UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැනසීමේ සුවය ලබාදෙන බුදුදහම

සැනසීමේ සුවය ලබාදෙන බුදුදහම

බුදු දහමට සමාජ විද්‍යාත්මක පදනමක් තිබෙනවා. සමාජයේ විවිධ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න බුදු දහමෙන් පුළුවන්. එදිනෙදා සිදුවන ගැටලුවලට ලැබෙන විසඳුම්වලට අමතරව කෙනෙකුට පරමාදර්ශි තත්ත්වයක් බුදු දහමෙන් ළඟා කර ගන්න පුළුවන් කියන සමාජ විද්‍යාත්මක නිර්වචනය අපට හරිම වැදගත්.

බුදුදහම සමාජ දර්ශනයක් නැති ආත්මාර්ථකාමි ඉගැන්වීමක් ඇති දහමක් බවට වැරැදි මතයක් පෙර,අපර දෙදිග ඇතැම් විද්වතුන්ගේ චින්තනයයි. ඔවුන්ගේ මෙම වැරැදි මතයට හේතු වී තිබෙන්නේ බුදුදහම නියෝජනය කරන භික්ෂූන් වහන්සේ සමාජයේ ව්‍යුක්ත කොටසක් ලෙසයි. පැරැණි සූත්‍රවලට අනුව කැලේ, රුක්ඛමූල අසල, සෙනසුන්වල, සුසාන භූමියන්හි වාසය කළ භික්ෂූන් වහන්සේ සමාජයෙන් ඈතට ගිය පිරිසක් . මේ උත්තමයන් වහන්සේලා සමාජ සේවයට සම්බන්ධ පිරිසක් නෙමෙයි කියලා පෙර අපර දෙදිග ඇතැම් විද්වතුන්ගේ වැරැදි මතයයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදි සසර දුකෙන් වළකින්න උත්සාහ දරන්න කියලා බුදුහාමුදුරුවො වදාළා. මේ නිසා ගමෙන්, නගරයෙන් , සමාජයෙන් ඈත්වෙලා භික්ෂූන් වහන්සේලා හුදෙකලාව වෙසෙන බව පැරැණි ත්‍රිපිටක ග්‍රන්ථ හදාරන පෙර, අපර දෙදිග වියතුන් පවසනවා.

බුදුදහමට සමාජගත වැඩපිළිවෙළක් නැති බවත්, එය මිනිසාගේ එදිනෙදා දියුණුවට අදාළ නොවන බවත් ඒ නිසා බුදු දහම තාපස ආගමක් (Ascetic Religion) බවත් ඇතැමුන්ගේ අදහසයි. ඉන්දියානුවත්, යුරෝපීයන් තදින්ම එළඹ ඇති මේ මතය සම්පූර්ණයෙන්ම වැරැදියි. සමාජ විද්‍යාත්මකව බැලීමේදී ආගම් වර්ග විවිධයි. අතීතයේ ස්වභාව ධර්මය අදහන පිරිසක් හිටියා වගේම දැනුත් කලාතුරකින් සිටිනවා.

ඉන්දියාවේ සාහිත්‍ය නිර්මාණ බිහිවුණේ ධර්මය මූලික කරගෙනයි. ගංගා, ඇළ, දොළ, කඳු ආදී ස්වභාව සෞන්දර්ය ආරෝපණය වුණේ දේවත්වයෙන්.මේ අයුරින් විවිධ ආගම්වල මිත්‍යා විශ්වාස තිබුණා. ලෝකයේ බොහෝ රටවල බොහෝ දෙනා යකැදුරන්, සාස්තරකාරයන් විශ්වාස කරනවා. මේ මඟින් ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් කියලා බොහෝ දෙනා වැරැදි මතයක එලැඹිලා .දේවවාදි ආගම් ලෝකයේ බොහෝ රටවල තිබෙනවා. නමුත් මිනිසාට ස්වාධීනව කල්පනා කරලා පරමාදර්ශි තත්ත්වයක් ළඟා කර දෙන ආගම් තිබෙන බව සමාජ විද්‍යාඥයන්ගේ මතයයි. බුදුදහම අයත්වන්නේ මෙම කොටසටයි.

