UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුජ‍ාච පූජනීයානං

පුජ‍ාච පූජනීයානං

රන්දොඹේ සුමනාලෝක නා හිමි

මතුගම ශාසනාරක්ෂන බලමණ්ඩලයේ හිටපු සභාපති දක්ෂිණ ලංකාවේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක රන්දොඹේ සුමනාලෝක නාහිමිපාණන් වහන්සේගේ පැවිදි දිවියට ඉකුත් 11 දිනට වසර පනහක් (50) සපිරිණි.

අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී බටහිර පස්දුන් කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පාතේගම සුමනසිරිතිස්ස නා හිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයෙකු වූ උන්වහන්සේ 1965.06.11 වැනි දින පැවිදි දිවියට පත්විය. 1973 ජූනි 11 දින උපසම්පදාවට පත් උන්වහන්සේ මතුගම පාන්තිය ශ්‍රී සුමංගල විශ්වවිද්‍යාල පරිවේණස්ථානයේ උසස් අධ්‍යාපනය හදාරා සිය ගුරු දේවයන්ගේ අපවත්වීමෙන් පසු කොලැහැකඩ පනස රුක්ඛාරාමය විහාරාධිපතිත්වයට පත් විය.

තම පරපුරේ විහාරස්ථාන වන මිදලන ගංගාරාමය, පල්ලේගොඩ පුෂ්පාරාමය යන විහාරස්ථානවලද ආධිපත්‍ය හොබවන අතරතුර මතුගම ඉඳිගොඩතැන්න උභයබෝධිරුක්ඛාරාමය නමින් නව විහාරස්ථානයක් ආරම්භ කළහ.

ශාසනික සහ පොදුජන කටයුතුවලදී ජනපි‍්‍රයතාවයකින් කටයුතු කරන නාහිමිපාණන් වහන්සේගේ ජීවිත කාලයේ වැඩි කොටසක් බෝධීන් වහන්සේ මුල්කර ගත් සෙත් ශාන්තිවල යෙදෙමින් පොදුජනතාවට ආශිර්වාද කටයුතුවල යෙදෙති. ආනුභාව සම්පන්න කොස්පැළේ පන්සලේ බෝධි පූජාව සහ සෙත්කවි ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. බුදුගුණ මුල්කරගත් ආශිර්වාදාත්මක බෝධි පූජාව සහ සෙත් කවි මාලාවෙන් ඉතා අසාධ්‍ය රෝගීන් පවා සුවපත් කර ඇත. සෑම රාත්‍රියකටම ආශිර්වාද පතා පැමිණෙන රෝගීන්ගෙන් සහ සැදැහැවතුන්ගෙන් පිරුණ මෙම විහාරස්ථානය තව දුරටත් බැබළවීමට නාහිමියන්ට තුනුරුවනේ ආශිර්වාදයෙන් දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


කොටුවිල විමලකීර්ති නා හිමි

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ සමාරම්භකයාණෝ කොළඹ නව කෝරළේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ධූරන්ධර කෝට්ටේ රාජ මහා විහාරාධිපති (1831-1872) ධර්මකීර්ති ශ්‍රී මලිගස්පේ මංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. උන්වහන්සේගේ බොහෝ ශිෂ්‍යවරයන් අතුරින් කහතුඩුවේ ශී‍්‍ර ඤාණානන්ද මහා ස්වාමින් වහන්සේ ප්‍රමුඛය.

කොළඹ නව කෝරළේ හා නව තොටමුණේ ප්‍රධාන සංඝනායක ධූරයද හෙබ වූ උන්වහන්සේට සෝමානන්ද, දේවානන්ද, ඛේමානන්ද හා ගුණානන්ද යනුවෙන් ප්‍රධාන ශිෂ්‍යයෝ සිව් නමකි. ඒ අතුරින් කහතුඩුවේ දේවානන්ද හා සියඹලාගොඩ ගුණානන්ද නාහිමිවරුන්ගේ ශිෂ්‍ය රත්නය වූයේ 1960 ජුනි 25 වැනිදා අපවත් වී වදාළ වනවාසල පුරාණ විහාරාධිපතිව වැඩ විසු හෝකන්දර විමලසිරි මාහිමියෝය.

ඒ අනුව එවක් පටන් අද දක්වාම වනවාසල පුරාණ විහාරාධිපති ධූරය හොබවන සාහිත්‍ය කීර්ති ශ්‍රී සද්ධර්ම වාගීශ්වර කොටුවිල විමලකීර්ති නායක හිමිපාණන් විමලසිරි මාහිමිපාණන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයයි. උදම් ඇනිය හැකි සම්භාවනීය සඟ පරපුරක වර්තමානය නියෝජනය කරන මහ පුරුකක් වූ කොටුවිල නාහිමියෝ ජූලි 8 දා 80 වැනි ජන්ම දිනය සමරති. මේ කෙටි සටහන ඒ නිමිත්තෙනි.

