UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇඟිලි තුඩයි ගල් කටුවයි සැදැහැබවයි එක්වෙලා මහ ගල්කුළු සිඳ බිඳ එයි සම්බුදු ගුණ ගල ගලා

ඇඟිලි තුඩයි ගල් කටුවයි සැදැහැබවයි එක්වෙලා මහ ගල්කුළු සිඳ බිඳ එයි සම්බුදු ගුණ ගල ගලා

ලොව විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන පූජෝපහාරයට රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරයේ දී 30 වන දා නිරාවරණය කෙරෙන වගයි

කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් මහාවිහාරයෙහි පිහිටි මහාගල් පර්වතයක අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශ්වයේ මහානායක ශාස්ත්‍රපති එගොඩ මුල්ලේ අමරමෝලි මහානාහිමියන්ගේ අනුශාසනා පරිදි නෙළන ලද ශෛලමය සමාධි මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ අප්‍රේල් මස 30 වන දා පස්වරු 3.30 ට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහානාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමි, අමරපුර සංඝ සභාවේ සභාපති දොඩම්පහල චන්දසිරි මහානාහිමි මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් ඇතුළු මහ සඟරුවනෙහි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් ප්‍රධාන දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මහජන පූජෝපහාරය පිණිස නිරාවරණය කෙරේ.


ධෛර්ය හා කැපවීම ප්‍රශංසාවට පාත්‍ර වෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් භූමියෙහි 2002 වර්ෂයේ ආරම්භ කරන්නට යෙදුන අඩි 67.5 ක් උසැති ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළීමෙහි වැඩ කටයුතු මේ වන විට නිමවෙමින් පවතින බව අසන්නට ලැබීම අපගේ සතුටට කරුණකි. පුරා වසර දොළහකට අධික කාලයක් මෙම ප්‍රතිමාවහන්සේ නිර්මාණය කරණයෙහි කටයුතු සිදුකොට ඇති අතර එහිලා අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික නිකායේ ගරුතර මහානායක ධුරන්ධර එගොඩමුල්ලේ අමරමෝලී නායක ස්ථවිර පාදයන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම අපගේ ප්‍රශංසාවට පාත්‍ර වෙයි. ව්‍යවහාර වර්ෂ 2015 වූ අප්‍රේල් මස 30 වන දින මෙම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සුවහසක් සැදැහැති ජනතාවගේ චිත්තප්‍රසාදය සඳහා නිරාවරණය වීම සම්බන්ධව අපගේ සුභාශිංසන එකතු කරන අතර එහිලා ප්‍රෝත්සාහීව කටයුතු කළ නායක ස්ථවිරපාදයන් වහන්සේ ඇතුළු සියලු දෙනාට ශ්‍රීමත් දංෂ්ටා ධාතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් හා තෙරුවන් බෙලෙන් තව තවත් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් වැදගත් මෙහෙයක් ඉටු කිරීමට ශක්තිය හා ධෛර්ය ලැබේවායි ඉතසිතින් ආශිංසනය කරම්හ.


