UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උග්ග ගෘහපතිගේ උතුම් ගුණාංග

උග්ග ගෘහපතිගේ උතුම් ගුණාංග

කොසොල් රජතුමාගේ සන්තති නම් ඇමතිවරයාත් වජ්ජි ජනපදයේ හත්ථිනාමයෙහි විසූ උග්ග ගෘහපතිතුමාත් බුදුරදුන්ට හමුවුයේ ඔවුන් සුරාවෙන් මත්ව සිටි අවස්ථාවන් හිදීය. එහෙත් සන්තති ඇමතීම රහත්වීමේ වාසනාවත් උග්ගට අනාගාමි ඵලය ලබාගැනීමේ වාසනාවක් තිබුණි. මෙහිලා අපේ කථානායකයා වන්නේ හත්ථිගාම උග්ගනම්වු ගෘහපතිවරයායි. උග්ග වාසය කළ හත්ථිගාමය කොසොල් රජුට ඇතුන් සැපයු ගමය. එහි අධිපතියා උග්ග නම් විය. ඔහු ධනවතෙකි.

කෙළිදෙලෙන් ජීවත්වු ඔහු සැමියෙකි. බුදුරදුන්ට උග්ග ගහපති මුන ගැසුනේ නාගවනයෙහි යහළුවන් සමග විනෝද වෙමින් සිටි අවස්ථාවකය. බමන මතින් සිටි උග්ගට බුදුරදුන් දුටු හැටියේම මත සිඳී ගියේය. බුදුරදුන් අබියස දණින් වැටී වන්දනා කළේය. බුදුරදුන්ගෙන් ධර්මය අසා අනාගාමි ඵලයට පත්වූ උග්ග ගෘහපති තුමන්ගේ චරිතයේ අසිරිමත් අද්භූත ගුණ ධර්ම අටක් විදහා දැක්විණි. ඒ පිළිබඳ තොරතුරු අංගුත්තර නිකායේ හත්ථිගාමක උග්ග සූත්‍රයෙන් හමුවේ.

බුදුරජාණන් වහන්සේ වරක් වජ්ජි ජනපදයෙහි චාරිකාවක යෙදී සිටියදි සවස භික්ෂු සංඝයා අමතා මෙසේ පැවසූහ. “මහණෙනි හත්ථිගාමයෙහි වසන උග්ග ගෘහපති තෙමේ ආශ්චර්ය අද්භූත කාරණාූ අටකින් සමන්විත වන්නේය”උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළත් ඔහු තුළ දිස්වන මේ ආශ්චර්ය අද්භූත කරුණු කවරේදැයි කිසිදු විවරණයක් නොකළහ. එහිදී ඒ භික්ෂුවට කුතුහලයක් හටගත්තේ මේ උග්ග ගෘහපතිතුමාට ඇති ආශ්චර්යවත් අද්භූත අංග මොනවාදැයි දැන ගැනීමටයි. උන්වහන්සේලා අතර එක්තරා භික්ෂුවක් මේ ගැන විමසීමට පසුදාම උග්ග සිටු වාසය කරන හත්ථිග්‍රාමයේ පිණ්ඩපාතයට වැඩියහ. එහිදී උග්ග ගෘහපතිතුමාගේ නිවසට ද පැමිණි අතර උග්ග උන්වහන්සේව ගෞරවයෙන් පිළිගෙන දානයද පිරිනැමීය.

මේ භික්ෂුව උග්ග ගෘහපති පුත් ගැන බුදුරදුන් දේශනා කළ ආශ්චර්ය අද්භූත ධර්ම මොනවාදැයි විමසුවේය. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි පවත්නා එබඳු විශේෂ වු කරුණු අටක් මම නොදනිමි.උන්වහන්සේ කුමක් අදහස් කළාදැයි මම නොදනිමි. එහෙත් උන්වහන්සේ දුටු මොහොතින් සිටම මා තුළ විශාල පරිවර්තනයක් නම් සිදුවිය. එය මට මහත් ප්‍රාතිහාර්යකි. එය ආශ්චර්යයෙකි. අද්භූත පරිවර්තනයකි. ස්වාමීනි මා එදා බුදුරදුන් දුටු ඇසිල්ලේම මගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් විය. උන්වහන්සේ දුටු සැනෙන් මගේ සුරා මදය සිඳී ගියේය. ඒ මොහොතේම උන්වහන්සේ කෙරෙහි අප්‍රමාණ පැහැදීමක් ගෞරවයක් ඇතිවිය. මෙය අසිරිමත් ප්‍රාතිහාර්යයක් නොවේද? මට සිතෙන්නේ මෙය මගේ ජීවිතයේ පළමු ආශ්චර්ය අද්භූත ලක්ෂණයයි.

