Print this Article


කතරගම මහාදේවාලයේ ඇසළ පෙරහැර

කතරගම මහාදේවාලයේ ඇසළ පෙරහැර

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ජූලි මස 17 දින ආරම්භ වී ජූලි මස 31 දින අවසාන මහා පෙරහර පැවැත්වෙන බවත් අගෝස්තු මස 01 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර කටයුතු අවසන් වන බව රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා ප්‍රකාශ කළේය.

ජූලි මස 17 පළමු පෙරහර කතරගම මහාදේවාලයෙන් ආරම්භ වී මහාවීදියේ ගමන්කර වල්ලි අම්මා දේවාලයට පැමිණේ. එම දේවාලයේදී පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකර පෙරහර මහාවීදියේම ගමන්කර මහාදේවාලයට ගෙවදිනු ඇත.

ජූලි මස 18 දින සිට පෙරහර මහාදේවාලයෙන් ආරම්භ වී පිටවීදියේ ගමන්කර වල්ලිඅම්මා දේවාලයට ගොස් පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකර මහාවීදියේ ගමන්කර මහාදේවාලයට ගෙවදිනු ඇත.

ඇසළ පෙරහැරේ 6 වන පෙරහර පැවැත්වෙන ජූලි මස 22 දින පෞරාණික චාරිත්‍ර රැසක් ඉටුකරන දිනයකි.

මෙදින කතරගම මහාදේවාලය ඉදිරිපිට ඇති අතුපන්දලමට අලුතින් අතු දමා සකස් කිරීම

දේවාලය අභ්‍යන්තරයේ ඇති කඩොල් ඇතාගේ දළ දෙක දේවාලය තිරය දෙපස තැන්පත් කිරීම

බස්නායක නිලමේතුමාගේ නිල නිවාසයේ බස්නායක වලව්වේ ‘ගොමමැටි’ ගාන ලද කාමරයේ මහා සංඝරත්නයට දහවල් දානය පිරිනැමීම.

බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා පෞරාණික චාරිත්‍රානුකූලව පෙරහැරේ ගමන්කිරීම මෙදින සිදුකෙරේ.

ජුලිමස 28 දින රාත්‍රි ගිනි පෑගීම මහාදේවාලය ඉදිරිපිට මහාවීදියේ සිදුකෙරේ. ජූලි මස 31 දින අවසාන මහා පෙරහර පැවැත්වේ.

මෙදින කතරගම මහාදේවාලයෙන් ඇසල මහා පෙරහර ආරම්භ වී සධාතුක කරඩුව රැගත් කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ බුදුපෙරහර පෙරටු කරගෙන වෙහෙරවීදියේ ගමන්කර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයට පැමිණේ.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී බස්නායක නිලමේතුමා ප්‍රධාන අදිකාරම් ලේකම් මහත්වරුන් වෙනුවෙන් ආගමික කටයුතු කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නායක හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විසින් සිදුකරනු ලැබේ.

ආගමික කටයුතු පැවැත්වීමෙන් අනතුරුව පෙරහර වෙහෙර වීදියේ ගමන්කර මහාදේවාල මළුවෙන් පිටවීදියට පිවිසේ.

එම වීදියේ පෙරහර ගමන්කර වල්ලිඅම්මා දේවාලයට පැමිණ පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටුකර මහාවීදියේ ගමන්කර මහාදේවාලයට ගෙවදීම සිදුකෙරේ.

අගෝස්තු මස 01 දින මැණික් ගඟේ දිය කැපීමෙන් ඇසළ පෙරහර කටයුතු අවසන් වෙයි.

පෞරාණික චාරිත්‍ර පුදසිරිත්වලට මුල්තැනක් දෙමින් උඩරට පහතරට සබරගමුව හා රුහුණු ප්‍රදේශයට ආවේණික නැටුම්වලින්ද අලි ඇතුන්ගෙන්ද යුතුව ඉතාමත් අලංකාර අයුරින් පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා කටයුතු සංවිධානය කර ඇත.

(ඊ.එච්. සෝමපාල

කතරගම විශේෂ)