ශ්‍රේෂ්ඨ ප්‍රතිඵලයක්

බුදුන්වහන්සේ යනු අප්පටිම පුද්ගලයෙකි. උන්වහන්සේ සතු අතිමානුෂීයවූත්, අත්‍යුත්තරවූත්, මහාකරුණාව, මහා ප්‍රඥාව වැනි ගුණාංග කෙලෙස් බර පුහුදුන් මිනිසුන්ට නිර්මාණය කළ නොහැකි බැවින් ප්‍රතිමාකරණයට මුල් යුගයේ බෞද්ධයෝ උදාසීන වූහ. පූර්ව කනිෂ්ක සමය තුළ බුදුන් වහන්සේ සංකේතවත් කරනු පිණිස, පද්මය, බෝපත්‍රය, බෝධි මණ්ඩපය, ධර්ම චක්‍රය වැනි සංකේත සාමාන්‍ය ජනයාගේ පහන් සංවේගය දනවනු පිණිස භාවිත කර ඇත. පසුකාලීනයන්ගේ ආගමික විපර්යාසයන් සමඟ ඇපලෝ (සූර්යදේව) වැනි ප්‍රතිමා කලාවන් ලොවෙහි නිර්මාණය වී තිබීමත්, ඒවායෙහි ආභාසය ගෙන බුද්ධ ප්‍රතිමා නිර්මාණය කිරීමටත් බෞද්ධ කලාකරුවා නිතැතින්ම පෙලඹී ඇත. පසු කලෙකදී එහිදී විවිධ ඉරියව් ඔස්සේ බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කළ ආකාරය ගාන්ධාර, මථුරා, අමරාවතී, ගුප්ත වැනි භාරතීය කලා සම්ප්‍රදායන්ගෙන් මනාව විශද වන කරුණකි. ශ්‍රී ලාංකේය බුද්ධ ප්‍රතිමාව තුළ දක්නට ඇත්තේ තදීය කලාවන්ගේ සාධනීය මිශ්‍ර ලක්ෂණ බව අපගේ ද පිළිගැනීමයි. වර්තමානයේ ලොව විවිධ රටවල ගොඩනැගෙන බුද්ධ ප්‍රතිමා දෙස බලන විට පෙරටද වඩා ඒවා බෙහෙවින් විවිධත්වයෙන් යුතු බව වටහා ගැනීම අපහසු නැත. එමඟින් කලාකරුවන්ගේ කුසලතාවත්, තාක්ෂණික දියුණුවත් වඩාත් පිළිබිඹු වන බවද නොරහසකි. විසිඑක්වැනි සියවසට ප්‍රවේශවත්ම ප්‍රතිමාකරණයේ සිදුවූ සුවිශේෂී ප්‍රවණතාවන් කරණකොටගෙන ඒවායෙහි නාට්‍ය ලක්ෂණද වඩාත් පුළුල්ව දැකගන්නට හැකිවී තිබේ. මොණරාගල, රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන තුළ ඉදිකළ සම්බුද්ධ ශෛලමය ප්‍රතිමාවහන්සේද එබඳු ව්‍යායාමයක ශ්‍රේෂ්ඨ ප්‍රතිඵලයක් බව කිව යුතුමය. එබැවින් ඒ වෙනුවෙන් සර්වාකල්පයන්ගෙන් ව්‍යවෘත වූ එගොඩමුල්ලේ අමරමෝලී මහානායක ස්ථවිරයන් වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණින්, ශ්‍රීමත් දළදා වහන්සේගේ ආශීර්වාදයෙන් මෙවන් උදාර කාර්යයන් තවදුරටත් සිදුකිරීමට ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවායි ද ආශිංසනය කරම්හ.


ඉරහඳ පවතින තරමට ප්‍රබල වූවක්

කුරුණෑගල රිදීගම රම්බොඩගල්ල විද්‍යාසාගර පිරිවෙන පුණ්‍යභූමිය කේන්ද්‍ර කොටගෙන හිත්පිත් නැති ගොරහැඩි මහ ගල්කුළෙක සැඟවී තිබූ මහා කරුණාවක් අති විශාල බුද්ධ ප්‍රතිමාවකින් නිරූපණය කොට නෙළා හුදී ජනයාගේ වන්දනා මානයට පාත්‍ර කරවීමට තම සිත් පහදවා ගත් අමරපුර අරියවංශ සද්ධම්මයුත්තික නිකායේ මහානායක ශාස්ත්‍රපති පණ්ඩිත එගොඩමුල්ලේ අමරමෝල මහා ස්ථවිරපාදයන් වහන්සේ වෙත මම මෙසේ මහත් ශ්‍රද්ධාවෙන් පුණ්‍යානුමෝදනා කරමි. මේ සඳහා ගත් දැඩි වෙහෙස මෙන්ම අප්‍රතිහත ධෛර්ය ශ්‍රී ලංකා බෞද්ධයන් පමණක් නොව දෙස් විදෙස් බෞද්ධයන් නොවුවෝ ද සාක්ෂි දරන බව මගේ විශ්වාසයයි.

