Print this Article


සම්බුදු පහස ලද මහියංගණ පුරාණය

සම්බුදු පහස ලද මහියංගණ පුරාණය

බුදුන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය හා මහියංගණයේ ඓතිහාසිකත්වය වඩාත් ඉස්මතු වන අතරම බුදුරදුන්ගෙන් තිසරණගත වූ පළමු ශ්‍රී ලාංකේය පිරිස ද බිහිවනුයේ මහියංගණ භූමිය තුළදීම වීම ශාසනික වශයෙන් වැදගත් කරුණකි

වසර සිය ගණනක් මුළුල්ලේ බෞද්ධ ජනතාවගේ වන්දනීයත්වයට හා පූජනීයත්වයට පත් වූ, ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය කියවෙන හා ලියන සැමගේ පළමු අවධානය දිනාගත් මහියංගණ පුදබිමේ ඓතිහාසිකත්වය සාහිත්‍යයක මූලාශ්‍රයනට අනුව ක්‍රිස්තු පූර්ව සවැනි සියවසට සීමා වූවද පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා ඈත අවධියකට සම්බන්ධ බවට සාක්ෂි ශේෂව තිබේ. මහවැලි ගං නිම්නය ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස බිහි වූ එක් කලාපයක් ලෙසින් හඳුනාගත හැකිවන අතර එහි එක් ජීවමාන සාධකයක් ලෙසින් ආදිවාසින්ගේ නිජබිම් කලාපයක් සේ අද දක්වා මහියංගණයට සුවිශේෂත්වයක් හිමිව ඇත. උත්තරවිහාරට්ඨ කතාවෙන් උපුටාගත් කොටසක් මුල් කොට කරන විවරණයකි ද වංසත්ථප්පකාසිනිය විජය ලක්දිවට පැමිණෙන අවධියේදී ද ජුතින්දර නම් යක්ෂයකු මෙම ප්‍රදේශය පාලනය කළ බව දක්වයි. ජුතින්දර යනු යක්ෂයකුට වඩා යක්ෂයන් විශ්වාස කළ ගෝත්‍රික නායකයෙකු ලෙසින් සැලකීම වඩාත් උචිතය.

ශ්‍රී ලාංකේය වංසකතාවනට අනුව බුදුරදුන්ගේ පහස ලද පළමු ලක්දිව භූමිකලාපය ලෙසින් මහියංගණය දක්වා ඇති අතරම උන්වහන්සේගේ පළමු කේශධාතු නිදන්කොට මෙරට ඉදිකළ ප්‍රථම සත්රියන් ස්තූපය පිහිටි ප්‍රදේශය ලෙසින් මෙන්ම ස්තූප කලාව ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් කලාපය ලෙසින්ද අතීතයේ සිට බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට ලක්ව තිබේ. එමෙන්ම සරභූ මහරහතන්වහන්සේ විසින් බුදුරදුන්ගේ ආදාහන සෑයේ ලබාගත් ගී‍්‍රවා ධාතුව නිදන්කොට පළමු මහියංගණ ස්තූපය දහඅට රියනක් කොට ගොඩනංවන ලද බව ද වංසකතාව දක්වන තොරතුරෙන් මෙම පින්බිමේ ඓතිහාසිකත්වය තවදුරටත් ඉස්මතු කොට කෙරේ. බුදුරදුන්ගේ පළමු ශ්‍රී ලංකාගමනයේ දී රැකවරණ පිණිස පිරිත් දේශනා කොට මහියංගණ ථූපය පිහිටන ස්ථානයෙහි සමාධියට සමවැදි එහි රැස් වූ දේව සමූහයාට දෘෂ්ට ධර්ම සම්පරායික අර්ථයන් ප්‍රකාශවන්නා වූ ඔවුන්ට යෝග්‍ය වූ ධර්මදේශනා කළ බව වංසත්ථප්පකාසිනීය දක්වයි.

