UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

සදහම් දැනුම

ප්‍රශ්නය – අනුරාධපුර ශිෂ්ටාචාරයේ සිට අද දක්වා පැතිරී ඇති කාල පරාසය තුළ සිංහල භික්ෂු සමාජයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න.

පිළිතුර – මූලික වශයෙන් අනුරාධපුර සමාජය තුළ කේන්ද්‍රිය භික්ෂූ ආයතනය වුයේ මහා විහාරයීය නිකාය වන අතර එම නාගරික සමාජයේම අනෙක් පාර්ශ්වය නියෝජනය කරනු ලැබුවේ අභයගිරි නිකායයි. මෙයින් පළමු පාර්ශ්වය එනම් මහා විහාර පාර්ශ්වය ථෙරවාද න්‍යායික සම්ප්‍රදාය අනුගමනය කළ අතර දෙවැන්න වු අභයගිරි පාර්ශ්වය මහායාන බලපෑම් මත ප්‍රායෝගික ආකල්පයක් අනුගමනය කළහ. මෙම දෙපාර්ශ්වයම ශාසනික අධ්‍යාපනික ශාස්ත්‍රීය මෙන්ම සමාජයීය උන්නතියක් මෙරට ඇති වූ බව පිළිගත යුතුය.

1. මහා විහාරය – විසුද්ධ මග්ග
2. අභයගිරිය – විමුක්ති මග්ග

සිංහල භික්ෂු වංශයේ විකාශනය සැලකීමෙහිදී විද්වතුන් විසින් ආකෘති හෙවත් අවස්ථා 04 ක් ගෙනහැර දක්වා ඇත.

1.මහා විහාරවංශය
2. පොළොන්නරු කතිකාවත
3.දඹදෙණිය කතිකාවත්
4. සරණංකර සංඝරාජ සමය

ප්‍රශ්නය – අනුරාධපුර මුල් සියවස් අට තුළ භික්ෂු අධ්‍යාපනයේ විෂය ක්ෂේත්‍රය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුර – ආරම්භයේ සිට මුල්ම සියවස් අට තුළ භික්ෂු අධ්‍යාපන ක්‍රමවේදයේ මග පහත සඳහන් පරිදි සිදුවිය. භික්ෂු අධ්‍යාපන විෂය පථය හරහා එක්තැන් වූ ඥාන සම්භාරය මෙසේ ගොනු කළ හැකිය.

1.හෙළ බසින් බ්‍රාහ්මි අක්ෂර සමුදාය උපයෝගී කොට ගෙන ලියා ඇති සෙල්ලිපි
2.මධ්‍යම ප්‍රමාණයේ හස්තීන් හත් දෙනෙකුගේ ප්‍රමාණයට ගොඩකළ හැකි ප්‍රමාණයේ හෙළටුවා සමුදාය
3. හෙළ වංසකථා හා ඒවායේ පරිවාර කෘති
4.හෙළ සූත්‍ර ධර්ම සමුදාය
5. හෙළ වෙදහෙදකම් සඳහා වූ කෘතීන්හි අඩංගු විෂය පථය

බුදු සමයේ ක්‍රමික ව්‍යාප්තියත් සමග මහා විහාර පිරිවෙන් පද්ධතිය තුළ ක්‍රියාත්මක වූ පාලි භාෂා ත්‍රිපිටකය හා අටුවාවලට පමණක් සීමා වු විෂය ප්‍රමාණය අභයගිරිය හා ජේතවනික දෙනිකාය අනුගමනය කළ පිළිවෙළක් අනුව තවදුරටත් ව්‍යාප්ත විය.

ඡ්‍යොතිෂ්ශාස්ත්‍රය වෛද්‍ය භූත විද්‍යාව සංස්කෘත භාෂාව හා ඊට අයත් විවිධ විෂයයන් හැදෑරීමට අවස්ථාව ලැබිණි. කාලාතික්‍රමණයෙන් බෞද්ධ ගිහි මහජනයාගේ ද අවශ්‍යතා සැලකිල්ලට ගෙන පහත සඳහන් විෂයන්ද පිරිවෙන් තුළ විෂය පථයට එකතු විය.

1.ධර්ම දේශනා ක්‍රම
2. පරිත්‍රාණ ධර්ම දේශනා
3. ජාතක දේශනා
4. යුගාසන දේශනා
5. සරභඤ්ඤ සජ්ඣායනා

ගිහි පැවිදි විද්වතුන්ගේ පිරිවෙන් අධ්‍යාපනය කෙරෙහි දැඩි අවධානය යොමුවෙත්ම වඩා පුඵල් විෂය පද්ධතියක් නිර්මාණය විය.

ප්‍රශ්නය – ගම හා පන්සලට සුසංයෝගයක් වු සන්නිවේදනය පිළිබඳව වූ ඉපැරැණි තොරතුරු පිළිබඳව සටහනක් ලියන්න.

