Print this Article


බක් මහ උළෙලෙහි බොදු පදනම

බක් මහ උළෙලෙහි බොදු පදනම

මේ බක් මාසයයි. සිංහල බෞද්ධයන් විසිනුත් දෙමළ හින්දූන් විසිනුත් අලුත් අවුරුදු උත්සවය පවත්වනු ලබන මාසයයි. බක් මාසයෙහි පැවැත්වෙන බැවින් බක් මහ උළෙල කියාත් සූර්යයාගේ සංක්‍රාන්තිය හා බැඳුණු උත්සවයක් බැවින් සූර්ය මංගල්‍යය කියාත් හැඳින්වෙන මෙම උත්සවය සූර්ය වන්දනාව පදනම් කරගෙන ආරම්භ වන්නට ඇතැයි සැලකේ. ආරම්භය කෙසේ වුවද අද එය සිංහල බෞද්ධයින්ගේද සුවිශේෂී උත්සවයක් බවට පත්ව තිබේ.

සිංහල දෙමළ දෙපිරිසටම පොදු වූ ලක්ෂණවලින් මෙන්ම ඒ දෙපිරිසටම සුවිශේෂ වූ ලක්ෂණවලින් ද යුක්තව මෙම උත්සවය පැවැත්වෙන බව අපි දනිමු. සිංහල බෞද්ධයන් අවුරුදු උත්සවය පැවැත්වීමේදි මුල් තැන දෙන්නේ බෞද්ධ සංස්කෘතිය විසින් උරුම කොට දෙනු ලැබ ඇති සිරිත් විරිත්වලටය. එම සිරිත් විරිත්වලට පදනම වී තිබෙන්නේ බෞද්ධ ඉගැන්වීම් බැවින් ඒවාට බෞද්ධ සමාජ ධර්ම යයි කියමු. බක් පුර පසළොස්වක පොහෝදා එම සමාජ ධර්ම පිළිබඳ සමාලෝචනයක යෙදීම බෙහෙවින් උචිත වනු ඇත.

සමාජයක කුඩාම ඒකකය පවුලයි. පවුල තුළ මනා සබඳතාවක ගොඩනඟා ගැනීමට බුදුදහමින් මග පෙන්වා ඇත. එහිදී ප්‍රධාන අවධානය යොමුකර තිබෙන්නේ යුතුකම් ඉටු කිරීම ගැනයි. පවුලේ සාමාජිකයන් අන්‍යෝන්‍ය වශයෙන් ඉටුකළ යුතු යුතුකම් පිළිබඳව ගිහි විනය යන අතිරේක නාමයකින්ද හැඳින්වෙන සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වෙයි. බැලූ බැල්මට ගෘහ ප්‍රධානියකු තම නිවස ආශි‍්‍රත සමාජ කොටස් සමඟ යහපත් සබඳතා පවත්වා ගත යුතු අයුරු සිඟාලෝවාද සූත්‍රයෙන් පෙන්වා දෙතැයි හැඟුනද සැබැවින්ම එය නිවස පවුල ඉක්මවා ගිය මුළු මහත් ප්‍රජාව සමඟම සම්බන්ධතා පවත්වා ගත යුතු ආකාරය පැහැදිලි කරන්නකි. බුදුදහමේ ඉගැන්වෙන යුතුකම් ඉටු කිරීම අපේ අලුත් අවුරුදු උත්සවයේ මූලික වූත් වැදගත් වූත් ලක්ෂණය බවට පත්ව ඇත. අලුත් අවුරුද්ද නිමිති කරගෙන කෙරෙන නෑගම් යෑම තුළින් ප්‍රකට වන්නේ යුතුකම් ඉටු කිරීම නමැති සමාජ ධර්මයයි. උපන් ගමින් බැහැරව ඈත ප්‍රදේශයක ජීවත්වන දරුවන් වුවද අලුත් අවුරුදු දිනයෙහි හෝ ඊට පෙර පසු දිනයක තම මව්පියන් දැකීම සඳහා තෑගි බෝග ද රැගෙන යෑම සිරිතක්ව පවතී. මව්පියෝ ද දරුවන්ගේ නිවෙස්වලට යෑමට අමතක නොකරති. අනෙකුත් නෑදැයන්ගේ ද අන්‍යෝන්‍ය වශයෙන් මෙම යුතුකම ඉටුවේ. මෙම ක්‍රියාදාමය මඟින් මව්පිය දූදරු සබඳතා පමණක් නොව ඥාති සබඳතාව වැඩිදියුණු වීමෙන් පවුලේ කිට්ටුම ඥාතින් අතර සුහද වාතාවරණයක් ගොඩනැඟේ. අවුරුදු උත්සවය වෙනුවෙන් කිසියම් දිනයක පවුලේ කිට්ටුවර සාමාජිකයන් එකතු වී අහිංසක විනෝදයක නිරතවීමෙන් ඇතැම් විටෙක ඥාතින් අතර පැන නැගී තිබෙන අමනාපකම් අමතක කර පවුලේ යහපත වෙනුවෙන් ඉවසීමෙන් හා පරිත්‍යාගශීලිව කටයුතු කිරීම බෞද්ධ සමාජධර්ම ඔප් නැංවීමකි.

