Print this Article


ගුරු තනතුරෙහි සලකා ගරු කිරීම

ගුරු තනතුරෙහි සලකා ගරු කිරීම

තමන්ගේ දැනුම වර්ධනය වීමට හෝ තමන්ට දැනුම ලබාදීමට හෝ කටයුතු කළ ගුරුවරයාට තමන් පසුව සමාජයේ මොනතරම් ඉහළ තලයකට පැමිණියත් සැළකීම් . ගරුසම්මාන කළ යුතු බව බණ පොතේ උගන්වන කාරණාවක්.මේ කාරණාව වඩාත් නිවැරැදිව පැහැදිළි කර ගැනීම සඳහා අපට ඉතාම වැදගත් වන සිදුවීමක් ලෙස සැරියුත් මහරහතන් වහන්සේ හා සම්බන්ධ පුරාවෘතය දැක්විය හැකිය. සැරියුත් මහ රහතන් වහන්සේ ගිහිකල “උපතිස්ස” නමින් තරුණයකු ලෙස ජීවත් වුණේ. මේ තරුණයාට තමාට සමීපම මිත්‍රයා ලෙස හිටියේ ‘කෝලිත’ නම් යහළුවායි.මේ යහළුවන් දෙදෙනාට හොඳින් ආර්ථික ශක්තියක් තිබුණ නිසා විශාල පිරිවරක් හිටියා. එක් අයෙකුට පන්සියය බැගින් වූ පිරිවරක් මේ දෙදෙනාටම හිටියා. කෝලිත සහ උපතිස්ස යන යහළුවන් දෙදෙනා තමන්ගේ මිත්‍ර ධර්මයන් සිඳගන්නේ නැතිව කාලයක් හොඳින් ආශ්‍රය කළා. මේ දෙදෙනාගේ යෞවන සමය සමඟම ඒ දෙපළගේ මිත්‍රත්වය තව තවත් හොඳින් වැඩුණා. ඒ කාලයේ ඉන්දියාවේ නාට්‍ය සංදර්ශනයක් තිබුණා. එය “ගිරග්ග සමජ්ජ” නම් වූ නාට්‍ය සංදර්ශනයයි. මේ නැටුම් උත්සවය දඹදිව ඉතාම ප්‍රකටව ප්‍රසිද්ධව තිබුණ එකක්. කෝලිත සහ උපතිස්ස නම් වූ මේ තරුණ පිරිවැජියන් දෙදෙනා තමන්ගේ පිරිවර ජනයා සමඟ නාට්‍ය බැලීමට සෑම වර්ෂයකම යනවා. එක දවසක් මේ නාට්‍ය දර්ශනය බලා මේ දෙදෙනා කල්පනා කළේ “ගිරග්ග සමජ්ජ” කියන නර්තනය තුළ ජීවිතයේ සතුට ලබන්නට විවිධ ක්‍රියාකාරකම් කරන පිරිස අතර, මේ ජීවිතයේ නිවැරැදි අරුත වටහා ගත් පිරිසක් පවත්වන ලද නාට්‍ය සංදර්ශනයක් නොවන බව. මේ නාට්‍ය සංදර්ශනය බලන විටම ඔවුන්ට කල්පනා වුණේ ජීවිතය මීට වඩා අවබෝධපූර්වක අය හැටියට ගත කරන්න අවශ්‍යයි කියන කාරණාව.ඇතැම් අයට අයහපත් දෙය සමාජය තුළ දකින විට එම අයහපත් දෙයට නැඹූරු වීම හොඳයි කියල කල්පනාවට එනවා. ඇතැම් අයට අයහපත් දෙය සමාජය තුළ තිබෙනවා දකින විට තමන් මෙම තත්ත්වයට වඩා ඉදිරියට යා යුතුය කියල කල්පනා ඇතිවෙනවා. කෝලිත,උපතිස්ස දෙපළට ඇතිවුණේ එවැනි කල්පනාවක්. සමාජය තුළ තිබෙන මෙම අයහපත් විකාර රූපී දේවල් දෙස බලන විට තමන් ඊට වැඩිය යහපත් තැනකට තමන්ගේ බුද්ධිය දැනුම අවබෝධය අරගෙන යා යුතුය. කියන කල්පනාව ඔවුන්ගේ සිත්වලට ඇතුළු වුණා. මේ කල්පනාව වඩාත් වර්ධනය වන්නට හේතු වුණේ එම දෙදෙනා තමන්ගේ සිත්වල ඇතිවුණ අදහස් සාකච්ඡා කරන්නට පටන්ගත්තාට පසුවයි. ඉන් පසුව දෙදෙනා දෙදෙනාගේ අදහස් ප්‍රකාශ කළා. දෙදෙනාගේ අදහස ප්‍රකාශ කිරිමෙන් පසුව දෙදෙනාටම ඇතිවුණේ එකම අදහසක්. අප සමාජයට මීට වඩා උතුම් දෙය දෙන්නට අවශ්‍යයි. සමාජයට මෙයට වඩා උතුම් දෙයක් දෙන්නට නම්, සමාජය තුළ අවබෝධ පූර්වක ප්‍රභාමත් වුණ ජීවිතයක් ගතකිරීම අවශ්‍යයි. අප දැනුම සොයන්න ඕනේ. දැනුම ඉබේටම ලැබෙන දෙයක් නොවෙයි. දැනුම සමාජය තුළ තිබුණත් අවබෝධය සමාජය තුළ තිබුණත් එම දැනුමත් එම අවබෝධයත් තමන්ට ලැබෙන්නේ තමන් ඒවා පිළිබඳ ගවේෂණාත්මක අධ්‍යයනවල යෙදුණොත් පමණයි. කියන කාරණාව මේ දෙදෙනාටම වැටහුණා. ඒ නිසාම මේ දෙදෙනා දැනුම සොයාගෙන යන්නට අවශ්‍යයි. කියන කල්පනාවට වැටුණා. මේ කල්පනාව ඇතිව සමාජයේ වට පිට බලන මේ ඇත්තන්ට කවුරු ළඟට ගිහින්ද දැනුම ලබාගන්න ඕනේ කියන අදහස හිතට ආවා. විවිධ ආකාරයේ දැනුම් තියෙන ශාස්ත්‍රාල එදා ඉන්දියානු සමාජය තුළ තිබුණා. ජටිලයන් ආජීවකයන්, නිගණ්ඨයන් ආදී වශයෙන් විවිධ නම්වලින් හඳුන්වන විවිධ අධ්‍යාපනික මධ්‍යස්ථාන පිළිබඳව ඔවුන්ට දැනගන්නට ලැබුණා. ඒ තැන් අතර එක ගුරුවරයකු සමීපයට දැනුම සොයාගෙන ගියා. ඒ ගුරුවරයා සංජය නම් වූ පිරිවැජියායි. එම සංජය පිරිවැජියා ශිෂ්‍යයන් විශාල පිරිසකට දැනුම ලබාදෙනවා.

කෝලිත උපතිස්ස යහළුවන් දෙදෙනාත් සංජය පිරිවැජියා සමීපයට ගිහිල්ලා ඉගෙන ගැනීම ආරම්භ කළා. කෝලිතත් උපතිස්සත් ඉතාමත් ඉක්මනින් ගුරුවරයා කියන කරුණු කාරණා ඉගෙන ගත්තා. ඔවුන් දෙපළ තුළම තිබුණ එකම විශේෂ හැකියාව වුණේ, යමක් කියල දෙන කොට හොඳින් අසාගෙන සිටිනවා.අසාගෙන හිටිය කාරණා පසුව කල්පනා කරනවා. පසුව එය මෙනෙහි කරනවා. ඒ නිසා ඉතාම ඉක්මනින් ඉගෙනීමට ඔවුන්ට හැකියාව ලැබුණා. කාලයක් සංජය පිරිවැජියා ගුරු තනතුරේ තියාගෙන මේ දෙදෙනා අධ්‍යාපනය හැදෑරුවා. ගුරුවරයාගේ දැනුම ඉතා ඉක්මනින් උකහාගත්ත නිසාම ගුරුවරයාගේ දැනුමේ ප්‍රමාණයටම ගුරුවරයාට තිබුණ ජීවිත අවබෝධයේ ප්‍රමාණයටම මේ දෙදෙනා ඉතා ඉක්මනින් ලඟා වුණා. මේ ආකාරයෙන් කාලයක් ගතකරන කොට අපි දෙදෙනා මීටත් වැඩිය යමක් ඉගෙනීමට අවශ්‍ය බව මේ දෙදෙනා හිතනවා. මේ ගුරුවරයා අපට ශිල්ප ලබා දුන්නාට ඒ ගුරුවරයා තුළ තිබෙන සියලුම ශිල්ප අප අවබෝධ කරගෙන අවසානයි. ඊට වඩා දැනුම වැඩි කෙනකු සොයාගෙන අප යා යුතු බවට කල්පනා කළා. මෙහෙම සාකච්ඡා කරමින් දෙදෙනා ඉන්න අවස්ථාවක උපතිස්ස පිරිවැජියාට දක්නට ලැබුණේ එක්තරා හාමුදුරුවන් වහන්සේ නමක් පාර දිගේ වඩිනවා. උන්වහන්සේ වඩින ගමන් විලාශය උපතිස්ස පිරිවැජියාගේ සිත් ඇද බැඳ ගත්තා.