මහානායක ස්ථවිරයන්ගේ බුදුදහමේ චිරස්ථිතිය පිණිස සනිටුහන් කරන ලද මේ බුද්ධ සංකේතය ඉර හඳ පවතිනා තෙක් පවතින තරමට ප්‍රබල වුවක්ම වන බව ද මම අදහමි. මේ සඳහා අනූපමේය වෙහෙසක් දරමින් උන්වහන්සේට ශක්තියක් වූ එම නිකායේ මහා ලේඛකාධිකාරී පෑලියගොඩ ගංගාරාමාධිපති සද්ධර්මජෝතිකධජ ආචාර්ය වල්පොල විමඤාණ මහා ස්ථවිරයන් හට ද මාගේ කෘතඥතාවය විශේෂ කොට පිරිනමමි. තවද මේ සඳහා ඉතා සුළුමුදලේ පටන් මහාධන පරිත්‍යාගයන් කළ බෞද්ධ අබෞද්ධ පින්වතුන්ට ද කිවයුතුව ඇත්තේ අපේ ධර්මයේ සඳහන් පරිදි නිවන් දක්නා ජාති දක්වා උපදිනා සෑම භවයක දීම ඔබ කළ පරිත්‍යාගයේ ප්‍රමාණය නොසලකමින් නැණ – නුවණ – ප්‍රඥා ඇත්තෙක්ව ඉපදීමට හේතු වාසනා ලැබූ බවය. ඒ කිසිවක් නිසා නොව ඔබ දායක වූයේ රූපයක් නෙළීමට නොව ලොව මෙතෙක් පහළවූ අනුත්තර වූ බුද්ධිමතාණන්ගේ ප්‍රඥා මහිමය ගුණ මහිමය සිහියට නඟා ගැනීමට දැන්මෙන්ම අනාගතයේ බොහෝ ජනයාට ද අවස්ථාවක් සැලසූ හෙයින්මය.


වැදගත් දායාදයක්

රම්බඩගල්ල - මොණරාගල ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති, ශාස්ත්‍රපති අතිපූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි මහානායක ස්ථවිරයන් වහන්සේගේ අප්‍රතිහත වීර්යයෙන් කැපවීමෙන් රම්බඩගල්ල - මොණරාගල විහාරයේ ඉදිකරන ලද යෝධ සෙල්පිළිම වහන්සේ ආගමික වශයෙන් පමණක් නොව සංස්කෘතික වශයෙන් හා ජාතික වශයෙන් ද වැදගත් දායාදයක් වේ. අඩි 67.6 ක් උසට මහා ගල් පර්වතයකින් මතුකර මෙම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙළීම මෑත යුගයේ සිදුවූ විශ්වකර්ම කාර්යයකි. ලංකා මුදලින් රුපියල් දස ලක්ෂ 119 ක් පමණ වැය කරමින් ඉන්දීය ශිල්පීන්ගේ සහය ලබමින් වසර දහයක පමණ කාලයක් තුළ දී එහි වැඩ නිම කිරීමට කෙබඳු කැප කිරීමක් අමරමෝලි මහානායක ස්ථවිරයන් වහන්සේ සිදුකරන්නට ඇත්ද? අනුරාධපුර, පොළොන්නරු, යුගවලින් පසු ශ්‍රී ලංකාවේ ඉදිකෙරුණු අති විශාල ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ රම්බඩගල්ල- මොණරාගල විහාරයේ ඉදි වූ මෙම ශෛලමය ප්‍රතිමා වහන්සේ වෙති’ යි සිතමි. මෙම පිළිම වහන්සේ සියැසින්ම මම දුටුවෙමි. වත්මන් භික්ෂු පරපුරේ මෙබඳු විශ්වකර්ම නිර්මාණ බිහිකිරීමට සමත් යතිවරයන් වහන්සේලා සිටින බව සිතෙන විට මහත් අභිමානයක් ඇති වේ. සිංහල භික්ෂූන් වහන්සේ නමක් තුළ ඇති ශක්තිය මේ නිර්මාණය තුළින් එගොඩමුල්ලේ අමරමෝලි මහානායක ස්ථවිරයන් වහන්සේ ලොවට පෙන්වූහ.


