Print this Article


යහපත් සිතින් යහපත් දේ කරමු

යහපත් සිතින් යහපත් දේ කරමු

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන
භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්චේති
ඡායාව අනපායිනී

ජීවිතයක් සාර්ථක වන්නේ යහපත් දෑ සිතන්නේ නම් හා යහපත් දේ කරන්නේ නම් පමණි. සම්බුදු හිමියන්ගේ සව්වන් ලෙස කටයුතු කරන අප ඇතිකරගත යුතු වැදගත් සංකල්පයක් නම් මේ ජීවිතයටත් පරලොව ජීවිතයටත් අවශ්‍ය කරන කටයුතු සඵල කර ගැනීමට උත්සාහ ගැනීමයි.

ඉහතින් සඳහන් කළ ප්‍රසන්න සිතක් උපදවා ගැනීම හා ඒ අනුසාරයෙන් ක්‍රියාකාරකම් සිදුකිරීම සැපයට හේතු වන බව ඉහත ගාථා පාඨයෙන් අදහස් වේ. අපේ ජීවිත ගමනේ දී කරන කටයුතු සඳහා බොහෝ සෙයින් හේතු වන්නේ අපේ සිතයි. අප කරන බොහෝ ක්‍රියාවන් සිත මූලික කරගෙන සිදුකරනු ලැබේ. විපාක වශයෙන් අපට විඳීමට සිදුවන්නේ ද එසේ මනසින් සිතා කරන ක්‍රියාවන්වල ප්‍රතිඵලයන්ය. බුදුන් වහන්සේ එහිදී පෙන්වා දී ඇත්තේ ප්‍රසන්න වූ මනසින් කරන ක්‍රියාවන් නිසා යහපතක් ම සිදුවන බවයි. ප්‍රසන්න සිත ඇති කරගෙන යම් දෙයක් කියන්නේ ද, කරන්නේ ද එහි විපාකයන් සුන්දර එකක් වන බව උන්වහන්සේ පෙන්වා දී ඇත. මේ ලෝකයේ සාරධර්ම රඳා පවතින්නේ යහපත් වචනයේ හා ක්‍රියාවේ බලමහිමයෙනි. යහපත් ක්‍රියාවන් සිදුකිරීමෙන් ඒ අවස්ථාවෙහි දී යහපතක් සිදුවන්නාක් මෙන් ම එහි ප්‍රතිවිපාකයන්ද යහපත් එකක් ම ය. එහි විපාකයන් පිළිබඳව දැක්වීමේ දී තමන් පසුපස එන සෙවණැල්ලට සමාන කර ඇත්තේ තමාගේ සෙවණැල්ල හිමි තමන්ට පමණක් බැවිනි. තමන් කරන කියන දෑවල විපාකයන් ද උරුම තමන්ට ය. තමන් සන්තකයේ ඇති භෞතික වස්තූන් මෙන් එය අන්සතු කළ නොහැකිය.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළ යහපත් සිතිවිල්ලට හා යහපත් ක්‍රියාවට හිමිවන්නේ වැදගත් ස්ථානයකි. එනම් ඒ මතම සාර්ථක වූ සමාජයක් ඇති කිරීමේ බලකණු පිහිටා තිබීමයි. යහපත් සිතිවිලි හා යහපත් ක්‍රියා නොමැතිව කිසිදු සමාජයක් නොපවතී. පැවතුන ද සාර්ථක නොවේ. එය කෙසේ වුවද පුද්ගලයාගේ යහපත උදෙසා මෙකී ගුණාංගයෝ අතිශයින් ඉවහල් වේ. කුසල් දහම් සිදු කිරීම මිනිසත් බව ලැබූ සැවොම කළ යුත්තකි. එසේ නොකරන්නේ නම් පරලොව ජීවිත පිළිබඳ යහපත් අදහසක් ඇති කර ගැනීමට හැකි නොවේ. මෙලොව වශයෙන් පව්කම් කර අකුසල් කර නිරයගාමී වූවන් අපායගාමී වූවන් පිළිබඳ බුදුන් වහන්සේගේ ජීවමාන අවධියේ එන කථා ප්‍රවෘත්ති මඟින් සනාථ වේ. එසේම යහපත් ක්‍රියාවන්, කුසල කර්මයන් සිදු කර දෙව්ලෝ ගිය පිරිස් හා මිනිස් ලොව සැප සම්පතින් ආඪ්‍යව උපන් පිරිස් පිළිබඳව ද සඳහන් වේ. ඒ අනුව අපට පැහැදිලි වන්නේ වත්මන් දිවියත් මෙයින් මතු දිවියත් සැප සම්පතින් සුඛිත මුදිත කරගත හැකි වන්නේ අප පින් දහම්, කුසල් දහම් සිදු කළ පමණටය.

පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරා තේ තං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

අප මෙලොව ජීවිතය ගෙවීමේ දී පින්දහම් සිදු නොකරන්නේ නම් අපගේ භාවගාමි ජීවිතය පිළිබඳව අපට කෙසේවෙතත් අපගේ ඤාතීන්ට ඇත්තේ සැකයකි. එනම්, තමන්ගේ ඤාතියා කොහි උප්පත්තිය ලබා තිබේ දැයි ඇති සැකයෙන් යුක්ත වීමයි. සමහරුන් සිහිනෙන් අවුදින් ඤාතීන් ලවා පින් කරන ලෙස ආයාචනා කරයි. පින් දහම් කරගත්තෝ එසේ් ඤාතීන් බියට, සන්ත්‍රාසයට පත් නොකරයි. කෙසේ නමුත් වර්තමානයේ මියගිය ඤාතීන්ට පින් අනුමෝදන් කිරීම විශේෂ දෙයක් වශයෙන් පවතින්නේ එය ආචාර ධර්මයක් වශයෙන් අතීතයේ සිට පැවත එන නිසාවෙනි. එසේම එය දුවාදරුවන් විසින් ඉටුකළ යුතු යුතුකමක් බව බුදුහිමියන් සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ දී පෙන්වා දී ඇත. වර්තමානයේ අප පින්වතුන් නොයෙක් ආකාරයේ පින්දහම් කර මුලින් ම එහි ආනිශංස තම මියගිය ඤාතීන්ට අනුමෝදන් කිරීමට පියවර ගනී. ඒ තම ඤාතීන් පරලොව වශයෙන් ද සුවපත් වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවය. නමුදු ඒ පින් අනුමෝදන් වීමට නම් මියගියඅය පරදත්තුප ජීවි නම් දුගතියට පත්ව සිටින්නේ නම් පමණි. ඔහුට සැප විඳින්නට හැකි වන්නේ තම ඤාතීන් ලබාදෙන පින් අනුමෝදන් වීමෙන් පමණි. කෙසේ නමුදු දෙවියන්ටත්, මිනිසුන්ටත්, ගිහියන්ටත්, පැවිද්දන්ටත් මේ සැම දෙනාටම පින්දීමෙන් හා පින් අනුමෝදන් කිරීමෙන් යහපතක් මෙන් ම සැපතක්ම අත්වන බැව් පැහැදිලිය. බුදුන් වහන්සේ සරණ ගිය අපගේ මූලික අභිලාෂය විය යුත්තේ නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමයි. බුද්ධත්වය ලබා ගැනීමට මෙන්ම පච්චේක බුද්ධ හා මහරහත්භාවයට පත්වීම කෙරෙහි මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම අනිවාර්ය වේ. දිව්‍ය ලෝක සැප වින්දනය කළ ද එහි දී නිවන සාක්ෂාත් කරගැනීම අපහසුය. මනුෂ්‍ය ලෝක ඇත්තේ එකකි. දිව්‍ය ලෝක සයක් ඇත. දුල්ලභං ච මනුස්සත්තං වශයෙන් බුදුහිමියන් පෙන්වා දී ඇත්තේ මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම අතිශය දුර්ලභ කරුණක් වන බවයි. දෙවියෙක් ලෙස ඉපදී හෝ බ්‍රහ්මයෙකු ලෙස ඉපදී බුද්ධත්වයට පත්විය නොහැකිය. මනුෂ්‍යයෙකුට පමණි බුදු විය හැකි වන්නේ, එය ද සාක්ෂාත් කර ගැනීම අසීරු අපහසු කරුණකි. සමතිංශත් පාරමී ධර්මයන් නො අඩුව පූරණය කළ යුතු ය. අප ගෞතම බෝධිසත්වයන් වහන්සේ සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරූ බව බෞද්ධ දේශනාවන්හි සඳහන් වේ. එයින් ම පැහැදිලි වන්නේ එකී කරුණෙහි ඇති ගැඹුරු, අසීරු, අපහසු බවයි. නමුදු ඒ තත්ත්වයට පත්වන්නේ ද අප වන් වූ මනුෂ්‍යයෙකු බැවින් අප ද පාරමිතාවන් පුරණයේ නියුක්ත විය යුතු වේ. එය අපගේ දියුණුව පිණිසම හේතුවනු නො අනුමානය. උපතේ සිට මියයන තෙක්ම හැකි සැම විටම පින්දහම් කිරීමට අප යොමුවිය යුතු ය. ඒ පින් දහම් කිරීම සැපයටම හේතුවාසනා වන නිසාවෙනි. අප ජීවත්වන සමාජය තුළ මරණින් මතු කිසිත් නැතැයි සිතා කා බී සතුටින් ජීවත් වන අය ද අප්‍රමාණව සිටිති. නමුදු බුද්ධ දේශනාවෙහි පුනර්භව සංකල්පය ඉදිරිපත් කර ඇති නිසාවෙන් අප පරලොව ජීවිතයක් පිළිබඳව ද සිතිය යුතු වේ. කුසලාකුසල කර්මයන්හි ප්‍රතිඵල අනුවය පුද්ගලයා සසර දිගු කරගෙන සැරිසරනුයේ, එකී සසර කෙටි කරගනු වස් පුද්ගලයා කුසල් දහම්හි නියුක්ත විය යුතු බවයි සියලු බුදුහිමිවරුන්ගේ අනුශාසනය වන්නේ (කුසලස්ස උපසම්පදා)බුදුදහමේ දී බිය ඉපිදවිය යුතු කිසිවෙක් නැති බව පෙන්වා දී ඇත. තමන් කරන දේ අනුව විපාක ද තමන්ටම විඳීමට සිදුවන බව බුදුදහමේ නිරන්තර කියැවේ. මෙලොව ඉපදෙන ජීවී සත්ත්වයන්ට මෙන්ම අජීවී වස්තුන්ට ගරු බුහුමන් කිරීම සද්පුරුෂයින්ගේ පිළිවෙතකි. අප සමාජයේ විවිධ පුද්ගලයින් හමුවේ. කුමන තත්ත්වයක සිටිය ද මනුෂ්‍යත්වය මූලිකත්වයේ තබාගෙන ගරු කළ යුතු වේ. තම දෙමාපියන්, වැඩිහිටියන්, පිදිය යුත්තන් ආදී කොයි කාටත් නිසි තැන ලබාදෙමින් පහන් සිතින් ක්‍රියා කළ යුතු වේ. සමහර අවස්ථාවන්හි ජරාජීර්ණ, ඇසට අපි‍්‍රය උපදවන පිරිස් අප දෑසට හමුවේ. නමුදු එවන් අවස්ථාවන්හි වුව මැදහත් සිතින් කටයුතු කිරීමය නැණවත් පුද්ගලයාගේ ලක්ෂණය වන්නේ. අනුන් පිළිබඳව සිතන හා ඔවුන් උදෙසාම ජීවිතය කැප කළ මේ ලොවෙහි පහළ වූ ශ්‍රේෂ්ඨතම යුග පුරුෂයා වන්නේ අප බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේගේ කරුණා ගුණයෙන් සැනහුණු පිරිස අතිවිශාලය. ඒ මෛත්‍රී ගුණයෙන් සිහිලස වින්දෝ මිනිසුන් පමණක් නොවේ. පාරිලෙය්‍ය වනේ ඇතා වඳුරා, නාලාගිරි ආදී තිරිසනුන් ද සැනසුණෝ ය. තමන් කෙරෙහි වෛරීව කටයුතු කළ දෙව්දත් තෙරුන්ට මෙන්ම තම පුතු වූ රාහුල හිමියන්ට ද දැක්වූයේ සමාන වූ මෛත්‍රී සිතිවිල්ලකි. අපේ ජීවිතය සාර්ථක කරගනු වස් ගුරු තනතුරේ තබාගත යුත්තේ සම්බුදු හිමියන් ම ය. උන්වහන්සේගේ දේශනාවන්ය.

තෙරුවන් සරණයි