Print this Article


පුජාච පූජනීයානං

 පුජාච පූජනීයානං

උඩුමලගල ශ්‍රී මහින්ද මහා නා හිමි

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අභිනව මහානායක පදවිය සඳහා විනයකීර්ති ශ්‍රී රතනසාර මහෝපාධ්‍යාය උඩුමලගල ශ්‍රී මහින්දාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් පත්කොට තිබේ. උන්වහන්සේ ශ්‍රී රෝහණ පාර්ශවයේ සිව්වැනි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙස ඉතිහාසයට එක්වෙති.

ගාල්ල යක්කලමුල්ල අමුකනත්ත ප්‍රදේශයේ විසූ මාවැල්ල කංකානම්ගේ නිකුලස් මහෝපාසක මහතාගේ හා වල්පිටිගොඩ ගමගේ කතිරිනාහාමි මහෝපාසිකා මාතාවගේ පුත්‍රයෙක් ලෙස 1929 මැයි 16 වැනි දින අභිනව මහා නාහිමියෝ ජන්මලාභය ලැබූහ. 1941 ජනවාරි 21 වැනි දින ගාල්ල කොට්ටාව ශ්‍රී සුමනාරාම පුරාණ විහාරයේ දී මාබොටුවන රතනසාර, හල්පාතොට පුඤ්ඤරතන යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් ප්‍රව්‍රජ්‍යා භූමියට පත් වූහ.

ගෝනගල ශ්‍රී සුධර්මාකර පරිවේණස්ථානයේ දී රාජකීය පණ්ඩිත යගිරල

ශ්‍රී පඤ්ඤානන්දාභිධාන පහතරට ප්‍රධාන සංඝනායක හිමියන් වෙතින් ධර්මවිනය භාෂා ශාස්ත්‍රය හදාළහ. 1949 දී මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලැබුවේ සිරිමල්වත්තේ ශ්‍රී ආනන්දාභිධාන මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙනි.

උඩුමලගල මහින්ද මහ නාහිමියෝ ගාල්ල කොට්ටව ශ්‍රී සුමනාරාම පුරාණ විහාරයේ ආධිපත්‍යය සේම නාත්තෙවල ශ්‍රී ඛෙත්තාරාමය, නැවුන්ගල ශ්‍රී බෝධිරාජාරාමය, මාකුඹුර බෝධිගිරි බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරස්ථානයන්හි ද අධිපතිත්වය උසුලති.

සියම් මහා නිකායේ රුහුණේ භික්ෂූන් වහන්සේලාගේ ශාසනික හා ධර්මවිනයානුකූල අවශ්‍යතා වෙනුවෙන් පිහිට වූ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ආරම්භක අවධියේ දී ම ඊට එක් වූ උඩුමලගල මහ නාහිමි 1990 දී තත් සංඝ සභාවෙන් විනය කීර්ති ශ්‍රී රතනසාර යන ගෞරවනාම සම්මුතිය ද සහිතව ගාලු දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබීය. 1993 දී ශ්‍රී රෝහණ පාර්ශ්වයේ විධායක සභික ධූරයටත්, 2004 දී උපාධ්‍යාය ධූරයටත්, 2011 දී අනුනායක පදවියටත්, පත්විය.

උඩුමලගල ශ්‍රී මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට අභිනව ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක පදවියේ වගකීම් සම්භාරය ද සමඟ තව දුරටත් ජාතික, ආගමික, සාමාජික හා සංස්කෘතික සේවාවන් හි නිරතවීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ශක්තිය හා ධෛර්යය ලැබේවා.