ගුරු සිසු සබඳතා දියුණු වීමට අවුරුදු සමයේ යුතුකම් ඉටු කිරීම උපකාර වෙයි. අවුරුදු උත්සව කාලය පාසල්වල නිවාඩු කාලයක් වුවද ළඟපාත සිටිනා තම ගුරුවරුන් බැහැ දැක බුලත් පිළිගන්වා ගුරු භක්තිය ප්‍රකාශ කිරීමටත් නව වසර සඳහා ගුරු ආශිර්වාදය ලබා ගැනීමටත් ගම්බද පාසල් දරුවෝ අමතක නොකරති. විශේෂයෙන් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පාසල ඇරැඹෙන දින අඩු තරමින් විදුහල්පතිතුමාට හා පන්තිභාර ගුරුතුමාටවත් බුලත් පිරිනමා ආචාර කිරීමේ සිරිත යහපත් පවුල්වල දරුවෝ ක්‍රියාත්මක කරති. මෙබඳු සමාජ ධර්ම යල්පැන ගිය සිරිත් ලෙස සැලකෙන සමාජ පරිසරවලින් ගිලිහී යමින් පවතින නමුත් පැවිදි සමාජය තුළ තවමත් ක්‍රියාත්මක වෙයි.

අලුත් අවුරුදු උත්සවය ආගමික චාරිත්‍රවලින් පෝෂණය වුණු ජාතික උත්සවයක් බැවින් භික්ෂූන් වහන්සේද එම සමාජ ධර්ම ක්‍රියාවට නංවති. විශේෂයෙන් තම ගුරුදේවයන් වහන්සේ බැහැ දැක දැහැත් වට්ටියක් පිළිගන්වා ආශිර්වාද ලබා ගැනීමට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ අමතක නොකරති. එසේම අවුරුදු නිවාඩු සමය නිමවා පිරිවෙනට වඩින විටද අඩුම තරමින් දැහැත් අතක්වත් රැගෙන ගොස් පරිවේණාධිපතීන් වහන්සේ ඇතුළු ධර්මාචාර්යන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනේ. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ගුරුවරුන් හා ශිෂ්‍යයන් අතර පැවැතිය යුත්තේ පිය පුතු සම්බන්ධතාවට සමාන සබඳතාවකි. ගුරුවරයා තම ශිෂ්‍යයා කෙරෙහි මේ මගේ පුතාය යන හැඟීමක් , ශිෂ්‍යයා තම ගුරුවරයා කෙරෙහි මේ මගේ පියාය යන හැගීමක් ඇති කර ගත යුතුය යන්න බුද්ධ දේශනාවයි. අලුත් අවුරුදු චාරිත්‍රයක් හැටියට දැහැත් පිළිගැන්වීම් පමණකින් ගුරු ශිෂ්‍යයන් අතර පිය පුතු සබඳතාවක් ඇති නොවන නමුත් කිසියම් ප්‍රමාණයකට අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය වීමට හේතු වේ. ගිහි පැවිදි සබඳතාවට අදාළ සමාජ ධර්ම ක්‍රියාත්මක වීමක්ද අවුරුදු චාරිත්‍රවල දක්නට ලැබේ. බෞද්ධ ගිහියා තම ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවකදීම තුනුරුවන්ගේ ආශිර්වාදය ලබා ගනී. එය වැදගත් සමාජ ධර්මයකි. එබැවින් අලුත් අවුරුදු දිනට පෙර දින විශේෂයෙන් පුණ්‍ය කාලය තුළ තම විහාරස්ථානය වෙත ගොස් මල්පහන් පූජා කර, තෙරුවන් වන්දනා කිරීමෙන් අනතුරුව පන්සලේ ස්වාමින් වහන්සේටද වන්දනා කර සෙත් පිරිතෙන් හෝ ගාථාවකින් ආශිර්වාද ලබා ගැනේ. අලුත් අවුරුද්ද සඳහා පිළියෙල වන රස කැවිලිවලින් කොටසක් බුද්ධ පූජාව සඳහා වෙන් කිරීමත් භික්ෂූන් වහන්සේට දන් පිරිනැමීමත් සිය යුතුකමක් ලෙස සැලකේ. වැදගත්ම අවුරුදු චාරිත්‍රයක් වන හිසතෙල් ගෑම බොහෝ විට සිදු වන්නේ ගමේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙනය. ඒ සඳහා අවශ්‍ය කෙරෙන නානු පිළියෙල වන්නේද විහාරස්ථානය තුළය. පිළියෙල කරන ලද නානු සෙත් පිරිතෙන් ආශිර්වාදය ගැන්වීම ස්වාමින් වහන්සේ අතින් සිදුවේ. උන්වහන්සේ ලවාම හිසතෙල් ගාවා ගැනීමට කැමැත්තක් දක්වන්නෝද වෙති. තෙල් ගෑම සිදුවන්නේද සෙත් පිරිත් සජ්ඣායනාව මධ්‍යයේය. මෙම ක්‍රියාවලිය තුළ දක්නට, ලැබෙන්නේ ගිහි පැවිදි සබඳතාවට අදාළ සමාජ ධර්මයයි.

