UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් පුර අටවක 2014.10.31

කඨින පින්කම්

“කඨින” පින්කම වටිනාම පින්කමක් බව මෙම චීවර මාසයේ දී මෙයට පෙර ද කිහිපවිටක් සඳහන් කර තිබේ. අදත් ඒ පිළිබඳ සටහනක් තැබීමට කල්පනා කරන ලද්දේ සැබැවින්ම එම වටිනා පින්කම පිළිබඳව තව තවත් දැනුම්වත්වීම බෞද්ධයාට පිනෙහි දහමෙහි නිරතවීමට උපකාර වන හෙයිනි.

කඨින පින්කම සඳහා අනෙකුත් බොහෝ පින්කම් සඳහා උනන්දු නොවන අය පවා ඒක රාශි වනුයේ එහි ඇති සුවිශේෂත්වය නිසාමය. හැකියාවත්, ශ්‍රද්ධාවත්, ධනයත් තිබේ නම් වසරේ ඕනෑම කාලයක බොහෝ පින්කම්වල යෙදිය හැකිය. එහෙත් කඨින පින්කම සඳහා ඒ සියල්ලටත් වඩා මූලික වනුයේ ගෞරවනීය උපසම්පදා ස්වාමීන් වහන්සේ ගේ වස් විසීමයි. වස් සච්ඡේදනයෙන් තොරව ස්වාමීන් වහන්සේ එසේ සිය වස් විසීම ආරක්ෂා කර ගැනීම නිසා සැදැහැති දායක පක්ෂයට කඨිනය වැනි මහා බලවත් පින්කමක්ද සිදුකර ගැනීමේ අවස්ථාව උදාවේ. ඉන් ගම්‍ය වන්නක් නම් භික්ෂූන් වහන්සේගේද උදාර කැපවීම මෙම මහඟු පින්කමට නැතුවාම බැරිබවය. ඇතැම් විට විහාරස්ථ සම්බුදුමැදුරේ වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ ජීවමාන බුදුපියාණන් වහන්සේ ලෙස සලකා වැසි සළු පූජා කර වස්සාන කාලය පුරා බුදුරජාණන් වහන්සේ වෙත නිසි වැඳුම් පිදුම් සිදු කරන අයුරු ඇතැම් පළාත්වල සිරිතක් ලෙස පවත්වා ගෙන එනු ලැබේ. සැදැහැවතුන් තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳ පවත්නා අප්‍රමාණ ගෞරවයද ශ්‍රද්ධාවද එමගින්ද පෙන්නුම් කෙරේ. විවිධ පින්කම් සිදු කරමින් ආගමානුකූල දිවි පෙවෙතකට හුරුවීමදම ජීවිතයේ බොහෝ කරදර බාධකවලටද සාර්ථකව මුහුණදීමට එයම මහත් ශක්තියක් වනු ඇත.

කඨින පින්කම් සිදු කරන බොහෝ නාගරික ප්‍රදේශවල සැදැහැවතුන්ගේ බලවත් ඕනෑකම නිසාම විවිධ නැටුම් ගැයුම් සහ අලි ඇතුන් සහිතව දර්ශනීය පෙරහර කඨින චීවර පූජාවට සූදානම් කරනු දක්නට ලැබේ. ඇතැම්විට එමගින්ය කඨින පෙරහර දර්ශනීය ලෙස පැවැත්වීමේ අපේක්ෂාව ඔවුන් තුළ පවතී. එමෙන්ම ඇතැම් නාගරික ප්‍රදේශවල කඨිනය සඳහා පූජාකිරීමට සූදානම් කළ චීවරය ගෙන් ගෙට වැඩම කරවා දායක නිවාස කීපයකම තැන්පත් කර තබා නිවසින් නිවස දම් දෙසුම් , සෙත් පිරිත් දේශනා ආදියද පවත්වන අයුරු දක්නට ලැබේ. එමගින්ද පැහැදිලි වනුයේ මෙරට බෞද්ධ ජනතාව තුළ කඨින පින්කම පිළිබඳව දක්වන ප්‍රසාදය, ගෞරවය හා ශ්‍රද්ධාව කෙතරම්ද යන්නය. මේ ආදි වශයෙන් කඨින පින්කම විවිධ ප්‍රදේශවල විවිධ ආකාරයෙන් සිදු කළද ඒ සියල්ලෙන්ම සිදුවන සමාජ යහපත ද අගනේය. ඇතැම් විට වෙනත් පින්කම්වලට සහභාගි වුවද කඨින පින්කම් සඳහා බොහෝ දෙනා දායකවීමටත්, සම්බන්ධවීමටත්, උත්සාහ කිරීමෙන් පෙනී යන්නේ බෞද්ධයා තුළ පවතින ආගමික නැඹුරුවය. ඔවු තුළ පවතින ශ්‍රද්ධාවය. රටට ජන සමාජයට එමගින් සිදුවන යහපත ඇතැම් විට අගය ප්‍රමාණය කළ හැකි නොවේ. එහෙත් ආගමික වශයෙන් පමණක් නොව සාමාජික වශයෙන් ගත් කළ පින්දහම් කෙරෙහි එසේ නැඹුරුවීමෙන් පවෙන් වැළකීම පමණක් නොව එය දකින බලන අය පවා එවන් පින්කම් කෙරෙහි තව තවත් නැඹුරු කරවීමටද එය මහෝපකාරි වේ.