බුද්ධත්වයෙන් නවවැනි මස එළැඹි දුරුතු පුරපසළොස්වක් දින යක්ෂ ගෝත්‍රික පිරිස් දමනය කොට මිනිස් වාසයට සුදුසු බිමක් බවට පත්කිරීමේ අරමුණින් බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනයේ දී මහියංගණයට වැඩම කළ බව මහාවංසය දක්වයි. මිණිපේ සෙල් ලිපියේ ද මේ බව සනාථ කොට ඇත.

ගංගා නදි නිම්නයේ පිහිටි තුන්යොදුනක් දික් වූ එක් යොදුනක් පළල් වූ මහානාග නමින් හැඳින්වූ මෙම බිම්කඩ මහියංගණය නමින් එවකට හැඳින්වූ බව පැහැදිලි කරුණකි. එමෙන්ම දීපවංස මහියපොක්ඛල නමින් මහියංගණය හඳුන්වා තිබේ. පසුව මණිපො ද මණිභේද වැනි නාම වලින් ද මිණිපේ සහ ඒ ආශි‍්‍රත කලාපයම හඳුන්වා ඇති බව හත්ථවනගල්ල විහාර වංශයෙන් පෙනේ. එමෙන්ම මිණිබේ වේරමිණිබේ යන නාමාවලින් ද එම ප්‍රදේශය හඳුන්වා ඇත. මහනුවර අවධියේ සිට ව්‍යවහාරයට පත් බිම්තැන්න යන්නද මහි අංගන යන පද දෙකින් නිරූපිත වදනක් ලෙසින් සැලකෙන අතර සොරබොර ලේඛනයට අනුව සහ වංසකතාවට අනුව ද මියුගුණු යන නමින් අනුරාධපුර යුගයේ අවසන් භාගයේ සිට මහියංගණය වඩාත් ජනතාව අතර ප්‍රචලිතව පැවැති බව පැහැදිලිය.

ඓතිහාසික සිද්ධින්වල අනුපිළිවෙළ හා එහි වටිනාකම් ද යම් ස්ථානයක් පිළිබඳ ඇගයීමේ දී ඉතිහාසය හා පුරාවිද්‍යාවේ දී වැදගත් වේ. බුදුන් වහන්සේගේ ශ්‍රී ලංකාගමනය හා මහියංගණයේ ඓතිහාසිකත්වය වඩාත් ඉස්මතු වන අතරම බුදුරදුන්ගෙන් තිසරණගත වූ පළමු ශ්‍රී ලාංකේය. පිරිස ද බිහිවනුයේ මහියංගණ භූමිය තුළදීම වීම ශාසනික වශයෙන් වැදගත් කරුණකි. ලක්දිව දී පළමුවෙන් තිසරණ සරණ ගිය පුද්ගලයා ලෙසින් සුමන සමන් දෙවියන් ඉතිහාසගත ගත වන අතර ඔහුගේ ඉල්ලීම මත දුන් කේශධාතු මේ භූමිය තුළ නිදහන් කිරීම තුළින් ස්ථූප නිර්මාණයේ මූල අවස්ථාව එළි දක්වන ස්ථානය ලෙසින් ද මහියංගණයට සුවිශේෂත්වයක් හිමි වේ. ඉඳුනිල් මැණිකෙන් සමන් දෙවියන් විසින් එම ස්තූපය බුදුරදුන් වැඩ සිටි ස්ථානයේම නිමවන ලද බව මහාවංසය හා පූජාවලිය දක්වන අතර ධාතුවංසයෙන් එම කරුණ තව දුරටත් තහවුරු කෙරෙයි. නමුත් රාජාවලිය රනින් කළ ථූපයක කේශධාතු නිදහන් කළ බව දක්වයි.

