Print this Article


බුදු දහමයි ගිහි දිවියයි 14 ගෘහස්ථ ජීවිතයේ ධනය පරිහරණය

බුදු දහමයි ගිහි දිවියයි 14

ගෘහස්ථ ජීවිතයේ ධනය පරිහරණය

4. දූ කෙළියෙහි යෙදීම – දූ කෙළියෙන් දිනනු ලැබූ අය සමඟ පරාජය ලැබූ අය වෛර වීම, පරාජය වූ අය වස්තුව නැති වීමෙන් ශෝක කිරීම, හානි වූ ධනය නැවත ලබාගන්නා අටියෙන් නැවත නැවතත් දූ කෙළියෙහි යෙදීමෙන් වඩ වඩාත් වස්තුව විනාශ වීම. ඒ හේතු කොට ගෙන තම අඹුදරුවන් දුකට පත් වීම යනාදිය නිසා විනාශට පත් වේ.

5. පාප මිත්‍රයන් හා එක්වීම – පව්කම් කිරීමට ලජ්ජාවක් බියක් නැති පාපකාරී මිත්‍රයන් ඇසුරු කිරීම එමෙන්ම ඔවුන් සමඟ මිත්‍ර වීම නොයෙකුත් මිනීමැරුම්, සොරකම් කිරීම්, මං පැහැරීම් ආදී දරුණු පාපකර්මයන්ට අසුවීම යන මේවා පාප මිත්‍ර සේවනයෙන් සිදුවන විනාශයි.

6. අලසකම – තමන්ගේ දියුණුව හා වස්තු රැස්කිරීමාදිය ගැන කළ යුතු කර්මාන්තාදිය නිසිකලට වෙලාවට නොකොට කල් දැමීමෙන් නූපන් භෝග නොඉපැදීම හා උපන් භෝග පිරිහීම යන මේ ආදියයි. අලසයාට කිසිකලකත් ධන ඉපැයීම කළ නොහැකිය.

ගෘහස්ථ ජීවිතය ගත කරන මිනිසුනට ලබාගත හැකි සැප සතරක් පිළිබඳ අනණ සූත්‍රයේ දී බුදුරදුන් පෙන්වා දී ඇත. “චත්තාරිමානි ගහපති සුඛානි අධිගමනීයානි ගිහිනා කාමභෝගිනා කාලේන කාලං සමයේන සමයං උපාදාය” එනම්,

1. අත්ථි සුඛ
2. භෝග සුඛ
3. අනණ සුඛ
4. අනවජ්ජ සුඛ

මෙහි පළමු කරුණු තුනම ආර්ථික ජීවිතය හා සම්බන්ධ සුඛයන් ය. එයින් “අත්ථි සුඛය” නම් සපයා ගන්නා ලද භෝග ඇතැයි සිතමින් ලබන සැපයයි. දහමෙහි උගන්වන ධාර්මික ධන සම්පාදනය ඉතා වැදගත් වූවකි. ජීවත් වීම සඳහා ධනය අවශ්‍ය ම වූවකි. යම්තමින් මූලික අවශ්‍යතා ඉටුවුන ද ප්‍රමාණවත් නොවේ. සුවපහසුවක් ද ලබාගත යුතු ය. මේ වෙනුවෙන් ධනය අවශ්‍ය ය. ඒ වෙනුවෙන් ධනය වැරදි ක්‍රමෝපායන්ගෙන් ලබාගැනීමට ද පුළුවන. යමෙක් එසේ වැරදි පිළිවෙත් මඟින් උපයා ගන්නේ වී නම්, සිතේ සතුටක් එමගින් සපයා ගැනීමට නුපුළුවන. වැරදි මගින් ධනය උපයා ගන්නා නීතියට බියෙන්, සමාජයට බියෙන්, පරලොවට බියෙන් සිටිය යුතු ය. තමා විසින් කළ වරද අන් කිසිවෙකුත් නොදත්තේ වී නමුත් එය තම සිත හොඳාකාරව දන්නේ ය. එබැවින් නිවැරදි ක්‍රමයන්ගෙන් අප්‍රකටව ධනය උපයා ගන්නෝ කායිකව ද මානසිකව ද සැබෑ සැපයක් සොම්නසක් විඳිති.

මෙහි සඳහන් දෙවැනි කරුණ නම්, "භෝග සුඛය යි". භෝග සුඛය විස්තර කරන බුදුරදුන් පෙන්වා දෙන්නේ ‘දැහැමින් ලද භෝග අනුභව කරමින්, පින් ද කරමින්, සැප විඳියි. සොම්නසට පැමිණෙයි. එය වනාහි "භෝග සුඛය" වශයෙන් දක්වා ඇත. ගිහි ගෙදර ජීවත් වන්නාට පරිභෝජනයෙන් ලබාගත හැකි සැපය භෝග සුඛය නමින් ඇගයීමට ලක්වෙයි.

