Print this Article


යසස වඩවන ලෙස ජීවත් වෙමු

යසස වඩවන ලෙස ජීවත් වෙමු

සමාජයේ පිරිහීමට ලක්වන පුද්ගලයන් එසේ පිරිහීමට ලක්වීම සම්බන්ධව අප මේ වන විට කරුණු රැසක් කතා කර අවසන්. එසේ වුවත් එසේ පිරිහීමට ලක්වන සමාජයේ තවත් සිටින පිරිසක් ගැනයි අද කතා බහ කෙරෙන්නේ.

ඉත්ථි ධුත්තො සුරා ධුත්තො
අක්ඛධුත්තො ච යො නරො
ලද්ධං ලද්ධං විනාසෙති
තං පරාභවතො මුඛං

බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ පුද්ගලයකු පිරිහෙන අටවන පිරිහෙන දොරටුව එසේ වදාරන ලදී. වර්තමාන සමාජයේ පිරිහීමේ ලක්ෂණ මැනවින් පෙන්නුම් කරන මේ ගාථාවෙන් පෙන්නුම් කෙරෙන්නේ ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීම මෙන්ම සුරාව සූදුව කෙරෙහි ලොල්වන්නා ගේ උපදවන උපදවන ධනය විනාශ වන අතර එමඟින් පිරිහීම සිදු වන බවයි. “ ඉත්ථි ධුත්තො...සුරා ධුත්තො...අක්ඛ ධුත්තො...” යනුවෙන් එය පැහැදිලිව දක්වා තිබෙනවා.

බෞද්ධයන් වශයෙන් අප නිරතුරුවම ආරක්ෂා කළ යුතු නිත්‍ය ශීලය හෙවත් පංච ශීලය ආරක්ෂා නොකිරීම මේ පිරිහීමට හේතුව බව අපට පැහැදිලි වෙනවා.

ස්ත්‍රීන් කෙරෙහි ලොල් වී තමා උපයන ධනය ඔවුන් වෙනුවෙන් විය පැහැදැම් කරන්නාගේ ධනය කිසිසේත් ඉතිරි නොවේ. ස්ත්‍රින් පසු පස යාම නිසා ඔහුගේ කර්මාන්ත ,රාජකාරි සියල්ල අත පසු වනවා පමණක් නොව ධනෝපායන මාර්ග ඇහිරී යනවා. බස් නැවතුම්පොළ මෙන්ම දුම්රිය ස්ථානවලද උද්‍යාන ඇතුළු පොදු තැන් මෙවන් පිරිහෙන ඇතැම් පුද්ගලයන්ගේ නැවතුම් පොළ බවට පත්ව තිබෙනවා. ඔවුන් වරුගණන් මේ ස්ථානවල ළතවෙමින් ස්ත්‍රින් වෙනුවෙන් කාලය ගත කරනවා. එසේ වී නම් කෙසේ ඔවුන් දියුණුව කරා යන්නේද ? යන ප්‍රශ්නය පැන නඟිනවා. දිනෙන් දිනම ඔවුන් පිරිහීමට පත් වෙනවා. එක් ස්ත්‍රියක් කරා නොගොස් විවිධත්වයන් කරා යාම මේ පුද්ගලයන්ගේ ක්‍රමවේදයයි .මේ බව දැන ගන්නා සමාජය එම පුද්ගලයා පිළිකුල් කරනවා. ‘සල්ලාලයා , ‘එසේ නැත්නම් ‘අනංගයා’ වැනි විවිධ අපහාසාත්මක නම් වලින් ඔහු හඳුන්වනවා. ඇතැම් විට ධනය යහමින් තිබෙන අයකු නම් ඔහු සමඟ එළිපිට සිනහ වී ඔහු නොමැති විට ඔහුගේ සැබෑ ස්වරූපය හොවා දැක්වීම සමාජයේ බොහෝ පුද්ගලයන්ගේ සිරිතයි.

සමාජයට අවැඩදායක මෙන්ම තමන්ද පිරිහීම කරා යන මේ වැනි අය සමඟ ඇසුරු කරන පුද්ගලයන් පවා පිරිහීමට ලක් වෙනවා.