සේව්‍ය – සේවක දෙපක්ෂයට අදාළව ගොඩනැඟී ඇති සමාජ ධර්මද අලුත් අවුරුදු සමය තුළ ක්‍රියාත්මක වේ. රාජ්‍ය ආයතනවල හා මහා පරිමාණ පෞද්ගලික ව්‍යාපාරික ආයතනවල කෙසේ වෙතත්. වෙනත් සාමාන්‍ය සේවා, ගෘහ සේවා, කුඩා වතු කම්කරු සේවා ආදියෙහි නිරත වී සිටින සේවක සේවිකාවන් අතින් සිය ස්වාමි පක්ෂයට ආචාර දැක්වීම් සිදුවන අතර ස්වාමි පක්ෂයෙන්ද ඔවුනට තෑගි බෝග පිරිනැමේ. විශේෂයෙන් තමන් හමුවීමට පැමිණෙන සේවක සේවිකාවන්ට සුහදව කතා බහ කොට තේ කෝප්පයකින් හෝ සංග්‍රහ කිරීම සේව්‍ය පක්ෂයෙන් සිදු වේ. රසවත් ආහාරපාන තනියෙන් අනුභව නොකර සේවක සේවිකාවන්ටද බෙදා දීම යහපත් ස්වාමිවරුන්ගේ ලක්ෂණයක් බව සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වේ. අවුරුදු සමය වෙනුවෙන් සේවක සේවිකාවන්ට ලබාදීම, විශේෂ ආධාර දීම, ප්‍රතිලාභ බෙදා දීම ආදිය සිදු කිරීමෙන් වන්නේ ඉහත සඳහන් සමාජ ධර්මය ඔප් නැංවීමයි.

මිය ගිය ඥාතීන්ට පින් දීම හෙවත් අබ්බප්ත වලිය ක්‍රියාත්මක කිරීමද සුවිශේෂී බෞද්ධ සමාජ ධර්මයකි. ඇතැම් බෞද්ධයෝ අවුරුදු සමයේ මෙය විශේෂයෙන් සිදු කරති. ඒ කාලය තුළ යොදාගත් දිනෙක දන්පැන් පිරිනමා පවුලේ මිය ගිය ඥාතීන් විශේෂයෙන් සිහිපත් කර පුණ්‍යානුමෝදනා කිරීම ඔවුන්ගේ සිරිතය.

සුරාව, සූදුව වැනි විසමාචාරවලට බෞද්ධ සමාජ ධර්මවල ඉඩක් නැත. විනෝදය සඳහාවත් සූදුවෙහි යෙදීම, උත්සවයකදීවත් සුරාපානය කිරීම සිංහල බෞද්ධ සිරිත නොවේ. දුසිරිතෙන් වැළකීම පුණ්‍ය කාලයට පමණක් සීමා වුවක් නොවේ’. සදාචාරය ඉක්මවා යන උත්සව පැවැත්වීම සිංහල බෞද්ධ සිරිත නොවේ. විනෝද වීමට බුදු දහමින් බාධාවක් නැත. එහෙත් එය දැහැමි, ශීලාචාර විනෝදයක් විය යුතුය. සුරාව, සූදුව නිසා අවුරුදු සමයේ නිවෙස්වල සාමය නැතිවේ. කා, බී. පී‍්‍රතිවීමම අලුත් අවුරුදු උත්සවයක අරමුණ නොවිය යුතුය. අලුත් අවුරුද්ද යනු සම්මතයකි. ජීවිතයේ සන්ධිස්ථානයක එබඳු අවස්ථාවක ඉක්මගිය පරණ අවුරුද්දේ තමන් කළ කී දේ ගැන ගත කළ ජීවිතය ගැන බුද්ධිමත්ව සිතා බැලීමට එම සන්ධිස්ථානය ප්‍රයෝජනයට ගත යුතුය. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කර තිබෙන්නේ අප කරන කියන දේ ගැන අවස්ථා තුනක දී ප්‍රඥාවන්තව කල්පනා කර බැලිය යුතු බවයි. ක්‍රියාවක් ආරම්භ කිරීමට පෙර, ක්‍රියාව කරගෙන යන ගමන් සහ ක්‍රියාව කර නිමා කිරීම යන අවස්ථා තුනයි ඒ. කිරීමට සූදානම් වන ක්‍රියාව තමාගේ විපතට හේතුවේද? අනුන්ගේ විපතට හේතු වේද? තමාගේත් අනුන්ගේත් විපතට හේතුවේද? යනුවෙන් ආරම්භයේදීම සිතා බැලිය යුතුය. යම් ක්‍රියාවක් සිදු කරන අතර තුරත් මා කරමින් සිටින දේ මට අනුන්ට හා මටත් අනුන්ටත් යන දෙපක්ෂයටම අවැඩ පිණිස විපත පිණිස පවතීද කියා මැනවින් සලකා බැලිය යුතුය. යම් ක්‍රියාවක් නිමා කළ පසුවද ඒ ආකාරයෙන් සිතා බැලිය යුතුවේ. තමන් කළ ක්‍රියාව තමන්ට විපතක් වන්නක්ද? අනුන්ට විපතක් වන්නක්ද? තමන්ටත්, අනුන්ටත් විපතක් වන්නක්ද? කියායි එම අවස්ථාවේ සලකා බැලිය යුත්තේ. විපත් පිණිස පවතින ක්‍රියා අකුසල ලෙස තීරණය කළ යුතු බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.

යම් ක්‍රියාවක් නිමා කළ පසුව එය අකුසලයක් බව පැහැදිලිව පෙනේ නම් ඊළඟට කළ යුත්තේ එබඳු ක්‍රියා නැවත නොකිරීමට අධිෂ්ඨාන කරගෙන ඒ අනුවම ක්‍රියා කිරීමයි. අවුරුද්දක් ගෙවා අලුත් අවුරුද්දකට පා තබන මොහොත යම් ක්‍රියාවක් නිමා කළ මොහොත මෙනි. ඒ මොහොතේ ගත කළ අවුරුද්ද පුරාම කළ කී දේ දෙස ඉහත සඳහන් කළ පරිදි සිතා බැලිය යුතුය. එසේ බලන විට තමාගෙන් කෙරුනු හොඳ , නරක දෙකම පෙනෙනු ඇත. ඊළඟට කළ යුත්තේ නරකදේ නැවත නොකිරීමටත්, හොඳ දේ වඩාත් වුවමනාවෙන් නැවැත නැවැත කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමයි. මේ සඳහා සුදුසුම අවස්ථාවක වර්තමාන අවුරුදු චාරිත්‍රයක් හරහා ලැබී තිබේ. එනම් අලුත් අවුරුද්ද වෙනුවෙන් බෝධි පූජාවක් පැවැත්වීමයි. එම බෝධි පූජාව නිමා කර පසුගිය වසර පුරා තමන් කළ කී දේ ගැන අවංකව සිත බැලිය හැකිය. එසේ සිතා බලා නව වසර වඩානිවැරැදිව ගත කිරීමට පියවර ගත හැකිය. එසේ ක්‍රියා කිරීම බුදුදහම අනුව යෑමකි. බෞද්ධ සමාජ ධර්මවලට අනුගත වීමකි.