Print this Article


බුදුරදුන් අනුමත කළ දේශනා ප්‍රාතිහාර්යය

බුදුරදුන් අනුමත කළ දේශනා ප්‍රාතිහාර්යය

වරක් බුදුරජාණන් වහන්සේ නාලන්දා නුවර පාවාරිකා නම් වනයෙහි විවේක සුවයෙන් වැඩවාසය කරන අවස්ථාවක “කේවඩ්ඪ” නම් ගෘහපතියෙක් බුදුරදුන් හමුවීමට පැමිණියේ ය. ඔහු බුදුරදුන්ට මෙබඳු යෝජනාවක් කළේ ය. භාග්‍යවතුන් වහන්ස, “මේ නාලන්දාව විශාල ජනගහණයකින් යුත් සමෘද්ධිමත් නුවරකි. බොහෝ දෙනා ඔබවහන්සේ පි‍්‍රය කරති. භාග්‍යවතුන් වහන්ස මේ මහා පිරිසට සෘද්ධි ප්‍රාතිහාර්යයක් පාන්නේ නම් ඔවුහු ඔබවහන්සේට වඩාත් පැහැදෙනු ඇත. ඔබවහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් හෝ යොදවා එබඳු ප්‍රාතිහාර්යයක් කොට මේ පිරිස ධර්මයෙහි යොදවන්නේ නම් මැනවි.” මේ ඉල්ලීම දෙවෙනි තුන්වෙනි වරත් කරද්දී බුදුන්වහන්සේ නිහඬව සිට අවසානයෙහි මෙසේ පැහැදිලි කළහ.

ගෘහපතියෙනි, ගිහි ජනයා පහදවා ගැනීමට මම උත්තර මිනිස් දහමක්වන ප්‍රාතිහාර්ය පෑමක් සඳහා මම භික්ෂූන්ට උපදෙස් නොදෙමි. මෙහිලා මම ප්‍රාතිහාර්ය තුනක් පිළිබඳව පැහැදිලි කරමි. ඒ ප්‍රාතිහාර්ය තුන මෙසේ ය.

1. සෘද්ධි ප්‍රාතිහාර්ය
2. ආදේශනා ප්‍රාතිහාර්ය
3. අනුසාසනා ප්‍රාතිහාර්ය

මෙහි දැක්වූ පළමු ප්‍රාතිහාර්ය වන සෘද්ධි ප්‍රාතිහාර්යය යනු සාමාන්‍ය ලෝකයේ සිදු නොවන දේවල් කිරීමට ඇති හැකියාවයි. ජලය මතුපිට ගමන් කිරීම, අහසේ ගමන් කිරීම එකම තැනැත්තා විවිධ බොහෝ රූපයන්ගෙන් පෙනී සිටීම බිත්ති හරහා ගමන් කිරීම, පෙනීසිටිමින් අතුරුදහන්වීම මෙබඳු ක්‍රියාකාරකම් මඟින් දකින්නා විශ්මයට පත් කෙරෙයි. ආදේශනා ප්‍රාතිහාර්ය යනු අන්‍යයන් සිතූ දෙය, කල්පනා කළ දෙය දැකීමයි. එය පරසිත් දන්නා නුවණ ඇති අයට කළ හැකි දෙයකි. මෙම ප්‍රාතිහාර්යයෙන් වුවද ලාභ සත්කාර ලබමින් ජනපි‍්‍රයත්වයට පත්විය හැකිය. අන් අය පහදා ගැනීමට හැකිවනු ඇත. එසේම මෙහිලා වැදගත්වන්නේ ඔවුන්ගේ සිතැඟි දැන ඔවුන්ගේ යහපත සඳහා සුදුසු ධර්මයක් දේශනා කොට ඔවුන් යහපතෙහි යෙදවීමයි.

