UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුලියාපිටිය ජයමාන්න අනුස්මරණ ජේ්‍යෂ්ඨ පුරවැසි නිවහන

කුලියාපිටිය ජයමාන්න අනුස්මරණ ජේ්‍යෂ්ඨ පුරවැසි නිවහන

පුණ්‍යවන්ත කාර්යයක්

මාතා පෙත්තිභරං ජන්තුං
කුලෙ ජෙට්ඨා පචායිනං
සණ්හං සඛීල සම්භා සං
පෙසුනෙය්‍යප්ප හායිනං
මංචේජර විනයෙ යුත්තං
සච්චං කොධාවිබුං නරං
තං වේ දේවා තාවතිංසා
ආහුසප්පුරිසා ඉධාති

යන බුද්ධ දේශනාවෙන් පැහැදිලි කරන පරිදි සද් පුරුෂයෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ළඟ තිබෙන ලක්ෂණ හතෙන් එකක් වන්නේ වැඩිහිටියන්ට සැලකීමය. ඔවුන් රැකබලා ගැනීමය. ඔවුන්ට ඇප උපස්ථාන කිරීමය.

සැමදා බෞද්ධානුකූල ජීවිතයක් ගත කරන පරිත්‍යාගශීලීව පරෝපකාරීව ක්‍රියා කරන මානවහිතවාදී දේශබන්දු ලංකාපුත්‍ර ජේ. ඒ. ධර්මසිරි ජයමාන්න මහතා ඉහත සඳහන් බුදු වදන තමන්ගේ ජීවිතයෙන් ප්‍රායෝගිකව පෙන්නුම් කරමින් 2012 ඔක්තෝබර් මස 01 වෙනි දින සිට මහා පුණ්‍යවන්ත කාර්යයකට අතගසා ඇත.

එනම් තම දෙමාපියන්ට පින් පිණිස ‘ජයමාන්න අනුස්මරණ ජේ්‍යෂ්ඨ පුරවැසි නිවහන’ නිර්මාණය කිරීමයි. තමන්ට අයත් අක්කර එක හමාරක පමණ රමණීය භූමි භාගයක, තමන්ට පියාගෙන් උරුම වූ සුවිශාල නිවහනට යාකර වර්ග අඩි 8000 ක පමණ නව ගොඩනැගිල්ලක් තම ධන පරිත්‍යාගයෙන් ඉදිකර එම නිවහන පවත්වාගෙන යනු ලැබේ.

සැලසුම් සහගතව සියලු පහසුකම් සහිතව මෙය නිර්මාණය කර ඇත. කාන්තා හා පිරිමි යන දෙපක්ෂයට ම මෙම නිවහන තුළ නේවාසික පහසුකම් සපයා ඇති වැඩිහිටියන් 24 දෙනෙකු සඳහා ඉඩකඩ පහසුකම් වෙන්වී ඇත.

එම ස්ථානය බෞද්ධාගමික පරිසරයක් තුළ ක්‍රියාත්මකවන ඉතාම ආදර්ශ සම්පන්න නිවහනකි. ජීවිතයේ සැඳෑ සමය ගතකරන අපේ දෙමව්පියන්ට ආධ්‍යාත්මික සුවය ගෙන දෙන වැඩපිළියෙලක් දෛනික කාලසටහනකට අනුව මෙහි ක්‍රියාත්මක වෙයි.

කුලියාපිටිය ජේ්‍යෂ්ඨ පුරවැසි සංගමය මඟින් පාලනය වන මෙම සංගමයේ සභාපති වශයෙන් කටයුතු කරන, මෙම නිවහනේ නිර්මාතෘ ධර්මසිරි ජයමාන්න මහතාගේ නිරන්තර අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වෙයි.

’ජගදුපකෘතිරේව බුද්ධ පූජා’ යන ඉගැන්වීම ආදර්ශ පාඨය කරගෙන ‘ලෝවැසියාට උපකාර කිරීම මහා බුද්ධ පූජාවකි’ යන්න තේමාව කරගෙන මෙම ආයතනය පවත්වාගෙන යනු ලබයි.


ආදර්ශවත්ව කටයුතු කරමු

කුලියාපිටිය ජයමාන්න අනුස්මරණ ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහන නිර්මාණය වූයේ අසරණ, දුකට පත් වැඩිහිටියන්ට පිළිසරණක්වීම පිණිසය. මෙම නිවහන ආරම්භ වී මේවන විට වසර තුනක් සපිරෙමින් පැවතුණත් මේ සඳහා කිසිදු රාජ්‍ය ආධාරයක් හෝ විදේශ ආධාරයක් අප ලබා නැති අතර ඒ පිළිබඳ බලාපොරොත්තුවක් ද අප තුළ නැත.

