Print this Article


බෞද්ධාලෝක වෙසක් කලාපය

බෞද්ධාලෝක වෙසක් කලාපය

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් 14 වන වරටත් සංවිධානය කරනු ලබන බෞද්ධාලෝක වෙසක් කලාපය කොළඹ බෞද්ධාලෝක මාවත කේන්ද්‍ර කර ගනිමින් කනත්ත වටරවුමේ සිට තුන්මුල්ල මංසන්දිය දක්වා මැයි 03 වැනිදා සිට මැයි 06 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වෙසක් පොහෝදින සීල සමාධි වැඩසටහනට සමගාමීව ධර්ම දේශයකයන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් ධර්ම සාකච්ඡා ඇතුළු ප්‍රතිපත්ති පූජාවන් සම්මේලන මූලස්ථාන ශාලාවේදී පැවැත්වේ.

සෙංකඩගල ගෙඩිගේ රාජමහා විහාරස්ථානයෙන් වැඩම කරන ලද සර්වඥ ධාතුන් වහන්සේලා එදිනම සවස 6.30 ට පමණ බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව සලසා ඇත.

බෞද්ධා ලෝක වෙසක් කලාපය තුළ වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු නිර්මාණ, චිත්‍ර ප්‍රදර්ශන, භක්තිගීත හා බණ්ඩාරනාය ජාත්‍යන්තර අනුස්මරණ ශාලා පරිශ්‍රය තුළ බෞද්ධ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට කටයුතු සම්පාදනය කර ඇත.

බෞද්ධාලෝක පහන් කූඩු හා චිත්‍ර ප්‍රදර්ශනය සඳහා සහභාගි වන ජයග්‍රාහකයින්ට මුදල් ත්‍යාගවලට අමතරව සහතිකපත් පිරිනමනු ඇත. බෞද්ධාලෝක මාවතට ඇදී එන ජන- තාවට ආහාර මෙන්ම සිසිල්, තේ පැන් දන්සල් රාශියක් සංවිධානය වෙමින් තිබේ.

ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය, මැලිබන් , ඩයලොග්, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇතුළු ආයතනවල අනුග්‍රහයකත්වය ලබාදී ඇති අතර බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් සභාපති ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් යුතු බෞද්ධාලෝක වෙසක් සංවිධායක කමිටුව අවශ්‍ය පියවර ගනිමින් සිටී.