තුන්වෙනි ප්‍රාතිහාර්යය බුදුරදුන් අනුමත කළ ප්‍රාතිහාර්යයි. එය දේශනා ප්‍රාතිහාර්යයි. එහිදී අනෙකුත් ප්‍රාතිහාර්යය යම් පමණක් උපයෝගී කරගත් අවස්ථාද බුද්ධ චරිතයෙන් පැහැදිලි වේ. ප්‍රථම ධර්මදේශනාවේ ද තම ධර්මය ප්‍රථමයෙන්ම වටහා ගත්තේ කොණ්ඩඤ්ඤ තවුසා බව බුදුරදුන් දුටුවේ උන්වහන්සේගේ සිත කියැවීමෙනි. “අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤො” යනුවෙන් බුදුවීමෙන් අනතුරුව දෙවනි උදාන ප්‍රකාශය බුදුරදුන් කළේ ආදේශනා ප්‍රාතිහාර්යය තුළිනි.

තුන්වෙනිව දැක්වූ දේශනා ප්‍රාතිහාර්ය, තමා සෘජුවම අනුගමනය කරන්නාවූ තම ශ්‍රාවකයන්ටද, අනුමත කරන්නා වූ ප්‍රාතිහාර්යය බව බුදුරජාණන් වහන්සේ ‘කෙවඩ්ඪට’ පැහැදිලි කළහ. අනුස්සනී ප්‍රාතිහාර්යෙන් උන්වහන්සේ උසස් කොට සැලකුයේ අන් හේතුවක් නිසා නොව ඉහතකී ප්‍රාතිහාර්ය දෙකෙන්ම කෙනෙකුගේ විමුක්තිය සාධකය කළ නොහැකි නිසාය. බුදුරදුන්ට පෙරත් ධ්‍යාන ඵල ලැබූ විවිධ ප්‍රාතිහාර්යය පෑවාට තමන් සිත දියුණුකළ සෘෂිවරුන් සිටියත් ඒ කිසිවකුට දුකෙන් නිදහස් වීමට නොහැකි විය. බුදුරදුන් උසස් කොට සැලකුයේ ධර්ම දේශනාවෙන් සිදුකෙරෙන මේ දේශනා ප්‍රාතිහාර්යයි. ඒ තුළින් පමණක් ලෝකවාසීන්ට සෙතක් උදාකිරීමට හැකි බව දත් උන්වහන්සේ තම ශ්‍රාවකයා උනන්දු කළේ ඒ සඳහාය. එහෙත් බුදුරජාණන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්යය හා ආදේශනා ප්‍රාතිහාර්යය දෙක අනුගමනය කළ අවස්ථා ගණනාවක් දේශනා පාලියෙන් හමුවේ. එහිදීද උන්වහන්සේ අවසානයේ උපයෝගී කරගත්තේ දේශනා ප්‍රාතිහාර්යයි. දේශනා ප්‍රාතිහාර්ය මඟින් ධර්මාවබෝධය ලබාදුන් අතර සෘද්ධි ප්‍රාතිහාර්යය හා ආදේශනා ප්‍රාතිහාර්ය දෙක එක්තරා දුරකට උපයෝගී කරගෙන ඇති බව පෙනේ. බොහෝවිට මේ ප්‍රාතිහාර්ය දෙක බුදුරදුන් උපයෝගී කරගත්තේ අඩු බුද්ධියක් ඇති මුලාවට පත් වූ අය එයින් මුදා ගැනීම සඳහාය.

