Print this Article


සැප ලැබීමට නම්...

සැප ලැබීමට නම්...

දවස උදේ සවස වශයෙන් ගෙවී යයි. ජීවිතය ද ළමා, තරුණ ,වැඩිහිටි වශයෙන් ගෙවී මරණයට පත් වෙයි. මේවා ජීවිතයට උරුම වූ ධර්මතාවෝ වෙති. කිසිවකුටත් වළකාලිය නොහැකිය. ජීවිතයේ මේ ස්වභාවය වටහා ගෙන ඒ ඒ වයස් සීමාවන් හි දී තම කටයුතු හොඳින් සපුරා ගත් තැනැත්තාට ජීවිතයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි වෙයි. ඒ අවබෝධයෙන් තොරව ජීවත් වන්නාට තුන් වයසම නිකරුණේ ගෙවා අවසන පසුතැවිලිව දුක් වන්නටද සිදු වෙයි.

මිනිසෙකුව උපන් පමණින් හෝ මිනිස් රූ සටහන් තිබුණු පමණින් හෝ යමක් කමක් කොට මිල මුදල් සොයා සපයා ගෙන කමින් බොමින් ජීවත් වූ පමණින් අංග සම්පූර්ණ මිනිසෙක් නොවෙයි. මිනිසාට මෙන්ම තිරිසන් සතාට ද අත් පා තිබේ. මිනිසා මෙන්ම තිරිසන් සතාද ආහාර ගනියි. නිදා ගනියි. කාම සේවනය කරයි. බියට පත් වෙයි.මිනිසා තිරිසන් සතාගෙන් වෙන්කර හඳුනා ගන්නේත් අංග සම්පූර්ණ මිනිසෙකු වන්නේත් ඔහු තුළ දෘශ්‍යමාන වන මනුෂ්‍ය ධර්ම තුළිනි.

මිනිසා යනු උසස් මනසක් ඇත්තෙකි. මේ ලෝකේ ලැබිය හැකි ජීවිත අතර මනුෂ්‍ය ජීවිතයක් ලැබිය හැක්කේ ඉතා අමාරුවෙනි. කලාතුරෙකිනි. ‘කිච්ඡෝ මනුස්ස පටිලාභෝ යනු ඒ බුදු වදනයි. ඒ මිනිසුන් අතර ද විවිධ චරිත ලක්ෂණ ඇති, විවිධ ගති ඇති මිනිසුන් දැකිය හැකිය. මිනිස් චරිත ලක්ෂණ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙයි. ඒ තිරිසන් ස්වභාවය, මිනිස් ස්වභාවය හා දේව ස්වභාවය යනුවෙනි. මෙකී චරිත ලක්ෂණ මිනිස් චර්යාවට විවිධ අයුරින් බලපායි. මිනිසෙකු විසින් තම දිවිය හා සම්බන්ධ කැර ගත යුතු ගුණාංග රැසෙකි. මේ අතුරින් තිරිසන් ගති පාලනය නොකොට වැඩීමට ඉඩ හැරීමෙන් සිදුවන්නේ මිනිසා සමාජයට විශාල බරක් වීමය. මිනිසාගේ ඒ ගති පාලනය කිරීමට ආගම බෙහෙවින් උපකාරී වෙයි. එහෙයින් ශ්‍රේෂ්ඨ උදාර ආගමික නායකයින්ගේ ඉගැන්වීම් අපේ මිනිස් ස්වභාවය වර්ධනය කොට පෝෂණය කිරීමට ඉවහල් වෙයි. මෙකී මිනිස් ස්වභාවය ක්‍රමයෙන් වර්ධනය කිරීමෙන් මිනිසා තුළ දේව ස්වභාවය වර්ධනය කැර ගත හැකිය. මෙලෙසින් දේව ස්වභාවය ලැබූ කළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, වෛරය, මානය ආදී නරක නපුරු සිතිවිලි සම්පූර්ණයෙන්ම පහවී මිනිසා උදාරත්වයට, ගෞරව ලැබිය යුතු තත්ත්වයට පත් වෙයි. මෙයින් පැහැදිලි වන්නේ දහම මගින් තිරිසන් ස්වභාවය පාලනය කොට මිනිස් ස්වභාවය පෝෂණය කොට දේව ස්වභාවයට පත් කරන බවය.