මේ අනුව බලනවිට කඨින පින්කම විනයානුකූලව සිදු කෙරෙන ආගමික කටයුත්තක් පමණක් නොව මහත් සමාජ මෙහෙවරක්ද සිදු කරන වටිනා පින්කමක්ද වේ. ඇතැම් විට දර්ශනීය පෙරහර පැවැත්වීමෙන් අපේ පෞරාණික නැටුම් ගැයුම් ආරක්ෂා කිරීම පිණිසද එය හේතුවනු ඇත. එවන් උදාර අවස්ථාවන් සඳහා දහම් පාසල් දරුවන් ද ඊට දායක කර ගැනීමෙන් විවෘත ආදර්ශයක්ද අපේ දරු පරපුර වෙත නිහඬව ලබා දෙනු ඇත. ගමේ සමගිය, එකමුතුව තෙරුවන් කෙරෙහි ඇති ප්‍රසාදය ගෞරවය පන්සලට ඇති සබඳතාවය තව තවත් වර්ධනය වනුයේ එවන් උදාර පින්කම් අඛණ්ඩව සිදුකරන බැවිනි. මනුෂ්‍යයාගේ කායික, වාචසික, මානසික සංයමය අන් සියල්ලට වඩා මහඟු වටිනාකමක් දෙනු ලැබේ. කඨින පින්කම ආදි මහඟු පින්කම් සඳහා හැකිතාක් සැදැහැවතුන් සහභාගි කර ගනිමින් ඒවා සංවිධානය කිරීම තුළින් පවා තිදොර සංවරය උදාකරගැනීමට එයද එක් ප්‍රධාන හේතුවක් වනු ඇත. යම් අකටයුත්තක්, අසංවරයක් සිදුවන්නේ නම් ඒ තිදොර මනා සංවරයෙන් ඈත්වීම නිසාමය. කලින් කලට හෝ තැනින් තැන කලාතුරකින් හෝ අසන්නට දකින්නට ලැබෙන ඇතැම් අයහපත් සිද්ධීන් පවා මැඩ පැවැත්වීමට මෙබඳු පින්කම් මහෝපකාරි වන අයුරු දක්නට ලැබේ.

ඒ සියලු කටයුතු අතර ජීවිතයේ සැබෑ අරුත වටහා ගැනීමට ද කඨින පින්කම යොදා ගැනීමට කල්පනා කළ යුතුව ඇත. එවිට දෙලොව සතුට, සැනසීමත් ප්‍රාර්ථනා පරිදි සසර දුක් කෙළවර අමා මහ නිවනින් සැනසීමටත් එයම මහෝපකාරි වනු ඇත.

 

 

  ඉල් පුර අටවක පෝය

ඉල් පුර අටවක පෝය ඔක්තෝබර් 30 වැනිදා අපරභාග 09.18 ට ලබයි. 31 වැනිදා සිකුරාදා අපරභාග 07.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 31 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]