Print this Article


බුදුරදුන් කිනම් වාදීද?

බුදුරදුන් කිනම් වාදීද?

බුද්ධකාලීන භාරතය අනේකාකාර වූ අන්තවාද දෘෂ්ටිවාද නොවේ නම් විවිධ සාමයික දාර්ශනික මතවාදයන් පිළිබඳ කෞතුකාගාරයක් වූයේය. ආගමික හා දාර්ශනික වශයෙන් අතිශයින්ම සංකීර්ණ වූ වාද විවාදයන්ගෙන් ගහන පරිසරයෙක බුදුරජාණන් වහන්සේ උපත ලදහ. ‘තම වාදයම, මතයම සත්‍යය නිවැරදිය.අන් මතවාද අසත්‍යය, වැරදි යැයි තමවාදය තුළින්ම ශුද්ධිය විමුක්තිය ලැබිය හැකි යැයිද අන් වාද තුළින් එය ලද නොහැකියැ’යි ද පුන පුනා තර්ක කළ නන් අයුරින් හේතු සාධක යුක්ති ගෙනහැර පාමින් මුරගෑ චින්තකයෝ , අනුගාමික පිරිස්ද පිරිවරා ඔවුන්ට ආචාර්ය ව නායක ව සාධු සම්මත ව ප්‍රකටව හැසිරුනෝය. ඔවුහු විවිධ සම්ප්‍රදාය ගුරුකුලවලට අයත් වූහ.

බුදුදහම අනුව ප්‍රධාන වශයෙන්ම සමණ, බ්‍රාහ්මණ යනුවෙන් දෙයාකාර වූහ. පරිබ්‍රාජක ,ආජීවක, ජටිල, නිඝණ්ට,අචෙලකාදී වශයෙන් ඔවුන් හඳුන්වා තිබේ’. විටෙක ඔවුන්ගෙන් සමහරු මහ උගතුන් වූහ. සියුම් ලෙස තර්ක කළ හැකි, වාද කිරීමෙහි මහත් කුසලතා ඇති දක්ෂ පුද්ගලයෝ වූහ. එවැනි මහණ බමුණන්ට වාද විවාද කරමින් වසනු පිණිස සිව් මං සන්ධි වැනි ප්‍රසිද්ධ ස්ථානවල ගොඩනැගිලි ද තනා තිබිණ. කෝතුහලශාලා, ඝන්ථාගාර ශාලාදිය මීට නිදසුන් වෙයි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ විවිධ මතවාද පැවතිණි. ඔවුහු එකිනෙකා සමග වාද වශයෙන් ගැටුනෝය.එය අතිශයින්ම උණුසුම් වාග් ප්‍රහාරයන්ගෙන් යුත් වාතාවරණයෙකි. දෘෂ්ටි කළහයෙකි. තම වාදයෙහිම තදින් එල්බ ගත් ඔවුහු එම දෘෂ්ටියට එම වාදයම සත්‍ය බව සනාථ කිරීම පිණිස වාද කළෝය. මේ අතර සැබැවින්ම තම වාදයෙහි කැප වූ අවංක මෙන්ම වංක හා ව්‍යාජ ලෙස වාද ප්‍රතිවාද නගන්නෝද වූහ. ඔවුන් තුළ පැවතියේ ප්‍රසිද්ධිය ලබා ගැනීම, ලාභ ප්‍රයෝජන ලබා ගැනීම, අනුන් යටපත් කිරිම, පළිගැනීම වැනි පහත් ව්‍යාජ අරමුණු බවද සඳහන් වෙයි.

