UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආහාර අනුභවය

ආහාර අනුභවය

මිනිස්සු අධික ලෙස හා ඌණ ලෙස ආහාර අනුභව කිරීම නිසා නිරන්තර රෝගාබාධයන්ට ගොදුරු වෙති. ඒ නිසාම තමන් උපයන ධනයෙන් කොටසක් ඇතැම් විට වෛද්‍ය ගාස්තු හා ඖෂධ වෙනුවෙන් වැය කරති. එසේ වන්නේ තවම අපි නිවැරදි ව බෞද්ධ ආහාර සංකල්පය හඳුනා නො ගත් හෙයිනි. අප නිවැරදි ව ආහාර ගත යුත්තේ කෙසේද? යන්න මෙම ලිපියෙන් පැහැදිලි කරන්නෙමු. සංයුත්ත නිකායේ දෝණපාක සූත්‍රය ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරේ.

බුදුහාමුදුරුවෝ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩඉන්න කාලයේ කොසොල් මහ රජු වෙනුවෙනුයි මෙම දෝණපාක සූත්‍රය දේශනා කළේ. කොසොල් මහ රජු ද්‍රෝණයක පමණ බත් හා ඒ හා සමානම හොදි ව්‍යංජන එක වරකට අනුභවකර තිබේ. ඒ බව අටුවාව දක්වන්නේ “දොණස්ස තණ්ඩුලානං පක්කභත්තං තදුපියඤ්ච සූපඛ්‍යඤ්ජනං භුඤ්ජති” යනුවෙනි. ද්‍රෝණයක් යනු නැලි හතරක ප්‍රමාණයකි. රජු එක් වේලකට නැළි හතර බැගින් දවසේ වේල් දෙකට නැලි අටක ආහාර අනුභව කොට ඇති බව මෙයින් පැහැදිලි වේ.

රජු දිනපතාම ආහාර අනුභව කිරීමෙන් පසුව බුදුහාමුදුරුවන් හමුවට යාම සිරිතකි. එසේ ගිය එක් දිනක රජුට බුදුහාමුදුරවෝ ඉදිරියේදි බලවා භත්ත පරිලාභො උදපාදි’ මහත් බත් මතයක් ඇති වුණා. තවත් ටිකවේලාවකදී මහන්තෙහි අස්සාසෙහි අස්සසති’ මහත් සේ ශබ්ද නගමින් හුස්ම ගන්නත්, හුස්ම හෙළන්නටත් වුණා. ඊටත් පසුව ගත්තතොපිස්ස සෙදපින්දූති මුච්චති’ ශරීරයෙන් දහඩිය වැගුරුනා. රජු මෙම අපහසුතා හේතුවෙන් මහත් සේ දුක් විඳින බව දුටු බුදුරජාණන් වහන්සේ.

මනුජස්ස සදා සතිමතො
මන්තං ජානතො ලද්ධ භොජනෙ
තනුතස්ස භවන්ති වෙදනා
සනිකං ජිරති ආයු පාලයන්ති’

යනුවෙන් අනුශාසනා කළ සේක.

ආහාර අනුභව කරන විට පිළිපැදිය යුතු කරුණු දෙකක් මෙම උපදේශයෙන් පෙන්වා දී තිබේ . එනම්

1. හොඳ සිහි කල්පනාවෙන් ආහාර ගැනීම (සදා සතිමතො)

2. තමන්ගේ කුසේ ප්‍රමාණයට සරිලන මාත්‍රාවට ආහාර ගැනීම (මත්තං ජානතො ලද්ධ භොජනෙ)

මෙම කරුණු දෙක පිළිපදිමින් ආහාර අනුභව කළොත් ලබා ගත හැකි ආනිසංස තුනක් ඊළඟට පෙන්වා දී ඇත. එනම්

1.ශරීරයට කිසිදු වේදනාවක්, අපහසුතාවක් ඇති නොවීම (තනුතස්ස භවන්තිවේදනා)

2.ආහාර ක්‍රමානුකූලව සෙමෙන් දිරවීම (සනිකං ජීරති)

3.දීර්ඝායුෂ ලැබීම (ආයුපාලයන්ති)

කොසොල් මහ රජු මෙම උපදේශය ඇසීමෙන් ඉමහත් සතුටට පත්ව, තමන් උදේ හවස ආහාර ගන්නා විටදි මෙම උපදේශය මතක් කරන ලෙස තම අතවැසි සුදස්සනට පැවරීය. ඒ අනුව සුදස්සන ද දිනපතා දිගින් දිගටම මෙම උපදේශය මතක් කළ අතර, රජුද ක්‍රම ක්‍රමයෙන් ආහාර ප්‍රමාණය අඩු කර ගත්තේය.

