Print this Article


දරණාගම කුසලධම්ම හිමියෝ ඕස්ට්‍රේලියාවේ සදහම් මෙහෙවරක

දරණාගම කුසලධම්ම හිමියෝ ඕස්ට්‍රේලියාවේ සදහම් මෙහෙවරක

කොළඹ 07, ආර්.ජී.සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති “බෞද්ධයා” මාධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ 2014 දෙසැම්බර් මස 12 වනදා සිට දෙසැම්බර් මස 29 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වූ අතර “බෞද්ධයා” රූපවාහිනිය නරඹන හා “බෞද්ධයා” ගුවන් විදුලියට එරට වෙසෙමින් සවන්දෙන පේ‍්‍රක්ෂක ශ්‍රාවක සැදැහැති බොහෝ පිරිසකගේ ඇරැයුමෙන් මෙල්බර්න්නුවර, නිව්කාර්සල්, සිඩ්නිනුවර,කැන්බරා අගනුවර හා බ්‍රිස්බේන් නුවර ආදී ප්‍රධාන නගරවල පිහිටි ශී‍්‍ර ලාංකේය බෞද්ධ වෙහෙර විහාරස්ථානවල ධර්ම දේශනා ධර්ම සාකච්ඡා හා පූජාවන් පැවැත්වූ අතර එරට වැසි ශ්‍රී ලාංකේය සිංහල බෞද්ධ සැදැහැතියන් විසින් පිරිනමනලද සංඝගත දක්ෂිණාවන් රාශියකටද වැඩම වන්නට යෙදුණි.

මෙල්බර්න්හි පිහිටි රොක්බෑන්ක් පාරමිතා බෞද්ධ විහාරාධිපති පල්ලේවෙල දේවරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ ඇරයුම හා සම්බන්ධීකාරකත්වයෙන් එම විහාරස්ථානයේදීද, හොපර්ස් ක්‍රොසිංහි වෙරිබ් සිංහල සංස්කෘතික සංගමයේ සංවිධායකත්වයෙන් සෙන්ට්‍රල් පාර්ක් ප්‍රජා මධ්‍යස්ථානයේදීද ධර්ම දේශනාවන් පවත්වන්නට යෙදුණූ අතර, අනතුරුව ඩැංඩිනොංහි ධර්මදීප භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති අකරවිට සංඝානන්ද නාහිමිපාණන් වහන්සේගේ හා දායක සභාවේ ඇරයුමෙන් එම විහාරස්ථානයේදීද ධර්ම දේශනාවක් පැවැත්විණි.

යුරොක් ධම්ම නිකේතනාධිපති කෝට්ටේ සන්තින්ද්‍රිය නාහිමිපාණන් වහන්සේගේ ඇරැයුමෙන් එම විහාරස්ථානයට වැඩම කළ දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අනතුරුව වැඩම කරන ලද්දේ වර්තමානයේ දිගාමඩුල්ලේ විමලානන්ද නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති ධුරය දරන ලංකාවේ සිට වැඩම කොට පළමුවෙන්ම ලාංකීය බෞද්ධ විහාරයක් ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත කළ අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේ විසින් පිහිට වූ බෙරික්හි ශාක්‍යමුනි විහාරයටයි.

දෙසැම්බර් මස 20 වන දින රාජකීය පණ්ඩිත නාඹටුන්නේ විජිත නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථදායක සභාව සහ මිහිඳු ළමා පදනම මගින් කීස්බරෝ ධම්ම සරණ විහාරස්ථානයේදී විශේෂ පිළිගැනීමේ උළෙලක් සංවිධානය කර තිබුණු අතර එහිදීද කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් දම් දෙසුම් හා ධර්ම සාකච්ඡා පවත්වන ලදී. පසුගියදා ශී‍්‍ර ලංකාවටද වැඩමකළ ලොව විශාලතම මාණික්‍ය පාෂාණයෙන් නිමවූ සුප්‍රකට ජේඩ් බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම සඳහා ඉදිවන බෙන්ඩිගෝ හි පිහිටි සුවිසල් විහාරස්ථාන සංකීර්ණයටද වැඩම කළ උන්වහන්සේ මෙල්බර්න් නුවර කැම්බර්ෆීල්ඩ් හි පිහිටි හොරොව්පතානේ සතින්ද්‍රිය නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති ධුරය දරන සමාධි භාවනා මධ්‍යස්ථානයට ද වැඩම කළහ.