මාර්තුගොඩ ශ්‍රී ධම්මානන්ද නා හිමි

ධර්මකීර්ති සිද්ධාර්ථ මාර්තුගොඩ ධම්මානන්ද නාහිමියන්ගේ සැත්තෑ වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

මාර්තුගොඩ ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහනුවර දිස්ත්‍රික්කයේ සාරසිය පත්තුවේ මාර්තුගොඩ නම් වූ ගම්මානයෙහි 1948.02.07 වන දින උපන් උන්වහන්සේගේ මව්පියන් වූ එච්.එම්. මුතුබණ්ඩා නිලමෙතුමා සහ හීන්මැණිකේ මැතිණියයි. මෙම පවුලේ සහෝදරයන් සිව්දෙනෙකු සහ සහෝදරියන් සිව්දෙනෙකු වූ අතර තෙවැන්නා වූයේ නා හිමිපාණන්ය. මේ කුමරුවා ප්‍රාථමික අධ්‍යාපනය ලැබීම පිණිස 1951 දී දේදුණු පිටිය මහා විද්‍යාලයට ඇතුළත් වූ අතර අධ්‍යාපනය ලබන අතරතුර ඕවිස ශ්‍රී මේධානන්දාභිධාන සාරසියපත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමියන්ගේ හා ගල්ලෑල්ලේ ශ්‍රී රතනජෝත්‍යාභිධාන ඉහළ දොළොස්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක හිමියන්ගේ ඇසුරට පත් වූහ.

මේ කුඩා කුමරුවා මාර්තුගොඩ පුරාණ විහාරයේ දී මාර්තුගොඩ ධම්මානන්ද නමින් පැවිදි වූ අතර මාර්තුගොඩ ධම්මානන්ද කුඩා සාමණේරයන් වහන්සේගේ ගුරුවරු බවට මාර්තුගොඩ විහාරයේ විහාරාධිපති ඕවිස ශ්‍රී මේධානන්දාභිධාන සාරසිය පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ කිරිඳිගල්ල මේඝගිරි විහාරාධිපති ගල්ලෑලේ ශ්‍රී රතනජෝත්‍යාභිධාන ඉහළ දොළොස්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාය.

උන්වහන්සේගේ මූලික අධ්‍යාපන ආයතනය වූයේ කුරුණෑගල මලියදේව මහ පිරිවෙනය. තම අධ්‍යයන කටයුතු සිදු කිරීම පිණිස කිරිඳිගල්ල මේඝගිරි විහාරස්ථානයේ නේවාසිකව වැඩසිටිමින් ධම්මානන්ද සාමණේර හිමියන් තම අධ්‍යයන කටයුතු සිදු කරගෙන යාම සඳහා මලියදේව පිරිවෙනට වැඩම කළහ. උන්වහන්සේ ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන යන විභාගයන් ද විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයද සමත්ව, 1963 දී පෑලියගොඩ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස උසස් අධ්‍යාපනය ආරම්භ කළහ. සංස්කෘත, පාලි, සිංහල යන ප්‍රාචීන භාෂා පිළිබඳ නිපුනත්වයත් ඉංගී‍්‍රසි භාෂාව සම්බන්ධයෙන් ද මනා පරිචයක් ද උන්වහන්සේ සතුව පැවතුණි. උන්වහන්සේගේ භාෂා දැනුම පිරිවෙන් ශිෂ්‍ය පරම්පරා ගණනාවකටම දායාද කොට දී ඇත.

මාර්තුගොඩ ධම්මානන්ද හිමියෝ 1967 ජූනි 03 දා මල්වතු මහා විහාරයේ මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබාගත්හ. 1966 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය පන්ති සාමාර්ථයක් සහිතව සමත්වීමෙන් අනතුරුව උන්වහන්සේඅධ්‍යාපනික ජීවිතය ආරම්භ කරන ලදී.