පිළිතුර – පන්සල සහ ගම අතර පවතින සමගාමී සම්බන්ධතාවයත් සන්නිවේදනයත් අතර පැවැති දැඩි සමීප බවකි. සාමයික අධ්‍යාපනික සංස්කෘතික කේන්ද්‍රස්ථානය වූ පන්සල ගමේ මෙහෙයුම්කාර පාලන ඒකකය විය. එහි පෙර ගමන්කරු විහාරාධිපති නායක හාමුදුරුවන් වහන්සේය. ගම වටා ඇති (චංචල හා නිශ්චල) ස්වභාවික හා භෞතික සම්පත් මෙන්ම ග්‍රාමවාසීන් ගේ ජන්ම කේන්ද්‍රයේ පටන් සියල්ල පන්සල තුළ එක්තැන් ව ඇත.

යුක්තියේ සාධාරණයේ ජීවමාන ප්‍රතිමූර්තිය වු පන්සල මෙහෙයුමෙන් මූලිකත්වය ගන්නා ලබන තීරණය වඩා බලවත් ය. ජනතා බහුතරයේ තීන්දුව පන්සලේ නායක හාමුදුරුවන්ගේ තීරණය හා සමගාමී වෙයි. කිසිදු සංකාවක් හෝ අගතියක් එතැන නැත. පාරිශුද්ධි උපරිමය පන්සල කේන්ද්‍ර කොට ගෙන ගම පුරා විහිද යයි.

මෙම පාරිශුද්ධිය සාධු නාදයත් සමග හේවිසි නාදයෙන් සන්නිවේදනය වන්නේ සෑම ග්‍රාමවාසී දිවි පෙවෙතක්ම සාධු ජන සංවිධානයක් ගම තුළ බිහිවිය යුතු බවයි. අලුයම් වේලේ හේවිසි නාදය නිකුත් වූයේ පන්සලේ විහාරගෙය අසලිනි. එය උදයේ තේවා මුරයයි. ඒ හා සමාන්තරව පන්සලේ ඝණ්ඨාරය ද නාද වීමෙන් දවසේ පිබිදීම මුළු ගමම අවදි ව කටයුතු ආරම්භ කරයි.

දිවා තේවා මුරයටත් සන්ධ්‍යා තේවා මුරයටත් හේවිසි හා ඝණ්ඨා නාදයත් එක්ව ගම පිබිදීම ගැන

ඇසෙයි ළමා වසුපැටියන් හඬ දුරට
පැසෙයි නිබඳ කෙත්වත් හැම අවට
දිසෙයි වෙහෙර එහි සුර විමනක් ලෙසට
රසෙයි අමාරස මය එම පියස දුට

කෝට්ටේ යුගයේ කවියෙකු දකින්නේ එම සුන්දර දර්ශනයයි. ගම හා පන්සල එකතුව වැව හා දාගැබ් සංකේතය මූර්තිමත් කරයි. ඇතැම් විද්වතුන් විසින් සිවුර හා නගුල යනුවෙන් ගැමියාගේ උභයත්ථකටග්ගහ මෙලොව පරලොව සුගතිය පන්සල මුල්කරගෙන ඇති වු බව සඳහන් කරයි. මෙවන් ගුණ දහම් වාණිජ රැල්ලට අසුවී අද පන්සල තුළ පැවැති ආධ්‍යාත්මය තරමක් දුරට වියැකී තිබීම අවාසනාවකි. මිහිඳු සංස්කෘතිය තුළ බුදු දහම සිංහලයන් උපතින්ම ආරක්ෂා කිරීමට බැඳී සිටින පාරම්පරික උරුමයක් ඇති ජන්ම දායාදයක් ලෙස සැලකු බෞද්ධයා ගේ උපතේ සිටම නැකැත් බැලීම, ඉඳුල්කට ගෑම, නම් තැබීම, අධ්‍යාපනය වෛද්‍ය ශාස්ත්‍රය, සහ කෘෂිකර්මාන්තය සඳහා උපදෙස් ලැබුවේ පන්සලේ විහාරාධිපති හිමියන්ගෙනි. මේ අනුව මුල් කාලයේ පන්සල බහුවිධ කාර්යයන්හි නිරත වු ආයතනයක් විය. සමාජය නවීකරණය වීමත් සමඟම පන්සල නමැති ආයතනයේ කාර්යය ද සමාජයේ විවිධ සංස්ථා ඇති වී ඒවා වෙත පැවරීමෙන් පන්සල මූලික කේන්ද්‍රිය මෙහෙයුම් අධිකාරිය එක් එක් ආයතනය විසින් උදුරාගැනීම හෝ පවරා ගැනීම සිදුවිය.අධ්‍යාපනයේ පන්සලෙන් ඉවත්ව පළාසල නමැති ආයතනයටත් වෙදකම රෝහලටත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම පොලිසියටත් වැනි විධිමත් ආයතන වෙත පැවැරිණි. මේ නිසා ගම හා පන්සල අක්‍රිය වූ පෞරාණික නෂ්්ටාවශේෂයක් බවට පත්විය.