සදානුස්මරණීය මොහොතක්

මේ අතිවිශාල සද්කාර්යය සඳහා අප ගත් වෙහෙස හා දුක්ඛ දෝමනස්සයන් පිළිබඳව ලියා කියා නිමක් දකින්නට බැහැ. කොහොම හරි පිළිමයේ වැඩ නිමකළා. ඒක ජීවමාන බුදුන් නැවතත් සිරිලකට වැඩම කළා වගේමේ ශෛලමය සමාධි බුදුරුවේ අනන්ත ආශීර්වාදයෙන් යුද ගිනි නිවී මුළු ලෝකයටම සෙත ශාන්තිය උදාවේවා! බුදු පිළිම වංශකතාවේ නව පිටුවක් දිග හැරෙන මේ මෙලොව මේ අසම සම කලානිර්මාණය ගොඩනැඟූ ඉන්දියාවේ මදුරාසියේ ඇතුළු සේවක පිරිසක් ඊස්වරම් බ්‍රදර්ස්හි අධිපති ඊශ්වර්ම් මැතිතුමන්, ඩී.එස්.අයි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ නන්දදාස රාජපක්ෂ මැතිමතුන් එඩ්වඩ් එදිරිසූරිය මහතා ඇතුළු අත හිත දුන් ලොකු කුඩා සියලු දෙනාටත් අපේ දායක පිරිසටත් බුද්ධශාසන අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමාටත්, පුණ්‍යානුමෝදනා කරනු කැමැත්තෙමි.


අසීමිත සතුටක්

රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරයෙහි ගොඩනඟන ලද අසමසම ශෛලමය ප්‍රතිමා නිර්මාණයේ අගය වඩාත් තීව්‍ර වන්නේ එහි පසුබිම සොයා බැලීමෙන්, ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධප්‍රතිමා සංහාරයෙන් පසු එහි අඩුව පිරිමැසීමට ඉදිකළ මේ ප්‍රතිමාව සතුරකුට ඉගැන්විය හැකි හොඳම පාඩමයයි හිතේ. ආර්ථික ශක්තියක් හෝ කෝටිපති දායක පිරිසක් නොමැති අපේ මහානායක හාමුදුරුවන් සතුව පැවැතියේ අධිෂ්ඨාන ශක්තියත් සුසිල්වත් බවත් පමණි. ඒ මත පිහිටා දිවා රෑ නොබලා දස වසරක් පුරා උන්වහන්සේ මේ සඳහා ගත් වෙහෙස අසීමිතය. සියලු බලාපොරොත්තු සපුරාගත් උන්වහන්සේ ඒ පිළිබඳ අසීමිතව සතුටට පත් වී සිටිති. මේ උතුම් සද්කාර්යය සඳහා කැප වූ විහාරාධිපති අමරමෝලි මහානාහිමියන් ප්‍රධාන නිකායික සියලු මහා සංඝරත්නයටත්, දායක කාරකාදීන්ටත් අතහිතදුන් සියලු දෙනාටත් මෙසේ පුණ්‍යානුමෝදනා කරනු කැමැත්තෙමි.


අසම සම කලා නිර්මාණය

පොළොන්නරු යුගයෙන් පසු රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් බිමෙහි ඉදිවූ අද්විතීය මහා ශෛලමය සමාධි ප්‍රතිමාව මහජන පූජෝපහාර සඳහා නිරාවරණය කෙරෙන මේ මොහොතෙහි ඒ පිළිබඳව සටහනක් තබන්නේ ඉමහත් භක්තියෙනි. ඉන්දියාවේ චිර ප්‍රසිද්ධ මහා කලාකරුවෙකු වූ ස්තපති මැතිතුමන් ඇතුළු සහායක පිරිසගේ අතින් නිමවීම අප දෙරටේ සංස්කෘතික සබඳතා දැඩිලෙස වර්ධනය කරන්නකි. මේ අසමසම කලා නිර්මාණය ගොඩනැගීමෙහිලා මුළුමහත් ජීවිතයම කැප කොට ක්‍රියාකළ විහාරාධිපති අපේ අතිගරු එගොඩමුල්ලේ අමරමෝලි මහානාහිමියන් වෙත මුළු මහත් බෞද්ධ ලෝකයාගේම නමස්කාරය හිමි විය යුතු ය. එමෙන්ම මේ උතුම් සද්කාර්යය සපුරා ගැනීම් සඳහා ඇප කැප වූ මහා සංඝරත්නයටත් සියලු රාජ්‍ය ආයතනවලටත්, දෙස් විදෙස් නියෝජිතයන් ඇතුළු සියලු දායකකාරකාදීන්ටත් පොදුවේ ලොකු කුඩා පරිත්‍යාගශීලීන්ටත් අපේ හෘදයාංගම ස්තුතිය පුදකරනු කැමැත්තෙමි.


