Print this Article


බුදුරදුන් මහියංගණයට වැඩම වු පින්බර දුරුතු පොහොය

බුදුරදුන් මහියංගණයට වැඩම වු පින්බර දුරුතු පොහොය

හේමන්තයේ දෙවැනි මාසය වනුයේ දුරුතු මාසයයි. හේමන්ත ඍතුගත අධික සීතල මාසය වන දුරුතු මාසය වත්මන් ව්‍යවහාරයට අනුව වර්ෂයේ මුල්ම මාසය වන ජනවාරි මාසය වන්නේය. දුරුතු මාසය තුළ දිවා කාලය දැඩි සූර්ය තාපයෙන්ද රාත්‍රි කාලය දැඩි සීතලෙන්ද යුක්ත වෙයි. දුර්+උතු – දුරුතු යනුවෙන් සැදී ඇති මෙම වචනය තුළ පවත්නා දුර් යන්නෙන් අහිතකර යන අර්ථය ගෙන දෙයි. “උතු” යන්නෙන් අර්ථවත් වන්නේ ඍතුව යි. ඒ අනුව හිතකර නොවූ කාලගුණයකින් යුත් මාසය දුරුතු මාසය ලෙස නම් කළ හැකිය. පාලි භාෂාවෙන් ඵුස්සමාස, යනුවෙන්ද නක්ෂත්‍රයට අනුව පෞෂ යනුවෙන්ද දෙමළ භාෂාවෙන් තෛ යනුවෙන්ද ව්‍යවහාර වන්නේ මෙම දුරුතු මාසයමය.

දුරුතු මාසයේ යෙදෙන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය , ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා වැදගත් දිනයක් වනු ඇත. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ තුන් බෑ ජටිලයින් ප්‍රධාන දහසක් ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව ප්‍රථම වරට ලංකාවට වැඩමවීම හා එහිදී යක්ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශ ධාතු නිදන්කොට මහියංගණ දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ආරාධනය පරිදි බුදුරදුන් රහතන් වහන්සේලා දහසක්ද සමඟ රජගහනුවරට වැඩමවීම, පේ‍්‍රතයන්ට පින්අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගණ චෛත්‍යය අසල දී රජබවට පත් කරවීම යනාදිය දුරුතු පොහෝ දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් අතර ප්‍රමුඛස්ථානයෙහිලා සැලකිය හැකිය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නව වැනි මාසයේදී දුරුතු පුර පසළොස්වක පොහෝදා මහියංගණයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක් දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කළහ. මෙම ඓතිහාසික සිද්ධිය පිළිබඳ මහාවංසයෙහි පළමු පරිච්ඡේදයෙහි මෙසේ සඳහන් වෙයි.

බෝධිතො නවමේ මාසෙ - ඵුස්සදුණ්ණමියං ජිනො
ලංකාදීපං විසොධෙතුං - ලංකාදීප මුපාගමි

එදින මහවැලි නදිය අසබඩ පිහිටි මහානාග වනෝද්‍යානයෙහි යක්ෂ ගෝත්‍රිකයන්ගේ මහා සමුළුවක් පැවතිණ. ඒ වන විට ලක්දිව ඉතා බලසම්පන්නව සිටියේ යක්ෂ ගෝත්‍රිකයෝය. ඔවුන්ගේ දරුණුූ ක්‍රියාවන් නිසාම මෙසේ නම් ලද බව පිළිගත හැකිය. මෙරට ප්‍රාග් ඓතිහාසික පුරවැසියන් ලෙස හඳුන්වා දිය හැක්කේ නාග ගෝත්‍රිකයෝ. මෙම දෙපිරිස අතර කාලාන්තරයක පටන් පැවැති අසමගිය දුරුකිරීම බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනයෙහි ප්‍රධාන අරමුණ විය. ලක්දිවට වැඩමවා එහි වෙසෙන දරුණු මිනිසුන් දමනය කිරීමෙන් සිදුවන යහපත දැකීම එයට හේතුවෙයි. මේ සඳහා ලක්දිවට වැඩමවන ලෙස බුදුරදුන්ට ඇරයුම් කළේ සුමන සමන් දිව්‍යාරාජයා වන බවද බෞද්ධයෝ විශ්වාස කරති.

