UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රුවින් පමණක් නොව ගුණයෙන්ද පිරිපුන් භාර්යාවක් වූ යශෝධරා

රුවින් පමණක් නොව ගුණයෙන්ද පිරිපුන් භාර්යාවක් වූ යශෝධරා

“අවුරුදු අටක් ආදරය කරලයි, මම එයාව විවාහ කර ගත්තේ. අප ආදරය කරන දවස්වල මම හිතුවේ. මේ ලෝකේ ඉන්න හොඳම ගැහැනිය එයා කියලයි. දවසක එයා මට ගුණවත් බිරිඳක් වෙයි කියලයි මම හිතුවේ. ඒත් ඒක එහෙම වුණේ නෑ. මට හොඳ බිරිඳක් වෙන්නවත්, මගේ දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්නවත්, මගේ මවුපියන්ට හොඳ ලේලියක් වෙන්නවත් එයාට බැරිවුණා”.

මෙවන් මැසිවිලි නඟන බොහෝ විවාහකයන් මේ ජීවිතකාලය තුළ දී හමු වී ඇත. පෙම්වතියකගේ භූමිකාවත්, බිරිඳගේ භූමිකාවත් පරස්පර විරෝධි ලෙස රඟ දක්වන කාන්තාවෝ සැබැවින්ම මේ සමාජය තුළ බහුලව දැක ගත හැකිය. කාන්තාවන් පත්ව ඇති මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වය පවුල් සංස්ථාවේ පැවැත්ම කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන්නේය. පතිකුලයට පිවිසෙන සෑම කාන්තාවක්ම සිය ස්වාමියා කෙරෙහි නිසි ලෙස සැලකිලිමත් වීමටත්, පති භක්තිය ආරක්ෂා කර ගැනීමටත්, උනන්දු විය යුතුය. පවුල් සංස්ථාවක විධිමත් පැවැත්ම උදෙසා විශාල වගකීමක් ඇති භාර්යාව තම ස්වාමියා මුල් තැන්හි තබා කටයුතු කිරීමට පෙළඹිය යුතුයි. එය භාර්යාවකගේ යුතුකම මෙන්ම යහපත් ගුණ ධර්මයක්ද වේ. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන මූලික ගුණාංගවලින් යුක්ත අඹු සැමියන් වසන නිවස පූජනීය ස්ථානයක් බඳුය. අන්‍යෝන්‍ය අවබෝධය, සමානාත්මතාවය, මෘදු බව, ත්‍යාගශීලි බව, කාරුණික බව හා කැපවීම, ප්‍රසන්න යුග දිවියකදී දැකිය හැකි ලක්ෂණයන්ය. සිල්වත්, ගුණවත් අඹු සැමියන් බුදුන් වහන්සේගේද ප්‍රශංසාවට ලක්වූහ. බුදු සසුනේ උපාසකභාවයට පැමිණි ඉතා සෙනෙහෙබර අඹු සැමි යුවළක් වන නකුලමාතා සහ නකුල පිතා යනු එවැනි අඹු සැමි යුවළකි. යුගදිවිය ඇරඹූදා සිට ඔවුන්නොවුන් වෙනුවෙන් ම පමණක් කැපවී සිටි මේ අඹු සැමි යුවළ බුදුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන්නේ මතු ආත්මයේදීද ඔවුනොවුන් දැක ගැනීමට කැමැත්තෙන් සිටින බවය. මෙහිදී බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ,

”ගෘහපතියනි ඉඳින් යම් අඹුසැමි යුවළක් මෙලොවදි එකිනෙකා දකින්නට කැමැති වන්නා සේ පරලොවදී ද එකිනෙකා දැකීමෙහි අභිමතය නම්, සමාන ශ්‍රද්ධා ඇති සමාන සීල ඇති සමාන චාග ගුණ ඇති සමාන පඤ්ඤා ඇති කල්හි ඔවුහු මේ ජීවිතයේදි උනුන් දකින්නා සේ පරලොවෙහිදී උනුන් දකින්නාහ” යනුවෙනි.