තවද පන්සල වෙතින් මෙහෙයුම් ලද ආගමික කටයුතු ද ගුවන් විදුලිය රූපවාහිනිය හා පාසල් තුළත් වෙනත් සන්නිවේදන මගින් විවිධ කාර්යයන් නිසා භික්ෂුවගේ කාර්යයද ලිහිල්ව ගොස් භික්ෂුව අගයෙන් පිරිහුණු සාමාජිකයෙකු බවට පත්විය.

වෙනස්වන සමාජයට අනුරූපව පැවිදි මෙහෙවර සකස්කර ගත් නව උගත් තරුණ භික්ෂූන් උත්සාහ කළත් සමාජයෙන් හා වැඩිහිටි පරපුරෙන් එයට සහයෝගයක් හෝ නිරතුරුව විරෝධතාවක් ඇති කිරීම නිසා භික්ෂුවගේ පැවිදි උපැවිදි වීමද බෙහෙවින් දක්නට ලැබෙයි.

ප්‍රශ්නය – ‘බෝධිසත්ව‘ ආදර්ශය පිළිබඳ ථෙරවාදී සම්ප්‍රදාය ගැන සාකච්ඡා කරන්න.

පිළිතුර –“බෝධිසත්ව“ යන පාලි වචනය සකස්ව ඇත්තේ ඥානය බුදු බව යන අර්ථ දෙන බෝධි යන වචනය කැපවුණු බලාපොරෙත්තු වන අරුත් ඇති සත්ත යන්න එකතු වීමෙනි. එහෙයින් බෝධි සත්ත යන්නෙහි අරුත බුදු බව හෝ ප්‍රඥාව අරමුණු කරගත් ඊට කැපවුණු හෝ එය අපේක්ෂා කරන තැනැත්තා යන්නයි. විමුක්ති අපේක්ෂා කරන හැම දෙනාටම මේ වචනය ගැළපෙන නමුත් සාමාන්‍යයෙන් එය යොදන්නේ සම්මා සම්බුද්ධත්වය අපේක්ෂා කරන්න වුන්ට පමණි.

නිර්මාතෘ දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් නැති හෙයින් බෞද්ධයෝ තමන් තුළ සංවර්ධනය කරගත යුතු දේවත්වයේ ගිනි පුපුරක් ඇතැයි විශ්වාස නොකරති. එතෙකුදු වුවත් මිනිසා තුළ ඇති නිර්මාණ ශක්තිය ගැන විශ්වාස කරති. විවිධ අත්දැකීම් රැස්කරමින් භවයෙන් භවයට යන ආත්මයක් බුදු සමය පිළිනොගන්නා නිසා ඒ වෙනුවට ගත්‍යාත්මක (වෙනස්වන) ජීවන ප්‍රවාහයක් සංසාරික අනන්‍යතාව රැකගනිමින් ප්‍රවර්තනය වීම පිළිගැනීමට අකැමැත්තක් නැතත්

සිද්ධාර්ථ ගෞතමයන් සත්වයෙකු විසින් අපේක්ෂා කළ හැකි උත්කෘෂ්ඨ අධිගමය (උපරිම අවබෝධය) සිය අධිෂ්ඨාන ශක්තියෙන් ප්‍රඥාව හා කරුණාව වැඩීමෙන් මිනිසෙකු වශයෙන් සිටිමින් සාධනය කරගෙන නිවනට එකම මග මිනිස් වර්ගයාට ඉගැන්වූහ.

අවශ්‍ය වීර්ය වඩන්නේ නම් ශාස්තෘන් වහන්සේගේ තත්ත්වයටම ඕනෑම කෙනෙකුට පත්වන්නට අවකාශ තිබීම බුදු සමයේ විශේෂ ලක්ෂණයකි. බුද්ධත්වය විෂයෙහි සුවිශේෂ ඒකාධිකාරයක් තමන්ට ඇතැයි බුදුරජාණන් වහන්සේ නොපැවසූහ. එය පරිනාමයෙහි ප්‍රතිඵලයක් ද නොවේ.

 

 දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි මස 19 වැනිදා සඳුදා අපරභාග 9.59 ලබයි. 20 වැනිදා අඟහරුවාදා අපරභාග 6.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ජනවාරි 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජනවාරි 27 වැනිදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 20

First Quarterපුර අටවක

ජනවාරි 27

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 03

Second Quarterඅව අටවක

පෙබරවාරි 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]