ඔහු එම හාමුදුරුවන් වහන්සේ සමීපයට ගිහිල්ලා, මෙහෙම අහනවා. “ඔබ වහන්ස්ගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේ මඟ වඩින විට එම ගමන් විලාශය හරිම ප්‍රසන්නයි. ඔබ වහන්සේ දකින විට හිතෙනවා ඔබ වහන්සේ අපට වඩා කිසියම් වූ ඥාන ප්‍රවාහයකින් පරිපූර්ණ වූ කෙනකු කියල. ඒත් ඔබ වහන්සේ තුළ අප නොදකින අපට නොපෙනෙන සුවිශේෂ ඥාන සම්භාරයක් අවබෝධපූර්වක මානසිකත්වයක් තිබෙනවා කියලා මට හිතෙනවා. ඇත්තටම හාමුදුරුවනේ ඔබ වහන්සේගේ නම මොකක්ද? උපතිස්ස පිරිවැජියා මේ ආකාරයෙන් විමසූ විට ඒ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා මගේ නම අස්සජි, මට බොහෝ පිරිසක් කියන්නේ අස්සජි හාමුදුරවො කියලා. මම සමාජයේ මිනිසුන්ට යහපතක් කරන්න අර්ථය කියලා දෙන්න කැමැති කෙනෙක් මගේ ගුරුවරයා මට කිව්වේ ඔබ දන්නා දැනුම සමාජයේ අනෙකුත් අයගේ යහපත පිණිසම අකුටිලව බෙදාදෙන්න කියලා” මෙහෙම කියුවිට උපතිස්ස තරුණයා තුළ කුතුහලයක් ඇතිවෙනවා. එම කුතුහලය අස්සජි හාමුදුරුවන් කියන්නේ ගුරුවරයකු නොවේ. අස්සජි හාමුදුරුවන්ටත් ගුරුවරයකු ඉන්නවා. ගෝලයා මෙහෙම නම්, ගුරුවරයා කොහොම ඇතිද ? කියල එම ගුරුවරයා පිළිබඳව විමසලා ඒ ගුරුවරයා හම්බවෙන්න ඕනේ කියලා නැවත වතාවක් ප්‍රශ්නයක් අහනවා” අස්සජි හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? ඔබ වහන්සේට එම ගුරුවරයා කියලා දුන් ධර්මය කුමක්ද? කියලා. මගේ ගුරුවරයා බුදුහාමුදුරවන් බව අස්සජි හාමුදුරුවන් වදාරනවා. බුදුහාමුදුරුවන් මට දේශනා කරනු ලැබු දහමක් තියෙනවා. ඒ දහම තමයි කිසියම් සිද්ධියක් හරි කිසියම් දෙයක් හරි හටගන්නේ ඇතිවන්නේ කිසියම් වූ හේතුවක් නිසා. හේතුවක් නිසාම ප්‍රතිපලයක් හටගන්නවා. ඒ ප්‍රතිඵලය හැමදාම ප්‍රතිඵලයක් හැටියට තියෙන්නේ නැහැ. ඒකත් තව හේතුවක් වෙලා වෙනත් තව ප්‍රතිඵලයක් හටගන්නවා. මේ තුළ තිබෙන්නේ විපරිණාමය. ලෝකය පවතින්නේ විපරිණාමය මත, සාමාන්‍ය ජනයාට ඒ විපරිණාමය පේන්නේ නැහැ. හේතුව නිසා ඵලය හටගන්නවා. මේකට කිව්වේ හේතුඵල වාදය කියලා. මමත් මේ දහම වැඩිපුරම දන්නේ නැහැ. මම අලුත මහණ වුණ අයෙක්. මට ගුරුවරයා කියලා දුන්නේ ඔය කාරණාවයි. කියලා” උපතිස්ස තරුණයාට පැහැදිලි කරනු ලැබුවා. අස්සජි හාමුදුරුවන් කරනු ලැබූ ඒ අවබෝධපුර්වක කෙටි හැඳින්වීම, ඥානය කුමක්ද? ප්‍රඥාව කුමක්ද? කියලා සොයමින් සිටිය උපතිස්සගේ මනසෙහි මහා කුතුහලයක් ඇතිවුණ මහා දැනුම් සම්භාරයකින් මනස පිරෙව්වා. හිතට හරි සතුටක් පැමිණුනා.