Print this Article


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 28

සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 28

බුදුරජාණන් වහන්සේ රජගහ නුවර බිම්බිසාර රජු විසින් පුජා කරන ලද වේළුවනාරාමයේ වැඩ වාසය කරන සමයෙහි රජගහනුවරට පැමිණි සැවැත්නුවර වැසි ‘සුදත්ත’ සිටාණන්ගේ (අනාථයනට පිණ්ඩ දානය කරන කරුණින් පසු කල අනාථපිණ්ඩක අනේපිඬු නමින් හේ ප්‍රකට විය) සිටුතුමා කිසියම් කාර්යක් සඳහා රජගහ නුවරට පැමිණියේය. ඊට පෙර තමා එහි ආ දවස්වල මෙන් නොව එදා කටයුතු අධික බවද, රජගහ නුවර සිටු හට තමා හා පෙරසේ කතාබස් කර කර ඉඳීමට එදා කිසි අවකාශ නැති බව ද සුදත්ත සිටු හට පෙනුණේය. “පෙර මෙහි මා ආ විට අන් මොන කටයුත්තක් වුවද, ඒ ගැන වැඩිපුර නොසලකා මා හා සතුටු සාමීචි කතාබස් ඇතිව හිඳින මොහුගේ සිරිතය.අද එසේ නොකොට වැඩකාරයින්ට ඒ ඒ කටයුතු නියෝග කරමින් මෙතෙම හැසිරේ කිමෙක් ද? මෙහි මංගල්‍යයක් ද? නැතිනම් මහා පූජෝත්සවයක් ඇති වන්නේ ද?” සිටු මහත් පුදුමෙන් බලා සිටින ලද රජගහ නුවර සිටුතුමා තම කටයුතු මඳකට වැඩකරුවන්ට භාරදී අනාථ පිණ්ඩික සිටු හා පිළිසඳර කතා කරන අතර මෙසේ කටයුතු සම්පාදනයකට හේතුව විචාළේය.

රජගහ නුවර සිටුතුමා පසුදාට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයට ආරාධනා කර ඇති බවත් ඒ බැවින් ඒ සඳහා කටයුතු පිළියෙල කරවමින් උන් බව කීහ. බුද්ධ යන වචනය කනවැටුණු පමණින් විස්මයට පත් සුදත්ත තෙම ගෘහපතිය, බුද්ධයැයි කියහිදැයි ඇසීය.එසේය බුද්ධ යැයි කියමියි රජගහ නුවර සිටු කීය. දෙවෙනි තුන්වන වරත් සුදත්ත සිටු පළමුසේම පිළිතුරු දී ඉක්බිති සුදත්ත සිටු ගෘහපති බුද්ධ යන නම පවා ඇසීම දුර්ලභයි. ඒ බුද්ධෝත්තමයාණන් දකින්නට දැන් යෑ හැකිදැයි ඇසීය. ගෘහපතිය ඒ බුද්ධෝත්තමයාණන් වහන්සේ දක්නට යෑමට දැන් සුදුසු වේලාව නොවේ’. හෙට උදෙන්ම උන්වහන්සේ දක්නට යාහැකි යැයි රජගහ නුවර සිටු කීය. ඉන්පසු සුදත්ත තෙම හෙට උදේ ඒ බුද්ධෝත්තමයාණන් වහන්සේ දක්නට යන්නෙමියි අධිෂ්ඨාන කොට තෙවෙනි වාරයෙහි නැගී සිට හෙතෙම බුදුරජාණන් වහන්සේ දක්නා පිණිස යනුයේ නුවර පසු කොට සීවක වන දොරට පැමිණියේය. ඔහු එහි දොර හැරුණේය. සීවක වනයට වන් කෙණෙහිම කලින් වූ ආලෝකය අතුරුදහන් වී මහ කළුවරෙක් විය. ඒ දුටු සිටු තැති ගැන්මට ලොමු දහ ගැන්මට පැමිණියේය. ඒ තැනින් එහා අඩියකුත් නොතබා ආපසු යන්නට අදහස් කෙළේය. එකෙණෙහිම, ලක්ෂයක් ඇතුන්, ලක්ෂයක් අසුන්, ලක්ෂයක් උතුම් අසුන් යෙදූ රථ ලක්ෂයක් මිණිකොඬොල් ඈ පැළදී කන්‍යාවන් බුද්ධාදී උතුමන් දැකීමට යෑමේදී එක් පියවරක් තැබීමෙක සොළොස්වන කලාව පමණ වත් නො අගී යයි කිසිවකු කියන හඬෙක් ඔහුට ඇසිණි.


සැවැත් නුවරට වඩින්නැයි සිටුතුමා ආරාධනා කිරීම

තවද ගෘහපති ඉදිරියට යව ආපසු ගියොත් යෙහෙක් නොවේ යැයි කියන්නක් ද කනවැටිණ අඳුරු දුරුවීය. සිටු ද බිය සැක නැති ව ගියේය.

තෙවෙනි වරද අන්ධකාර විය. බියටත් සැකයටත් පත් සිටු පෙරළා මැයි සිතී එහෙත් ඒ කෙනෙහිම පළමු සේම ඉදිරියට යෑමට නියෝගයක් යෑමේ යහපතත් කියනු ඇසුනෙන් අඳුරත් දුරුව එළිය වැටුණෙන් මඟ ඔස්සේම ගියේ අලුයම් වේලෙහි ශීත වනයට පැමිණියේය.

සිරිත් පරිදි අලුයම නැඟී සිට සක්මනේ යෙදුණ බුදුරජාණන් වහන්සේ ඈත එන සිටුතුමා දැක සක්මන් මළුවෙන් බැස භික්ෂූන් පනවා දුන් ආසනයේ වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳම සුදත්ත මෙහි එන්නැයි ඇමතූ සේක. සිටු තෙම බුද්ධෝත්තමයාණෝ මගේ නමින් මට හඬ ගසතියි සතුටුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ පා මුලැ හිස තබා වැතිර වැඳ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සුවසේ සැතැපුන සේක්දැයි ඇසීය.

