Print this Article


සදහම් දැනුම

 

ප්‍රශ්නය – බුදු දහමෙහි ආහාර පිළිබඳ දේශනා පාඨයකි මේ “සබ්බේ සත්තා ආහරට්ඨිතිකා”
විසම පරිහාරජා ආබාධා”

“සියලු සත්වයෝ ආහාරය නිසා පැවැත්ම රඳා පවතී.
“විෂම වූ ආහාර පැවැත්මෙන් රෝගී ජීවිතයක් ඇතිවේ”
ආදි බුදුදහමේ එන ආහාර පිළිබඳ දේශනය පැහැදිලි කරන්න.

පිළිතුර
ආහාරයෙන් ආයු, වර්ණ, සැප , බල, ප්‍රඥා යනුවෙන් පංච විධ වූ බලයක් ලැබෙයි. සය අවුරුද්දක් ප්‍රමාණවත් ආහාරයක් නොගත් සද්ධාර්ථ තවුසාණන්ට සමාධියත්, ප්‍රඥාවත් වඩා නිර්වාණාවබෝධය ලැබීමට හැකිවූයේ සුජාතා සිටුදුව විසින් පිරිනැමූ අතිශය පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් යුත් ක්ෂීර පායාසය වැළඳීමෙන් පසුව බව ප්‍රකට කරුණකි. තවද ධම්මපදට්ඨ කථාවේ “මාතිකාමාතා” කථා වස්තුව මගින් ආහාරයේ පෝෂ්‍ය ගුණය චිත්ත සමාධිය සඳහාත් නිර්වාණාවබෝධය සඳහාත් අනිවාර්ය අවශ්‍යතාවක් බව සනාථ කරයි.

මිනිසාගේ ආහාර රටාවේ විෂම බවත් විෂම ආහාර පරිභෝජනය රෝගාබාධවලට හේතුවන බවත් බුද්ධ දේශනාවෙහි එන විෂම පරිහාරජා ආබාධා” යනුවෙන් දේශනාවෙන් පැහැදිලි කෙරෙයි. කෘතිම රසකාරක හා අධිපෝෂ්‍ය ගුණයද එසේම මන්දපෝෂණයට හේතුවන අක්‍රමවත් ආහාර පරිභෝජනය නිසාද එහි විෂම ආහාර රටාව නිසාද කායික හා මානසික රෝගයන්ට භාජනය වන බව ධර්මයෙහි සඳහන් වෙයි.

ප්‍රශ්නය
ආහාරය පිළිබඳ බෞද්ධ මත ඉතා පුළුල් වූවකි, ආදි බුදු දහමෙහි එන දේශනා පාඨ ඇසුරු කරමින් පැහැදිලි කරන්න.

පිළිතුර
බුදු දහමට අනුව සූත්‍ර නිපාත ග්‍රන්ථයෙහි ආහාර පරිභෝජනය පිළිබඳ එක් සඳහනකි මේ.

ඌනොදරො මිතහාරො
අප්පිච්ඡස්ස අලොලුපො
සවේ ඉච්ඡාය නිච්ඡා තො
අනිච්චො හොති නිබ්බූතො
(සූ.නි. 710 ගාථා)

ආහාරය පිළිබඳ තෘෂ්ණාව කෑදරකම පාලනය කරගනිමින් ඒ පිළිබඳ (ප්‍රත්‍යවේක්ෂාවෙන්) මනා සිහියෙන් යුතුව ආහාර වැළඳීම නිර්වාණ ප්‍රතිපදාව සාධකය කර ගැනීමට මහෝපකාරි වෙයි. ආහාර සිව්වැදෑරුම් බව බුදු දහම අවධාරණය කරයි.

කබලිංකාර ආහාර
ස්පර්ශ ආහාර
මනො සංචෙතනික ආහාර
විඤ්ඤාණ ආහාර
(ජාතක පාලි ධ්ධ් 445 පිටුව)

මේ සතරාකාර ආහාරය මිනිසාගේ කායික හා මානසික අංශ දෙකෙහිම පැවැත්මට හේතු වේ. මව් කුසට පැමිණෙන ‘සම්බවේසී’ තත්වයේ සිටින්නා වූත් “කලල” තත්වයේ සිටින්නා වූත් සත්වයාට අවශ්‍ය ආහාර වර්ග පිළිබඳවත් මෙයින් සටහන්ව ඇත.

ප්‍රශ්නය
පුද්ගල ඒකකත්වය (පංචස්කන්ධය) හා සමාජ විවිධත්වය කෙරෙහි සදාචරාත්මක පදනම එක හේතුවක් ලෙස බුදු සමයෙහි කර්ම සංකල්පය යටතේ විග්‍රහ කෙරේ පැහැදිලි කරන්න.

පිළිතුර
කර්මය පිළිබඳ ජනපි‍්‍රය විග්‍රහය ඇතුළත් චුල්ලකම්ම විභංග සූත්‍රයෙහි තෝදෙය්‍යපුත්‍ර සුභ මානවකයා බුදුන් වහන්සේගෙන් සමාජය විවිධත්ව පිළිබඳ ප්‍රශ්න කරයි.

අල්පායුෂ්ක හා දීර්ඝායුෂ්ක අය අප අතරත් දක්නට ලැබේ. බොහෝ ආබාධ හා අල්පාබාධ ඇත්තහු දක්නට ලැබෙත්. දුර්වර්ණ හා වර්ණවත් අය දක්නට ලැබෙත්, අල්ප යසස් හා බොහෝ යසස් ඇති අය වෙති.අල්ප භෝග ඇති අය හා මහා භෝග ඇති සහිත අය වෙත්. පහත් කුල හා උසස් කුල අය දක්නට ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මිනිසුන් අතර හීන ප්‍රණීත බවක් දක්නට ලැබෙයි. එය කවරේද? සුභ මානවකයාට පිළිතුරු සපයමින් බුදුන් වහන්සේ එම විවිධත්වයට ප්‍රධාන හේතුව වශයෙන් දකින්නේ කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතතායාති)

සදාචාරාත්මක වශයෙන් යහපත් හා අයහපත් චර්යා හා මනෝ භාවයන් පදනම් කරගෙන සිදුවන කර්ම යේ ප්‍රතිවිපාක වශයෙන් සමාජයේ විවිධත්වයක් දක්නට ලැබෙයි. කර්මය බුදුදහමට අනුව නියතියක් නොවේ. පුද්ගල අධිකාරිත්වයට (ස්වයං තීරණ) ගැනීමට යටත් කළ හැකි නිසා අවශ්‍ය නම් පුද්ගලයාට විවිධත්වයෙන් නරක (දුශ්චරිත) සම්මත අංශයෙන් මිදී යහපත් (ශුභවාදී) (ප්‍රණීත) තත්වය වෙත ළඟා විය හැකි වෙයි.