Print this Article


පින් පව් කුසල් අකුසල් හැඳින ගැනීම

පින් පව් කුසල් අකුසල් හැඳින ගැනීම

සිත, කය, වචන තුන් දොරින් කුසල් අකුසල් පින් පව් කිරීම සිදු වේ.

සිතින් කරන දේ කුසල් හෝ අකුසල් වන අතර කයින් හා වචනයෙන් කරන දේ පින් හෝ පව් වනු ඇත.

සිතින්, කයින් හා වචනයෙන් කරන කර්ම පථ දහයකි.

මෙම කර්ම පථ දහය කොටස් දෙකකට බෙදේ. එම කොටස් දෙකෙන් එකක් චෛතසික කර්ම වන අතර අනෙක චේතනා කර්ම වේ. එයද කොටස් තුනකි. එනම් සිතින් කරන, කයින් කරන, වචනයෙන් කරන යන කොටස් තුනයි. සිතින් කරන කර්ම පථ තුනයි. කයින් කරන කර්ම පථ තුනයි. වචනයෙන් කරන කර්ම පථ හතරයි.

සිතින් කෙරෙන කර්ම පථ තුන චෛතසික කර්ම වන අතර කයින් කරන කර්ම පථ තුන හා වචනයෙන් කෙරෙන කර්ම පථ හතර වන කර්ම පථ හත චේතනා කර්ම පථයි.

කයින් කෙරෙන්නේ සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම යන පව් තුනයි. වචනයෙන් කෙරෙන්නේ බොරු කීම, කේලම් කීම, පරුෂ වචන කීම, සම්පප්ප්‍රලාප කීම යන පව් සතරයි.

සිතින් කෙරෙන අකුසල් මූල වන්නේ ලෝභ, ද්වේෂ, මෝහයි, කුසල් මූල වන්නේ අලෝභ, අදෝෂ, අමෝහයි. අකුසල් කර්ම පථ තුන අභිධ්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටියයි.

එසේම අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මා දිට්ඨි කුසලයන් වන්නේය. සෑම දෙයකටම සිත මුල් වුවත් සිතින් කරන කිසිවක් කයින් වචනයෙන් කිරීමට හැකියාවක් නැත. සිතින් පිනක් කිරීමටවත් පවක් කිරීමටවත් නොහැකිය. සිතින් කළ හැක්කේ කුසල් හෝ අකුසල් පමණි. කටින් හෝ වචනයෙන් කිසිම කුසලයක් හෝ අකුසලයක් කිරිමට හැකි කමක් නැත. එයින් කළ හැක්කේ පින් හෝ පව් පමණි.

කුසල් අකුසල් යනු සිතින් කරනු ලබන දෙයයි.

පින් පව් යනු සිත මුල් වීමෙන් කටින් හා වචනයෙන් කරනු ලබන දෙයකි.

තමුන් කැමති පරිදි ඕනෑ තරම් පින් පව් කළ හැකිය. අකුසල් නිතරම නිතැතින්ම වාගේ අභාවිත සිත්වල ඇතිවේ. එහෙත් කුසල් කිරීම පහසු නැත. සිත ගැන අවදියෙන් සිටිමින් සෝදිසියෙන් සිටියොත් නිතැතින් පැමිණෙන අකුසල් සිත් හැඳින ඒවා යටපත් කර කුසල් සිත් ඇති කරගත හැකිය. කටින් කරන පව් හා කයින් කරන පව්වලින් මිදුණු පසුව ඇත්තේ අකුසල් බැවින් ඒවා භාවනා මගින් යටපත් කිරීම කළ යුතුය.

පංච නීවරණවලින් වැසී තිබෙන සිත සමථ භාවනා ආදි භාවනාවලින් කෙලෙස් අකුසල් යටපත් කර කුසල් සිත් ඇති කර ගත යුතුය.

යමක් දීමට සිතන විටම එය සිතින් සිතන බැවින් කුසලයකුත් දෙනවිට ගතින් කරෙන බැවින් පිනකුත් ලැබේ.

(දහමෙහි හැසිරීමෙන් දහම් පොත පත පරිහරණයෙන් ලැබු දැනුමෙන් ලියන ලද්දකි. දහම් ලැදි කාගෙත් යහපත පතා යම් දොසක් ඇතොත් සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගැනීමට හැකි වන ලෙස පහදා දෙන්නේ නම් මැනවි.)