මෙයින් පැහැදිලි වන්නේ යහපත් යුග ජීවිතයක් සඳහා සැමියා සහ බිරිඳ යන දෙදෙනාම සමාන ගුණයන්ගෙන් යුක්ත විය යුතු බවකි. එවැනි සමාන ගුණ ඇති සසර පුරා බොහෝ කල් නිවන් දක්නා ජාති දක්වා එකට ආ අඹූ සැමි යුවළක් ලෙස සිදුහත් යශෝධරා හඳුන්වා දිය හැකිය. බුදුසමයෙන් අපට හමුවන තවත් එක් ආදර්ශවත් බෞද්ධ කාන්තා චරිතයක් ලෙසින් යශෝධරා දේවිය හැඳින්විය හැකිය. බෝධි සත්ත්වයන් වහන්සේ සමඟින් සසර නොයෙක් ජාතිවල සැරිසරමින් එතුමන්ගේ උත්කෘෂ්ඨ පැතුම මල්ඵල ගැන්වීමට ඇවැසි දස පාරමිතාවන් සපුරා ගැනුමට අතහිත දුන් ලොව විසූ පින්බරම බිරිඳකි.

මද්‍රී (මන්ත්‍රී) දේවිය, පබාවතිය,අමරා දේවිය ලෙසින් නොයෙක් ජාතිවලදි බෞද්ධ කාන්තා සිත් සතන් පහන් සංවේගයෙන් අභිමානයෙන් සහ සෙනෙහසින් පුරවා ලූ එවන් කාන්තා චරිතයක් තවත් මිහිපිට නැතිසේය. ගෞතම බුද්ධ චරිත කතාවේදී එතුමිය භද්‍ර කච්ඡානා ,යසෝධරා, බිම්බාදේවි, රාහුල මාතා වැනි නම්වලින් හැඳින්විය.”ඕ” පද්මයට පැමිණි ශ්‍රී කාන්තාව සේ ශ්‍රී සම්පත් වූහ. දඹදිව්’ තලෙහි උන්ට වඩනා ස්ත්‍රී රත්නයක් නැත. ඕ කල්‍යාණ වූ රූපශ්‍රීයෙන් හෙබියේය. තමන් උපන්ගෙයි පහන් නො නංවන තරම් දිව්‍ය සමාන ශරීර ශෝභා ඇතියහ”

සිංහල සාහිත්‍යකරුවන් යශෝධරාවන්ගේ රුව වර්ණනාවට ලක් කරන ලද්දේ එලෙසිනි. රුවින් පමණක් නොව එතුමිය ගුණයෙන්ද පොහොසත් විය. බුදුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කොට , සුදොවුන් රජුගේ ආරාධනයෙන් භික්ෂු සංඝයා පිරිවරා රජගෙට වැඩම කළ අවස්ථාවේ රජ පවුලේ සියලු දෙනා බුදුන් වහන්සේ දැක ගැනීමට පැමිණියත් යශෝධරා දේවිය පමණක් එහි නො පැමිණියාය. ඒ ඇය තුළ තිබූ අහංකාරයක් නිසාවත්, තමා සහ රාහුල පුතු අතහැර දමා ගියා යැයි ඇති වූ ක්‍රෝධයක් නිසාවත් නොවේ. ඇය ගේ පැතුම වූයේ, “මා උන්වහන්සේට පක්ෂපාතීව විසුවා සැබෑ නම් උන්වහන්සේ මගේ ගෙටත් වඩිනා සේක” යන්නයි.