කොළඹ සේදවත්තේ කොටුවිල ග්‍රාමයේ පී.ඩබ්ලිව්. රණසිංහ හා සිසිලියා පෙරේරා දම්පතීන්ට දාව 1935 ජූලි 8 වැනි දින උපත ලද පි‍්‍රයානන්ද රණසිංහ වීරක්කොඩි කුමරුවා සහෝදර සහෝදරියන් දස දෙනෙකුගෙන් යුත් පවුලේ සය වැන්නා විය. සේදවත්ත හා කැලණිය ධර්මාලෝක මැදි විදුහල්වලින් මූලික අධ්‍යාපනය ලැබූ මේ පින්වත් කුමරා 1950 ජනවාරි 1 වැනි දින ප්‍රවෘජ්‍යා භූමියට පත් විය. එවක විද්‍යාලංකාර පිරිවෙන්පතිව වැඩ විසු කිරිවත්තුඩුවේ නායක හාමුදුරුවෝ එහිදී කොටුවිල විමලකීර්ති නාමය තැබූහ. එදා විද්‍යාලංකාර මහ පිරිවෙනෙහි වැඩ විසූ ධර්මධර විනයධර බහුශ්‍රැත මහ තෙරවරුන්ගේ ඇසුරේ උගතමනා ශබ්ද ශාස්ත්‍රාදිය මතුනොව ධර්ම විනය ද ප්‍රගුණ කළ විමලකීර්ති හිමියෝ පසුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සරසවි අධ්‍යාපනයේ විශිෂ්ට පළ නෙළා ගත්හ.

සිය ගුරු දේවයාණන් වහන්සේ හදිසියේ අපවත් වී වදාළෙන් වනවාසල පුරාණ විහාරාධිපතිත්වයට පත් නාහිමියෝ එය සකල විධ විහාරාංගවලින් සමන්විත කොට වර්තමාන තත්ත්වයට ගෙන ඒමට කැපවී ක්‍රියා කළහ.

1964 සිට 1968 දක්වා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස හා 1971 සිට 1975 දක්වා කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන්පතිව කටයුතු කිරීම විමලකීර්ති නාහිමිපාණන්ගේ අධ්‍යාපන සේවයේ විශිෂ්ට අවස්ථා දෙකකි. සරසවි, පිරිවෙන්, මහ විදුහල් ඈ ආදි අධ්‍යාපන ආයතන රැසක කෘතහස්ත ආචාර්යවරයෙකු ලෙස සේවය කළ මුන් වහන්සේ ඒ සත්විසි වසර පුරා මෙකල අසරණ අහිංසක දුවා දරුවන්ගේ නැණ නුවන් දැල්වීමට කළ මෙහෙවර අසමසමය.

කොතරම් කාර්යබහුල ජීවිතයක් ගත කළ ද තුරුණු වියේ පටන්ම ශාස්ත්‍රීය කටයුතු කෙරෙහිද මනා අවදියකින් කටයුතු කිරීමට විමලකීර්ති නාහිමිපාණන් සමත් වූ බව දැක්වෙන ශාස්ත්‍රීය ලිපි ලේඛන රාශියක් තත්කාලීන පුවත්පත් සඟරාවේ මංගල කලාපයේ සම සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කළ මුන්වහන්සේ එදා ජනපි‍්‍රය සඟරාවක් වූ ‘රසවාහිනියට’ වසර ගණනාවක් ශාස්ත්‍රී ලිපිලේඛන සැපයූහ. මහාචාර්ය තිස්ස කාරියවසම්ගේ පැරණි ගද්‍ය සාහිත්‍ය නම් කෘතිය අළලා දිනමිණ පුවත්පතට ලියූ විවාරයද ශාස්ත්‍රීය අතින් වැදගත්ය.

ජීවිත කඩ ඉමේ දශක සතක් ඉක්ම ගිය ද උන්වහන්සේගේ සුරත රැඳි පන්හිඳ තවමත් ජවසම්පන්නය. මේ වසර මුලදී මුද්‍රණයෙන් එළි දුටු ‘සෙනෙහස’ කාව්‍ය ග්‍රන්ථයත් “නිස්සරණ” ධර්ම දේශනා සංග්‍රහයත් සාක්ෂි ය.

උන්වහන්සේගේ ජාතික, ආගමික, ශාස්ත්‍රීය හා සමාජයීය මෙහෙවර අගය කරනු වස් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සභාව 1992 ජනවාරි 18 වැනිදා උන්වහන්සේට ‘සද්ධර්ම වාගීශ්වර විමලසිරි” යන සම්මානය සහිත වූ ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පුද කළ අතර එකී අක්ත පත්‍ර ප්‍රදානෝත්සවය දිවංගත ජනපති ඩී.බී. විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කොටුවිල විමලකීර්ති ගුරු හිමිපාණන් වහන්සේට ස්වකීය ශාසනික ආගමික මෙහෙවර පෙරට ගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සඳහා තුණුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමු.


බුත්පිටියේ සමිත නා හිමි

ගම්පහ ඉඳිගොල්ලේ ආනන්ද බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය බුත්පිටියේ සමිත නාහිමිපාණන් වහන්සේ ශ්‍රී සුමතිපාල වංශාලංකාර නාහිමි, සීනාදි සිව් කෝරළේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබා තිබීම හැමගේ අමන්දානන්දයට හේතුවකි.