සරභු රහතන් වහන්සේ විසින් බුදුරදුන්ගේ ආදාහන සෑයෙන් ගෙනෙන ලද ගී‍්‍රවා ධාතුව ද දහ අටරියනක් උස්වන ලෙසට නිමවන ලද ස්තූපයක නිදහන් කළ බව වංසකතා දැක්වීමෙන් මහියංගණ ස්තූපය කෙරෙහි ප්‍රාග් මහින්ද යුගයේ සිට පැවැති විශ්වසනීයත්වය කවරාකරයෙන් පැවැතියේද යන්න පෙන්වාදිය හැකිය. මෙහි ගී‍්‍රවා ධාතුව තැම්පත් කරන අවස්ථාවේ ‘මේදවණ්ණ පාෂාණ’ නම් ගල් විශේෂයන් ගෙන එන ලද සීවලී හා සුමන නම් සෘද්ධිමත් කුඩා සාමණේර දෙනමක් ගැන වංසත්ථප්පකාසීනිය දක්වයි. එමෙන්ම ස්ථූප නිර්මාණයේ හා එහි විකාශනයේ මුල් අවස්ථාවන්හි පැවැති සුවිශේෂත්වයද එහි දී මතු කෙරේ. බුරුම රට මහා විජිතාවි නම් තෙරුන් විසින් බුරුම අක්ෂරයෙන් රචිත වාචකොපදෙසටීකාවේ මහමෙර මුදුනේ පිහිටි සිළුමිණ සෑය මෙන් ලෝකයේ ප්‍රකට මහියංගණ නම් චෛත්‍ය පිළිබඳව වර්ණනාවක් කර තිබේ. මෙම මුල් ස්තූප පසුකාලීන ස්තූපවල තාක්ෂණික පාර්ශ්වය හා සංසන්දනයට අපහසු වුව ද දේශීය ස්තූප සම්ප්‍රදායක් මෙරට මහින්දාගමනයට පූර්වයේ සිටම පැවැතියේය යන අදහස මතු කිරීමට මෙම සාධක වැදගත් වේ.

බුදුසසුන ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමෙන් අනතුරුව මහියංගණය බෞද්ධ පූජනීය ස්ථානයක් ලෙසින් වඩාත් වර්ධනීය පියවර රැසක් ඉදිරියට තබනු පෙනේ. දේවානම් පියතිස්ස සමය තුළදීම ඔහු සොහොයුරු උද්ධ චුල්ලාභය කුමරු මහියංගණ ස්තූපය රියන් තිස්දෙකක් කොට බඳවන ලද බව වංසකතාව දක්වන අතර මිහිඳු හිමියන්ගේ ඉල්ලීමකට අනුව දේවානම්පියතිස්ස රජු විසින් මෙම ස්තූපය රියන් දෙතිසක් කොට බඳවන ලද බව රාජාවලිය කියයි. එසේම ශ්‍රී ලංකාවට වැඩම කරනු ලැබූ ශ්‍රී මහාබෝධියෙන් හටගත් තිදෙතිස් ඵල මහාබෝධින් ගෙන් එක් ශාඛාවක් මහියංගණයේ රෝපණය කිරීමත් සමඟ තව දුරටත් මහියංගණය පින් බිමක් ලෙසින් බෞද්ධ ජනතාවගේ ආකර්ෂණීයත්වය දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම මහියංගණය හා ඒ ආශි‍්‍රත කලාපයේ බෞද්ධ පුනරුදයක් ක්‍රිස්තු පූර්ව යුගයේ තෙවැනි සියවසේ සිටම පැවැති බවට සාක්ෂි රැසක් ලෙන් ලිපි ඇසුරෙන් පෙන්විය හැකිය. ප්‍රාදේශීය පාලකයෙකු ලෙසින් දැක්විය හැකි ශිවරජ විසින් භික්ෂූන් විෂයෙහි කළ ලෙන් රැසක් මහියංගණ ස්තූපයට දකුණු දිසාවට මඳ දුරකින් පිහිටි ඔලගංගලින් හමුවේ. ප්‍රාදේශීයව විසූ ‘පරුමක’, ‘බත’, ‘ගමික’ හා ‘ආචරිය’ වැනි විරුද දරන පුද්ගලයන් විසින් භික්ෂූන් විෂයෙහි පූජා කළ ලෙන් රැසක් පිළිබඳ තොරතුරු මාවරගලින් හමුව ඇත. නවලාර්කුලමින් ද ලිපි කීපයක් හමුව පැවැතීම භික්ෂූන් මෙම ප්‍රදේශවල විසූ බවටත් බෞද්ධාගම ක්‍රිස්තු පූර්ව යුගයේම මෙම කලාපය තුළ පැතිර තිබූ බවට සාක්ෂි ලෙසින් පෙන්වාදිය හැකි වේ.