සෘද්ධි ප්‍රාතිහාර්ය ඉන්ද්‍රජාලයක් මිස යථාර්ථයක් නොවේ. අදත් එදත් එබඳු ඉන්ද්‍රජාලිකයෝ ලොව වෙසෙති. මෙබඳු ඉන්ද්‍රජාලයකින් මිනිසුන් පහදවාගෙන ඔවුන් සසර දුකින් මුදා ගැනීමට නොහැකිය. එබඳු දෙයින් කෙරෙන්නේ සත්වයන් තව තවත් මුලාවට පත් කිරීමකි. සත්වයා සසර දුකින් මුදාගත හැක්කේ ධර්මය දේශනා කොට එම ධර්මය අවබෝධ කරවීම තුළින් පමණි. එය දේශනා ප්‍රාතිහාර්ය යයි. බුදුරජාණන් වහන්සේ මුලින් කී ප්‍රාතිහාර්ය දෙක නොපැවැත්වීමට තම ශ්‍රාවකයන්ට අවවාද කළේ අනාගතයේ දී එය අනුමත කළ නම් ශාසනය ඉන්ද්‍රජාලිතයන්ගෙන් පිරි විනාශවන නිසාය. බුද්ධ දේශනාව ඤණ ඉන්ද්‍රජාලයක් නොව යථාර්ථයකි. එදත් අදත් බුද්ධිමත් නොවූ සාමාන්‍ය මිනිසා බෞද්ධ ලෝකයෙන් අපේක්ෂා කරන්නේ ප්‍රාතිහාර්යයන්ය. බුදුරදුන්ගේ අනාගත දැක්මේ අසිරිමත්බව මෙයින් පැහැදිලි වනු ඇත.

දේශනා ප්‍රාතිහාර්ය සිදුවූ අසිරිමත් බව කොපමණද? තණ්හාවේ දාසයන් බවට පත්ව තමාත් අනුනුත් දුකට පත් කරණ ලෝවැසියන් එයින් මුදා ගැණෙන්නේ දේශනා ප්‍රාතිහාර්යයේ ආනුභාවයෙනි. ද්වේෂයෙන් මෝහයෙන් අගතියට යන මිනිසුන්, අතර සැමදා දැකිය හැකි යුද්ධ, කලි කලහ, ගැටුම් අරගල දුරුකළ හැක්කේ දේශනා ප්‍රාතිහාර්යය බලයෙනි. ප්‍රචණ්ඩ වූ කාලිංග යුද්ධයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවිත අහිමිකළ අත්පා අහිමි කළ මව්පියන්ට දරුවන් අහිමි කළ දරුවන්ට පියවරුන් අහිමි කළ යුද්ධය කිසිදාක යළි ඇති නොවන තත්ත්වයට පත්කළේ ‘අශෝක’ දැහැමි පාලනයක බවට පත්කළේ දේශනා ප්‍රාතිහාර්යයේ බලයෙනි.