එසේනම් බුදු දහමට සමාජ විද්‍යාත්මක පදනමක් තිබෙනවා. සමාජයේ විවිධ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්න බුදු දහමෙන් පුළුවන්. එදිනෙදා සිදුවන ගැටලුවලට ලැබෙන විසඳුම්වලට අමතරව කෙනෙකුට පරමාදර්ශි තත්ත්වයක් බුදු දහමෙන් ළඟා කර ගන්න පුළුවන් කියන සමාජ විද්‍යාත්මක නිර්වචනය අපට හරිම වැදගත්.

සමාජ විද්‍යාත්මකව ආගමක කාර්යයන් කෙබඳුදැ’යි පෙර, අපර දෙදිග වියතුන් හඳුන්වනවා. නිදසුනක් ලෙස මිනිසාගේ එදිනෙදා ගැටලුවලට විසැඳුම් සැපයීම ආගමේ කාර්යයි.

මේ ලෝකයේ තිබෙන ලොකුම ප්‍රශ්නය දිළිඳුකමයි. මේ නිසා ඉතියෝපියාව,සෝමාලියාව, වගේ අපි‍්‍රකානු රටවල මන්දපෝෂණය බහුලයි.

එසේ නම් ආගමේ කාර්යය සමාජයේ එදිනෙදා ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම නම් රටක දිළිඳුකම නැතිකරන ක්‍රම, උපක්‍රම මොනවාද කියලා අපට බුදුදහම ඇසුරෙන් පරීක්ෂා කරන්න පුළුවන්.

බුදු දහම තිබෙන සමාජයක අපට ඇති සම්පත් නිසිලෙස බෙදා නොහැරීම හෝ රටේ සම්පත් ජනතාව අතර සාධාරණව බෙදා නොහැරීමෙන් දිළිඳුකම ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ජනකාන්ත ප්‍රකාශයක් වදාළා. මේ බව දීඝ නිකායේ නිබඳවම චක්කවත්තී සීහනාද සූත්‍රයෙන් දැක්වෙනවා. මේ අනුව නිලධාරින් අතර රටේ ධනය සාධාරණ ලෙස බෙදා නොහැරීම දිළිඳුකම බව ඔප්පු වෙනවා.

මිනීමැරුම්, සොරකම ආදි සියලුම දුර්ගුණවලට දුෂ්චරිතවලට මුල දිළිඳුකමයි. යම් රටක දුගී බව දුරුකරන්න සිදුකරන විවිධ වැඩ පිළිවෙළවලට බුදු දහම එකඟ වන්නේ නැහැ. එයට හේතුව නිර්ධනයන් අතර ධනය බෙදා හැරීම නිසි පිළිවෙත නොවන බවත් නිර්ධනයන් අතර ධනය උපයන මාර්ග ඇති කළ යුතු බවත් චක්කවත්ති සීහ නාද සූත්‍රය ඇසුරෙන් බුදුරදුන් වදාළා.

මේ අනුව සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, රජයක් සහ යම් ආයතනයක් මඟින් ආධාර කිරීමෙන් පමණක් දිළිදුකම දුරු නොවන බවත්, එදිනෙදා ප්‍රශ්නවලට කිසියම් ආගමක් පිළිතුරු දෙන්නේ නම් එම ආගමට සමාජ ඉල්ලුමක් ඇති බවයි.

ආගමක කාර්යය වන්නේ මිනිසාට ලැබෙන ආගමික සැනසිල්ලයි. එසේ නොවුණොත් එවැනි ආගමකට පැවැත්මක් නෑ. පරමාදර්ශි තත්ත්වයක් පමණක් කථාකරන, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ගැන පමණක් කථා කරන, පාරිභෝගික ප්‍රශ්න (අත්දැකීමට හසු නොවන) ගැන කතා කරන ආගමකට පැවැත්මක් නෑ. මිනිසාට ශාන්තියක්, සරණක්, සුවදායක බවක් ලබාදෙන ආගමක පැවැත්ම අනිවාර්ය නම් බුදුදහමට ඇත්තේද එවැනි සාර්ථක වැඩ- පිළිවෙළක්.