දුට්ඨගාමණි රජු දවස මහියංගණ හා ආශි‍්‍රත කලාපය වඩාත් සුවිශේෂ භූමියක් ලෙසින් ඉතිහාසගතය. දුට්ඨගාමණි සිය සටන් ව්‍යාපාරය එළාරට එරෙහිව ආරම්භ කළ ස්ථානයක් ලෙසින් ද මහියංගණය ප්‍රදේශය සැලකේ. එවකට ඡත්ත නම් දමිළයකුගේ පාලනයට මහියංගණය යටත්ව තිබූ අතර එම ග්‍රහණයෙන් මෙම පින් බිම මුදාගැනීමේ ගෞරවය දුට්ඨගාමිණිට නිතැතින්ම හිමිවේ. දුට්ටගාමිණි රජු මහියංගණ ප්‍රදේශයේ වසර ගණනක් නැවැතී සිටි බවත් ඔහු විසින් මහියංගණ ස්තූපය රියන් අසූවක් කොට බඳවමින් එහි අනෙකුත් ප්‍රතිසංස්කරණයන් නිමවා මෙම බෞද්ධ පුණ්‍ය භූමියේ ගෞරවය හා සුරක්ෂිත බව තහවුරු කොට ඇත. සොරබොර වැව ද එම කාලය තුළදීම නිමවන ලද බව ජනශ්‍රැතියේ දැක්වේ. එම වැව අසල ඇති නටබුන් පිරික්සූ බ්‍රෝහියර් මහතා ඒවා දුට්ඨගාමණි රජුගේ මාලිගයේ නටබුන් විය හැකි යැයි අනුමාන කරන මුත් එම අදහස සනාථ කරලීමට වෙනත් සාධක විරලය.