දේශනාව ටික වුණත් ලැබුණ අවබෝධය මහ ගොඩක්. ඒ හාමුදුරුවන්ට දණ නමල වැඳල මේ තරුණයා ආපස්සට හැරුණා. ආපස්සට හැරුණේ ආපු මාර්ගයේම ආපස්සට යාමට නොවෙයි. තමන් ලබපු මෙම අවබෝධපූර්වක කරුණු කාරණා තමන්ගේ හිත මිත්‍රයාටත් ඉතාම ඉක්මණින් දැනුම් දීමටයි. මේ පණිවිඩය තමන්ගේ හිත මිත්‍ර කෝලිතටත් කිව්වා. කෝලිතටත් හරිම සතුටක් ආවා. දැනුම කුමක්ද? ප්‍රඥාව කුමක්ද? කියලා සොයමින් විමසමින් කල්පනා කරමින් හිටිය කෝලිතගේ මනසෙහි විශාල කැලඹවීමක් ඇතිවුණා. මේ හේතුඵලවාදී දහම මෙච්චර කාලයක් සමාජය තුළ හිටියත් ජීවත් වුණත් මේ දැනුම තමන්ගේ ඔළුවට ලැබුණේ නැහැයි කියන කල්පනාව කෝලිතගේ මනසටත් පැමිණුනා. දෙදෙනා කතිකා කරගෙන දෙදෙනාම අස්සජි හාමුදුරුවන්ගේ ගුරුවරයා වන බුදුහාමුදුරුවන් වැඩ සිටින දිශාවට ගියා.කෝලිත උපතිස්ස දෙදෙනා තමන් සංජය ගුරුතුමා සමීපයට ගිහිල්ලා කිව්වා මේ වගේ දහමක් දේශනා කරන ගුරුවරයකු සිටිනා බවට ආරංචියක් මට ලැබුණා. ඔබතුමාත් අප සමඟ පැමිණීමට එනවාද? එසේ නැතහොත් අපි විතරක් යන්නද? යැයි විමසූ විට සංජය පිරිවැජියා කියනු ලැබුවේ ඔබ මා සමීපයේ බොහෝ දැනුම හදාරපු කෙනෙක්. බොහෝ දැනුම ලබාගත්ත අයෙක්. මම ගුරුවරයෙක් නිසා නැවත ගුරුවරයෙකු සමීපයට ගොස් නැවත ගෝලයකු වීමට මට බැහැ. ඔබ දක්ෂ තරුණයන් දෙදෙනෙකු නිසා ඔබ යන්න. ඔබ ගත් තීරණය නිවැරදිය. ඔබ ගොස් බුදුහාමුදුරුවන් හමුවන්න කියලා. කෝලිතත් උපතිස්සත් දෙදෙනා බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණූ කාරණා මනැසට ධාරණය කරගත්තා.

අප පැමිණිය යුතු තැන මෙතන තමයි යන හැඟීමෙන් හරිම සතුටක් ඇති වුණා. ප්‍රමාද වෙලා හරි අපි නිවැරැදි තැනට ඇවිත් තියෙනවා. කෝලිත මෙහෙම කියනකොට උපතිස්ස කිව්වේ හරියටම හරි. අප සොයන දැනුම ප්‍රඥාව මෙතෙන තියෙනවා වගේ. එනිසා අපි දෙදෙනා බුදුහාමුදුරුවන් ලඟ මහණ වෙමුයි කතිකා කරගෙන මේ දෙපළම මහණ වුණා. මහණ වූවාට පසුව දෙදෙනාගේම නම් ගම් වෙනස් වී” උපතිස්ස” නම වෙනුවට “ශාරිපුත්ත” නම ලැබුණා. කෝලිත නම වෙනුවට “මුගලන්” හෙවත් “මොග්ගල්ලාන” යන නම ලැබුණා. ඉන් පසුව උන්වහන්සේලා හැදින්වූයේ සැරියුත් මහතෙරුන් වහන්සේ මුගලන් මහ තෙරුන් වහන්සේ යනුවෙන්. සැරියුත් හාමුදුුරුවන් හොඳින් ධර්මය හදාරපු කෙනෙක්. දක්ෂ බුද්ධිමත්, අවබෝධපූර්වක,කෙනෙක්. උපේක්ෂාවෙන් පිරුණු මනසකින් හිත පුරවාගත් කෙනෙක්. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අගතනතුරු ලැබුවා.

