Print this Article


ගිහි පැවිදි සම්බන්ධතාවයේ ආධ්‍යාත්මික පදනම

ගිහි පැවිදි සම්බන්ධතාවයේ ආධ්‍යාත්මික පදනම

බෞද්ධ ශ්‍රාවක සමාජය භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා යනු සිව් පිරිසෙන් යුක්ත වේ. මෙයින් අනගාරික පැවිද්දට ඇතුළත්ව, ඔප දැමු හක්ගෙඩියක් සේ පිරිසුදු බඹසර රකින පැවිදි සමාජය පූර්ණ ආධ්‍යාත්මික ජීවිතයකට හිමිකම් කියයි. දෙවනුව සඳහන් අගාරික ශ්‍රාවක පිරිස ලෞකික ජීවිතය හා සම්බන්ධ සමාජ වගකීම දරමින් අර්ධ වශයෙන් ආධ්‍යාත්මික ජීවිතයකට යොමු වී සිටී. එක් අතින් අනෙක් අත සෝදන්නාක් මෙන් මෙම දෙපිරිසම ඔවුනොවුන්ගේ ආධ්‍යාත්මික හා භෞතික අවශ්‍යතාවන් වෙනුවෙන් කැපවී සිටිති.

පැවිදි ශ්‍රාවක පිරිස පූර්ණකාලීනව කඩිනමින් ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කිරීමෙහිලා කැපවෙමින්, අර්ධකාලීනව ගිහි ශ්‍රාවක සමාජයට ආධ්‍යාත්මික මගපෙන්වීමක් ලබාදෙයි. බෞද්ධ විග්‍රහය අනුව භික්ෂු භික්ෂුණී දෙපිරිස බෞද්ධ සමාජය යටතේ ආධ්‍යාත්මික ගුරුවරුන් වශයෙන් පිළිගනු ලැබේ. බුදුසමය ව්‍යාප්ත වූ විවිධ රටවල පවතින ඓතිහාසික හා සංස්කෘතික විශ්වාස හා පිළිගැනීම් අනුව පැවිදි සමාජයෙන් ආධ්‍යාත්මික මග පෙන්වීමට අමතරව ජාතික වගකීම් සමූහයක්ද අපේක්ෂා කරයි. ඒ අනුව භික්ෂු භික්ෂුණී දෙපිරිසෙන්ම ආධ්‍යාත්මික මග පෙන්වීමට අමතරව ජාතියට නායකත්ත්වය සැපයීමද අපේක්ෂා කෙරේ. මේ නිසා උන්වහන්සේලා ජාතියේ මුරදේවතා යනුවෙන්ද හඳුන්වා තිබේ. මේ අනුව ලාංකික භික්ෂු භික්ෂුණීන් දෙපිරිස දෙයාකාරයකින් ගිහි සමාජයට මගපෙන්වනු ලැබේ. මෙය මෙරටට බුදුසමය හඳුන්වාදීමත් සමඟම ඇරඹීණි.

මුල් බුදුසමයට අනුව බෞද්ධ පැවිදි සමාජය ආධ්‍යාත්මික ගුරුවරුන් වේ .භාරතීය පැවිදි සමාජය ආධ්‍යාත්මික වශයෙන් ඉහළ තත්ත්වයක සිටි බව සමකාලීන ශ්‍රමණ හා බ්‍රාහ්මණ සම්ප්‍රදායන් පිළිබඳ කරුණු විමසා බැලීමෙන් පැහැදිලි වේ. මෙම ආධ්‍යාත්මික සමාජයට බුදුරදුන් හඳුන්වා දුන් බෞද්ධ පැවිදි ශ්‍රාවක පිරිස සෙසු ආධ්‍යාත්මික සමාජවලින් සපුරා වෙනස් වේ. සාමාන්‍ය ගිහි සමාජය හා ආධ්‍යාත්මික සමාජය එක් කිරීමේ කර්තව්‍යය ඉතා මැනවින් සිදුවී තිබෙන්නේ බුදුරදුන්ගෙන් පමණි. වෙනත් ආගමික ශාස්තෘවරු හා ශ්‍රාවකයන් සාමාන්‍ය ගිහි සමාජයට යම් මඟ පෙන්වීමක් ලබා දුන්නත් බුදුරජාණන් වහන්සේගෙන් හා බෞද්ධ පැවිදි ශ්‍රාවක සමාජයෙන් ලැබුණු සමාජ මැදිහත් වීමක් දක්නට නොලැබේ. අනගාරික පැවිද්දට පත්වීමත් සමගම නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉවත් වන බැවින් බෞද්ධ පැවිදි ශ්‍රාවක සමාජයට භෞතික ධනයක් නොතිබුණු අතර උන්වහන්සේලා සතු පරම ධනය වූයේ ආධ්‍යාත්මික ධනය වන සප්ත ආර්ය ධනයයි. එයින් පොහොසත් බෞද්ධ පැවිදි ශ්‍රාවක සමාජය එකී ආධ්‍යාත්මික ධනය ඇතිකරගන්නා ක්‍රමවේදය පිළිබඳ ප්‍රධාන වශයෙන් දැනුවත් කළහ. භෞතික සම්පත් සියල්ල අතහැර සිව්පසයෙන් යැපුන මෙම ආධ්‍යාත්මික ගුරුවරු, සදාචාර සම්පන්න ආකාරයට භෞතික ධනය එක්රැස්කරගන්නා දැහැමි ක්‍රමවේදය පිළිබඳ බුදුරදුන්ගේ අනුශාසනාව සාමාන්‍ය ගිහි සමාජයට මැනවින් කියාදුන්හ. මෙම අනුශාසනා හේතුවෙන් එක් අතකින් ගිහි භූමිකාව තුළ රැඳෙමින් ආධ්‍යාත්මික වශයෙන් සකෘදාගාමි අවස්ථාව දක්වා ගමන් කළ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් බහුල වශයෙන් දක්නට ලැබුණු අතර ඉතා කලාතුරකින් ගිහි භූමියේ රැඳෙමින් අර්හත්වය සාක්ෂාත් කළ ගිහි පිරිසක්ද ඒ අතර දක්නට ලැබුණි. හුදකලා වන ගත තවුස් දිවියට පමණක් සීමා වූ පැවිද්ද සමාජ කාර්ය සඳහා යොදාගැනීම බුදුසමයෙන් සිදුවිය.මෙතෙක් ආගමික ජීවිතයක් පිළිබඳ කල්පනා කිරීමට අවස්ථාවක් නොලද ගිහි සමාජයට තම ලෞකික ජීවිතය සදාචාර සම්පන්න ලෙස ගත කරමින් ආධ්‍යාත්මික විමුක්තිය සඳහා අවශ්‍ය ආගමික පිළිවෙත් අනුගමනය කරන්නට අවස්ථාව සැළසීම නිසා අද දක්වාම ගිහි පැවිදි දෙපිරිසගෙන්ම සමන්විත බෞද්ධ ආධ්‍යාත්මික සමාජයක් පිළිබඳ කථා කරන්නට හැකි වී තිබේ.