කෙලෙස් දුරු කළ පවින් මිදුණු කාමයන්හි නො ඇලුණ එහෙයින් නිවී සැනසුණු කිසි උපක්ලේශයක් නැති තැනැත්තා සෑම කල්හි ඒකාන්තයෙන් සුවසේ සැතැපේ. සියලු තෘෂ්ණා සිඳීමෙන් සිතෙහි දුක් පීඩා දුරු කිරීමේ සිතේ සන්සුන් බවට පැමිණ නිවී සැනැහුන පුද්ගලයා සුවසේ සැතැපේ යැයි වදාරා ඉක්බිති දාන කථාදී පිළියෙල කථායෙන් දම්දෙසු සේක. ඒඇසීමෙන් සිටු තෙම උන් අස්නෙහිම සෝවාන් විය. ඉක්බිති බණ වදාළ සැටි ගැන ප්‍රශංසා කොට මා බුදුන්, දහම්, සඟ සරණ ගිය උපාසකයකු කොට සලකන වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක. ඉන් පසු සිටුතෙම වැඳ අවසර ගෙන පිටත්ව ගොස් පසුදා රජගහ නුවර සිටුහුගේ ගෙහි දන් පිළියෙල කොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වැඩම කරවා සත්කාර කළේය. දන් වැළඳූ පසු සිටුතුමා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් අපිරිමිත බුද්ධාලම්භන පී‍්‍රතියකින් යුතුව බුදු සිරිපතුල් සිඹ පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළේය. බුදු පියාණන් වහන්සේ සිටුතුමනි, ඔබ මගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි විමසූ සේක. එවිට සිටුතුමා ඔබ වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග සැවැත්නුවරට වඩින තෙක් මට ඉස්පාසුවක් නැතැයි පිළිතුර දුන්නේය. “ගෘහපති ය තථාගතවරු ශුන්‍යාගාරයට සතුටුහයි” බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

අනේපිඬු සිටුතුමා විසින් සැවැත්නුවරට වඩින්න යැයි ආරාධනා කළ සේක.


කහවනු ඇතිරීම

ආරාධනාව බුදු හිමියන් පිළිගත් නිසා මහත් චිත්ත ප්‍රමෝදයෙන් ඉපිළී ගිය අනේපිඩු සිටුතුමා තම මිතුරාගෙන්ද සමුගෙන පාන්දරම නැවතත් සැවැත්නුවර බලා පිටත්විය. සැවැත්නුවරට යන අතරමඟ තම මිතුරු සිටුවරුන් හට බුදුරජාණන් වහන්සේ සැවැත්නුවරට වඩිනා බවත්, මඟ දෙපස මලින් සරසා උන්වහන්සේට නිසි බුහුමන් හරසර දක්වන්න ආදිය කියමින් සැවැත්නුවරට ගියේය.

දැන් මීළඟට ඇත්තේ බුදුරජාණන් වහන්සේ උදෙසා නිසි බිමක් තෝරා ගැනීමයි. සැවැත්නුවර තිබූ රමණීය නිසංසල උයන කොසොල් රජතුමාගේ පුත් ජේත කුමාරයාට අයිති වී තිබුණි. රාජමාලිගාවට ගොස් මේ රමණීය උයන තමන් මිලදී ගැනීමට මාලිගාවට පැමිණී බව සිටුවරයා පැවසීය. නමුත් තම පියාගේ හොඳම මිතුරා වු නිසාත් සිටුතුමා තමන්ට වැඩිමහල් අයෙකු නිසාත් දැන් කළ යුත්තේ සිතාගන්නට බැරිතරම් ලන්සුවක් මේ උයන සඳහා දීම යැයි ඔහු සිතුවේය. “මා ජේත උයන විකුණනවානම් විකුණන්නේ කහවණු දහඅට කෝටියකටයි” කුමරු පැවසූ විට සිටුතුමා කිසිදු සසලවීමක් නැතිව සතුටු සිතින් යුතුව “මා දැන් ගැල් කිහිපයක පටවා රන් කහවණු එවන්නම් පුතණුවනි.

ඔබ උයන පවරන්න සූදානම් කරන්න. “යැයි පැවසීය. සිටුතුමා රන් කහවණු ඇද ජේතවනාරාම ඉඩම පුරා අතුරා ජේත කුමරු වෙතින් මෙම ඉඩම ලබා ගත් අතර තවත් කෝටි දහඅටක් වියදම් කරමින් ජේතවනාරාමය ගොඩනඟා, තවත් කෝටි දහඅටක් වියදම් කර ජේතවනාරාමය බුදුපියානන් වහන්සේට පූජා කරන ලදී. මේ තරම් නම් සතුටු සිතක් සිටුතුමන්ට කෙදිනකවත් පහළ නොවන්නට ඇති බවත් එතුමාගේ මරණින් පසුව එක්තරා දිනයක මුළු ජේතවනාරාමයම ආලෝකමත් කරමින් දේවතාවෙක් ලෙස පැමිණ දේශනා කරන ලදී.

“ඉදං හිතං ජේතවනං ...

(ධර්ම රාජයන් වහන්සේ විසින් වැඩ විසීමට යොදාගත්තා වුද,උතුම් සංඝයා වාසය කරන්නා වූද, මේ ජේතවනාරාමය දැකීම මට පී‍්‍රතිය උපදවයි)

තවත් කොටසක් මැදින් අව අටවක පොහෝදා මාර්තු 13 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව 27