එසේම සුරාව සූදුවට යන්නාට සිදු වන්නේද තම ධනය විනාශ වී යාමයි. සුරාව පානය කරන්නාට සිදුවන විනාශයන් ගැන අප මීට පෙරද කතා කළා. සමාජයේ දැඩි පිළිකුලට ලක්වන සුරාව පානය කරන්නාගේ සිහි බුද්ධිය අඩාළ වනවා. ඔහු හා ආවාහ විවාහ සඳහා තරුණියන් අකැමැති වනවා. සමාජය ඔහු හා ඇසුර ප්‍රතික්ෂේප කරනවා.’ ‘බේබද්දා’ යන පොදු නාමයට ඔහු ලක් වන්නේ නිතැතින්මයි. පොදු වාහනයක පවා ඔහුට ගමන් කිරීමට නොහැකි වනවා. සමාජයේ නීතිය ඉදිරිපිටදී පවා ඔහු නොසැලකිල්ලට පත්වනවා. මීට හොඳම උදාහරණය වන්නේ මහා මාර්ගයක සුරාව බී යම් අයකු ගමන් කරන විටකදී වාහනයක ගැටී අනතුරකට පත් වූ අවස්ථාවකදී එම තැනැත්තාට වඩා වාහනයේ රියැදුරුට නීතිය රැකවරණය වැඩි වනවා .

එපමණක් නොව පවුලේ සමඟිය නැති වී පවුලේ අඹූ දරුවන් වෙතින්ද ඔහු ගැරහුමට ලක් වනවා. එසේම අඹු දරුවන් ආරක්ෂා රහිත තත්ත්වයට පත්වනවා. අධ්‍යාපනය ලබන දූ දරුවන්ගේ ඉගැනුම අඩාල වෙනවා. එවන් දරුවන්ටද සමාජයේ නිසි තැන ලැබෙන්නේ නැහැ. මේ සුරාපානය කරන්නාට මිතුරන් සිටින්නේ අතේ මුදල් ඇති තාක් පමණයි. එමෙන්ම වර්තමානයේ මත් වතුර මුවාවෙන් ඉතා උග්‍ර විස? මත් වතුරද සමාජයේ එළි බැස තිබෙනවා. එමඟින් ජීවිතයේ ආයුෂ ඉතාම කෙටිවනවා. එවන් තැනැත්තන් පිරිහෙන්නේ එලොව මෙලොව දෙලොවදීමයි. සූදුව කරා යන්නාටද අත් වන්නේ එවන් ඉරණමකි. සූදුවේ ජය ගත් කල ඔහුට සතුරන් ඇති වෙනවා. ජය ගත් මුදල් පැහැර ගැනීමට ඔවුන් උත්සාහ දරනවා. සූදුවෙන් පැරැදුණු කල ඔහු දැඩි ශෝකයට පත් වෙනවා. මේ නිසා සූදුවෙන්ද කිසිවිටක කිසිවකුට ජය ගත නොහැකි බවයි බුදු දහමේ උගන්වන්නේ. ධන හානිය සිදුවන්නේ ඇස් පනා පිටමයි. කෙතරම් ධනය තිබුණද ස්ත්‍රීන් කෙරෙහි ලොල් වුවහොත් හෝ සූදුවට යන්නකු හෝ වුවහොත් ඔහු ලබන ලබන සියලු දේ විනාශ වන බවයි බුදුදහමේ දැක්වෙන්නේ. එම තැනැත්තා දිනෙන් දිනම පරිහානියට පත් වෙනවා. සමස්ත සමාජයේම අපහාසයට ඔහු පත් වනවා. ස්ත්‍රීන් කෙරෙහි අනිසි ඇල්ම, සුරාව, සූදුව මේ පිරිහීමේ දොරටු විවෘත කර ගැනීමෙන් පසුව යළි වසා දැමීම පහසු නොවන බවද දැන ගත යුතුය. මේ නිසා එම පිරිහීමේ දොරටු වෙත ඇදී නොගොස් සමාජයේ යසස කීර්තිය වඩවන පුද්ගලයන් ලෙස ජීවත් වීමේ අගය මේ ගාථාවෙන් අප තේරුම් ගත යුතු වනවා.