Print this Article


අනුරාධපුර මහාවිහාරයේ දී භාවනා වැඩසටහනක්

අනුරාධපුර මහාවිහාරයේ දී භාවනා වැඩසටහනක්

ඓතිහාසික අනුරාධපුර මහාවිහාරයේ ‘මාසික භාවනා වැඩසටහන’ පසුගිය ජනවාරි මස 25වැනි දා ඉරිදා ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සන්නිපාත ශාලාවේ දී ආරම්භ විය. ඒ සඳහා සැදැහැවත්හු ඉතා විශාල පිරිසක් සහභාගී වූහ. බෞද්ධ භාවනාවට අදාළ සෑම අංශයකින්ම සැදැහැවතුන් දැනුවත් කරමින් ධර්මානුකූලව භාවනාව සඳහා නිවැරදි මාර්ගෝපදේශකත්වය ලබා දීම මහාවිහාර භාවනා වැඩසටහන මඟින් සිදු කෙරේ. දිවයිනේ ප්‍රවීණතම භාවනා උපදේශකවරයෙකු වන ශාස්ත්‍රපති රන්පත්විල විමලවංශ නාහිමියෝ භාවනා වැඩසටහන මෙහෙයවති.

සෑම මාසයකටම වරක් එක් දිනක් පුරා භාවනා වැඩසටහන පැවැත්වේ. පෙරවරු 6.00 අටසිල් සමාදන්වීමෙන් ආරම්භ කෙරෙන භාවනා වැඩසටහන පස්වරු 6.00 සිල් පවාරණය කිරීමෙන් අවසන් කෙරේ. එම කාලය තුළ දී සැදැහැවතුන් ප්‍රායෝගිකවම භාවනාවට යොමුකරවමින් ඔවුන්ගේ භාවනා කුසලතාව වැඩිදියුණු කිරීම සිදු කෙරේ. මහාවිහාරයේ භාවනා වැඩසටහනට සහභාගිවීමට කැමැති සැදැහැවතුන්, අටසිල් සමාදන්වීමට සුදුසු ලෙස සැරසී පැමිණිය යුතු ය.

මේ මස මාසික භාවනා වැඩසටහන මාර්තු මස 22 ඉරිදා පැවැත්වේ. අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන එම භාවනා වැඩසටහන බෝමළුව විහාරවාසී කිරින්දේ ඥානදර්ශන හිමියෝ සම්බන්ධීකරණය කරති. දුරකථන අංක 025 2222367 න් විමසීමෙන් භාවනා වැඩසටහන පිළිබඳ තොරතුරු ලබා ගත හැකි වේ.