සත්‍යය සෙවීමෙහි නිරතවීම

පූර්වෝක්ත විවිධ මතධාරීහු ප්‍රමුඛ වශයෙන්ම ජීවිතය හා ලෝකය පිළිබඳ සත්‍යය සෙවීමෙහි මැ නිරත වූහ. බුදුදහම ඉතා පැහැදිලිව තේරුම් ගත් පරිදි එහි ලා සියලු චින්තකයන්ගේ පදනම වූයේ ආත්ම සංකල්පයයි. ඒ අනුව ප්‍රමුඛතම දාර්ශනික අන්තවාද දෙකක් දක්නට ලැබිණ, එනම් නිත්‍ය වු සදාකාලික වූ අවිපරිණාමි වූ භව සංක්‍රමණික වු ආත්මයක් ඇත යන ශාස්වතවාදය හා එබඳු නිත්‍ය ආත්මයක් නැත. සියල්ල මරණයෙන් කෙළවර වන්නේය.යන අශාස්වතවාදයයි. මෙකී ස්ථාවර දෙකෙහිම පදනම වූයේ ආත්ම සංකල්පයයි. බුද්ධකාලීනව ඉදිරිපත් කරන ලද ආගමික දාර්ශනික මතවාදවලින් සමහරක් ඉහත කී ශාස්වතවාදය මුල් කොටගත් අතර සමහරක් අශාස්වතවාදය මුල් කොට ගත්තේය. ලෝකය බෙහෙවින්ම මෙකී ස්ථාවර දෙකින් එකකට නැඹූරුව සිටින බව බුදුදහම පෙන්වා දෙයි. මෙම උභයාන්තය පාදක කොටගත් ප්‍රධාන මතවාද සතරක් බුද්ධකාලීන ව ප්‍රකට වූ බව සූත්‍රාන්තයන්ගෙන් පැහැදිලි වෙයි.

1.ආත්මය ඇත. සදාකාලිකය ශාස්වතය

2. නැත තාවකාලිකය, අශාස්වතය

3. ඇත හා නැත, සදාකාලික හා තාවකාලිකය

4.ඇත්තේද නොවේ. නැත්තේ ද නොවේ, සදාකාලික ද නොවේ. තාවකාලිකද නොවේ.

බුදුරජාණන් වහන්සේ කිනම් වාදීද? ඉහත දක්වන ලද ශාස්වතවාදය පිළිගන්නේද? නොපිළිගන්නේද? අශාස්වතවාදය පිළිගන්නේද? නොපිළිගන්නේ දැයි දැන ගැනීමට ඉහත කී වාද විවාද නැගූ චින්තකයන්ට අවශ්‍යව තිබුණේය. විවාදාත්මක වූ ඉහත කී ස්ථාවර දෙකින් කවරකට තම දහම එකඟ දැයි හෙළිකරන ලෙස නැවත නැවතත් උන්වහන්සේ වෙත අභියෝග එල්ල වී තිබිණ. එසේම ඉහත දැක්වූ චතුෂ්කෝටියෙන් කවර කෝටියකට එකඟ වන්නේ දැයි පැහැදිලි කරන ලෙසද පුන පුනා බල කර තිබේ.