1967 දී හිරිපිටිය ශ්‍රී ධර්මචන්ද්‍ර පිරිවෙනේ සේවය කරමින් සිටියදීම 1967 දීම ත්‍රිකුණාමලය අභයපුර විද්‍යාලයේ ගුරුසේවය සඳහා පත්වීමක් ලැබුණි. එහි වසර කීපයක් සේවය කොට තම පැවිදි සහෝදර කිරිඳිගල්ලේ ධම්මරතන හිමියන් සමඟ එකතු වී 1969 පෙබරවාරි 24 වැනි දින මාර්තුගොඩ විදුමිණ පිරිවෙන ආරම්භ කොට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යයන කටයුතුවල සහයෝගය පිණිස අධ්‍යාපනය ලබාදීම සඳහා අභයපුර විද්‍යාලයේ ගුරුසේවයෙන් ඉවත්ව විදුමිණ පිරිවෙන්හි ගුරුවරයෙකු වශයෙන් සේවයට බැඳී ස්වකීය විහාරස්ථානයේ මෙන්ම පිරිවෙන්හි අධ්‍යාපන කටයුතුවලට ද මැදිහත් විය. ස්වකීය නොමසුරු දායකත්වය මත විදුමිණ පිරිවෙන් විද්‍යායතනයක් දක්වා සංවර්ධනය වූ අතර අද වන විටත් මෙම පිරිවෙන ගිහි පැවිදි ශිෂ්‍ය නුවණැස පැහැදීමට අවැසි දායකත්වය ලබා දෙනු ලබයි.

ශාස්ත්‍රපති උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාවක් ද හදාරා ඒ තුළින් ලද දැනුම රටට දැයට දායාද කිරීම පිණිස උන්වහන්සේ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්තව 1997 සිට පිරිවෙන් සහකාර අධ්‍යක්ෂක ධූරය දරමින් ශ්‍රී ලංකාව පුරාම විසිරී පැතිරී ඇති පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීමට විශාල සේවයක් සිදුකළහ. උන්වහන්සේ විශ්‍රාම යන තුරුම එම තනතුරේ කටයුතු කළහ.

විදුමිණ විද්‍යායතන පිරිවෙනේ පැවැත්ම මෙන්ම විහාරස්ථානයේ ද අනාගත පැවැත්ම සඳහා උන්වහන්සේ දරුවන් 40 කට අධික ප්‍රමාණයක් සසුන් ගත කරමින් ඒ ඒ පළාත්වල දරුවන් මාර්තුගොඩ විදුමිණ විද්‍යායතන පිරිවෙනේ දී සසුන්ගත කරවා. මුල සිට උගන්වා දක්ෂතාවයන් මතු කළ බැවින් අද එම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බුදු සසුන ආලෝකමත් කරවන ප්‍රදීපස්ථම්භය වැනිය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ත්‍රිපිටක ධර්ම විෂය පිළිබඳ උපදේශකවරයෙකු වශයෙන් ද මාර්තුගොඩ පිරිවෙන් විහාරස්ථානයේ වගකීම දරමින් ස්වකීය දායක දායිකාවන්ගේ කුදුමහත් ආගමික සමාජීය කටයුතු කරමින් ද නායක හිමිපාණන් වහන්සේ සිදුකොට ඇති සේවාව අතිමහත්ය. ප්‍රදේශවාසී දරු දැරියන්ගේ දහම් දැනුම වර්ධනය කෙරෙන විහාරස්ථ දහම් පාසල ද දිගු කලක සිට පවත්වාගෙන එනු ලබන මෙම දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ද නාහිමියන් ය.

ප්‍රදේශයේ අනිකුත් විහාරස්ථානයන්හි මහාසංඝරත්නය සමඟ සාමූහිකත්වයෙන් කටයුතු කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා මෙන්ම පළාත්වාසී දායක දායිකා පින්වතුන්ගේ සිත් දිනා ගනිමින් ඔවුන්ගේ දෙලොව යහපත පිණිස කැප වී කටයුතු කරන ගරු මාර්තුගොඩ ධම්මානන්ද නාහිමිපාණන් වහන්සේගේ ජාතික ආගමික හා සාමාජික සේවාවන්ට උපහාර පිණිස මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව විසින් උන්වහන්සේට.

“ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ යන ගෞරව නාමය සහිත සාරසිය පත්තුවේ ද්විතීය සංඝනායක” ධූරය පිරිනමන්නට යෙදුණි.