පරිභෝජන කාර්යයෙහි දී ණය වීමට ඇති ඉඩකඩ බොහෝ ය. අය ඉක්මවා වැය වීම වැඩී වුවහොත් මේ අවස්ථාවට බොහෝ දෙනෙක් පත්වේ. ඒ අනුව ණය වීම දුකකි. ඉණ සූත්‍රයේ විස්තර වන ආකාරයට ණය ගැනීමට, පොලී ගෙවීමට සිදුවීම නියමිත පරිදි පොලී නොගෙව්වොත් චෝදනා ලැබීම, ණය ඉල්ලා ලුහුබඳිනු ලැබීම, පසුව යම් අයුරකින් දඬුවම් ලැබීමට සිදු වීම යන මේ සියල්ල ම දුක් ය. එහෙයින් අය වැය තුලනය කරගෙන ණය නොවීම විශාල සහනයකි. වර්තමාන පවුල් ජීවිතවල ඇතිවන ප්‍රශ්නවලට ප්‍රධානතම ප්‍රශ්නයක් වශයෙන් ණය වීම දක්නට ලැබේ. තමාට ලැබෙන ආදායම ඉක්මවා වැය වීම නිසාවෙන් බොහෝ විට ණය වීම ඉතා පීඩාකාරී ස්වරූපයක් ගෙන ඇත. මෙමගින් පවුල් අවුල් වන බව ද නොරහසකි.

ධනය නිෂ්පාදනයෙහි දී මෙන් ම ධන පරිභෝජනයෙහි ද සාහසික නොවිය යුතු බව මුලදී දක්වන ලදී. තමාට මෙන්ම අන්‍යයන්ටද හානියක් නොකොට සමාජ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නේ නම් මේ ප්‍රශ්න හටගැනීමට ඉඩකඩ අල්පය. ධනය පරිහරණය සමාජාභිවෘද්ධිය සඳහා හේතු වන අයුරු බෞද්ධ ඉගැන්වීමෙහිලා විස්තර කෙරේ. ව්‍යග්ඝපජ්ජ සූත්‍රය විස්තර කරන මෙලොව පරලොව හිතසුව පිණිස පවත්නා කාරණා අටක් දක්වා ඇත. එයින් මෙලොව හිතසුව පිණිස හේතුවන කාරණා හතර නම්,

1. උට්ඨාන සම්පදා
2. ආරක්ඛ සම්පදා
3. කල්‍යාණමිත්තතා
4. සමජිවිකතා යනුවෙනි.

මෙහි විස්තර වන කාරණා ගෘහස්ථ බෞද්ධ ජීවිතයට ඉතා වැදගත් කාරණාවන් කිහිපයක් සිහිපත් කෙරේ. උත්සාහය, එමගින් සපයාගත් දෑ ආරක්ෂා කිරීම, හොඳ මිතුරන් ඇසුරු කිරීම, අය වැය තුලනය කොට ගෙන ජීවත් වීම යන ඒවායි.

සිඟාලෝවාද සූත්‍රය දක්වන ධන විනාශ මුඛ සය ද මෙහිදී වැදගත් වේ. එය මුල් ලිපියෙන් සාකච්ඡා කළෙමු. නොමනා වියහියදමින් වළක්වා රැකගත් ධනය අර්ථවත් පරිදි පරිහරණය කරන අයුරු ද බෞද්ධ ආර්ථික දර්ශනයෙහි ඇතුළත් වෙයි. සිඟාල ගෘහපතියාට ඉගැන්වූ පරිදි උපයන ලද ධනය කොටස් සතරකට බෙදිය යුතු ය. එදිනෙදා වියදම් සඳහා එක් කොටසක් ද, අනාගතාභිවෘද්ධිය වෙනුවෙන් ඉවහල්වන ව්‍යාපාර ආදියෙහි යෙදවීමට දෙකොටසක් ද, ආපදාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා බැංකු තැන්පතුවක් සඳහා එක් කොටසක් ද, වශයෙනි. මේ කරුණු එකිනෙක සලකා බැලීමේ දී ද ආර්ථික විද්‍යාත්මකව මෙහි වටිනාකම අපමණ බව පෙනී යයි.

ආර්ථික පරිභෝජනය පිළිබඳ බෞද්ධ ආකල්පය සාංඝික ක්‍රමය තුළින් මනාව හඳුනාගත හැකිය. ධනය සමාජය විසින් පොදුවේ සලකා පරිභෝග කළ යුතු පොදු අයිතියක් බව මින් පෙන්වා දෙයි. “ධනය එක්තැනක පමණක් රාශී විය යුතු නොවේ. එය කාගේත් යහපත සඳහාම සමසේ බෙදී යා යුතු ය.” යන ආකල්පය බෞද්ධ ආර්ථික දර්ශනය මගින් උපදවන ලද්දකි. සාමූහික අයිතිය හෙවත් කා අතරත් සමව බෙදී යාම බෞද්ධ පරිභෝජනයේ ලක්ෂණයයි. බදාගෙන කෑම වෙනුවට බෙදාගෙන කෑම ඉන් අදහස් කෙරේ. අංගුත්තර නිකායේ සඳහන්වන කියමන මෙහිදී වැදගත් වේ.

“අප්පිච්ඡතා (අඩු ආශා සහිත බව) මිනිසාගේ අර්ථය හා යහපත පිණිසත් මහිච්ඡතාව (බොහෝ ආශා සහිත බව) අනර්ථය හා අයහපත පිණිසත් පවතී.”


බුදු දහමයි ගිහි දිවියයි 13 - ධන ඉපැයීම