අසිරිමත් සුද්දැල්ලාව පින් බිම
විශ්‍රාමික පාඨශාලාචාරිනී
කේ.කරුණාරත්න
දකුණු සිරිලක ගාලු පුරවරයට නුදුරුව පිහිටි බද්දේගම ගම් පියස ඈත අතීතයේ
සිට උගත්, වියත්, සිල්වත්, ගුණවත්, බුද්ධිමත්, ධර්මධර, විනයධර,
යතිවරයන්ගේ ජන්ම ලාභය ලැබීමට සුදුසු පින්බිමක් විය.
මෙම ගම්පියසෙහි වැදගත් පරම්පරාවකට අයත් කීර්තිමත් ප්‍රභූ පවුලක ගුණවත්
මව්පිය දෙපළකට සුපින්වත් පුත් රුවනක් 1933 ජනවාරි 04 දින ලැබීමේ භාග්‍ය
උදාවිය.මේ කුඩා දරුවා අගලිය ශෛලතරාමාධිපතිව වැඩ විසූ ලොකුහාමුදුරුවන්
වහන්සේගේ සෙවණේ වැඩෙමින් ආගමික සිරිත් විරිත් වලින් පිරුණු ජීවිතයක්
ගොඩනගාගෙන කල්යාමේදී සිල්වත් ,ධර්මධර, විනයධර මහාතෙර නමක් වීමේ භාග්‍යය
උදාවිය. බද්දේගම බුද්ධසාර යන සාසනික නාමය ලබා 1947 ජූලි 09 වන දින
පැවිදි දිවියට පත්විය.
සසුන් කෙත ශෝභාවත් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලද සාමණේර හිමිපාණෝ උසස්
අධ්‍යාපනය ලැබීම සදහා සරසවි වරම් ලැබූහ. සරසවි අධ්‍යාපනය ලබන කාලය තුළ
ලද සෑම විවේක අවස්ථාවකදීම මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට වැඩම කල
අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන්ගේ හා අතිපූජ්‍ය
අම්පිටියේ ශ්‍රී රාහුල මාහිමිපාණන් වහන්සේගේ ඇසුර ලබමින් තමන් වහන්සේ
ලද උතුම් පැවිදි දිවිය ඔපවත් කර ගත්හ.
වතුරවිල වනවාස සංඝ මූලස්ථානයට වැඩමවා එහි මහානායක මාහිමිපාණන් වහන්සේගේ
පාසෙවණෙහි වැඩ වසමින් සත් වසරක්ම එම පිරිවෙනේ පරිවෙණාධිපති ධුරය සහ සංඝ
සභාවේ ලේඛාධිකාරි ධුරය උසුලමින් ඉමහත් සේවයක් කළහ. තමන් වහන්සේගේ ගුරු
දෙවිඳු වියපත් වූ බැවින් වතුරවිල සෙනසුනෙන් සමුගෙන නැවත අගලිය විවේක
සෙනසුනට වැඩම කර ගුරු උවැටන ඉතා ගෞරවයෙන් සිදු කළහ.
ගුරු දෙවිඳුගේ අපවත්වීමෙන් පසු එම සෙනසුන 1983.07.25 වන දින පොල්අතු
සෙවිළි කළ ලෑලි වලින් ආවරණය ලැබූ කුඩා කුටියක් ආවාසය කරගෙන වැඩවාසය කළ
සේක. එම සුද්දැල්ලාව පිං බිමේ වැඩවෙසෙමින් මේ වන තුරු වසර 30 ක් ගත කළ
උන්වහන්සේ ආපසු හැරී බලන විට පඩි 283 ක් නැග කඳු මුදුනට පිවිසි කළ
සධාතුක චෛත්‍ය රාජයාණන් වහන්සේ ද ගල්තලාවේ වැඩසිටින බෝධි රාජයාණන්
වහන්සේ ද එම ගල්තලාව මත වැඩසිටින සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේද
ලුම්බිණිය , බුද්ධගයාව, ඉසිපතනය, කුසිනාරාව යන දඹදිව පිහිටි ප්‍රධාන
සිද්ධස්ථාන වල අනුරුව සකස් කර තිබීමෙන්ද මෙම වනගත සෙනසුන දෙවි
මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර වී තිබෙන අයුරු දැක ගත හැකිය. සුවිසල් ධර්ම
ශාලා පිණ්ඩපාත ශාලා, ගබඩා සංකීර්ණයන් , කුටි ගෙවල් තුදුසක් , මහජන
වැසිකිලි , කාර්යාල , පැන් පොකුණු කිහිපයක්, ළිං දෙකක් සෑදවීමේ සෙනසුන
පෝෂණය වී ඇත. සෙනසුනට එන මාවත කොන්ක්‍රීට් දමා සකසා ඇත. වන රොදින් ඇසෙන
කුරුළු ගීතයෙන්ද වැලි කුකුළුලන්ගේ හා දඬුලේනුන්ගෙන්ද සෝබමාන වූ මේ පින්
බිම වටා ගමන් කරන දොළ පහරේ දිය දහර ජනතාවගේ සරතැස නිවාලන බව දැකිය
හැකිය.
දසත සුවඳ විහිදුවමින් සිසිල දෙමින් උඩු වියනක් සේ මලින් බරව අහස උසට
නැගී ඇති නාරුක් සෙවණෙහි වැඩ වසන රුක් දෙවියෝ නිරතුරු ඇසෙන බුද්ධ
වන්දනා ධර්ම දේශනා, පිරිත්දේශනාවන් ඇසීමෙන් ප්‍රමුදිතව සෙනසුන ආරක්ෂා
කර දෙති.
අරුණට පළමුව නැගී සිට බුද්ධ උපස්ථාන යෙදීමෙන් අනතුරුව වත පිරිත දේශනා
කරමින් තම සිසු දරුවන් සමඟ පරිසරය පිරිසුදු කිරීමේ වත සපුරා කාලසටහනකට
අනුව දවස ආරම්භ කරන හිමිපාණන් වහන්සේ අසමගි වූවන් සමගි කරමින්
දුසිරිතෙන් මුදවනු සුසිරිතෙහි යොදවනු ගෙන් ගෙට වැඩම කර පිඬු සිඟා
යැපෙමින් ගමින් ගමට වැඩම කර ධර්ම චාරිකා සෑම වසරකම පුරා මාසයක් තුළ
පවත්වනු ලැබීමෙන්ද ගිලනුන්ට පිරිත් කියමින් ධර්මය පහදා දෙමින්ද
අසරණයන්ට ධනවත් දායක සැදැහැවතුන්ගේ ආධාර ලබාදී පිහිටවෙමින් ගිහි
ජනතාවගේ සියලු ආගමික අවශ්‍යතාව සපුරලමින් දිවි ගෙවන අතර පින් ඇති කුල
පුත්‍රයින් කිහිප පළක් පැවිදි කර අධ්‍යාපනය ලබාදී සසුන්කෙත පොහොසත්
කළහ. අගලිය ,ඇඹිලකන්ද , යට්ටපාත යන සෙනසුන් ආරම්භ කර විශාල ශාසන
මෙහෙවරක යෙදෙන මෙම යතිවරයාණෝ පැවිදි බවේ මූලික පුහුණුව ලබාදීම සදහා මහා
මහේන්ද්‍ර භික්ෂු අභ්‍යාස මධ්‍යස්ථානයක් පවත්වා රට පුරා වැඩවෙසෙන කුඩා
සාමණේර හිමිවරුන්ට වසර දෙකක කාලයක් සියලු පහසුකම් සලසමින් නොමිලයේ
අධ්‍යාපනය ලබා දුන් සේක. |