රම්බඩගල්ල ශෛලමය සමාධි පිළිමය

පොළොන්නරුව 1 වන මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය සමයෙන් පසුව, වසර 816 කට පසුව, අඩි 67.5 ක් උසැති සෙල්මුවා සමාධි පිළිමය, 2002 වසරේ සැප්තැම්බර් මස 13 වන දින සිට 2015 වසරේ මෙම පිළිමය විවෘත වන මොහොත දක්වා වසර 12 ක් තිස්සේ කුරුණෑගල ,මොණරාගල, රම්බඩගල්ල, විද්‍යා සාගර පිරිවෙන් භූමියෙහි, එම පිරිවෙනේ අධිපති, විහාරාධිපති අමරපුර අරියවංශ සද්ධම්ම යුත්තික නිකායේ මහානායක ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් නිර්මාණය කරනු ලබන සේක.රම්බඩගල්ල සෙල්මුවා පිළිමය නිර්මාණ නිමිත්ත මෙම පිළිමය නිර්මාණයට නිමිත්ත කරගත්තේ “නහිවේරේන වේරාණි” වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන බුදු වදනයි. මෙම නිර්මාණයට මහානාහිමියෝ ඇද දැම්මේ අනපේක්ෂිතව දෛවය විසින් යැයි කීවොත් එය සාධාරණයි. එහි පසුබිම මෙසේය. 2001 වසරේදී මාර්තු 16 වනදා ඇෆ්ගනිස්ථානයේ බාමියන් මිටියාවතේ පිහිටි , ලෝක උරුමයක් වූ බුදු පිළිම ත්‍රස්තවාදීන් විසින් විනාශ කරන ලදී. මේ පුවත විකාශනය කරනු ලැබීය. මෙය රම්බඩගල්ල , විද්‍යාසාගර පිරිවෙනෙහි දහම් පාසල් ළමයින් විසින් නරඹනු ලැබීය. ඊට පසු ක්ෂණයකින් වසර 11 ක් පමණ වයස පිරිමි ළමයින් තිදෙනෙකු එකවර නැගී සිට” ලොකු හාමුදුරුවනේ, අපේ බුදු පිළිම කඩනවා නම් අද රෑට අපේ ගම වටේ තිබෙන අන්‍යාගමික ස්ථාන පුළුස්සා දමන්න ඕනෑ” යැයි ආවේගශීලීව පවසා ඇත. මහනාහිමි එකවර කියා ඇත්තේ දැනට මේ තියෙන ජාතික ප්‍රශ්නය මදිවාට, පුංචිකමට තවත් ජාතිවාදී කෝලාහලයකටද මේ අර අඳින්නේ? ඕකට අපේ ගමේ අන්‍ය ජාතික සහෝදරවරු පලි නැහැ. ඕක වෙන්නේ කිලෝමීටර් දහස් ගණනක් ඈත දුර රටකයි. අප කළ යුත්තේ එහෙ කඩනකොට මෙහෙ හදන එකයි යනුවෙනි. අනතුරුව සමාව ගෙන ගෙදර ගිය මේ දරුවෝ තිදෙනා මාස තුනකට පසුව බරට බරේ රුපියලේ කාසි පිරුණු කාසි කැට තුනක් ගෙනවිත් මහානාහිමියන්ට භාරදී, අප පිළිමය හදන්න සල්ලි හොයාගෙන ආවා. දැන් ඉතින් ලොකු හාමුදුරුවෝ පිළිමය හදන්න මේ සල්ලි භාරගන්න කියා කැට තුන භාරදී ඇත. කැට තුන කැඩූ විට ඒ කැට තුනෙහි රුපියල් කාසි 1358, ක් තිබී ඇත. එය තමා මූලික අරමුදල. එතරම් සුළු මුදලකින් පටන්ගත් මේ ව්‍යාපෘතියට අද වන විට මහජන මුදල් රුපියල් කෝටි 10 ක් වැය වී ඇත. මෙම රම්බඩගල්ල සමාධි පිළිමයේ උපතට දායකවූ නිර්මාණ නිමිත්ත, ප්‍රබන්ධ කතාවක් නොව සම්පූර්ණයෙන්ම සත්‍ය කතාවකි. මෙම