දැනට 54 වියට පත් සමිත නාහිමිපාණෝ මෙලොව ජනිත වූයේ 1961 වෙසක් මස 10 වෙනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ බුත්පිටියේ දීය. දෙමාපියන් වූයේ බුත්පිටිය පොල්හේනේ විජේසුන්දර ලේකම්ලාගේ දොන් ජිනදාස විජේසුන්දර හා කැරගලදෙනියේ ගෙදර අරියප්පෙරුම රාමනායකලාගේ දෝන හේමාවතී රාජකරුණා සෙනෙවිරත්න යන දම්පතීන්ය.

මූලික අධ්‍යාපනය බුත්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන්ද උසස් පෙළ විද්‍යා විෂයන් හේනේගම මධ්‍ය මහා විද්‍යාලයෙන්ද ලබා ඇත. 1982 මාර්තු 31 වෙනි දින උපාධ්‍යාය කහටපිටියේ සුමතිපාලාභිධන අනුනායක හිමියන්ගේ ආචාර්යත්වයෙන්ද ඊරියගම පුඤ්ඤාරම්භ හා කිඩගම්මුල්ලේ පේමසිරි හිමිවරුන්ගේ මූලිකත්වයෙන්ද එම කුල දරුවා පැවිදි කළ අතර අධිශීලයට පත්වූයේ 1984 ජූනි මස 15 දිනදීය. භාවනානුයෝගීන්ට කර්මස්ථාන හා උපදෙස් නාහිමියන්ගේ මෙහෙයවීමෙන් සිදුවේ.

ශාසනිකවූත් සමාජමයවූත් කර්තව්‍යයක් සිදුකරන නාහිමියන්ට චිරාත්කාලයක් ලෝ සසුන් වැඩකිරීමට තෙරුවන් සරණින් නිරෝගිභාවය, කායික හා චිත්ත ශක්තිය හා දීර්ඝායු ලැබේවා.!


චන්ද්‍රාලෝක හිමි

ගාල්ල කොටුව ශ්‍රී සුධර්මාලය පුරාණ මහා විහාරවාසී හිනිදුම චන්ද්‍රාලෝක සාමණේර හිමි පසුගිය ජූනි 09 දා මහනුවර මල්වතු විහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබීය. විහාරස්ථානයේ විහාරාධිපති පනංගල හේමාලෝක හින්ගේ ශිෂ්‍ය හිමි නමක් වන චන්ද්‍රාලෝක හිමි ගාල්ල මහමෝදර ශ්‍රී ගුණෝදය මහ පිරිවෙණන් මූලික අධ්‍යාපනය ලබා මහනුවර අස්ගිරිය මහාවිහාර පිරිවෙණින් උසස් අධ්‍යාපනයේ යෙදේ.

දායක සභාව විසින් ඒ පිළිබඳව විශේෂ පුණ්‍ය කටයුතු රැසක් සංවිධානය කර ඇත. ජූලි මස 01 වන ඇසළ පුන් පෝය දින සවස 2.00 ට චන්ද්‍රාලෝක හිමියන් පිළිගෙන කොටුව සුධර්මාලය විහාරස්ථානය දක්වා පෙරහරකින් වඩම්මවනු ලැබීය. රාත්‍රී 7.30 ට මංගල ධර්ම දේශණය පැවැත්වන අතර එදින රාත්‍රී 9.00 සිට පසුදා පහන්වනතුරු පරිත්‍රාණ ධර්ම දේශනාවක්ද දහවල සංඝගත දක්ෂිණාවක් ද පැවැත්විණි.


මල්දෙණියේ ඤාණ මෛත්‍රී හිමි

රදාවඩුන්න ශ්‍රී මහින්දාරාමාධිපති, සමස්ත ලංකා අමරපුර මහා නිකායේ චූලගන්ධි පාර්ශ්වයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, මනෝවිද්‍යා කථිකාචාර්ය රදාවඩුන්නේ අමරඤාණතිස්ස නාහිමියන්ගේ ශිෂ්‍ය මල්දෙණියේ ඤාණ මෛත්‍රී හිමියන් අධිශීලයෙහි පිහිටවීම ගාල්ල බලපිටිය පුෂ්පාරාම මූල මහා විහාරීය බද්ධ සීමා මාලකයේදී ජූලි මස 18 වැනිදා දින සිදුකෙරේ.

නව උපසම්පන්න ස්වාමීන් වහන්සේ පිළිගැනීමේ උත්සවය ජූලි මස 25 වැනිදා රදාවඩුන්න ශ්‍රී මහින්දාරාම විහාරයේදී පැවැත්වෙන අතර උන්වහන්සේගේ මංගල ධර්ම දේශනය එදින රාත්‍රියේ එම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

 

    අධි ඇසළ අව අටවක පෝය

අධි ඇසළ අව අටවක පෝය ජූලි 08 වැනිදා බදාදා අපරභාග 02.56 ට ලබයි. 09 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 12.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 08 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 15 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 07


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]