බුද්ධ කාලීන ඉන්දියාවේ මිනිස්සු ක්‍රම පහක් අනුවයි ආහාර ගන්න පුරුදු වෙලා හිටියේ. පළමු පිරිස ‘හත්ථග්ගාහක’ නමින් හැඳින්වේ. මේ අය කුසේ ප්‍රමාණය ඉක්මවා ආහාර ගන්නවා.අවසානයේදි නැගිට ගන්නවත් නො හැකිව ළඟ සිටින අයට අත දී ‘මාවනැගිට්ටවන්න’ යැයි කියති. දෙවැනි පිරිස ‘අලං සාටක’ නමින් හැඳින්වේ. මේ අය තමන් ඇඳගෙන ඉන්න සළුපිළි හිර වෙනකම්ම ආහාර ගනිති. පසුව ඇඳුම් ශරීරයෙන් ඉවත් කරති. තුන්වෙනි පිරිස ‘තත්‍ර වට්ටක’ නමින් හැඳින්වේ.මේ අය ආහාර අනුභව කිරීමෙන් පසු එතැනම වැටී නිදා ගනිති. හතරවෙනි පිරිස ‘කාකමාසක’ නමින් හැඳින්වේ.මේ අය තම උගුර දණ්ඩ දක්වාම ආහාර ගනිති. මොවුන්ට නින්ද ගිය පසු කපුටන් පැමිණ හොටේ දමා උගුරු දණ්ඩේ තිබෙන ආහාර ඇද ගනී. පස්වෙනි පිරිස ‘භුත්තවමික’ නමින් හැඳින්වේ. මේ අය වමනේ කර කර, තව තවත් ආහාර ගනිති. මෙපමණ අපිළිවෙළකට ආහාර ගන්න පුරුදු වූ පිරිසක් සිටිය නිසයි බුදුහාමුදුරුවෝ මෙම දේශනාව කළේ.

අප ආහාර ගන්නා හේතු හයක් බුදුහාමුදුරුවෝ පෙන්වා දී ඇත.

1.විනෝදය පිණිස ආහාර ගැනීම (දවාය)
2. ශක්තිය පිණිස ආහාර ගැනීම (මදාය)
3.සැරසීම පිණිස ආහාර ගැනීම (මණ්ඩනාය)
4. විසිතුරු බව පිණිස ආහාර ගැනීම (විභූසනාය)
5.ශරීරයේ පැවැත්ම හා යැපීම පිණිස ආහාර ගැනීම (කායස්ස ඨිතියා යාපනාය)
6. පැරැණි වේදනාව නැති කිරීම හා අලුත් වේදනාවක් ඇති නොවීම පිණිස ආහාර ගැනීම (පුරාණ වෙදනං පටිහංඛාමි නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි’

ආහාර ගැනීමේදී මෙම හේතු හයෙන් අප පුරුදු පුහුණු කළ යුත්තේ පස්වෙනුව දක්වා ඇති ‘කායස්ස ඨිතියා යාපනාය” යන ශරීරයේ පැවැත්ම හා යැපීම යන හේතුව පමණි. මේ හේතුව පමණක් සළකා ආහාර ගන්නා විට රස තෘෂ්ණාව නැතිව යයි. එසේම දිව පිනවීම සඳහා ම පමණක් ආහාර නො ගනියි. රසතෘෂ්ණාවට වශී වී දිව පිනවීමට ආහාර ගතහොත් අප ඉක්මණින් ම රෝගීන් බවට පත්වේ. මහත් අපහසුතාවන්ට ලක්වේ.

එහෙත් අපි හැමෝම නොයෙක් නොයෙක් රසකාරක පිරි විච්චූර්ණ ආහාරවලට ගිජු වී ඇත්තෙමු. එසේම විවිධ ක්ෂණික ආහාර ජාතීන්ට හුරු වී ඇත්තෙමි. එසේවී ඇත්තේ බෞද්ධයන් ලෙස ආහාර ගත යුත්තේ කුමක් සඳහා ද? මොන ආකරයෙන්ද? යන්න පිළිබඳ හරිහැටි අවබෝධයක් නො මැති හෙයිනි. බුදුරජාණන් වහන්සේ ආහාර ගැනීමේදී උපදෙස් දී ඇත්තේ චත්තාරො පඤ්ච ආලොපෙ අභුත්වා භොජනං පිවේ යනුවෙනි. බත් පිඬු හතරක් පහක්වත් කන්න කුසේ ඉඩ තියාගෙන ආහාර ගැනීම නවත්වන්න කියලයි. කෑම පිඟානේ හොඳි ව්‍යංජන ඉතිරිව තිබියදීත්, කුස තුළ තව ඉඩ තිබියදී මේ ආකාරයට බත් පිඬු හතරක් පහක් නො කා කෑම ගැනීම නවත්වන්න පුළුවන්ද? ඇත්තටම එය අපහසු කාර්යයක්. මන්ද? සියලු දෙනාම රස තෘෂ්ණාවට රැවටී ඇති හෙයින්.