බෞද්ධ ආධ්‍යාත්මික ගුරුවරයා වන භික්ෂු භික්ෂුණී දෙපරිසෙන්ම සමාජය වෙත ඉටුවිය යුතු ප්‍රධාන යුතුකම වන්නේ සදාචාරාත්මක මඟපෙන්වීමක් ලබාදීමයි. මෙම මඟ පෙන්වීම සාමාන්‍ය ගිහි සමාජයේ ඉහළම ඒකකයට අයත් රාජ්‍ය පාලකයාගේ සිට පහළම සමාජ ඒකකයට නියෝජනය කරන සාමාන්‍ය පුද්ගලයා දක්වාම එක සේ ක්‍රියාත්මක විය යුතු බව බුදුසමයෙන් අවධාරණය කෙරේ. රාජ්‍ය පාලකයා විසින් කලින් කලට මෙම ආධ්‍යාත්මික ගුරුවරුන් වෙත ගොස් “ස්වාමීනි කුශලය කුමක්ද? අකුශලය කුමක්ද? වැරැද්ද කුමක්ද ? නිවැරැද්ද කුමක්ද? ඇසුරු කළ යුත්ත කුමක්ද? ඇසුරු නොකළ යුත්ත කුමක්ද ? කුමක් කළොත් දිගුකල් අහිත පිණිස දුක් පිණිස පවතීද? කුමක් කළොත් දිගුකල් හිත, සැප පිණිස පවතීද? යනුවෙන් විමසා බැලිය යුතුයි. රාජ්‍ය පාලන කටයුතු වඩාත් ධාර්මිකව මෙන්ම රටේ ජනතාවගේ යහපත පිණිස පවත්වාගත හැකිවන්නේ එසේ විමසා බැලීමෙන් හා එම උපදෙස් ක්‍රියාත්මක කිරීමෙන්ය. පාලකයන්ට උපදෙස් සපයන ආධ්‍යාත්මික ගුරුවරුන් වන බෞද්ධ පැවිදි සමාජයටද එම උපදෙස් නිවැරදිව හා ජනතා අභිලාශ ඉටුවන අයුරින් ලබාදීමට අවශ්‍ය දැනුම, කුශලතාව මෙන්ම ඤාණයත් අවබෝධයත් තිබිය යුතුවේ. වැරදි උපදෙස් හා අනුශාසනා හේතුවෙන් ඇතැම් විටෙක රටත් පුරවැසියාත් අනතුරට ලක්විය හැකි බැවිනි. ආධ්‍යාත්මික ගුරුවරුන්ගෙන් ලැබෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමට පාලකයා සූදානම් විය යුතු අතර ධර්මය රාජ්‍යයට ඉහළින් ක්‍රියාත්මක වන බවත් ධර්මයේ ආධිපත්‍යයට සියලු ආයතන හා පුද්ගලයන් යටත් බවත් මෙයින් ගම්‍ය වේ.