දුට්ඨගාමණි සමයෙන් පසු මහියංගණ පුණ්‍ය භූමිය වෙත ශ්‍රී ලංකාවේ පාලකයන්ගේ විශේෂ අවධානයක් යොමුව තිබූ බවට සාධක සාහිත්‍යයික හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍රවලින් සනාථ වේ. දුට්ඨගාමිණි යුගයෙන් පසු ප්‍රතිසංස්කරණයක් ගැන අසන්නට ලැබෙනුයේ වෝහාරතිස්ස රජු දවසය. වෝහාරතිස්ස රජු මහියංගණ ස්තූපයේ ප්‍රතිසංස්කරණය කළ බවත් එහි නව ඡත්‍රයක් ද සවිකරන ලද බවත් දැක්වේ. එමෙන්ම සිරිසඟබෝ රජුගේ මුල් අවධිය මහියංගණයේ වැඩ සිටි නන්ද තෙරුන් සමීපයේ ගත වූ බව හත්ථවනග්ල විහාර වංසය කියයි. අනුරාධපුර යුගයේ විසූ දෙවන සේන රජු මහියංගණ විහාරයට ගම්වර පුදමින් ස්ථානයේ දියුණුවට කටයුතු කළ අතරම සිව්වැනි කාශ්‍යප රජ දවස එබඳුම වූ පූජාවන් කළ බවට සාක්ෂි වංසකතා තුළින් හෙළි දැක්වේ. සිව්වැනි උදය විසින් සොරබොර පිහිටුවන ලද සෙල් ලිපියක (බදුලු ටැම් ලිපිය) දැක්වෙන ආකාරයට හෝපිටිගමු වෙළෙඳ පොළේ නීති කඩ කොට අසූවන වෙළෙඳුන් විසින් ගෙවිය යුතු දඩ මුදල් මියුගුණු මහාසෑයේ පහන් දැල්වීම පිණිස යොදන ලද බවත් එම රජු මෙම ස්ථානයට වන්දනය පිණිස පැමිණ ඇති බවත් සනාථ වේ. එනම් ‘වත් හිමියන් වහන්සේ මියුගුණු මහවෙහෙර වැඩි කලැගිය දවස’ වශයෙනි. සිව්වැනි මිහිඳු රජුගේ යැයි විශ්වාස කළ හැකි මොනරාගල දඹේගොවින් ලැබුණු ලිපියක ද මහියංගණයේ අභිවෘද්ධිය පිණිස කළ පරිත්‍යාගයක් ගැන තොරතුරු අන්තර්ගතවන බව සිරිමල් රණවැල්ල මහතා පෙන්වා දෙයි. පොළොන්නරු සමයේ දී පළමුවැනි විජයබාහු රජු මහියංගණ විහාරය ප්‍රතිසංස්කරණයට දායකත්වය ලබා දී තිබේ. පළමුවැනි පරාක්‍රමබාහු රජුගේ බෑනා කෙනෙකුවන මියුගුණ කොදනාවන් ද මෙම ප්‍රදේශයේ වාසය කළ අතර නිශ්ශංකමල්ල රජු මියුගුණ විහාරයේ නව කම් කළ බව ගල්පොත ලිපියෙන් අනාවරණය වේ. කල්‍යාණවති රැජන දවස සිය මිණිපේ සෙල් ලිපියේ දි මහවැලි ගංබඩ පිහිටි මියුගුණ මහාසෑය ගැන සඳහන් කරයි. එමෙන්ම සවැනි පරාක්‍රමබාහු රජු විසින් ද මහියංගණ වෙහෙරෙ පිළිසකර කිරීම් කොට සුදු පිරියම් කිරීමට සිය දායකත්වය ලබා දී තිබේ. මහනුවර රාජධානි සමයේ ද සෙනරත්, දෙවන රාජසිංහ, දෙවන විමලධර්මසූරිය, වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ හා කීර්ති ශ්‍රී රාජසිංහ යන පාලක පිරිස් මහියංගණ පින්බිමේ අභිවෘද්ධිය පිණිස සිය දායකත්වය ලබා දෙමින් වැඩිදියුණු කරලීම උදෙසා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. විශේෂයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස ලක්දිව උපසම්පදාව පිහිටුවීම පිණිස සියම් දේශයෙන් වැඩමකොට වදාළ උපාලි තෙරුන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ මහියංගණය ඇතුළු සොළොස්මස්ථාන වැඳපුදා ගැනීමට වැඩම කළ ආකාරය මහාවංසය විස්තර කරයි.