ඳැනට මහියංගණ චෛත්‍යය පිහිටි ස්ථානයෙහි පත්කඩ අතුට වැඩසිටි බුදුරජාණන් වහන්සේ යක්ෂ සේනාව දමනය කිරීම සඳහා ධර්මය දේශනා කළහ. එම බණ ඇසු ඉතා විශාල වූ පිරිසක් ධර්මාවබෝධය කළහ. යක්ෂ ගෝත්‍රිකයන් රුදුරු ගති පැවතුම් ඉවතලා යහපත් පිරිසක් බවට පත්වීමද මෙහිදී ඉතා වැදගත් වෙයි. බණ අසා සෝවාන් භාවයට පත් වූ සුමන සමන් දිව්‍යරාජයා විසින් ස්වාමීනි, අපට පූජාර්හ වස්තුවක් දුන මැනවැයි” යි.ආයාචනා කරන ලදී. බුුදුරජාණන් වහන්සේ ඔහුට කේශධාතු මිටක්දී පෙරලා උරුවෙල් දනව්ව බලා වැඩම වූහ. ඉක්බිති සුමන සමන් දිව්‍යාරාජයා බුදුරදුන්ගේ කේශධාතු ස්වල්පය රන් කරඬුවක තැන්පත් කොට සත් රියනක් උස සෑයක නිදන් කළේය. එම සෑය ඉදි කළේ එදා බුදුරදුන් ධර්මය දේශනා කරමින් වැඩසිටි ස්ථානයේ මය. මෙසේ ලෝකයේ ප්‍රථම දාගැබ ූු මහයියංගණ දාගැබ බුදුරදුන් ජීවමානව සිටිය දීම නිර්මාණය කොට පූජෝපහාර දැක්වීමේ ගෞරවය සුමන සමන් දිව්‍යාරාජයාට හිමිවෙයි. මෙකී මහියංගණ සෑය හෙවත් මියුගුණසෑය ලොව ප්‍රථම බෞද්ධ සංකේතයද වන අතර ප්‍රථම ථූප මූර්තියද වේ. සුමන සමන් දිව්‍ය රාජයාගේ මියුගුණ සෑය එදා පටන් යක්ෂ නාග දෙපිරිසගේම වන්දනාමානයට ලක් විය.

පසුකාලයක සැරියුත් මහරහතන් වහන්සේගේ අතවැසි වූ සරභූ රහතන් වහන්සේ විසින් කුසිනාරා නුවර පිරිනිවි බුදුරදුන්ගේ ශී‍්‍ර දේහය ආදාහනය කළ චිතකයේ ගී‍්‍රවා ධාතුව ගෙන නිදන් කොට මියුගුණ සෑය වටකොට දොළොස් රියන් චෛත්‍යයක් ඉදිකරවන ලදහ. එය පළමු චෛත්‍යය යට කොට වසා කළ හෙයින් කඤ්චුක චෛත්‍යය නම් විය. කලකට පසු දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරෙකු වූ උද්ධ චූලාභය, රජු මහානුභාව සම්පන්න වූ මෙම මනෝහර මියුගුණ සෑය දැක බෙහෙවින් තුටුපහටු වී දොළොස් රියන් සෑය වසා තිස්රියන් කොට සෑයක් කරවීය. දුටුගැමුණූ රජු එම තිස් රියන් සෑය වසා අසූරියන් උස්කොට කඤ්චුක චෛත්‍යයක් කරවීය. ඉන්පසු නොයෙක් කාල පරිච්ඡේදවලදී ගරාවැටුණු මෙම චෛත්‍යය ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමාබාහු ආදී ශ්‍රේෂ්ඨ නරවිරුවන් විසින් ප්‍රතිසංස්කරණය කරවන ලදහ. මේ වන විට ලෝකයා ගේ වන්දනාමානයට යෝග්‍ය වන අයුරින් මියුගුණ සෑයෙහි සියලු ප්‍රතිසංස්කරණයන් නිමකොට තිබේ.අද අප දකින මියුගුණ සෑය බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය සිහිපත් කරවන ප්‍රබලතම සාධකයක් වනු ඇත.