සාමාන්‍ය කෙනෙක් අනුභව කරන බත් ප්‍රමාණය පිඬු කළොත් එහි බත් පිඬු පහළොවක් පමණ තිබිය යුතුයි. මේ අනුව අපි එක් වේලකට බත්පිඬු පහළොවක් අනුභව කරනවා.තුන්වේලටම බත් අනුභව කරනව නම් දවසකට බත්පිඬු හතළිස් පහක් අනුභව කරනවා. මෙහෙම දීර්ඝ කාලයක් බත් අනුභව කළ නිසා අපි මධ්‍යම වයසේදීම රෝගීන් බවට පත් වන්නෙමු. එවිට වෛද්‍යවරු උපදෙස් දෙන්නේ ‘ඩයට්’ කරන්න. ඒ කියන්නේ රෑට බත් කන්න එපා කියලයි. එවිට මෙතෙක් කල් රෑට අනුභව කරපු බත් පිඬු පහළොවම අත් හරින්න වෙනවා. මධ්‍යම වයසේ අයෙකුට උදේට හා දහවලට අනුභව කරන බත් පිඬු තිහ ප්‍රමාණවත් නිසයි වෛද්‍යවරු රෑට ගත්ත බත් පිඬු පහළොව නවත්වන්න කියන්නේ.

එහෙත් බුදුහාමුදුරුවෝ ඉගැන්වූ උපදේශය පිළිපැද්ද නම් ඔබ උදේ වේලෙන් බත් පිඬු පහක් අයින් කළා. දවල් වේලෙන් බත් පිඬු පහක් අයින් කළා. රෑ වේලෙනුත් බත් පිඬු පහක් අයින් කළා. මේ විදියට වේල් තුනෙන්ම බත් පිඬු පහළොවක් අයින් වෙනවා. එවිට තුන් වේලටම බත් අනුභව කළත් ශරිරයට වැටෙන්නේ දවසට පත් පිඬු තිහයි. මෙය මුල සිට පුරුදු පුහුණු කළොත් රෝගී නොවී තුන්වේලටම බත් අනුභව කරන්න පුළුවන් වේවි.

රස තෘෂ්ණාවෙන් බැහැර වීමට නම් අප ආහාර ගත යුත්තේ වෛද්‍යවරයෙක් තුවාලයකට බෙහෙත් දමන ආකාරයටයි. වෛද්‍යවරයෙක් තුවාලයට බෙහෙත් දමන්නේ තුවාලය හොඳින් පරීක්ෂා කර බලා, තුවාලයට සරිලන හා ප්‍රමාණවත් පරිදිය. තුවාලයට සරිළන ප්‍රමාණයට වැඩියෙන් බෙහෙත් දැම්මොත් තුවාලය නරක් වෙනවා. අඩුවෙන් බෙහෙත් දැම්මොත් තුවාලය සුව වෙන්නේ නැහැ. වෛද්‍යවරයා තුවාලයේ ප්‍රමාණය පරීක්ෂා කළා සේ අපිත් ආහාර ගැනීමට පෙර ආහාරෙ උදරෙ යතො අපේ කුසේ ප්‍රමාණය පරීක්ෂා කර බැලිය යුතුයි. කුසේ ප්‍රමාණයට පමණක් ආහාර ගත්තම පුදුම සැහැල්ලුවක් හා සුවයක් දැනේවි.

කොසොල් මහ රජතුමා මේ අවවාද පිළිපැදපු නිසා අවුරුදු අසූවක් ජීවත් වුණා. රජතුමා අසු වියේදී බුදුහාමුදුරුවෝ හමුවෙන්න ඇවිත්. උභයෙන වත මංසො භගවා අතෙථන අනුකම්පි, දිට්ඨධම්මිතෙන චෙව අතෙථන සම්පරායිකෙනවාති’ භාග්‍යවතුන් වහන්සේ මෙලොව අභිවෘද්ධියෙන්ද, පරලොව අභිවෘද්ධියෙන්ද යන උභයාර්ථයෙන් ම මට අනුකම්පා කළ සේකයි ස්තුති කළා.

 

    අධි ඇසළ අව අටවක පෝය

අධි ඇසළ අව අටවක පෝය ජූලි 08 වැනිදා බදාදා අපරභාග 02.56 ට ලබයි. 09 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 12.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 08 වැනිදා බදාදාය.

මීළඟ පෝය
ජූලි 15 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 15

First Quarterපුර අටවක

ජූලි 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 07


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]