මෙලෙසින් අනුරාධපුර යුගයේ සිට බෞද්ධයන්ගේ සිත්ගත් පින් බිමක් වූ මහියංගණය නිරතුරුව පාලක පක්ෂයේ අනුග්‍රහකත්වයට ලක්වීම නිසා කලින් කලට ප්‍රතිසංස්කරණවලට ලක් වුවද විදේශීය ග්‍රහණයට කන්ද උඩරට රාජධානිය නතුවීමත් සමඟම නැවතත් මහියංගණයේ ශ්‍රී විභූතිය ක්‍රමයෙන් පරිහානියට ලක් වූ බව පැහැදිලියි. එමර්සන් ටෙනන්ට් මේ ස්ථානයට දහනමවැනි සියවසේ දී පැමිණෙන විට ස්තූපය කඩා වැටී තිබූ බවත් එහි උස අඩි සියයක් පමණ වන බවත් ඔහුගේ වාර්තාවල දැක්වේ. වර්ෂ 1851 දී ඉද්දමල්ගොඩ ධම්මපාල හිමියන් විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබේ. යටවත්තේ චන්දජෝති මාහිමියන්ගේ මූලිකත්වයෙන් ජීර්ණත්වයට ලක්වෙමින් පැවැති මහියංගණ ස්තූපය 1871දී පිළිසකර කිරීම් ඇරඹුණ අතර 1890 දී එහි කොත් පලඳවා ප්‍රකෘතිතත්වයට පත් කොට තිබේ. 1922 වන විට නැවතත් අබලන් වූ ස්තූපය අඹගස්වැවේ රතනජෝති හිමියන්ගේ මූලිකත්වයෙන් වැඩ අරඹන ලදී. 1949 මහියංගණ විහාර වර්ධන සමිතියේ මූලිකත්වයෙන් මෙහි වැඩ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කරගනිමින් ආරම්භ කිරීමත් සමඟම එහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම කෙතෙක්ද යන්න ද අනාවරණය විය. වර්ෂ 1951 දී පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාගේ අධීක්ෂණය යටතේ ධාතු ගර්භය විවර කිරීමත් සමඟම එහි වූ කෞතුක භාණ්ඩ හා ගර්භයේ ඇඳ තිබූ සිතුවම් පිළිබඳ විවරණයන් එළිදරව්වීමත් සමඟ මහියංගණය යනු ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් පිරිපුන් ස්ථානයක් ලෙසින් පිළිගැනීමට ලක් වූ අතරම මෙතෙක් වංසකතාගත පුවත් තුළින් එළි වූ ඓතිහාසිකත්වය තවදුරටත් පුරාවිද්‍යාත්මක සාක්ෂිමත තහවුරු කර ගනීමට ද මං විවර විය.

එමෙන්ම ස්තූපයේ ගඩොල් පරීක්ෂා කළ විද්වතුනට බ්‍රාහ්මී අක්ෂර සහිත ගඩොල් කැබලී හමුවීමත් සමඟ එහි වූ පෞරාණිකත්වය ගැන නිවැරදි වැටහීමක් ලබා ගැනීමට ඉඩකඩ ලැබිණි. මෙම ගර්භය කැණීමේ දී හමු වූ තැම්පත් කොට තිබූ භාණ්ඩ ද පෞරාණිකත්වයෙන් අනූන පුරාවස්තු වේ. මෙහි ලැබුණු අශ්වාරෝහක ප්‍රතිමා හතර සුවිශේෂ නිර්මාණ ගණයේ ලා සැලකේ. එම ප්‍රතිමා අශිවින් දේව පුත්‍රයන්ගේ යැයි පරණවිතාන මහතා අනුමාන කරයි. එමෙන්ම ධාතුගර්භයේ තැම්පත් කොට තිබූ බුදුපිළිම, ධාතු කරඬු, ලෝහමය පහන්, තඹ කලස්, තුන්පා දරඬු, මත කපන ලද සංඛ, පැරැණි කාසි වර්ග, ආභරණ හා මැණික්ගල් යනාදිය ද ශ්‍රී ලාංකේය නිමැවුම් ක්ෂේත්‍රයේ වූ තාක්ෂණික පාර්ශ්වය නිහඬව හෙළිදක්වන අතර විදේශීය සම්බන්ධතා ගැන ද තොරතුර එමඟින් තහවුරු වේ. ධාතු තැම්පත් කොට තිබූ ලෝහයෙන් නිමවා තිබූ ධාතු කරඬු ඒ අතරින් විශේෂත්වයක් හිමි කර ගනියි.

