UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන්ට නින්දා කළ අක්කෝසක භාරද්වාජ බමුණා රහත් බව ලබයි

බුදුරදුන්ට නින්දා කළ අක්කෝසක භාරද්වාජ බමුණා රහත් බව ලබයි

අක්කොධස්ස කුතො කොධො දන්තස්ස සමජීවිනො
සම්ම දඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො
තස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති
කුද්ධං අප්පටිකුඣන්තො සර්වගාමං ජෙති දුජ්ජයං
උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච
පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති
උභින්නං තිඛිත්ඡන්තං අත්තනො ච පරස්ස ච
ජනං මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අවේදා

සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයෙහි තුන්වන අක්කෝස සූත්‍රයෙහි ඇතුළත් ව තිබෙන ගාථා දෙකකි. ඉහත දැක්වෙන්නෙ ක්‍රෝධ කිරීමෙහි සහ ක්‍රෝධ නොකිරීමෙහි අනුසස් කියන මේ ගාථා ඇතුළු අක්කෝස සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රජගහ නුවර වේළුවනයෙහි කලන්දක නිවාපයෙහිදී. බමුණු ගෝත්‍රයේ උපන් අක්ක්‍රෝසක භාරද්වාජ බමුණට ආරංචි වුණ භාරද්වාජ ගෝත්‍රික සොයුරු බමුණා ගිහිගෙන් නික්ම ගොස් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවිදිවුණාය කියල. එය අහල තදින්ම කිපිල නොසතුටින් බුදුන් වෙතට ගියා. උන්වහන්සේ සමීපයට ගිහිල්ල මොහු අසභ්‍ය වූ වචනයෙන් උන්වහන්සේට බණින්න පටන් ගත්ත. අපහාස කරන්න පටන්ගත්ත. මෙසේ නරක විදියට ආක්‍රෝශ පරිභව කරන බමුණාගෙන් බුදුහාමුදුුරුවෝ මෙහෙම ඇසුව. බමුණානෙනි, ඔබේ නිවසට මිතුරන්, ඇමැතියන්, සහලේ නෑයන් ආගන්තුකව එනවද? භවත් ගෞතමයන් වහන්ස, එහෙම අය ඉඳ හිට මාගේ නිවසට එනව. ඔවුන්ට ඔබ කනබොන දෙයක් හෙම දෙනවද? ගෞතමයන් වහන්ස, එසේ එන අයට මා සමහර දවසක කනබොන දේ දෙනව, බමුණ, හොඳයි කෑමට බීමට ඔබ දෙන දේ ඔවුන් නො පිළිගත්තොත් ඒවා කාටද අයිති වෙන්නෙ.? භවත් ගෞතමයන් වහන්ස, ඔවුන් ඒ නොපිළිගත්තොත් ඒවා අයිති වෙන්නෙ? අපටමයි. එසේ නම් බමුණ, යම් හෙයකින් ආක්‍රෝශ නොකරන අපට ආක්‍රෝශ කරනව නම්, නොකිපෙන අපට යම්හෙයකින් කිපෙනව නම්, කෝලාහල නොකරන අප හා කෝලාහල කරනව නම් ඔබගේ ඒ බැණ වැදීමාදිය අප පිළිගන්නෙ නැහැ. බමුණ, ඒවා ඔබටම ආපසු අයත් වෙනව. එසේම බමුණ ආක්‍රෝශ කරන තැනැත්තාට යමෙක් පෙරලා ආක්‍රෝශ කරනව නම්, කිපෙන තැනැත්තාට පෙරළා යමෙක් කිපෙනව නම්, කෝලාහල කරන්නා හා පෙරළා යමෙක් කෝලාහල කරනව නම් බමුණ, එය තමයි එකතු වී අනුභව කිරීම, එකිනෙකා විසින් එකිනෙකාට කළාට යමක් කිරීම. ඒ නිසා අපි කළාට යමක් කරන්නෝ නොවම්හ බමුණ, ඒ නිසා ඔබගේ බැණුම් අපි එකතුව නො බුදිමු. එකිනෙකාට කළාට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් නොකරමු. එහෙයින් ඔබගේ බැණුම් ඔබටම වේවා. බමුණ ඒවා ඔබටම අයිති වේවයි කියා බුදුන් වහන්සේ වදාළහ.