බොහෝ දෙනා මල්පින්කම්, බෝධිපූජා, චෛත්‍ය වන්දනා, ධාතු ප්‍රදර්ශන ආදි ආමිස පූජාවන්ගෙන් පමණක් නිවන් දකින්න බෑ කිව්වට මේවා මුල් බුදු සමයේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළම අන්තර්ගත වෙනවා. අරි අටඟි මඟින් නිවනට එලැඹීම පමණක් නොවෙයි මිනිසාගේ එදිනෙදා සමාජ ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමත් මේ තුළ අන්තර් ගත වෙනවා. සම්මා දිට්ඨිය තේරුමක් නෑ කියලා කෙනෙකු පැවසුවොත් ඔහුට කිසිවිටකත් අරි අටඟි මඟ ගමන් කරන්නට බෑ.

පිරිත් සජ්ඣායනාවන් පවා අපමණ කාලයක සිට පැවැත එන්නේ මිනිස් සිත් සතන්වලට සුවදායක වූ නිසයි. මේ අනුව මිනිසාට සැනසීමේ සුවය ඇත්තේ බුදු දහම තුළයි.

මිනිසා නිවැරැදි උත්සාහයන් කරා නිසි අවසාන අරමුණු කරා ගෙන යන වැඩපිළිවෙළ ඇත්තේ බුදුදහම තුළයි.

බොහෝ ආගම්වලට අනුව යම් පුද්ගලයෙක් අධ්‍යාත්මික සුවදායක බව ලබන්නේ ඔහු මිය ගියාට පසුවයි. මේ සියලු ආගම්වලට වඩා වෙනස් වූ බදු දහම තුළ මිනිසා සුවය ලබන්නේ මේ ආත්ම භාවයේම නිසා නිවන් ලැබීම මානසික අත්දැකීමක්  (Psychological experience)  යම් අදහසක් ගත්තොත් උපාසක වර්ග දෙපිරිසක් ඉන්නවා.

කෙනෙකු තිසරණ සරණ ගිය පමණින් උපාසකයකු, උපාසිකාවක් වන්නේ නෑ. උපාසක, උපාසිකා අතර සිල්වත් අයත් ඉන්නවා. මේ සිල්වත් වදන හරිම වැදගත්. පංචශීලය සමාදන් වන්නා සිල්වතෙක්. පංචශීලය සමාජය ව්‍යුහය තුළ ක්‍රියාත්මක වෙද්දී එයට ඇත්තේ කදිම වැඩපිළිවෙළක්

1.මිනිසා තම ජීවිතය පිළිබඳ සහතිකයක් ලබාගත යුතු අතර ඔහු අනෙක් අයගෙනුත් ඒ සහතිකය ලබා ගත යුතුයි.

සමාජය ක්‍රමයෙන් විකාශය වෙත්ම තමන් තවත් කෙනෙකුට කරදරයක් නොකර ඉඳීමුයි කියලා මිනිසුන් තීරණය කළා. සියලු ආගම් එය උකහා ගෙන තමන්ට අවශ්‍ය ලෙස නිර්වචනය කළා. සමාජය බිහිවී අවුරුදු ගණනාවකට පසුවයි ආගම් ඇති වුණේ. මේ නිසා ආගම් කතුවරුන් ප්‍රතිපත්ති ඉගෙන ගත්තේ සමාජයෙන්. ඇතැම් ආගම්වල සතුන් මරන්න එපා අපේ පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාධියාමි පදයට සමානයි.

නමුත් සමාජයේ ප්‍රතිපත්ති සෑම ආගමකම එක වගේ වුණත් එය නිර්වචනයේදි වෙනස්. බොහෝ ආගම්වල පංචශීල ප්‍රතිපත්තිය සමාජගත නෑ.

නමුත් කෙනෙකු කාමරයක සිටිමින් පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි. සිල් පදය අවුරුද්දක් සමාදන් වුණත් වැඩක් නෑ. තමන්ට හිරි හැර කරන අය, තරහාකාරයෝ ඉන්නේ සමාජයේ මිස කාමරයෙහි නෑ. එසේ නම් කෙනෙක් බෞද්ධයකු වන ප්‍රධාන කාරණා අතර සමාජයෙහි වාසය කරමින් පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි සිල් පදය රැකීම වැදගත්.