මෝහය මත පදනම් වූ ආගමික මූලධර්මවාදී දෘෂ්ටිවාද මත නිසා තමාගේ ජනතාව, සිසුන්, කාන්තාවන් සමූලඝාතනය කරන අන්ධවූ මිනිසුන් කවදා හෝ වෙනස්කළ හැක්කේ යථාර්ථය හෙවත් ධර්මය අවබෝධ කරවීම තුළින් පමණි. එය කළ හැක්කේ දේශනා ප්‍රාතිහාර්යකින් මිය සෘද්ධි ප්‍රාතිහාර්යකින් නොවේ. දුසිල්වත් ලෝක සිල්වතුන් බවට පත්වූයේ හත්ථිගාම, උග්ගහපුත්ත, වැනි බේබද්දන් පවා අනාගාමින් බවට පත් කළේ දේශනා ප්‍රාතිහාර්යයෙනි. අංගුලිමාල වෙත දේශනා ප්‍රාතිහාර්ය උපයෝගී කරගත්තේ ඔහුගේ මුලාව නැතිකිරීමට සෘද්ධි ප්‍රාතිහාර්ය හා ආදේශනා ප්‍රාතිහාර්යය උපයෝගී කර ගැනීමෙන් බව එම කතාවස්තුව පරීක්ෂා කර බලන විට මනාව පැහැදිලි වේ. සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමෙන් ජනයා වසඟකර නොගතයුතු බව වඩාත් තහවුරු කෙරෙන අවස්ථාවක් වන්නේ පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ එක්තරා ධනවතකු විසින් කරන ලද අභියෝගයකදී ඉදිරිපත් වූ අවස්ථාවයි. මේ ධනවතාගේ අභියෝග වූයේ ලොව රහතුන් වෙසෙත්නම් මේ උස්තැන රඳවා ඇති සඳුන් පාත්‍රය අහසින් අවුත් ගනිත්වා! යන්නයි. මේ අභියෝගය භාරගත් පිණ්ඩෝල රහතන් වහන්සේ සෘද්ධියෙන් අහසින් ගොස් පාත්‍රය ගත්තාහ. බුදුන් වහන්සේ මේ බව අසා එම ස්ථානයට වැඩම කොට සඳුන් පාත්‍රය බිඳ දැමීමට ක්‍රිය කළ බවත් මහණෙනි, මිනිසුන් ඉදිරියේ මෙබඳු පහත් ප්‍රාතිහාර්යය නොපෑයුතු බවත් අවවාද දී ප්‍රාතිහාර්ය පෑමෙන් මිනිසුන් පහදවා ගැනීම නොකළ යුතු බවට විනය කර්මයක් ද පැණවූහ. මෙබඳු බලයන්ගෙන් මිනිසුන් පහදවා හිස් ගොඩක් රැස්කිරීමට වඩා දේශනා ප්‍රාතිහාර්යයෙන් මිනිසුන්ට ධර්මය අවබෝධ කොට ඔවුන් සසර දුකෙන් ගලවාගත යුතු බවත් උපදෙස් දුන්නාහ.

සෘද්ධිවිධ ඥානය හෙවත් සෘද්ධි ප්‍රාතිහාර්යය ඥානය, දිවැස්ඥානය, දිව්‍ය ශ්‍රෝත ඥානය හා චුතූපපාත ඥානය හෙවත් සත්වයාගේ ඉපදීම, මියයෑම පිළිබඳ ඥානය පංච අභිඥාවශයෙන් සැලකේ. භාවනා වැඩීමෙන් ලබාගත් මේ අභිඥාවන් දේශනා ප්‍රාතිහාර්යට හෙවත් ධර්මය දේශනා කිරීමෙහිලා, උපකාරිවන අතර කිසිසේත්ම එමඟින් ජනතාවගේ ආකර්ෂණය පැහැදීම ඇතිකරලීමට අරමුණු නොවිය යුතු ය. එසේම එබඳු අභිඥාවන් අර්හත්වය සඳහා අනිවාර්ය නොවේ. අභිඥානයෙන් තොරව දුක් නැතිකොට නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකිය. මේ සඳහා ප්‍රයෝජනවත් වන්නේ උපයෝගි වන්නේ දේශනා ප්‍රාතිහාර්යය. දේශනා ප්‍රාතිහාර්යය සෙසු ප්‍රාතිහාර්යන්ට වඩා බලවත් වන්නේ ඒ නිසායි.

සෘද්ධි ප්‍රාතිහාර්යයන් සැබෑ අධ්‍යාත්මික කුසලතාවකට වඩා මායාමය ව්‍යාජ හැකියාවක් ලෙස සලකා ඇති බව පැහැදිලි වන්නේ එය භික්ෂූන් විසින් අනුගමනය නොකළ යුත්තක් බව අවධාරණය කළ නිසයි. මිනිසුන්ගේ ගැටලුවලට විසඳුම ලැබිය හැක්කේ ප්‍රාතිහාර්යයි. මතින් නොව යථාර්ථවාදය අනුව සිතා හේතුඵල ධර්මය අනුව බවත් ඒ සඳහා මාර්ගය පෙන්වා තිබෙන්නේ ධර්මයෙහි බවත් අවධාරණය කරමින් දේශනා ප්‍රාතිහාර්යම බුදුසමය උතුම්කොට සලකන බව වටහාගත යුතුය.