ස්වාමීනි, ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ පියවරෙන් පියවර දාන කථා, සීලකථා, ස්වර්ගකථා කාමයන්ගේ ආදීනව පැහැදිලි කරමින් මටද ධර්මය දේශනා කළහ. මගේ මනස නිරෝගි විය. උන්වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය ඇසු මගේ සිතෙන් කෙලෙස් පහවී මම අනාගාමී ඵලය ලැබුවෙමි. එකෙනෙහිම තෙරුවන් සරණ ගිය මම බ්‍රහ්ම චර්යාව පස්වෙනි කොටගත් පංචසීලයෙහි පිහිටියෙකි. ගිහියකුව සිටිමින් මා තුළ ඇතිවු මේ පරිවර්තනය දෙවෙනි ආශාවයි අද්භූත ලක්ෂණයයි මට හැඟේ.

ස්වාමීනි බ්‍රහ්මචර්යාවන් සමාදන් වූ කෙනෙක් වශයෙන් මම මින්පසු එම ශීලය ආරක්ෂා කළෙමි. ඒ නිසා මගේ බිරින්දෑවරුන්ට මම සොහොයුරියන් සේ සලකන්නට පටන් ගතිමි. මම බිරින්දෑවරු සතර දෙනාට මෙලෙස පවැසුවෙමි. මම අදින් පසු බ්‍රහ්මචර්යා සීලය රකිමි. ඒ නිසා ඔබලාට කැමැති දෙයක් කිරීමට නිදහස ලබාදෙමි. ඔබලා කැමැති කවුරු හෝ පුරුෂයෙකු වේ නම් ඔහු සමඟ විවාහ වීමට මම අවසරය දෙමි. ජීවත්වීමට භෝග ධන සම්පත්ද අවශ්‍ය තරම් ලබාදෙමි. කැමති නම් ඔබේ ඥාති නිවෙස්වලටද යා හැකියි. අසරණ නොවීමට අවශ්‍යතරම් සම්පත් ලබාදෙමියි කරුණාවෙන් පැවසුවෙමි. ඔවුන් අතර සිටි වැඩිමහල් බිරිඳ ඇය මනාප දැක්වු පුරුෂයෙකුට සරණ පාවා දුන්නෙමි. අගේ දෑතක් අතින් අල්ලා දකුණූඅතින් පැන්කෙන්ඩියේ පැන්වඩා අන්‍ය පුරුෂයෙකුට සරණපාවා දෙනවිට ස්වාමීනි, මගේ සිතෙහි කිසිදු දුකක් කණස්සල්ලක් ඇති නොවීය. මේ මා තුළ ඇතිවු තුන්වෙනි ආශ්චර්ය කරුණයි.

සිල්වත් ගුණවත් උතුමන්ට දන්දෙන අවස්ථාවේදී මෙපමණක් දිය යුතුය. මෙපමණක් නොදිය යුතුය. ප්‍රමාණයක් වශීකිරීමක් මගේ සිතට දැනුනේ නැහැ. දීමේදී අඩු වැඩි බවක් සීමාවක් සිතට නොදැනීම මගේ සතරවෙනි ආශ්චර්ය අද්භූත ලක්ෂණයයි කියා මට සිතෙනව.

ස්වාමීනි, මම පැවිදි පක්ෂ ඇසුරු කළේ ආවාට ගියාට නොවේ. හොඳටය සැදී පැහැදි පේවී උන්වහන්සේලා ඇසුරු කරණවා ඒ විදියටම සූදානම් වී සැදී පැහැදි ධර්මය ශ්‍රවණය කරනවා. පුරුද්දට හෝ ඕනෑවට එපාවට කරණ දෙයක් නොවෙයි. මෙසේ සූදානම්වී සංවිධානය වී මම ශ්‍රමණයන් වහන්සේලා ඇසුරු කරණ නිසා මාපිය අසන නිසා මේ පස්වෙනි ආශ්චර්ය කරුණයි කියා මා සිතනවා.

සයවෙනි ආශ්චර්ය අද්භූත කරුණ ලෙස මට හැඟෙන්නේ මෙයයි. ස්වාමීනි, එනම් මම දානයක් දෙන්නට සුදානම් වන විට දෙවියෝ මා වෙත පැමිණ තොරතුරු දැනුම් දෙනවා. අසවල් භික්ෂුව උභතො විමුක්ත කෙනෙක් එනම් රහතන් වහන්සේ කෙනෙකි.අසවල් භික්ෂුව ප්‍රඥාවිමුක්ත සමාධි ඉන්ද්‍රිය වැඩූ භික්ෂුවකි. අසවල් භික්ෂුව ප්‍රඥාවිමුක්ත සමාධි ඉන්ද්‍රිය වැඩූ භික්ෂුවකි. අසවල් භික්ෂුව ශ්‍රද්ධානුසාරිය, අසවල් භික්ෂූව ධර්මානුසාරි කෙනෙකි.අසවල් භික්ෂුව දුසීල වතෙකි. දේවියන් මට එසේ දැනුම් දුන්නත් මම උන්වහන්සේලාට දානය දුන්නෙ කිසිදු වෙනසක් නොකරමිනි. සිල්වතාට වැඩිය දිය යුතුය. වටිනා දේ පිදිය යුතුය. දුස්සීලයාට දඬුවම් දිය යුතුය. නොවටිනා දේ දිය යුතුය. මෙය කිසිදු වෙනසක් නැතිව මම දන්දෙමි එය මා තුළ ඇතිවු ප්‍රාතිහාර්යයෙකි.