2.උපයා ගත් දේ ආරක්ෂා කර ගැනීම ස්වභාදහම සියලුදෙනාටම අයිතියි කියන ‘පොදු දේපළ ක්‍රමය බුදුරදුන් වදාළා. පෞද්ගලික දේපළ ක්‍රමයේ ඇති නැති පරතරය නිසා හිඟ පුද්ගලයා යහමින් තියෙන පුද්ගලයාගෙන් යමක් ගැනීම මිනිසුන් කරපු මුල්ම වරද ලෙස බුදුරදුන් වදාළා.

බොහෝ ආගම්වලට අනුව කෙනෙකු උපයා ගත් දේ නැති බැරි අයට ලබාදී මිනිසුන් තුළ සොරකම් කිරීමේ චේතනාව තුරන් කිරීමෙන් අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි’ සික්ඛා පදයට යම් ගැළපීමක් තිබෙනවා. එසේනම් මේ සිල් පදයද අප රැකිය යුත්තේ සමාජයේ සිටයි.

3.පවුල ආරක්ෂා කිරීමේ සිල්පදය පවුලක් කැඩි බිඳි විසිර යන්නේ ගෙදරක ස්ත්‍රිය නිසයි. බුදුදහම හා සමාජ වැඩපිළිවෙළ විග්‍රහ කළ ලන්ඩන් විශ්ව විද්‍යාලයේ රිස්ඩේවිඩ්ස් පඬිවරයා කියන්නේ බෞද්ධ ගෙදරක සිටින්නේ බිසවක මිස රජ කෙනෙකු නොවන බවයි. බිසවකට කරදරයක් වුණොත් ඒ පවුලම කඩා වැටෙනවා. මේනිසා පවුල ආරක්ෂා කර ගැනීමට තෙවන ශික්ෂාපදය යොදා තිබෙනවා.

4. සමාජය ඉදිරියට යන්නේ ‘විශ්වාසය’ මතයි.

මේ වදන තහවුරු කරන මාධ්‍ය භාෂාවයි. එය නියෝජනය කිරීමටත්, සමාජයේ ගැටුම් වැළකීමටත් බුදුරදුන් ‘මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාධියාමි සිල්පදය හඳුන්වා වදාළා.

5. ශ්‍රමය සමාජ සංවර්ධන බලවේගයයි.

දඩයම් . එඩේර, කෘෂි ආදි යුගයන් පසුකරද්දී අපේ ශ්‍රමය රැක ගැනීම සමාජ දියුණුවට අවශ්‍ය වුණා. මේ නිසා සමාජයේ දියුණුවට අවශ්‍ය කරන ‘ශ්‍රම’සාධකය දුර්වල කරන මත්පැන් එපා කියලා. ‘සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී” සික්ඛාපදං සමාදියාමී පදය පෙළගැස්සුවා.

කෙනෙකු මෙම සිල්පදය පන්සලේ සමාදන් වෙනවාට වඩා මත්පැන්හල තිබෙන නගරයේ සමාදන් වීම වඩා වටිනවා.

අප පන්සලට ඇවිත් සිල් සමාදන් වීම සමාජය තුළ ශීලය රැකීමට පෙරහුරුවක්. කිසිවකු සමඟ ප්‍රතිවිරෝධයක් නැතිව සමාජයේ ජීවත්වීමට පුහුණුව ලබන්නේ පන්සලෙන්. එසේනම් මේ සියලු සික්ඛාපද අප රැකිය යුත්තේ සමාජයේ සිටයි. මෙහි කිසිම පුද්ගලික වැඩ- පිළිවෙළක් නෑ.

මේ අනුව බුදුරදුන් පංචශීලය පෙළ ගස්වා තිබෙන්නේ සමාජය මූලික කර ගෙනයි. එසේනම් බුදුදහම සමාජයට වැඩදායක වැඩපිළිවෙළක් නැති ආගමක් ලෙස පෙර,අපරදෙදිග, ඇතැම් විද්වතුන්ගේ වැරැදි චින්තනය අද ක්‍රමයෙන් දුරුවී යනවා.

 

    අධි ඇසළ අව අටවක පෝය

අධි ඇසළ අව අටවක පෝය ජූලි 08 වැනිදා බදාදා අපරභාග 02.56 ට ලබයි. 09 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 12.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 08 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 15 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 07


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]