පැල්පොල විපස්සි නාහිමි

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා දශක ගණනාවක් පුරා මහඟු මෙහෙරවක් සිදු කරමින් සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙස වැඩ වාසය කරන ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් පැල්පොල විපස්සි පදනමේ සභාපති, පැල්පොල විපස්සි නා හිමිපාණන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් මාර්තු මස 06 වන දා දින පස්වරු 5.00 ට ගෞරවනීය භික්ෂූන් වහන්සේ 25 නමකගේ සහභාගිත්වයෙන් සෙත් පිරිත් සජ්ඣායනයක් සිදු කෙරුණු බව අඟුරුවාතොට අම්පිටිගල ශ්‍රී සුමංගලාරාමයේ හාතියල්වෙල -චන්දානන්ද හිමියෝ දන්වා සිටිති.


බටවල ගුණසිරි හිමි

මාතර වෑකඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය පරිවේණාධිපති ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ, ලේකකාධිකාරි බටවල ගුණසිරි හිමිපාණන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණසමරු පින්කම් මාලාව මාර්තු මස 06 වන දින සිට 09 දින දක්වා එම විහාරස්ථානයේදී පැවැත්විණි.

වැලිගම බටවල වලව්වේ විසූ එම්.ජී. ඇක්මන් සිඤ්ඤෝ මහතාගේ හා සොපිනෝනා රාම වික්‍රම මාතාවගේ පින්වත් පුත්රුවනක් ලෙසින් 1942.02.15 වන දින ජන්ම ලාභය ලබා නමින් එම්.ජී. ආරියදාස නම් විය. වැලිගම අග්‍රබෝධි රාජ මහා විහාරාධිපතිව වැඩ විසූ රාජකීය පණ්ඩිත පාතේගම ශී‍්‍ර නන්දාරාම නාහිමියන්ගේ මග පෙන්වීම මත මිදිගම වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේදි බටවල ගුණසිරි නමින් 1953.02.28 වන දින සසුන්ගත විය.

බෝමුරේ සරණපාල, මුදුගමුවේ සාරානන්ද, මුල්ගිරිගල රතන සිරි යන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේලා ගුණසිරි හිමියන්ගේ ආචාර්ය පාදයන් වහන්සේලා වූහ.අහංගම විද්‍යාචන්ද්‍ර පිරිවෙනින් මූලික අධ්‍යාපනයද මාතර ශී‍්‍ර සුදර්ශි මහ පිරිවෙන මගින් උසස් අධ්‍යාපනයද ලබා ගත් ගුණසිරි හිමියන් මහනුවර මල්වතු මහා විහාරයේදී 1965.05.09 වන දින උපසම්පදා ශීලයට පත් වූහ.

මුදුගමුවේ සාරානන්ද හිමියන්ගේ රෝගී වීම නිසා වෑකඩ ශ්‍රී සුදර්ශනාරාමයට 1972 දී වැඩමකළ ගුණසිරි හිමියන් තම ගරු හිමියන් හා විහාරස්ථානය රැක බලා ගැනීම සඳහා ඉමහත් කැපවීමක් කළහ. සාරානන්ද හිමියන්ගේ අපවත්වීමෙන් පසු විහාරාධිකාරි ධුරයට පත්ව විහාරස්ථානයේ සංවර්ධනයට හා ප්‍රදේශවාසීන්ගේ ජාතික ආගමික කටයුතු වල නිරත විය. ශ්‍රී සාරානන්ද දහම්පාසල හා විහාරස්ථානයේ බොහෝ විහාරාරංගද එහි ප්‍රතිඵල ලෙස පෙන්වා දිය හැකිය. වැලිගම් කෝරළයේ බටහිර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරිවූ ගුණසිරි හිමියන් ප්‍රදේශයේ දහම් පාසල් හා විහාරස්ථාන වලට වසර 15 ක් පුරා කරන ලද සේවාවද ප්‍රශංසනීයවෙයි.

වැලිගම ප්‍රාදේශීය විහාරාධිපති සංගමය ඇතුළු ප්‍රදේශයේ විවිධ සමිති සමාගම්වලට ගුණසිරි හිමියන්ගෙන් ලැබුණ අනුශාසනා හා සහයෝගයද කෘතවේදීව සිහිපත් කළ යුතුය. බටවල ගුණසිරි හිමියන්ට නිවන් සුව පතමු.