මනුෂ්‍ය ජීවිතය සාර්ථක කර ගන්නට මිනිසා තුළ හේය – උපාදේය ඤාණය තිබිය යුතුය. හළයුතු දේ හැරීම හේය වන අතර කළ යුතු දේ කිරීම උපාදේය නම් වෙයි. ඒ අනුව කළ යුතු දේ කිරීමත් හළයුතු දේ හැරීමත් හේය උපාදේය ඤාණයයි. තමාගේත් අනුන්ගේත් අයහපත පිණිස පිරිහීම පිණිස හේතුවන පස්පව් දස අකුසල් ආදිය නොකිරීම හළයුතු දෙය වශයෙන් බුදු දහම අවධාරණය කරයි. තමාගේත් අනුන්ගේත් යහපත පිණිස දියුණුව පිණිස හේතු වන සුචරිත දහම් කළ යුතු දෙය වශයෙන් උගන්වයි. එහෙයින් හොඳ නරක දෙකින් නරක ඉවත ලා හොඳ දෙය දිවිය තුළ වඩා වර්ධනය කැර ගැනීමට හේය උපාදේය ඤාණය මිනිසාට බෙහෙවින් උපකාරී වෙයි.

අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති

එතං භයං මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කයිරාථ සුඛා වහානි යනුවෙන් සංයුත්ත නිකායේ අච්චෙන්ති සූත්‍රයෙහි මනුෂ්‍ය ජීවිතයක් සාර්ථක කරගන්නට අවශ්‍ය කරන බොදු පිළිවෙත් රැසක් සඳහන් වෙයි. පෙරවරු පස්වරු වශයෙන් කාලයෝ ඉක්ම යති. පෙරයම මැදියම අළුයම වශයෙන් රාත්‍රීහුද ඉක්මවා මිනිසා මරණය කරා පමුණුවති. වයෝ රාශීහු ළමා, තරුණ හා මහලු වශයෙන් ක්‍රමයෙන් පුරුෂයා හැර යති. මේ තුන් බිය මරණයෙහිලා දැන දැක සැප ගෙන දෙන පින් කරන්න යනු එහි භාවයයි. මේ දෙවියකු විසින් බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නයෙකි. බුදුරජාණන් වහන්සේ

අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ – වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණේ පෙක්ඛමාණෝ – ලෝකාමිසං පජහේ සන්ති පෙක්ඛෝ
යනුවෙන්

බුදුරජාණන් වහන්සේ දෙවියාගේ අදහස සනාථ කරමින් මේ ත්‍රිවිධ භය මරණයෙහි ලා දන්නේ නිවන් පතනුයේ භවත්‍රය සංඛ්‍යාත ලෝකාමිෂය දුරු කරන්නේ යැයි වදාළහ. මේ පැනයෙන් හා පිළිතුරෙන් මනාව ප්‍රකට වන්නේ උපන් සත්ත්වයාට පොදුවේ පැමිණෙන සාධාරණ ධර්මතා තුනක් පිළිබඳවත් ඒවා නැතිකර ගැන්මට ලොව්තුරු සුව සදන පින්කම් කැර ගැන්මත්, ලෝකාමිෂය දුරුකළ යුතු බවත්ය.

දවස උදේ සවස වශයෙන් ගෙවී යයි. ජීවිතය ද ළමා, තරුණ ,වැඩිහිටි වශයෙන් ගෙවී මරණයට පත් වෙයි. මේවා ජීවිතයට උරුම වූ ධර්මතාවෝ වෙති. කිසිවකුටත් වළකාලිය නොහැකිය. ජීවිතයේ මේ ස්වභාවය වටහා ගෙන ඒ ඒ වයස් සීමාවන් හි දී තම කටයුතු හොඳින් සපුරා ගත් තැනැත්තාට ජීවිතයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි වෙයි. ඒ අවබෝධයෙන් තොරව ජීවත් වන්නාට තුන් වයසම නිකරුණේ ගෙවා අවසන පසුතැවිලිව දුක් වන්නටද සිදු වෙයි.

ළමා කාලය ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නා කාලයයි. ඉගෙන ගන්නා කාලයේදී නොමැලිව උත්සාහයෙන් ඒ කටයුතුවල යෙදිය යුතුය. හොඳින් ඉගෙන ගත් තැනැත්තාට ජීවිතය උසස් තත්ත්වයට පත් කැරගත හැකිය. “විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ උගතා ලෝකයේ කොහේ ගියද පිදුම් ලබයි. මෙසේ කුඩා කල බාහිර ශිල්ප ශාස්ත්‍ර උගන්නා අතරම ආගමික අධ්‍යාපනයක් ද ලබාගත යුතුය. බාහිර අධ්‍යාපන ඥානයෙන් හා ආගමික අධ්‍යාපන ඥානයෙන් පිරිපුන් තැනැත්තාගෙන් රටට, දැයට හා සමයට මහඟු මෙහෙයක් සැලසෙයි. මේ කිසිදු අධ්‍යාපනයක් නොමැති හිස් තැනැත්තා නොයෙකුත් අපරාධ කරමින් සමාජයටද බරක් වෙමින් උපන්නට ගද්දෙන් ඔහේ ජීවත්වෙයි.