අප හා එක්වුන කුලියාපිටිය ප්‍රදේශයේ වෙසෙන ප්‍රභූ පිරිස හා දින 365ට දානය සපයන පිරිස අපේ ශක්තියයි. කුලියාපිටිය ජේ්‍යෂ්ඨ පුරවැසි සුබ සාධක සංගමය මේ සඳහා ම සංවිධානය වූ රාජ්‍ය නොවන ලියාපදිංචි සංගමයකි. මේ සාමාජිකයින් හා පළාතේ දානපති පිරිස පසුගිය කාලය තුළ කිසිදු දාන වේලක් හෝ අවශ්‍යතාවයන් ගිලිහෙන්නට ඉඩ නොදී ම සතුටට කරුණකි.

මෙම නිවහන ස්වාධීන සංගමයක් මඟින් පාලනය වන අතර පළාතේ මහා සංඝයා වහන්සේලාගේත්, පළාත් වාසීන්ගේත් ජනාදරයට පත් නිවහනකි.

වසරකට සුවිශේෂී ධර්ම දේශනා 15ක් පමණ මෙහි පැවැත්වෙන අතර මෙහි නේවාසික වැඩිහිටියන් මෙන් ම පාලක පක්ෂය ද සෑම පුරපසළොස්වක පොහොය දිනයකම අධිශීලය සමාදන් වේ. අවම වශයෙන් සාංඝික දාන අටක්වත් වසරකට මෙම නිවහන තුළ පැවැත්වේ. සෑම නේවාසිකයකු ම දිනකට තුන් වරක් බුද්ධ වන්දනා කරන අතර දිනපතා රාත්‍රී පිරිත් සූත්‍ර අටක් සජ්ඣායනය කරයි. නියමිත කාලසටහනකට අනුව ධාර්මික ජීවිත ගත කරන නේවාසිකයින්ට නිර්මාංශ ආහාර පමණක් සැපයෙන අතර ඉතා නිරෝගී මනසකින් යුතුව කටයුතු කරයි.

නේවාසිකයින්ට ආහාර පාන හා සෞඛ්‍ය පහසුකම් සැපයීමෙන් භෞතික ගුණවගාවන් දෙන්නා සේ ම ධර්ම දේශනා, බෞද්ධ පොතපත කියවීම, වතාවත් තුළින් ආධ්‍යාත්මික ගුණවගාවන් ඇති කිරීම ද අපේ ව්‍යායාමයයි. මෙහි කිසිදු සේවකයකු නොමැති අතර මෙම නිවහනේ පාලකතුමා ලෙස කුලියාපිටිය විශ්‍රාමලත් පරිවාස නිලධාරී උපාලි කටුගම්පල මහතා සහ එම මහත්මිය ද සංගමයේ භාණ්ඩාගාරික ආර්. එස්. ජයසිංහ මහත්මිය ද ප්‍රධාන ලේකම් ජයසේන මුදුන්කොටව මහතා ද පද්මිණී ජයමාන්න මහත්මිය හා හේරත් අතපත්තු මහතා ඇතුළු කුලියාපිටිය ජේ්‍යෂ්ඨ පුරවැසි සුබ සාධක සංගමයේ සියලු කාරක සභික මහත්ම මහත්මීන් ඇප කැපවෙමින් කටයුතු කරයි. ආදර්ශමත් ලෙස රටට වැඩදායක වූ අසරණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අත දෙමින් ආදර්ශමත් ව කටයුතු කිරීම අපගේ ඒකායන පරමාර්ථයයි.


කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධක සංගමය

2012 ඔක්තෝබර් මස 01 දින ලෝක වැඩිහිටි දිනය සමරමින් වියපත් වැඩිහිටියන්ට දායාද කළ මෙම සෙවණ, වැඩිහිටියන් 24 දෙනෙකුට සෙවණදීම සඳහා නිර්මාණය වූවකි.