දෙසැම්බර් මස 21 දා සුදත් තෙන්නකෝන් මහතාගේ හා සිසිර මාබොටුවන මහතා හා එම මහත්මියගේ ඇරැයුමෙන් නිව්කාසල් නගරයට වැඩම කොට එහිදී ධර්ම දේශනා පවත්වා දක්ෂිණාවකටද සහභාගි වූහ. අනතුරුව සිඩ්නි නුවර ලංකාරාමයට වැඩමවන ලද්දේ රාජකීය පණ්ඩිත මීගහකුඹුරේ ධම්මගවේශී නාහිමිපාණන් වහන්සේගේ ඇරැයුමෙනි. එහිදීද ධර්ම දේශනාවන් දෙකක් පවත්වා බ්ලූමන්ටන්හි කටුම්බා ආරණ්‍යය හෙවත් ඕස්ට්‍රේලියානු බෞද්ධ විහාරය වෙත වැඩමවා කුඩාගල කෝවිද හිමිපාණන් වහන්සේගේ ඇරැයුමෙන් දානමය පින්කමකටද සහභාගි වූහ. එම ගමනේදී දීපිකා වීරකෝන් මහත්මිය හා රාධා මහතා යන දෙපළද කිත්සිරි කරුණාරත්න මහතාද ඉමහත් දායකත්වය දැක්වූහ.

දෙසැම්බර් 25 වනදා කැන්බරා අගනුවර වෙත ළඟාවූ දරණාගම කුසලධම්ම නාහිමිපාණෝ ලලිත් දලුවත්ත මහතාගේ සම්බන්ධීකාරකත්වයෙන් මේ දිනවල කැන්බරා බෞද්ධ විහාරයේ වැඩවෙසෙන මාවෙල සුමේධ හිමිපාණන් හා ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක වරාගොඩ පේමරතන අනුනාහිමිපාණන් වහන්සේගේද ඇරැයුමෙන් දම්දෙසුම් පැවැත්වූහ. දෙසැම්බර් 27 වන දින බ්‍රිස්බේන් නුවරට වැඩමවා බ්‍රිස්බේන් නුවර ලංකාරාම විහාරාධිපති වත්තේගම ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ ඇරයුමෙන් දම්දෙසුම් පැවැත්වීය.

ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ලාංකීය බෞද්ධ ජනතාවගේ බොදු වත් පිළිවෙත් පුරමින් ස්වකීය අධ්‍යාත්මික ගුණවගාව පෝෂණය කරගන්නා ආගමානුකූල දිවිපෙවෙත පිළිබඳ මහා චිත්‍රයක් ලෝකයා හමුවේ තැබීමට සමත්වන මෙම මහඟු ධර්මදූත මෙහෙවරට කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ සමඟ “බෞද්ධයා” මාධ්‍ය ජාලයේ කළමණාකාර අධ්‍යක්ෂ මහේෂ් යහම්පත් , වැඩසටහන් අධ්‍යක්ෂ ශෂික ජයතිලක, මූල්‍ය හා සුබසාධන අධ්‍යක්ෂ මහේෂ් ද අල්විස්, කැමරා අංශ ප්‍රධානී රොහාන් ඉඳුනිල් , සංස්කරණ අංශ ප්‍රධානී ගිහාන් කරුණාතිලක හා වැඩසටහන් නිෂ්පාදක සමීර ප්‍රසාද් යන අයද සහභාගි වූ අතර, මෙල්බර්න් නුවර වෙසෙන වෛද්‍ය ලංකාපුත්‍ර මැතිතුමා හා එම මැතිනියද සුදත් සේනානායක හා උදේනි නියංගොඩ යුවළද විශේෂයෙන්ම ගාමිණි රාජපක්ෂ මහතාද, විනීතා විජේරත්න හා සරත් විජේරත්න යුවළද විසින් ලැබදුන් නොමසුරු සහයෝගය කෘතගුණ පූර්වකව සිහිපත් කරමු.