ජීවිතය හා ලෝකය පිළිබඳ යථාර්ථය

පළමුවෙන්ම මෙහිලා තේරුම් ගත යුත්තේ බුදුදහම ඉහත කී ආත්මවාදය පදනම් කොටගත් දහමක් නොවන බවය. එය ආත්ම ගවේෂණයක් නොවේ. එම පදනම මත රැඳීම සත්‍යාවබෝධයට බාධාකරය. හානිකරය. ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය වැනි ආදි බෞද්ධ මූලධර්ම නිබඳවම ආත්ම සංකල්පය පසෙකින් තබා ඇත. ඒ නිසාම ආත්මය සදාකාලිකද? නොඑසේ නම් තාවකාලික දැයි සෙවීමටද බුදුසමයට අවශ්‍යතාවක් නොවීය. ආත්මවාදය මෙන්ම ඉන් උපන් ශාස්වතවාදය හා අශාස්වතවාදය ද බුදුරදුන් විසින් පසෙක තබන ලද්දේය. උන්වහන්සේට අවශ්‍ය වූයේ සමකාලීන වාද ප්‍රතිවාදවල කොටස්කරුවෙකු වීමට නොවේ.ජීවිතය හා ලෝකය පිළිබඳ යථාර්ථය පෙන්වා දීමටයි. බෞද්ධ චින්තනයෙහි මූලධර්ම සියල්ලක්ම ඒ සඳහාම යොමුවී තිබේ. අනවශ්‍ය දාර්ශනික ව්‍යාකූලතා මතු කරන වාද විවාදවල නිරතවීම, විවිධ වාද ස්ථාවර අන්ත කර තබාගෙන ප්‍රතිවාදීන් සමඟ ගැටුම් ඇතිකර ගැනීම වෙනුවට මධ්‍යස්ථව විචාර පූර්වකව ඇත්ත ඇති සැටියෙන් දුටු සැබැවින්ම නිදහස් චින්තකයෙකු වූ බුදුරජාණන් වහන්සේ ඒ සඳහා ලෝකයාටද මග පෙන්වූහ. කිසියම් වාදයක්, මතකයක් පිළිගැනීම මෙන්ම ප්‍රතික්ෂේප කිරීමද යන ක්‍රියාමාර්ග දෙකම එක්බඳු මෝඩකම්ය. එක්වාදයක් පිළිගන්නේ අනෙක ප්‍රතික්ෂේප කරමිනි. එකක් ප්‍රතික්ෂේප කරන්නේද අනෙක පිළිගනිමිනි. තමා පිළිගත් වාදයෙහි සත්‍යතාවය, නිරවද්‍යභාවය, යුක්තිය, සාධාරණත්වය සාධාරණව සහේතුකව පෙන්වා දෙමින් තමා නොපිළිගන්නා වාදයෙහි අසත්‍ය සාවද්‍ය බව අයුක්තියද එසේම පෙන්වා දීමට දෘෂ්ටියක් ගත් අන්තවාදියාට සිදුවෙයි. හෙතෙම තම වාදයෙහි වහලෙකි. සිරකරුවෙකි. ඔහුගේ චින්තන නිදහස, එම වාදය විසින් ගිලගෙන ඇත. ඔහු රූකඩයක් වැනිය. වාදය ඔහුව නටවයි. හසුරුවයි. තම වාදයෙහිම එල්බ ගත් හෙතෙම අන් අයට සවන් නොදෙයි. ඔහුගේ විචාර බුද්ධිය, නිදහස් චින්තනය යටපත් වෙයි. ඉවසීම නැති වෙයි. තම වාදයට එරෙහි වන විට හෙතෙම කිපෙයි. සටනට පිවිසෙයි. තම වාදයම හරි බවත්, ප්‍රතිවාද වැරදි බවත් කියාපෑමට හෙතෙම හැකි සෑම ප්‍රයත්නයක්ම දරයි. බුදුදහම සියලු වාද පසෙකින් තබන්නේ මෙකි වියවුලින් සිදුවන නොමග යාම හොඳින් දන්නා බැවිනි. වාදයක දෘෂ්ටියක එල්බ ගත් තැනැත්තා ඇති තතු නොදකියි. ඔහු අන්ධයකු වැනිය. මෙම තත්ත්වය මැනැවින් පෙන්වා දෙන බුද්ධ දේශනා සුත්ත නිපාත අට්ඨක හා පාරායන වග්ගවල වෙසෙසින්ම දැකගත හැකිය. බුදුරදුන් තුළ කිසිත් වාදයක් නැත. දැඩිව අන්තගාමීව බැසගත්, අල්ලාගත් කවර හෝ දෘෂ්ටියක් නැත. ආත්මවාදය ද නැත. ඉන් උපදනා ශාස්වතවාදය ද නැත. අශාස්වතවාදය ද නැත. ඒ දෙයින් උපන් වෙනත් වාදයක්ද නැත. උන්වහන්සේ යථාර්ථවාදීය.ඇති තතු දකින්නේය. එබැවින් වාදින් අතර අවිවාදීය. සියලු වාදයන්හි (සමුදය) හටගැන්ම ද (අත්ථංගම) අභාවයද (අස්සාද) ආශ්වාදයද (ආදීනව) ආදීනවද (නිස්සරණ) අත්මිදීමද උන්වහන්සේ මැනවින් දන්නා සේක. වාදය (දෘෂ්ටිය) යන මෙය තථාගතයන් වහන්සේට අදාළ නොවේ. වාද කොට දිනාගන්නට යමක් නැති බුදුරදුන් අවිවාදීය. වාද කොට දිනාගන්නට යම් යම් දෘෂ්ටි ඇත්තෝ උන්වහන්සේ හමුවෙත්. සිය වාදයම දක්වති. බුදුන් කිනම් වාදි දැයි අසති. බුදුරජාණන් වහන්සේ දෙසට දෘෂ්ටියහිම ඇති තතු දකිති. එයින් උත්තරීතර වූ යථාර්ථයද දකිති.