උත්කෘෂ්ඨ නිර්මාණය ක්‍රියාත්මක කිරීමට යාමේදී නිවැරදි කලාකාමි මූර්ති ශිල්පියෙකු සොයා ගැනීමට එගොඩමුල්ලේ අමරමෝලි මහනාහිමි අධික වෙහෙසක් දැරීය. එම අවස්ථාවේදී කිසිඳු පැකිලීමකින් තොරව කොළඹ ඊස්වරන් බ්‍රදර්ස් සමාගමේ වත්මන් සභාපති දේවනායගම් ඊස්වරන් මැතිතුමා නිස්සරණාධ්‍යාශයෙන් කිසිම ලාභාපේක්ෂාවකින් තොරව, ජාති හිතෛෂීව , දේශ හිතෛෂීව ඉදිරිපත් වී ඇත. එතුමා ද්‍රවිඩ ජාතික හින්දු භක්තික ශී‍්‍ර ලාංකික පුත්‍රයෙකු හැටියට “බුදු දහම ගැනද, පුළුල් අවබෝධයක් ඇති ඥානවන්ත , පිරිපුන් සමාජ සිරිත් විරිත් ගරුකරන දූරදර්ශී මනසකින් පරිපූර්ණ උතුම් මනුෂ්‍යයෙකි.” එතුමා විසින් ලෝකප්‍රකට මූර්ති කලාශිල්පී පද්ම ශී‍්‍ර සම්මානලාභී එම්. මුත්තයියා ස්තපති මහතා හඳුන්වා දෙනු ලැබීය. එතුමා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පුරවැසියෙකු නිසා එගොඩමුල්ලේ අමරමෝලි මහනාහිමියන්ට ඩී.ඊස්වරන් මැතිතුමා සමඟ චෙන්නායි නගරය බලා යාමට සිදුවිය. චෙන්නායි නගරය බලා යාමට එවකට ගුවන් ටිකට්පත් මහානාහිමියන්ට ප්‍රදානය කර ඇත්තේ අද වන විට විශ්‍රාමලත් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් වු සුනිල් කන්දෙගෙදර මහතාය. එගොඩමුල්ලේ අමරමෝලි මහනාහිමි සහ ඩී. ඊස්වරම් සභාපතිතුමා , මූර්ති ශිල්පී එම්. මුත්තයියා ස්තපති මහතා සිටි නිවසේ සතියක් පමණ නේවාසිකකර ගෙන ශිල්පී නිර්මාණ ගාස්තු ගණනය කරන ලදී. මුත්තයියා ස්තපතිතුමාගේ නිර්මාණ ගාස්තුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 50 ක් බවත් තවත් රුපියල් ලක්ෂ 100 ක් ශිල්පීය ගාස්තු වශයෙන් වැයවන බවත් ප්‍රකාශ කර තිබේ. මේ අවස්ථාවේදී මහනාහිමි විශ්මිතව ගල්ගැසී සිටියේ මුදල් හොයාගන්නේ කෙසේද? යන ප්‍රශ්නය නිසාය. ඒක්ෂණයෙන්ම අපේ දයාබර හිත මිත්‍ර කොළඹ ඊෂ්වරන් බ්‍රදර්ස් සමාගමේ සභාපති දේවනායගම් ඊස්වරන් මැතිතුමා මහනාහිමි දිරිමත් කළේ මෙසේයි. ස්වාමීනි, අපේ රටේ බහුතරය බෞද්ධයෝ වෙති. අනිවාර්යයෙන්ම ඔවුන් මෙම පිළිම වහන්සේ කරට ගනීවි, බිය නොවන්න, බිය නොවන්න. මෙම ගණන අපට හරි ලාභයි. අනික දෙවැනි කාරණාව මෙම පිළිමය නිර්මාණයෙහි නිමිත්ත හා අරමුණ ඉතා පිරිසුදු, රන් හා සමාන නිසා බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් හා සෙසු ආගමික ජනතාව, එකමුතුව එකම පවුලක් හැටියට ,අපේ පිළිමයට උදව් කරාවි, එම නිසා හිත තද කරගෙන, බියනොවී කැමති වන්න. බුදුහාමුදුරුවෝ කියා තිබෙනවා