හමුව ඇති බුදු පිළිමවල ද විශේෂත්වයක් දැකිය හැකිය. බොකු ආකාරයට සාදා ඒ තුළ තැම්පත් කොට තිබූ බුදුපිළිම ආශි‍්‍රතයේ කැටයම් පුවරුවක ලියා ඇති පාල යුගයට අයත් නාගරී අක්ෂරයන්ද හමුවීම නිසා මෙම පිළිම, පාල, යුගයේ දී ඊශානදිග ඉන්දියාවෙන් ලබා ගන්නට ඇතැයි ද ඇතැම්හු අදහස් කරති. අමරාවති කිරිගරුඬින් නිමවන ලද තවත් කුඩා බුද්ධ ප්‍රතිමාවක් ද ලැබී තිබීම ද පුරාවිද්‍යාත්මකව වටිනාකමක් හිමිවීමට හේතුවී ඇත.

මහියංගණ ස්තූපයේ ධාතුගර්භයේ ඇඳ තිබූ සිතුවම් නිසා අනෙක් පෞරාණික ස්ථානවලට වඩා වැදගත් තැනක් මහියංගණයට හිමිවේ. මේ ආකාරයෙන් ගර්භය තුළ සිතුවමින් සරසන ලද එක් ස්තූපයක් මිහින්තලෙන් ලැබී ඇති මහියංගණ ධාතු ගර්භය වටාම සිතුවම් ඇඳ තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි මුත් ඉන් ශේෂව තිබෙනුයේ ඉන් කිහිපයක් පමණි. මෙම ශේෂ මෙම සිතුවම් අතුරින් බෝමුල වැඩ හිඳින බුදුරුවක් නිරුපණය කර ඇති එම බුදුරුවට දකුණු පසින් වැඩුණු රැවුලකින් යුත් සෘෂිවරයෙකු යැයි සිතිය හැකි පුද්ගලයෙකුගේ සිතුවමක මෙන්ම දේවසමූහය පිරිවරකොට ඇති දර්ශනයක් ද එහි අන්තර්ගතයි. ඒ අතරින් ත්‍රිශුලය දරන ශිව ද සිය අත් සතරින් මල්වට්ටයක් ගත් විෂ්ණු ද පැහැදිලිව හඳුනාගත හැකිවේ. මීට අමතරව හිස මුඩු කළ සිවුරක් යැයි සිතිය හැකි වතක් දවටාගත් පිරිසක් ද පසෙකින් නිරූපිතය. මෙම පිරිසට ඉහළින් කඩුගත් අත් ඇති යම රජුගේ පිරිස යැයි විශ්වාස කළ හැකි පිරිසක් ද වේ. සියුම් රේඛාවන්ගෙන් ඇඳ ඇති මෙම සිතුවම් කහ, තැඹිලි හා සුදු යන වර්ණයන්ගෙන් වර්ණ ගන්වා ඇත. මෙම සිතුවම් ඇතැම්හු එකොළොස්වන සියවසට අයත් වේ යැයි අනුමාන කරති. නන්දදේව විජේසේකර ද මේ ගැන දිගු විස්තරයක් කරන අතර බුදුරදුන්ගේ බුද්ධත්වයට පත්වීමේ අවස්ථාව නිරූපණය කෙරෙන බව ද ඔහු පෙන්වා දෙයි.

මෙලෙසින් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සුවිශේෂ කඩඉම් හා සම්බන්ධවන මහියංගණ පිනිබිම සියවස් ගණනාවක් මුළුල්ලේ බොදුහදවත් සනහා ලු අතර පෞරණිකත්වයෙන් දේශීය අනන්‍යතාවය තහවුරු කරනු ලබන හා දේශීය සංස්කෘතියේ මුදුන්මල්කඩක් වන් ස්ථානයක් ලෙසින් ද සැලකීම ද නිවැරැදිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද හිමි

මෙම ලිපියේ ඉතිරි කොටස ජනවාරි 13 දා පත්‍රයේ පළ වේ.