තුව වැඩහිටි නිවාසයකට ඇතුළුවීමට මෙන් ම, දරුවන්ගේ වෑයම සිය මහලු මව්පියන් වැඩහිටි නිවාසයකට කොටුකර ප්‍රශ්නවලින් මිදීමට ය.

වියපත් අසරණ මව්පියන් හා දරුවන් අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය සම්බන්ධතාවය බිඳ වැටීගෙන යන ප්‍රවණතාවයකට අද ලාංකීය සමාජය හැඩගැසී ඇති බව මෙයින් පැහැදිලිව ම පෙනේ. විශේෂයෙන් බෞද්ධ රටක් හැටියට මෙහි සදාචාරාත්මක නොවන පසුබිම ගැන සලකා බලන විට සිදුවීගෙනයන තත්ත්වය බෙහෙවින් කනගාටුදායක ය.

ජීවත් වීමට ආදායමක් නැතිව සැලකීමට කිසිම කෙනෙකුගෙන් පිහිටක් නොලැබ මරණයෙන් පසු සිය දේහය පවා කිසිවෙකුටත් නොදෙන ලෙස ඉල්ලමින් නිවාසවලට ඇතුළුව ජීවිතයේ සැඳෑසමය ගෙවන ඇතැම් මව්පියන් කල දවස ගෙවන්නේ කොතරම් නම් සිත් පීඩාවෙන් ද? තම අතීතය සිහිකරමින් නිතර දෙවේලේ කඳුළු සලන ඇතැම් මව්පියවරුන්ගේ ජීවිතය පිළිබඳ ශෝචනීය කතාන්තරය දුක දන්නා බොහෝ දෙනෙකුගේ හදවත් ගිනිගෙන දැවෙන තරම් ය.

මව්පියෝ නම් දරුවන්ගේ වරද කොතෙක් තිබුණ ද ඒ ගැන කනස්සලු නොවන්නා හ. එවෙලේ පමණක් හිතටගෙන තවත් සුළු මොහොතකින් එම වරද අමතක කරන්නාහ. සෙනෙහසින් දරුවන් හැදූ මව්පියන් ගති පැවතුම් අතින් යහපත් වූව ද ඇතැම් දරුවන්ට ඒ ගැන හැඟීමක් නැත.

වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය මිනිස් සාර ධර්ම අමතකකොට මුදල් පසු පසම හඹායන නොසන්සුන් දිවිපැවැත්මකට ම ගොදුරු වී ඇත. නාගරීකරණයේ වාණිජ්‍ය රැල්ලට කොටු වූ බොහෝ දෙනෙක් කියන්නේ තමන්ගේ දෙමව්පියන් බලා හදා ගැනීමට තරම් අවකාශයක් එම දරුවන්ට නොමැති බවය. නමුත් දුප්පත් පන්තියේ ඇතැම් කෙනෙක් කියන්නේ තම මව පියා පෝෂණය කිරීමට තරම් ආර්ථික පසුබිමක් ඔවුනට නැත කියාය. එහෙත් ඉතා කනගාටුවෙන් හෝ කිවයුතු දෙයක් ඇත.

හොඳ අධ්‍යාපනයක් ලැබූ එමෙන් ම සාර්ථක ආර්ථික පසුබිමක් ඇති ධනවත් පන්තියේ දරුවන් ඔවුන්ගේ දෙමව්පියන් බැලීමට ඔවුන්ට සත්කාර කිරීමට තරම්’ අවකාශයක් නැතැයි කියනවා නම් එය පිළිගත යුතු සත්‍යයක් නොවේ. අප දන්නා තරම් තොරතුරු ලබා ගැනීමෙන් හා කරන ලද සමීක්ෂණවලදී පැහැදිලිව පෙනෙන කරුණක් නම් ඉඩකඩම් හා ගේදොර ලියවා ගත් විවාහක දරුවන් බොහෝමයක් දෙනා කිසිදු අනුකම්පාවකින් තොරව ඕනෑකමින් ම තම මව්පියන් අත්හැර දමන බව ය.