තරුණ කාලය ජීවිතයේ වාසනාවන්ත ම අවධියයි. ජවය, එඩිය පවත්නා ඒ කාලය තුළ තම ආර්ථිකය යහපත් කැර ගත යුතුය. උසස් ආර්ථික පදනමකට සැලැස්ම ඇති කැර ගත යුතු සමාජයේ පවත්නා විවිධ තනතුරු සඳහා උද්‍යෝගිමත්ව ක්‍රියා කළ යුතු අවධිය තරුණ වියයි. තම ජාතියට, ආගමට, භාෂාවට මහ මෙහෙයක් කළ හැකි අවධිය තරුණ කාලයයි. අවාසනාවකට මෙන් එබඳු උදාර මෙහෙයක් කළ හැකි තරුණ ජීවිත අකාලයේ වනසා ගන්නා යෞවන යෞවනියෝ අප සමාජයේ ඉතා සුලභය. ඉන්ද්‍රියයන් පිනවීමම ජීවිතයයැයි සලකමින් පස්කම් සැප පසු පසම යමින්, සුරා බොමින් , සූදු වෙහි යෙදෙමින් තම ධනයත්, කාලයත්, ශ්‍රමයත්, යොදවන්නෝ සමාජයේ අපමණය. තමාට විනාශය ගෙන දෙන අනුන්ට කරදර ගෙන දෙන මෙවන් දුසිරිතට නොව සුසිරිතට තරුණ ජීවිත යෙදවිය යුතුය.

වැඩිහිටි විය පින් දහම්හි යෙදෙමින් විවේකීව ගෙවිය යුතු කාලයයි. සැඳෑ සමය එලෙසින් විවේකීව සැනසිල්ලේ ගෙවිය හැකි වන්නේ යමෙක් ඔහුගේ යුතුකම් කොටස මැනවින් සපුරා තිබුණොත් පමණි. අප සමාජයේ ඇතැම් මව්පියෝ සැදෑ සමය දුකසේ ගෙවනු දක්නට ලැබෙයි. ඒ තම දරුවන්ට හොඳින් ඉගැන්නුවද ගුණධර්ම කියා නොදීමේ ඵලයයි. එහෙයින් තම දරුවන්ට ගුණ නුවණ වඩා වර්ධනය කොට දැහැමින් ජීවත්වීමේ කලාව කියාදීම මව්පියන්ගේ යුතුකමෙකි. එබඳු දෙමාපියනට ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගෙවිය හැකිය.

ලෞකික හා ලෝකෝත්තර සැප ලැබීමේ මඟ පින්කම් හි යෙදීමයි. පිනින් තොර ජීවිතය දුක් සහිතය. බුදුදහම අනුව කාම,රූප,අරූප යන කිනම් භවයක උපත ලැබුවද දුක හා බිය උරුමමය. මෙකී දුක බිය නොමැති තැන නිවනයි. නිවන් ලබන්නට නම් ලෝකාමිෂය දුරුකළ යුතුය. තණ්හාව නිසා සත්ත්වයා නොයෙක් දුක් රැස්කැර ගනියි. සසර දිගින් දිගටම ගමන් කරනුයේ ආශාව නිසාය. කිනම් භවයක උපත ලැබුවද ඉඳුරන් පිනවීමේ බලවත් ආශාව සෑම සත්වයකු තුළම බලපවත්වයි. තමන් අපේක්ෂිත ඒ සැපත නොලැබෙන කල එය සපුරා ගන්නට නොයෙක් වැරැදි ක්‍රියාවල යෙදෙයි. එයින් සසර ගමන තවත් දික් වෙයි. නූතන සමාජය දෙස නුවණැසින් බලන කල නොයෙක් අපරාධයන්ට මූලික හේතුව වී ඇත්තේ තණ්හාව බව පැහැදිලිය. නොයෙක් දුසිරිත් කරනුයේ, වතුපිටි ආදියට ගහමරා ගනුයේ ලෝභකම නිසාය. ලෝකය නොයෙක් විසිතුරු දෙයින් පිරී ඇත. ඒ හැමකක්ම අපට උරුම දේ නොවෙයි. දුටු දුටු දෙයට ආශා කිරීම විපතට මුලයි. එහෙයින් තම තම නැණ පමණින් මේ බව වටහා ගෙන කටයුතු කිරීම සැප ලැබීමේ එකම මඟ බව වටහා ගත යුතුය.