බුදුන් එහෙම වදාළම බමුණා කියනව ගෞතමයන් වහන්ස, රජු ඇතුළු පිරිස ඔබවහන්සේ රහත් යයි දනිති. එහෙත් භවත් ගෞතමයන් වහන්සේ කිපෙනසුළු කෙනෙක්යි කී ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මෙහි මා මුලින් දැක් වූ ගාථා වදාළ.

“අක්කොධස්ස කුතො කොධං” යනාදී පළමු ගාථාවෙන් බුදුහාමුදුරුවො වදාරනව. බමුණ, මනාව හික්මුණු හෙවත් ශාන්ත වූ සමාන පැවැතුම් ඇති, මනාව දැන සසරින් මිදුණු උප ශාන්ත කෙලෙසුන් නැසූ ( තාදී) නො කිපෙන රහතුන් හට ක්‍රෝධයක් කොයින්ද? කැළම නැත.

“තස්සේව තෙන පාපියො” යනාදී දෙ වන ගාථාවෙන් බුදුන් වහන්සේ කියනව, යමෙක් කිපුණ පුද්ගලයාට පෙරළා කිපෙනව නම් එයින් ඒ තැනැත්තාට ම පව් සිදු වෙනව. යමෙක් තමා හා කිපුණ තැනැත්තාට පෙරළා නො කිපේ නම් ඒ තැනැත්තා දිනීමට අමාරු ක්‍රෝධ කිරීම නමැති යුද්ධය ජයගත්තාවේයි වදාළහ.

“උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච” යනාදී තෙ වන ගාථාවෙන් බුදුහාමුදුරුවො කියනව. යමෙකු අනෙක් තැනැත්තා කිපුණ බව දැන සිහියෙන් යුක්තව ඉවසයි ද? එය දෙදෙනාගේම යහපත පිණිස හේතු වේ යි වදාළහ. “උභින්නං තිචිචිඡන්තං” යනාදී සිවු වන ගාථාවෙන් බුදුන් වහන්සේ කියනව, තමන්ටත් අනෙක් තැනැත්තාටත් යන කිපුණු නොකිපුණු දෙදෙනාටම එනම් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් සිහි කල්පනාවෙන් යුතුව අනෙක් තැනැත්තාගේ ඇණුම් බැණුම් ඉවසනව නම් එය දෙදෙනාටම හොඳ ප්‍රතිකාරයක් වේ යයි වදාළ බුදුරජාණන් වහන්සේ මෙහෙමත් වදාරනව. ධර්මය නොදන්නා වූ අනුවණයත් කියනව එසේ ඉවසන්නා බාලයෙක් හෙවත් මෝඩයෙකියි කියල (මෙය විස්තර කරන අට්ඨ කථාව කියන්නෙ පඤ්චස්කන්ධ ධර්මය පිළිබඳව හෝ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව නොදන්නෝ එසේ (ඉවසන්නා මෝඩයා යයි) කියතියි දැක්වෙනව. එසේ නොඉවසන්නේ ධර්මය පිළිබඳ නොදන්නා අන්ධ බාල අනුවනයෝයයි වදාළ.

බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ විට අක්කොසක භාරද්වාජ බමුණ බුදුන් වහන්සේට මෙහෙම කීව. භවත් ගෞතමයන් වහන්ස ඉතාම හොඳයි. මම ඔබවහන්සේත් ඔබවහන්සේගේ ධර්මයත් ශ්‍රාවක සංඝයාත් සරණ යෙමි. ඔබ වහන්සේ ළඟ මට පැවිද්ද හා උපසම්පදාව ලැබේවා. ඒ අනුව හේ පැවිද්ද හා උපසම්පදාව ලැබීය. අනතුරුව වනගතව භාවනා වඩා අර්හත්වයට පත් ව භාරද්වාජ භික්ෂුව රහතුන් අතර එක් නමක් විය.