ප්‍රථම ලංකාගමනයෙන් පසු බුදුරදුන් මගධයේ අධිපති බිම්බිසාර මහරජුගේ ආරාධනයෙන් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේලාද සමග රජගහනුවරට වැඩම වූයේද දුරුතු මාසයේය. කිංසච්ච ගවේසීව සිටි සමයේ රජු දුන් පොරෙන්දුවක් ඉටු කිරීම එසේ රජගහනුවරට වැඩමවීමට හේතුවයි. එහිදී බිම්බිසාර මහරජු බුදුරදුන් හමුවීම සඳහා පැමිණියේ විසි දහසක් පමණ වූ පිරිසක්ද පිරිවරා ගෙනය. උන්වහන්සේ රජු ප්‍රමූඛ පිරිසට ධර්මය දේශනා කළහ. මෙය බිම්බිසාර මහ රජුගේ ප්‍රාර්ථනා පහම ඉටු වූ අවස්ථාව විය. ඉතා සැදැහැවත් මහෝපාසකයෙකු වු බිම්බිසාර මහරජු පසුව වේළුවනාරාමය ද බුදුරදුන් ප්‍රමුඛ සංඝයාට පිදීය. ඒ අනුව වාසය සඳහා ආරාම පිළිගැනීම යෝග්‍ය බව බුදුරදුන් භික්ෂූන් වහන්සේ සඳහා නියම කෙළේද මෙම දුරුතු මාසයේ දීය.

වේළුවනාරාමය පූජා කළ දින රාත්‍රි බිම්බිසාර මහරජු මහ හඬින් වැළපෙන පේ‍්‍රතයන් රාශියක් දුටුවේය. පසුදා මහරජු මේ බව බුදුරදුන්ට දැන්වීය. එසේ වැළපෙන්නේ පින් බලාපොරොත්තුව සිටින මහරජු ගේ ඥාති පේ‍්‍රත්‍රයන් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ඉක්බිතිව බුදුරදුන්ගේ අවවාද පරිදි බුදුපාමොක් මහ සඟනට දන් දුන් රජු ඤාති පේ‍්‍රත්‍රයන්ට පින් අනුමෝදන් කළේය. පේ‍්‍රතයන්ට පින්අනුමෝදන් කරවීමේදී බුදුරදුන් දේශනා කළේ තිරෝකුඩ්ඩ සූත්‍රයයි. මේ අනුව මිය ගිය ඤාතීන්ට පින් අනුමෝදන් කරවීමේ චාරිත්‍රය ආරම්භ වූයේද දුරුතු මාසයේ දීය. මහියංගණ චෛත්‍යය අසල දී සිරිසඟබෝ කුමරු රාජ්‍ය අභිෂේකය ලැබුවේද දුරුතු පුර පසළොස්වක පොහෝ දිනකදීය. සිරිසඟබෝ රජු ක්‍රි.ව. 247 සිට 249 දක්වා ඉතා කෙටි කාලයක් තුළ දැහැමෙන් සෙමෙන් රට පාලනය කළේය. ඉතිහාස ගත තොරතුරුවලට අනුව මෙම රජු අත්තනගල්ලේදී තම හිස දන් දුන් බව කියවෙයි. බුදු බව පැතූ බෝසත්වරයෙකු වශයෙන් සිරිසඟබෝ රජු ඉතිහාසගත වී ඇත.

මෙසේ විමසා බැලූ කල දුරුතු පුර පසළොස්වක පොහොය දිනය වූ කලී ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වූ දිනය මෙන්ම ලක්මව බුදුරදුන් දුටු මුල්ම දිනයද වන හෙයින් ශ්‍රී ලංකා වාසීන් ලෙස මෙම දිනය සදා අනුස්මරණීය දිනයක්ව පවත්නා බව සිහිපත් කළ යුතුය.