ස්වාමීනි, මාතුළ ඇතිවූ සත්වෙනි ආශ්චර්යය අද්භූත කරුණ ලෙස මට හැඟෙන්නේ මෙයයි. දෙවියො වරින්වර මා වෙත පැමිණෙති. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ ගුණ වර්ණනා කරති. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ස්වාක්ඛාතයයි සාංදෘෂ්ටිකයයි කියති. දෙවිවරුනි ඔබලා මේ ගැන නොකිව්වත් ධර්මයේ ස්වාක්ඛාත ගුණය එහි ඇද කුදක් නැති බව, මුල, මැද, අග හොඳින් ගැලපුන ලක්ෂණය , මම හොඳින් අවබෝධ කරගෙන සිටිමි යැයි ඔවුන්ට පිළිතුරු දෙමි. ස්වාමීනි, මෙහිදී දෙවියෝ මා සමීපයට ඒම ගැන දෙවියන් මා සමඟ කථා කරන බව මගේ සිතේ ආඩම්බරයක් උඩඟුබවක් මා තුළ හට නොගනී. මෙයයි මගේ සත්වෙනි ආශ්චර්යය.

ස්වාමීනි, යම් දවසක භාග්‍යවතුන් වහන්සේට පෙර මා මිය ගියහොත් උන්වහන්සේ මා පිළිබඳ මෙබන්දක් පවසාවි,මේ උග්ග ගහපති තෙමේ යළි මේ ලොවෙහි උප්පත්තිය ලබන්නට හේතුවන සංයෝජන ධර්ම ප්‍රහීණ කළ කෙනෙකි. එය මා තුළ පවත්නා අටවෙනි ආශ්චර්ය අද්භූත ධර්ම වන්නේය.

උග්ග ගෘහපති පුත්‍රයා බුදුරදුන් දුටු ඇසිල්ලේම වෙරිමත සිඳී යාමත් සමඟ ඇතිවු පරිවර්තනය අසිරිමත් එකක් වූවා නිසැකය. ඔහු තමා තුළ ඇතිවු මේ පරිවර්තනය ප්‍රත්‍යක්ෂ කරගෙන සිටියේය. බුදුරදුන් අනාගාමි පුද්ගලයෙකු කෙරෙහි පවත්නා මනුෂ්‍ය ලෝකයට මරණින් මතු නොමැරීම පිළිබඳ අටවෙනි ආශ්චර්ය අද්භූත කරණු සියල්ලම ධර්මයේ සාංදෘෂ්ටික ලක්ෂණයන්ය. බුදුන් වහන්සේ අදහස් කළ මේ සුවිශේෂ ආශ්චර්ය කරුණුම උග්‍ර ගෘහපති පුත්‍රයාගේ මුවින්ම දැනගැනීමට භික්ෂූන් වහන්සේලාට ඉඩ කඩ ලබාදුන් බව මෙම සූත්‍රදේශනාවෙන් පැහැදිලි වේ.

බීමතට ඇබ්බැහිවූ මෙබඳු මිනිසකුට හෝ සිය දහසක් මැරූ අපරාධකාරයෙකුට හෝ පෙර පින් ඇත්නම් පෙර පුරුදු පුහුණු කළ සීලා දී ගුණයන් ගෙන් යුක්ත නම් , කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හා ධර්ම ශ්‍රවණයේ ආනිසංසයෙන් අරහත් භාවය දක්වාවූ ලෝකෝත්තර තලයට එළඹිය හැකි බව මෙම සූත්‍රයෙන් පැහැදිලිවේ. එසේම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නොලැබූ පාපමිත්‍ර සේවනය නිසා අධිගම තත්වයට නිවන් දැකීමට තරම් පෙර පින් තිබූ අජාසත් රජතුමා වැනි අයට සදා දුකෙන් පිරුණු අවීචියෙහි උපත ලබන්නට සිදුවීමද අප අමතක නොකළ යුතුය.

 

නවම් පසළොස්වක පෝය

නවම් පසළොස්වක පෝය පෙබරවාරි මස 03 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.32 ට ලබයි. 04 වැනිදා බදාදා පූර්වභාග 4.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 03 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
පෙබරවාරි 12 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]