මේ අක්කෝසක භාරද්වාජ සූත්‍රයෙන් අපට උගත යුතු අතිශය වැදගත් ධර්මයක් උගන්වයි. අප අතර නිතර අඬ දබර කල කෝලාහල ඇතිවන්නේ ක්‍රෝධය තරහව, ද්වේශය, කියන අසද්පුුරුෂ ධර්මය නිසයි. ක්‍රෝධය මැඩ පවත්වා ගැනීම ඉතා අපහසු එමෙන්ම දිනීමට අමාරු යුද්ධයක් හැටියට බුදුරජාණන් වහන්සේම දක්වල තියෙනව. ක්‍රෝධය මැඩළීමට නම් හොඳ සිහියෙන් යුක්තව ඉවසන්න ඕන. ඉවසන්න නොහැකි වූ විට ක්‍රෝධ වූ පුද්ගලයා හොරා, මෝඩයා, පිස්ස, ඔටුව, ගොණා, කොටළුව ආදී වශයෙන් දස ආක්‍රෝශ වස්තුවලින් ආක්‍රෝශ කරමින් හොඳයි මුණ්ඩක, ශ්‍රමණය මා ළඟ පොල්ලක් වත් නැහැ. තෝ රජ්ජුරුවන්ට අල්ලලදීල දඬුවම් කරවනව. යනාදී වශයෙන් පරිභව කරනව. යනුවෙන් අට්ඨ කතාව ආක්‍රෝශ පරිහාස යන වචන නිර්වචන කර තිබෙනව. මොහු බුදුන් කෙරෙහි මෙතරම් කිපීමට හේතු වුණේ ඔහුගේ දෙටු සොහොයුරු පැවිදි කිරීමයි. ඔහු පැවිදි කිරීම නිසා තමාගේ පියාපත් බිඳ දැමීය. සිත ක්‍රෝධ කළ මොහු බුදුන් වෙත පැමිණ ඇත්තේ ආක්‍රෝශ කරන ගාථා පන්සියයකින් නින්දා අපහාස කරමින් බව කියනව. එහෙත් ඔහු අවසානයේ මහණව රහත්භාවයට ද පැමිණියා. මේ පොතේම සඳහන්වන ධනඤ්ජානි සූත්‍රයෙහි දැක්වෙන ගාථා දෙක ද ඔබට ප්‍රයෝජන වත් වේයයි සිතෙන නිසා එය ද මෙහි දැක්වීමට අදහස් කළෙමි. බුදුන් වෙත ගිය ධනඤ්ජානි බමුණා උන්වහන්සේට මෙසේ කීව.

ගෟතමයන් වහන්ස, කුමක් දවා සැපයේ නිදන්න හැකිවේද? කුමක් දවා (නසා) ශෝක නොවී සිටිය හැකිවේද? කවර නම් එක් ධර්මයක් නැසිය යුතු ද? කියා විචාළ, එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනව.

බමුණ, ක්‍රෝධය නැසුවහු සුවසේ නිදියි. ක්‍රෝධය නැසුවහු ශෝක නොකෙරෙයි. දුක්විඳීමට මුල් වූ එහෙත් මිහිරි අවසානයක් ඇති ක්‍රෝධය නැසීම ආර්යයෝපස්සති. එම ක්‍රෝධය නැසුවෝ ශෝක නොකෙරයි.

යමෙක් සුවසේ සිටීමට මෙන්ම හැමගේ සිත දිනා ගැනීමට කැමැති නම් හේ අනෙකාට ක්‍රෝධ නොකර ඉවසන්න පුරුදු වන්න. එසේම අන්‍යයාට මෛත්‍රී කරන්න. රහතන් වහන්සේ ක්‍රෝධය නැසූ උතුමෙක් නිසා සුවසේ නොවිසි වදාළ සේක.

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]