Print this Article


සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 43

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 43

විසාලා නුවර සිදුවූ තවත් වැදගත් සිදුවීම්

සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසුව බුද්ධ ශාසනයේ ප්‍රථම ධර්ම සංගායනාව සිදුවූ අතර ඉන්පසුව බුද්ධ ශාසනය නැවත දිගු කලක් ඉතා විනයගරුකව තිබූ අතර සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ඇතුළත නැවත ධර්ම සංගායනාවක් කිරීමේ පසුබිම සකස් විය. එම දෙවන ධර්ම සංගායනාව කාලාශෝක රජු සමයේ හා තුන්වන ධර්ම සංගායනාව ධර්මාශෝක රජු සමයේ පැවැත්වූයේ මේ විසාලා මහනුවර මූලික කරගනිමින්ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ඉක්ම යාමට ප්‍රථම දෙවෙනි ධර්ම සංගායනාවක් සිදුකිරීමට මූලික වූයේ වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලා විනය විරෝධී දස අකැප වස්තු දහයක් කැපයයි ප්‍රකාශ කිරීමත් ඒ අකැප වස්තු දහය අනුගමනය කරමින් බුද්ධ ශාසනයට විශාල හානියක් කිරීමට මාර්ගෝපදේශකත්වය ලබා දීමත් නිසාය. එකල වජ්ජි රාජ්‍යයේ රජ වූයේ කාලාශෝක රජතුමාය. සබ්බකාමී මහරහතන් වහන්සේ ප්‍රමුඛ හත්සියයක් මහරහතන් වහන්සේ සංගායනාවට සහභාගි වූහ. සංගායනාව පැවැත් වූයේ විසාලාමහනුවර වාළුකාරාමයේදීය. ප්‍රධාන දායකත්වය කාලාශෝක රජු විසින් දරන ලදී.

දෙවෙනි ධර්ම සංගායනාවට මූලික හේතුව වූ දස අකැප වස්තුව මෙසේය.

සිංගිලෝණ කප්ප


පැට්නා පාලම


ද්වංගුල කප්ප
ගාමාන්තර කප්ප
ආවාස කප්ප
අනුමති කප්ප
ආචින්න කප්ප
අමථිත කප්ප
ජලෝගි කප්ප
අදසක නිසිදන කප්ප
ජාත රූප රජත පට්ග්ගහණ කප්ප

ඉහත කී දස අකැප වස්තුව කැප වශයෙන් පිළිගන්නා ලෙස කරන ලද ප්‍රබල ඉල්ලීම මත මේවා බුද්ධ නීතිය, අනුව කැපද? නැතිනම් අකැපද? යන්න තීරණය කිරීම සඳහා දෙවෙනි ධර්ම සංගායනාව පවත්වන ලදී.

එහිදී ඊට සහභාගි වූ මහා සංඝරත්නය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පාවිත්තියට සහ විනයට සම්පූර්ණයෙන් පටහැනි නිසා අකැප වස්තු වශයෙන් ඒවා ප්‍රතික්ෂේප කළහ. එහි අනියම් ප්‍රතිඵලයක් වශයෙන් සංගායනාව අවසානයේදි වජ්ජි පුත්තක භික්ෂූන් ද තවත් මහා සංගායනාවක් කැඳවූහ. ඊට ද දස දහසක් භික්ෂූන් වහන්සේලා සහභාගි වූ බව සඳහන් වේ. මේ නිසා සංඝරත්නය දෙපිරිසකට බෙදුනු අතර බුද්ධ භාෂිතය අනුව යමින් අකැප වස්තු පරිහරණය නොකළ භික්ෂූන් වහන්සේලා ථෙරවාදී හෙවත් ස්ථීරවාදී භික්ෂූන් වූ අතර ඉතිරි භික්ෂූන් වහන්සේ මහා සාංඝික වශයෙන් හඳුන්වනු ලැබීය.අශෝක අධිරාජ්‍යයාගේ කාලයේදී සංඝ ශාසනයේ පිරිහීමක් පැවති බවත් එනිසා තෙවෙනි ධර්ම සංගායනාවද විසාලා නුවරදීම පවත්වන ලදී. ඒ ධර්මාශෝක මහ රජතුමාගේ කාලයේ සසුන පිරිහී තිබූ නිසා එවකට බුද්ධ ශාසනයේ වැඩ සිටි මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් ධර්මාශෝක මහ රජතුමාගේ ප්‍රධාන දායකත්වය ඇතිව පාඨලී පුත්‍රයේ අශෝකාරාමයේදී දහසක් මහ රහතන් වහන්සේ සම්බන්ධ වී සිදු කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් නමයකට බුදු දහමේ උතුම් පණිවිඩය රැගෙන යන ලදී. එයද සිදුවුවේ විසාලා මහනුවර මූලික කර ගනිමින්ය.