කිසිදු ඉස්පාසුවක් නැතිව අඩුතරමින් පොහොය දිනකවත් පන්සලකට ගොසින් මලක් පහනක් පුදන්නට තරම්වත් අවකාශයක් නොමැතිව ජීවිතය එකම සටහනක් බවට පත්කර ගත් සමාජයේ උසස් යැයි සම්මත තානාන්තරයන්හි වැජඹෙන සමහර දරුවන්ට පැය ගණනක් රූපවාහිනිය ඉදිරියේ නොයෙකුත් විකාර රූප නැරඹීමට මංගල උත්සව, උපන්දින සාද වැනි කමක් ඵලක් නැති දේට කාලය කා දමමින් පැය ගණන් වරු ගණන් මධුවිත පානයට ඕනෑතරම් කාලය ඇත. එබඳු දරුවන්ට එක පැයක් හමාරක් මාසයකට වරක්වත් අම්මා තාත්තා දැකගැනීමට ඉඩක් නැත. එතරම්වත් ඉඩපහසුකමක් නැති ඇතැම් ධනවත් දූ පුතුන්ට සති ගණන් මාස ගණන් රට රටවල සවාරි යන්නට ඕනෑතරම් කාලයත් ආර්ථික පහසුවත් ඇත.

‘ගෙදර බුදුන්’ ගෙදර තනිකොට අසරණකොට නො එසේ නම් මහලු මඩමකට කොටුකර රටේ දුරබැහැරක හෝ දේශ දේශාන්තරයන්හි යාම යුතුකම් දන්නා කවරෙකු විසින් හෝ අනුමත නොකරනු ඇත.

කරුණු එසේ වූව ද තමන්ට වඩා තම මව්පියන් සුවසේ ජීවත් වෙනවා දකින්නට සතුටු දරුවෝ ද නැත්තේ නොවේ. ගේ දොර තමන් නමට ලීවූව ද ඇතැම් දරුවෝ මව්පියන්ට අපහසුතාවයකින් තොරව ජීවත්වීමට අවකාශ සලසා කුලී ගෙවල්වල වෙසෙන කරුණාවන්ත දරුවෝ ද අද අප සමාජයේ ඕනෑතරම් සිටින බව පිළිගත යුතුය. එසේ සිටිය ද එම දරුවන් මව්පියන්ට සැලකීමෙන්, උපස්ථාන කිරීමෙන් තම යුතුකම් අඩුපාඩුවක් නැතිව ඉටු කරන්නාහ. නිතර දෙවේලේ මවගේ පියාගේ දුක සැප සොයා බලන්නාහ. යම් ගැටලුවක් වේ නම් එය විසඳන්නාහ. එවැනි පුණ්‍යවන්ත දරුවෝ අප අතර කොතෙකුත් ඇත.

තවත් අතකින් බැලුවොත් තම මවට පියාට සලකා කුසල් රැස්කර ගන්නට දරුවන්ට පිනක් තිබිය යුතුය. එවැනි පිනක් නැති දරුවෝ මව්පියන් වෙනුවෙන් යුතුකම් ඉටුනොකිරීමෙන් ඔවුන් නොදැනුවත් ම පව් සිදු කර ගනිති. එවැනි දරුවන්ගේ ජීවිත ද අවසන් කාලයේදී ගෙවා මියැදී යන්නේ මෙහි මුලින් සඳහන් කළ මව්පියන් ජීවත් වූවාටත් වඩා දස දහස් ගුණයක දුක්ඛ දෝමනසයන්ට මුහුණ දෙමින් ය. එහෙම දෙයක් නැහැයි තමන් වරදින් මිදෙන්ට මෙන් සිතුව ද එලෙස මිය යන්නවුන්ට නිරය මිස අන් කවර සුගතියක් ද?

 

     ‍නිකිණි පසළොස්වක පෝය

නිකිණි පසළොස්වක පෝය අගෝස්තු මස 29 වැනිදා සෙනසුරාදා පූර්වභාග 03.35 ට ලබයි. 30 වැනිදා ඉරිදා පූර්වභාග 0.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 29 වැනිදා සෙනසුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 05 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]