නේද? චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” “චේතනාව පාරිශුද්ධ වේ නම් ප්‍රතිඵලය විශිෂ්ටයි” කියා. අපි කැමති වෙමු. එවිට දේවනායගම් ඊශ්වරන් මැතිතුමාගේ මේ අසාමාන්‍ය අවිහිංසාවාදී දිරිගැන්වීම තුළ, දෙවියනේ, අන්තර් ජාතික සහ ජාතික සංහිඳියාවේ උල්පතක් මේ මනුෂ්‍යයා මට පාදා දී පෙන්වනවා නේද? ඔන්න එගොඩමුල්ලේ අමරමෝලි මහා නාහිමිට අවබෝධ වී ඇත. එම නිසාම උන්වහන්සේ පිළිමය නිර්මාණ ගාස්තුවට සිය එකඟත්වය ප්‍රකාශ කළහ. ඒ ආරම්භක අවස්ථාවේ ප්‍රමාණවත් මුදලක් නොමැති වුවද ඊස්වරම් බ්‍රදර්ස් සමාගමේ සභාපති දේවනායගම් ඊස්වරන් මහතා දුන් දූරදර්ශි ධෛර්යය සහ මූල්‍ය සත්කාර ශක්තිය පදනම් කරගෙන ක්‍රි.ව. 2002 සැප්තැම්බර් 13 වන දින නැකතට පිළිම නිර්මාණය ආරම්භ කරන ලදී. පිළිමය නෙළීමට අත තැබූ මූර්ති ශිල්පී පද්ම ශී‍්‍ර සම්මානලාභී මුත්තයියා ස්තපතිතුමා, එගොඩමුල්ලේ අමරමෝලි මහනාහිමිට එකවර ප්‍රකාශ කර ඇත්තේ මෙසේයි” “ස්වාමිනි, මා මෙම පිළිම නිර්මාණය ශී‍්‍ර ලංකාවට කිසිම ගාස්තුවක් අය නොකර නොමිලයේ කරදීමට තීරණය කළා. තවද මා මීට පෙර බුදුපිළිම නිර්මාණ කර නොමැති අතර මින් පසු තවත් බුදු පිළිමයක් නෙළීමට අත ගසන්නෙ නැහැ. මාගේ කලා නිර්මාණ ජීවිතයෙහි විශිෂ්ටතම කලා කෘතිය (Master PIECE) කරගන්නේ ශී‍්‍ර ලංකාවේ රම්බඩගල්ල බුදු පිළිමය යැයි “පවසා ඇත. පිරිපුන් ගුණයෙන් සපිරි සංවේදී කලාකරුවෝ ජාති, වර්ණ, ආගම් කුලභේද වැනි දුශ්ශීල ආකල්පවල නොඇලුණූ සකල ලෝකවාසී දෘෂ්ඨියක් අරමුණු කරගත්, පරහිතකාමි, ගුණාත්මක අගයන් ප්‍රගුණ කරගත්තෝ වෙති. පද්ම ශ්‍රී සම්මානලාභී මුත්තයියා ස්තපති මූර්ති ශිල්පියාණෝ ඇතුළු ඔහුට සහාය වන ශිල්පීන් 12 දෙනාම එවන් ගුණයෙන් සපිරි පිරිසකි. කලානුරූපභාවය ආරක්ෂා කරදීමට ,කුරුණෑගල රත්නපි‍්‍රය සිරිල් මහතා වටිනා දායකත්වයක් ලබා දී ඇත. ප්‍රධාන මූර්ති ශිල්පී, පද්ම ශ්‍රී සම්මානලාභී එම්. මුත්තයියා ස්තපතිතුමා සමඟ පිළිම නිර්මාතෘ එගොඩමුල්ලේ අමරමෝලි මහනාහිමි සහ රත්නපි‍්‍රය සිරිල් මහතා පොළොන්නරුව වටදාගෙය සමාධි පිළිම පරික්ෂාකර බැලීමට වාර කීපයක් ගොස් තිබේ.

 

 
  වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 25 වැනිදා අපරභාග 04.38 ට ලබයි. 26 වැනිදා ඉරිදා අපරභාග 06.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේුල් මස 25 වැනිදා ඉරිදා ය.

 මීළඟ පෝය
මැයි මස 03 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]