Print this Article


අනුරාධපුර ජයසිරි මහ බෝ සමිඳුන් අබියසදී මහ බෝ වන්දනාව 24 වැනිදා

අනුරාධපුර ජයසිරි මහ බෝ සමිඳුන් අබියසදී මහ බෝ වන්දනාව 24 වැනිදා

අනුරාධපුර ජයසිරි මහ බෝසමිඳුන් අබියසදී වාර්ෂිකව සිදුකරනු ලබන අසිරිමත් මහ බෝ වන්දනාව සහ මහ බෝ පෙරහර මෙවරත් දහවෙනි වතාවටත් ජනවාරි මස 24 වෙනි දින පැවැත්වීමට සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම විධිවිධාන යොදා ඇත.

සිරිමහ බෝ සමිඳුන් සිරිලකට වැඩමවා වසර 2322 ක් සපිරීම, රටවැසි සැමට සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීමත් නව වසරට සෙත් පැතීමත්, පළමුවෙනි රන්වැට ඉදිකොට වසර 45 ක් පිරීමත් මූලික අරමුණු කරගෙන පවත්වනු ලබන ආසිරිවාදාත්මක එම මහා පින්කමට මධ්‍යම, උතුරුමැද , සබරගමුව, වයඹ යන පළාත් මුල්කරගෙන මහා සංඝරත්නය, වැඩමවා ගෙන ඒ ඒ විහාරස්ථානවලට සම්බන්ධ සැදෑවතුන් සහභාගි වෙති. එම මහා පින්කමේ විශේෂතාවයක් වන්නේ දිවයිනේ පළාත්වල රටේ අනාගත සෞභාග්‍ය සංකේතවත් කරමින් ඒ ඒ පළාත්වල යල මහ කන්නවල වගාවන ධාන්‍යවර්ග, ඖෂධ වර්ග, තැන්පත් කරන ලද මහා පාත්‍රයන් පෙරහරේ ගෙන ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිරිමහ බෝ සමිඳුන්ට පූජා කිරිමයි.

මහා කප්රුක් සහිත සිදුකරන මෙම මහා පූජාවට ඇතුළත්වන පූජාවන්, මෙදින සවස 2.00 ථූපාරාම චෛත්‍යය අබියසින් පිටත්වන මහා සංඝරත්නය පෙරටුකරගත් මහා පෙරහර රුවන්වැලි චෛත්‍ය සමිඳුන් අබියසින් ගමන්කර ජයසිරිමහා බෝ සමිඳුන් අබියසට ළඟා වේ. මහා බෝධි පූජාව ඇතුළත් ආගමික වැඩසටහන සවස 6.00 ට නිම කෙරේ.

දහවෙනි සංවත්සරය මුල් කරගෙන සිරි සිදුහත් භික්ෂු පදනම සහ සිරිමහ බෝ පදනම ආගමික ශාසනික කටයුතු මුල්කරගෙන සමාජ සත්කාර ව්‍යාපෘති දහයක් ඉදිරි වසර ඇතුළතදී ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති බව සිරි සිදුහත් භික්ෂූ පදනමේ සහ සිරිමහ බෝ පදනමේ සංවිධායක පිරිවෙන්පති අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදි පණ්ඩිත බටුගොඩ සංකිච්චායන හිමි සඳහන් කරයි.