පාලක පන්තිය සමඟ පමණක් නොව සාමාන්‍ය ගිහි සමාජය සම්බන්ධයෙන්ද බෞද්ධ පැවිදි සමාජය ක්‍රියාත්මක වන්නේ ආධ්‍යාත්මික පදනමකින්ය යන්න සිඟාලෝවාද සූත්‍රයේ අන්තර්ගත ගිහි පැවිදි සමාජ සම්බන්ධතා පිළිබඳ වගකීම්වලින් පැහැදිලි වේ. ඒ අනුව පුද්ගලයා පාපයෙන් වළක්වාලීමත්, යහපතෙහි යෙදවීමත් යහපත් සිතින් අනුකම්පා කිරීමත්, නො ඇසූ ධර්මය අසන්නට සැළැස්වීමත් ඇසූ ධර්මය තවදුරටත් පැහැදිලිකර දීමත් සුගතියට (දෙව්ලොව) මග කියාදීමත් පැවිදි සමාජයේ යුතුකම වේ. මෙම යුතුකම දෙස පරික්ෂාකර බැලීමේදී පැහැදිලි වන්නේ සමාජය නිවැරැදි කිරීමේ (1-2) වගකීමත්, සමාජය කෙරෙහි දයානුකම්පාව දැක්වීමත් (3) ධර්මය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමත් (4-5) ආගමික ජීවිතයකට අවශ්‍ය මඟපෙන්වීමත් (6) භික්ෂු භික්ෂුණී දෙපිරිස විසින් ඉටුකළ යුතු කාර්යභාරය බවයි. මෙම අරමුණු වලින් තොර සමාජ ව්‍යාපාරය බුදුසමයට පටහැනි වේ. එසේම යම් සමාජ ව්‍යාපාරයක් යහපත් වන්නේ දැනුම, සදාචාරය හා ආධ්‍යාත්මික දියුණුව අරමුණු කරගන්නේ නම් පමණි. භික්ෂු භික්ෂුණි දෙපරිස විසින්ම ක්‍රියාත්මක කරන සියලු සමාජ ආයතන හා එහි ක්‍රියාකාරකම් සකස්විය යුත්තේ උක්ත බුද්ධ දේශනාවට අනුකූලවය. ගිහි සමාජයද භික්ෂු භික්ෂුණී දෙපිරිසෙන් අපේක්ෂා කළ යුත්තේද මෙම ආධ්‍යාත්මික මඟපෙන්වීමයි.

පැවිදි සමාජය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ නිතර සිහිපත් කළ අනුශාසනයක් වන්නේ කුලයන් කෙරෙහි නොඇලී (කුලෙසු අනනුගිද්ධෝ) පොකුරු පතෙහි දියබිඳු මෙන් ක්‍රියා කළ යුතුබවයි. කුල සංසර්ගය භික්ෂු ජීවිතය කිලිටි කරන අතරම නිවන් මග අවුරන්නකි. එක්වරෙක බුදුරජාණන් වහන්සේ තම ශි‍්‍ර හස්තය අහසෙහි කරකවා එය අහසෙහි නොරැඳෙන්නාක් මෙන් අහස සමඟ නොබැඳෙන්නාක් මෙන් භික්ෂුවගේ සිතද කුලයන්හි නොඇලේද නොබැඳේද, තමන්ට ලැබෙන දේ ගැන මෙන්ම අන් අයටත් ලැබෙන දේ ගැන සතුටු වන්නේද එවන් භික්ෂුව කුලයන් කරා එළඹීමට සුදුසු තැනැත්තෙකු බව වදාළ අයුරු සංයුත්ත නිකායේ වන්දූපම සූත්‍රයේ ඇතුළත් වේ. ආධ්‍යාත්මික ගුරුවරයෙකු ලෙස වැරද්ද නිවැරද්ද මැනවින් තෝරා බේරාගෙන සමාජයට නිසි මගපෙන්වීමක් ලබාදිය හැකිවන්නේ එවන් නිදහස් මනසක් සහිත බැඳීම්වලින් මිදුණු පැවිදි පිරිසකටය. මෙහිලා ගිහි සමාජයටද විශේෂ වගකීමක් පැවරී තිබේ.එනම් තම පටු අවශ්‍යතා සඳහා භික්ෂු භික්ෂුණී දෙපිරිස යොදාගැනීමෙන් වැළකීමයි. පැවිද්ද කිලිටි වන ආකාරයෙන් භික්ෂු භික්ෂුණි දෙපිරිස යොදා ගන්නා ඇතැම් ගිහියන් මෙන්ම ඔවුන් නියෝජනය කරන සමාජ, සංවිධාන කොතෙකුත් දක්නට ලැබේ. මේ පිළිබඳ අවබෝධය ගිහි පැවිදි දෙපක්ෂයටම තිබිය යුතු අතර බුදුරදුන් දේශනාකොට වදාළේ පැවිදි පිරිස සමාජයකට මඟපෙන්වන ආධ්‍යාත්මික ගුරුවරුන් වශයෙන් ආදර්ශයෙන්ම ක්‍රියා කළ යුතු අතර ගිහි සමාජයද භික්ෂු භික්ෂුණී දෙපිරිසෙන්ම අපේක්ෂා කළ යුත්තේ එම ආධ්‍යාත්මික මාර්ගෝපදේශකත්වයයි.