සසර දුක

කවර වාදයක් හෝ කරපින්නා ගැනීම ජීවිතය ඉදිරියේ ඇති ප්‍රමුඛතම ගැටලුව විසඳා ගැනීමට බාධකයක් වන්නේ යැයි බුදුන් වහන්සේ නිබඳවම වදාළහ. උපන් මිනිසා විසින් කළ යුත්තේ වාද විවාද කර තබා ගැන්ම නොවේ. ඔහු පළමුව සංසාරගත දුක හෙවත් මිනිස් ජීවිතයේ යථාර්ථය දැක්ක යුතුය. එය මිනිසා ඉදිරියේ ඇති මහා අභියෝගයයි. එම අභියෝගය එම ගැටලුව මෙන්ම භෞතික අවශ්‍යතා පිළිබඳ සමාජගත ගැටලුද ඇති බව බුදුදහම පිළිගනී. එසේම එම භෞතික අවශ්‍යතා පිළිබද ගැටලු විවරණය කර ඒවාට හේතු සාධකද පෙන්වා දෙයි. ඒ සඳහා ප්‍රායෝගික වූ විසඳුම්ද නිර්දේශ කරන උසස් ආර්ථික දේශපාලන හා සමාජ දර්ශනයක්ද බුදුදහම තුළ ඇත. ඒ සියල්ල විසඳා ගත්තද විසඳා ගත නොහැකිව ඇති සංසාරික ගැටලුවක් ද අප ඉදිරියෙහි තිබේ. බුදුදහමෙහි මූලික අවධානය යොමුවන්නේ එම ගැටලුව වෙතය. එනම් සසර දුක වෙතය.

ඉපදීම, ලෙඩවීම, මහලුවීම, මරණය, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, අපි‍්‍රයයන් හා එක්වීම හා කැමැති දේ නොලැබීම සමස්ත සත්ව ප්‍රජාවටමැ උරුම ව ඇති නොසතුටුදායක අප්‍රසන්න අත්දැකීම් බව නොකිවමනාය. එහෙත් සත්‍ය වශයෙන්ම සමස්ත මානව ඉතිහාසය පුරාම සාංසාරික සත්වයෝ තමන් දුක් සහිත වූ ඉපදීම උරුම කොටගත්, ස්වභාව කොට ඇත්තෝ තව තවත් එයම සොයති. ඒ දුක මැ ස්වභාව කොටගත් දේම සොයති. ඒ මතුද නොවේ. තමන් දුක් සහිත වූ ජරාව, මහලුවීම උරුම කොට, ස්වභාව කොට ඇත්තෝ තව තවත් එය මැ සොයති. එබඳු දේම සොයති. තමන් ව්‍යාධිය ලෙඩවීම උරුම කොට ඇත්තෝ තව තවත් එයම සොයති. එබඳු දේ ම සොයති. තමන් මරණය ස්වභාව කොට, උරුම කොට සිටිමින් තව තවත් එය මැ එබඳු දේ ම සොයති. ඒ සොයන්නේ අනෙකක් නොව අඹුදරුවන්ය. දැසිදසුන්ය. එළු කුකුළන්ය. ඇතුන්ය, අසුන්ය, රන්රිදීය, මසු කහවණුය. මෙකී නොකී ජාති, ජරා, ව්‍යාධි මරණාදියට පත්වන දේය. මෙය අනාරිය පරියේසනයයි. මිනිස් ප්‍රජාවට තමන් නිරතව සිටින මෙම අර්ථශූන්‍ය සෙවිල්ල පහදා දෙමින් ඔවුන් අරිය පරියේසනය එනම් ජාති, ජරා, ව්‍යාධි , මරණාදි දුකින් අත්මිදීමේ මග වෙත යොමු කරලීමට මැ බුදුන් වහන්සේ සියලු ප්‍රයත්න දැරූහ. දෘෂ්ටියෙක, මතවාදයෙක, අන්තයෙක එල්බ ගැන්ම වෙනුවට ඒ සියල්ල පසෙකින් තබා තමා ඉදිරියේ ඇති මෙකී මූලික ගැටලුවට විසඳුම් සෙවීමට යොමු වීම අත්‍යවශ්‍ය වූත්, අර්ථවත් වූත් ක්‍රියාව වන්නේය යනු බුදුරදුන්ගේ ඉගැන්වීමයි.