බුදුරජාණන් වහන්සේගේ ගමන් මඟ එකලු කරන්නට බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු සම්පූර්ණ කරන්නට සැරියුත් හාමුදුරුවන් අධිෂ්ඨාන කරගත්තා. ඒ නිසා උන්වහන්සේ දකුණත් සව් යන නාමයෙන් පිදුම් ලැබුවා. මුගලන් හාමුදුරුවන් වමත් සව් යන නමින් පිදුම් ලැබුවා. දෙදෙනාම රහත් වුණා. සැරියුත් හාමුදුරුවන් මහ රහත් තත්වයට පත් වුණත් හැමදාම හැන්දෑවට ආගමික වැඩ අවසාන වෙලා සැතපෙන්න යන්න මොහොතකට කලින් තමන්ගේ ගුරුවරයා ඉන්නේ කොහෙද කියලා කල්පනා කරලා බලනවා. ගුරුවරයා කියලා සැරියුත් හාමුදුරුවන් සොයන්නේ බුදුරජාණන් වහන්සේ ගේ ගෝලයකු වූ අස්සජි හාමුදුරුවන්ට. අස්සජි හාමුදුරුවෝ නිසයි සැරියුත් හාමුදුරුවන් ඒ වන විටත් බුද්ධශාසනය තුළ වැඩ වාසය කරන්නේ.

ඒ දක්වා පාර කිව්වෙත් පුංචි බණ පදයක් දේශනා කළෙත් අස්සජි හාමුදුරුවො . ඒ නිසා අස්සජි හාමුදුරුවන්ට වඩා තනතුරුවලින් ඉදිරියට ගියත් දක්ෂතාවලින් ඉදිරියට ගියත් හැමදාම රාත්‍රියේ සැතපීමට පෙර අස්සජි හාමුදුරුවන් වැඩ සිටින දිශාව සොයා බලා ඒ දිශාවට වඳින ගෞරව කරන කෙනෙකු බවට සැරියුත් හාමුදුරුවන් පත්වුණා. සැරියුත් හාමුදුරුවන් හැමදාම මෙහෙම වඳින ආකාරය දෙස බලාගෙන සිටින අනෙකුත් හාමුදුරුවරු රහතන් වහන්සේ කෙනෙකු වෙලත් බුදුහාමුදුරුවො ප්‍රතික්ෂේප කරන දිශා නමස්කාරය කියලා කියන එක සැරියුත් හාමුදුරුවන් කරනවා. නේද කියා ඒ හාමුදුරුවරු හිතුවා. මේ අදහස බුදුහාමුදුරුවන්ට සැළකලා. බුදුහාමුදුරුවනේ, සැරියුත් හාමුදුරුවෝ මහරහතන් වහන්සේ නමක් වෙලත් තාමත් හැමදාම රාත්‍රියට සැතපෙන්න පෙර දිශා නමස්කාරය කරනවාය කියලා උන්වහන්සේලා බුදුපියාණන් වහන්සේ සමීපයට ගිහිල්ල මේ කාරණාව කිව්වා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එම භික්ෂූන් වහන්සේලාට මේ ආකාරයට කරුණු කාරණා පැහැදිලි කරල දුන්නා. සැරියුත් හාමුදුරුවෝ මහ රහත් තත්ත්වයට පත් වුණ අයෙක්. උන්වහන්සේ විශිෂ්ට උතුමෙක්. උන්වහන්සේ සමාජයේ හොඳ කල්‍යාණ මිත්‍රයෙක්. ඔබටත් සිටින කල්‍යාණ මිත්‍රයෙක්. උන්වහන්සේ මිත්‍යා ඇදහිලි පසුපස යන්නේ නැහැ. උන්වහන්සේ දිශා නමස්කාර කරන කතාව ඇත්ත වුවත් උන්වහන්සේ ඒක කරන්නේ දිශා නමස්කාරය නමැති මිත්‍යා විශ්වාස ඔස්සේ යන කාරණාවක් හැටියට නොවෙයි. උන්වහන්සේ මගේ ශාසනයට ඇතුළත් කරගන්න උන්වහන්සේට නිවැරැදි අවබෝධය ලබාදුන්නේ අස්සජි මහ රහතන් වහන්සේයි. අස්සජි මහරහතන් වහන්සේ තමන්ට නිවැරැදි මඟ පෙන්වපු ගුරුවරයා හැටියට සැරියුත් හාමුදුරුවො හිතනවා. එය තමයි නිවැරැදි. උන්වහන්සේ තමන්ට නිවැරැදි මඟ පෙන්වපු ගුරුවරයා සිහිකරලා. එම ගුරුවරයාට තමන්ගේ නමස්කාරය වේවා කියන උතුම් අදහසින් එය කරන බව බුදුහාමුදුරුවන් අනෙකුත් ස්වාමින් වහන්සේලාට පැහැදිලි කරල දුන්නා.