Print this Article


හිතවත් හිත

හිතවත් හිත

හිත හිතවත් කර ගැනීමට අප විසින් කුමක් කළ යුතු වෙමුද? හිත තමන්ට හිතවත් බව පළමුව විශ්වාස කළ යුතුය. ආත්ම විශ්වාසය යනු එයයි. හිත හිතවත් මිතුරෙකු වගේ අපට පිහිට වෙයි. දුකේදීත්, සැපේදීත් එය සමව පවත්වා ගතහොත් හරි මාර්ගය ඔස්සේ අපව ඉදිරියට ගෙන යයි. හිත හිතවත් කර ගැනීමට එය මැදම තබා ගන්න උත්සාහ කරන්න. එය කැමතියි මැදට වෙලා ඉන්න. අතීතයේ සිදුවූ දේවල් ගැන නිතර හිත හිතා සිටීමෙන් හිත දුකට, කණගාටුවට පත්ව පසුතැවිලිවී බොහෝ සේ අසහනකාරි තත්වයකට පත්වේ. හිතක් අපට තිබෙන්නේ හිත පිණිසමයි. හිත වරදෙහි යෙදුවොත් එය බලවත් සතුරෙක් තවත් සතුරෙකුට කරන නපුරටත් වඩා අතිශය බලවත් නපුරක් සිදු කරයි. හිත යහපතෙහි යෙදුවොත් මව්පියන්ටත් ඥාති හිතවතුන්ටත් වඩා තමා උසස් තත්වයකට පත් කරවන බව සම්බුද්ධ දේශනාවයි.

“සම්මා පනිහිතං චිත්තං සෙය්‍යසෝනං තතෝකරෙ”

හිත හිතවත් බව හඳුනාගන්න හිත තුළම ඉන්න. වඩාත් සිහි කල්පනාවෙන් සිටින විට හිතේ ස්වභාවය සියල්ලම හොඳ හෝ නරක වශයෙන් තමන්ටම දැකගත හැකිය. හිත ඉතාම සංවේදීය. එය සියුම් බැවිනි. හිතට සියල්ල දැනේ. සියල්ල වැටහේ, බුදුහාමුදුරුවෝ සර්වඥ බවට පත්වුනේ හිතේ හිතවත් බවම නිසයි.

ඇයි අපි මේ ලෝකේ ඉපදුනේ ? දුක් විඳින්නද? සැප විඳින්නද? අපට තිබෙන්නේ උසස් සිතක්ම නිසා.ඇයි අප ඒ උසස් හිත තියාගෙන දුක් විඳින්නේ? හිතේ උසස් බව හිතටම දෙන්න. හිතට බලය පැවරූ කල්හි හිත අපව ලෝකේ උසස්ම තැනට ගෙනියයි. “අග්ගෝ හමස්මිං ලෝකස්ස” ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨ තැන් තිබෙන්නේ මනුලොව උපන් අපටමයි. ඒ සුදුසු තැන් ලෝකේ කවදත් තිබෙනවා. මේ දුර්ලභ වු මිනිසත් බව උසස් තත්වයක් කරා ගෙන යාමට හිත කෙතරම් හිතවත්ව ක්‍රියා කරයිද?

හිතන හිතන දේ නේද අප කියන්නේ කරන්නේ ? ඒ නිසා හිතට ප්‍රධාන තැනක් දෙන්න. “මනෝ සෙට්ඨා” සියල්ලම හිත තුළ තිබේ. හිත හරිදේට පුරුදු කරගතහොත් කලක් යනවිට අපේ ජීවිතවල පාලන බලය සම්පූර්ණයෙන්ම අත්කරගනී. එවිට මමත්වයද බැහැර කොට තවදුරටත් සිහියෙන්ම බලා සිටින විට සිතේ අපූර්වත්වය වඩ වඩාත් වටහාගත හැකිය.

හිතට නිදහසේ සිතීමට ඉඩදී බාහිර අරමුණුවලින් හිත ඈත් කළ කල්හි, හිතකර දේ පමණක් හිත තුළ වැඩෙන්නට පටන් ගනී. එය තමාටම හිතකර වෙයි”අත්තාහි අත්තනෝ නාථෝ” මේ හිතකර බව හිත තුළම පවතියි. හිතට බාහිර අරමුණු බාධාවක් නෙවේ. ඒවාහි ඇති කාම, අකුසල් බව තුරන්කොට අපට අවශ්‍ය සතුට සන්තෝෂය, පී‍්‍රතිය , ඒකාග්‍රතාවය ලබාදීමට හිත වගබලා ගනී. හිත බොහෝම ඥානවන්තයි.ප්‍රඥාව එහි අග්‍ර ඵලයයි. අප සතු දෑස් වලින් ලෝකයේ සියල්ලම දැකගත නොහැකිය.

පෙනෙන ලෝකය තුළ නොපෙනෙන ලෝකයක් ඇති බව පැහැදිලිවම දැකිය හැක්කේ හිතින්මයි. ඒනිසා හිතින්ම හිත හිත, හිත තුළම වාසය කරන්න. “චිත්තේ චිත්තානුපස්සී විහරති”

හිත අපව පෙරටම ගෙන යන යාත්‍රාවක් වගේ. සංඛාර විඤ්ඤාණ බවට පත්කරලා භවයෙන් භවයට අපව සැප දුක් ඔස්සේ ගෙන යන්නේ මේ හිතමයි. සැප නිපදවන බලාගාරයද හිතමයි. “චිත්තං දන්තං සුඛාවහං” තනිව ඈත දුර ගමන් කිරිම හිතේ ස්වභාවයයි.

හිතේ තනිබලය තහවුරු කරගත් කල්හි මේ දුර යාමද නවතා කය පිළිබඳ ඇති ආත්ම දෘෂ්ටියද බැහැර කොට එය බලවත් වීම අපට ලබාදෙන පළමු මාර්ග ඵලයයි. එවිට සසර පිළිබඳ කිසිදු බියක් සැකක් නොවී අපා දුකටද නොවැටී දෙව් මිනිස් දෙගතිය ඔස්සේ නිවන දක්වාම ඉදිරියට යාහැකිය.