තම දෙමාපියනට පින් අනුමෝදන් කිරීම පිණිස මෙවැන්නක් නිර්මාණය කිරීමට වසර 15ක පමණ කාලයක සිට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙය නිර්මාණය වී ඇත. සුඛෝපභෝගී ලෙස ඉතා සැලසුම් සහගතව නිර්මාණය කර ඇති මෙම නිවහන කුලියාපිටිය බ්‍රීඩා සමූහ ව්‍යාපාර අධිපති අප සංගමයේ සභාපති මානව හිතවාදී දේශබන්දු ලංකාපුත්‍ර ජේ. ඒ. ධර්මසිරි ජයමාන්න මහතා විසින් පරිත්‍යාගකර ඇත. අක්කර එක හමාරක පමණ රමණීය භූමිභාගයක ඔහුගේ ම ධන පරිත්‍යාගයෙන් මෙම නිවහන නිමවා ඇත. ඔහු දැනට ජීවත්වන පියාගෙන් හිමිවූ සුවිසල් මන්දිරය හා යාකර තවත් වර්ග අඩි 8000 ක පමණ නව ගොඩනැගිල්ලද මේ සඳහා උපයෝගී කරගෙන ඇත. මෙම නව ගොඩනැගිල්ල වෙනුවෙන් ජයමාන්න මහතාගේ බිරිඳවන ආර්. එස්. ජයසිංහ මහත්මියගෙන් ද විශාල ධන පරිත්‍යාගයක් ලැබී ඇති අතර සොයුරිය පද්මිණී ජයමාන්න මහත්මිය ද ආධාර කර ඇත.

පළාතේ සුවිසල් සේවාවක් කරනු ලබන කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබ සාධක සංගමය මඟින් මෙහි පරිපාලන කටයුතු සිදු කෙරෙන අතර ප්‍රධාන අනුශාසකත්වය දරන්නේ දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය සඤ්ඤා ලේඛකාධිකාරී ශාසන කීර්ති විශාරද පණ්ඩිත අත්තංගනේ ශාසනරතන නාහිමියන් වන අතර අවට විහාරස්ථාන 7ක නායක ස්වාමින් වහන්සේලා ද අනුශාසකවරුන් වශයෙන් කටයුතු කරයි.

පළාතේ දානපති ප්‍රභූන් 365 දෙනෙකුගේ නොමද දායකත්වයෙන් හා ඊට බැඳුණු 4600ක් පමණ වූ දානපතියන් නිසා මෙම ස්ථානයට ආහාරපාන නොඅඩුව ලැබෙයි. කිසිම වැඩිහිටියෙකුගෙන් මුදල් භාරගෙන ඇතුල් කර නොගනී. හුදෙක් අසරණ, අනාථ, අත්හල තත්ත්වයට පත් අයට පිහිටවීමේ නිස්සරණාධ්‍යාසයෙන් නිර්මාණය වී ඇති මෙම නිවහන ආදර්ශයකි.

මෙම නිවහන තුළ සුවිසල් භාවනා ශාලාවක් දෙවන මාලයේ ඉදිවී ඇති අතර පහත මාලයේ බෞද්ධ මන්දිරයකි. බැහැරට පොතපත ගෙනයාමට හැකි බෞද්ධ පොත්පත් අඩංගු පුස්තකාලයක්ද, නොමිලේ බෞද්ධ පොතපත බෙදාදෙන බෞද්ධ පොත් මන්දිරයක් ද මෙහි ඇත.

ලංකාවේ ඕනෑම පළාතකින් මෙම නිවහනට නේවාසිකයින් භාරගන්නා අතර ඒ අය වයස අවුරුදු 60 ඉක්මවූ අසරණ, අනාථ, අත්හල තම ශාරීරික කටයුතු තමා විසින් ම කර ගැනීමට හැකි අය විය යුතුය. සියලු ආහාර පාන, ඇඳුම්, පැළදුම්, සෞඛ්‍ය සේවා නොමිලයේ සැපයෙන අතර නිර්මාංශ ආහාර වේලක් සැපයේ.

මෙම නිවහන තුළ තවත් ගැහැනු, පිරිමි 12 දෙනෙකුට පමණ ඉඩකඩ ඇති අතර තම ජීවිත කතාව ලියූ ලිපියක් සමඟ අයදුම්පතක් එවීමෙන් එවන තොරතුරුවල සත්‍යතාවය මත ඇතුළු වීමට හැකිය.

ග්‍රාමසේවක සහතිකය හා චරිත සහතික 2ක් හැඳුනුම්පතේ පිටපතක් හෝ සහතික කළ ඡායාරූපයක් අයදුම් කිරීමෙන් මෙම නිවහනට ඇතුළු විය හැක.

 

    අධි ඇසළ අව අටවක පෝය

අධි ඇසළ අව අටවක පෝය ජූලි 08 වැනිදා බදාදා අපරභාග 02.56 ට ලබයි. 09 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 12.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 08 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 15 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 07


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]