ශ්‍රී ලංකාවේ දුටුගැමුණු මහ රජතුමන් විසින් සාදවන ලද රුවන්වැලි සැ ප්‍රතිෂ්ඨාපන උත්සවය සඳහා විසාලාවෙන්ද මහ සඟරුවන වැඩමවා ඇති බව ශ්‍රී ලංකාව තුළ ලියවූ මහාවංශයට අනුව පැහැදිලි වේ.

විසාලා මහනුවර සමීපයේම පිහිටා ඇති ගංගානම් නදිය ගැනද අප අවබෝධ කරගත යුතුය. හින්දු භක්තිකයන්ගේ පූජනීයම ගංගාව ගංගානම් නදියයි. හින්දු භක්තිකයන්ගේ ජීවිතයේ බොහෝ කටයුතු සිදුවන්නේ මේ ගංගාව මූලික කර ගනිමින්ය. හින්දු භක්තිකයන් ඉහළින්ම පුද පූජා කරනුයේ ශිව දෙවියන් හටය. මේ නදියද ශිව දෙවියන්ගේ ජටා මස්තකයෙන් ආරම්භ වන බවට ඔවුන් විශ්වාස කරයි. එම නිසා ගංගා තුළ උදෑසන කරවටක් දක්වා දියේ බැස සිටීම මරණයට පත්වන තම ඥාතීන්ගේ දේහය පුලුස්සා දැමීම සඳහාද ඔවුන් ගංගානම් නදියට රැගෙන ඒම සුවිශේෂී කරුණකි. ඉන්දියානු හින්දු භක්තිකයන්ගේ පූජනීයම ස්ථානය වන ගංගානම් ගඟ ඔබට දඹදිව වන්දනාවේ යෙදෙන විට ස්ථාන කිහිපයකදී හමුවේ. එහිදී ඔබට මේ ගංගාව දැක ගත හැකි විශේෂම ස්ථානය පැට්නා නගරය පසු කරමින් විසාලාවට යන අතර තුරේදීය. පැට්නා නගරය පිහිටා ඇත්තේ ගංගා නම් ගගේ දකුණූ ඉවුෙර්ය. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක් වන්නේ මෙහිදී ඔබට හමුවන ගංගා නම් නදිය හරහා ඉදිවූ කිලෝමීටර් හත හමාරක් පමණ දිගින් යුතු පාලමයි. මෙය චීන රජය විසින් ඉන්දියාවට නිදහස ලබාදීමට මූලික වූ අවිහිංසාවාදයේ පියා ලෙස හඳුන්වන ඉන්දියානු මිනිසුන්ගේ හදවත තුළ තවමත් ජීවත් වන මහත්මා ගාන්ධිතුමාට උපහාරයක් ලෙස ‘ගාන්ධි සේතුම්’ නමින් මේ පාලම නිර්මාණය කර ඇත. මේ පාලම මතින් යන ඔබ ගංගාව දෙස හොඳින් බලන්න. මහා සයුරක් සේ ගලා යන බව ඔබට දැකගත හැකිය. ලෝකයේ විශාලතම ගංගාවන්ගෙන් එකක් ලෙස වාර්තාවන් අතරට ගංගානම් නදියත් එකතු වේ.

තවත් කොටසක් අධි ඇසළ පුර පසළොස්වක පොහෝදා  ජූලි 01 වනදා පත්‍රයේ


පසුගිය සතියෙන් - සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 42