යශෝධරාවගේ මේ සිතුවිල්ල වර්තමාන සමාජයේ අපේ කාන්තාවන්ට මහඟු ආදර්ශයකි. බිරිඳක් වශයෙන් තම ස්වාමියාටත්, මවක් වශයෙන් දරුවන්ටත්, ලේලියක් වශයෙන් තම නැදි මයිලන්ටත්, ඥාති දියණියක් ලෙසින් නෑදෑ හිතවතුන්ටත් ඔබ ඔබේ යුතුකම් සහ වගකීම් නොපිරිහෙලා ඉටු කර තියෙද්දීත්, දිනක ඔබේ සැමියා යහපත් හෝ අයහපත් කුමන හෝ අරමුණක් පෙරදැරි කරගෙන ඔබ අතහැර ගියේනම්, ඔබ විසින් කළ යුත්තේ, හඬා වැළපෙමින් ඔහු පසු පස යෑම නොවේ. ඔබ නිවැරදි නම්, නිසි ලෙස ඔබේ යුතුකම් හා වගකීම අන්‍යයන් වෙනුවෙන් ඔබ ඉටු කළේ නම්, කෙදිනක හෝ යළිත් ඔහු ඔබ වෙතම එනු ඇත. ඔබ විසින් කළ යුත්තේ නිහඬව කාලයට ඉඩ දී බලා සිටීමයි.

සුදොවුන් රජු යශෝධරා පිළිබඳ පුවත භාග්‍යවතුන් වහන්සේට සැළ කළ විට, ඇය තමන් වහන්සේට පාරමි පිරීමට දුන් සහාය පිළිබඳ සිහිකොට රජු සමඟ යශෝධරා වගේ ගෙට වැඩම කළහ. මාමණ්ඩියක විසින් තම ලේලියගේ ගුණ වර්ණනා කිරීම් සැබැවින්ම දුර්ලභ අවස්ථාවකි. එහෙත් යශෝධරා යනු සිය මාමණ්ඩියගේ ද හෘදයාංගම ප්‍රසංසාවට ලක්වූ පින්වතියකි. සුදොවුන් රජතුමා, සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්මුණ දා සිට යශෝධරාවන් තම ස්වාමියා වෙනුවෙන් කැපවී ගත කළ කටුක දුෂ්කර ජීවිතය පිළිබඳ හෙළි කළේය.අනේක විධ වු සැප සම්පත්වලින් පිරුණු මාලිගයේ ඇය කටුක දිවි පෙවෙතක් ගත කළේ තම සැමියා කටුක දිවි පෙවෙතක් ගත කරන්නේ යැයි අසා තිබු බැවිනි. සුදොවුන් රජතුමා විසින් සිය ලේලිය ගේ ගුණවර්ණනා කොට අවසානයේ කියන්නේ.

“මගේ ලේලිණියෝ නුඹ වහන්සේට මහත් වු ගුණ ඇතියහ. ඉතා ශික්ෂිතයහ” යනුවෙනි. වර්තමාන සමාජයේ ස්වාමියා අතහැර ගිය, ස්වාමියා මිය ගිය ඇතැම් බිරින්දෑවරුන්ගේ චරිත දෙස විමසිලිමත්ව බලන විට ඕනෑම අයෙකුගේ සිතට පිවිසෙන්නේ මහත් කලකිරීමකි. සැමියා හැර ගියත්, යශෝධරාවන් රැක ගන්නට රජ කිරුළු දැරූ,මාමණ්ඩියක සිටියා. රජ ගෙදරක සැප සම්පත් තිබුණා යැයි ඔබට සිතෙන්නට පුළුවන. එදා සමාජ පසුබිමත් අද සමාජ පසුබිමත් අතර පවතින වෙනස ගැන ඔබ තර්ක විතර්ක ඉදිරිපත් කරන්නටද පුළුවන්. එහෙත් මම ඔබට මෙසේ කියමි. තමන්ගේ හදවතට තට්ටු කර නිහඬව මඳක් අසා හිඳින්න. අන්‍යයන් වරදට පොළඹවන එකම එක ඉඟියක් හෝ ඔබෙන් නො ලැබුණා නම් කිසි විටෙකත් ඔබ සමාජයේ ගොදුරක් නොවනු ඇත. ගුණ නුවණින් පිරි යහපත් ගැහැනියකට ඕනෑම සමාජ තලයක චරිතවත් දිවියක් ගත කළ හැකි බව එවිට ඔබට වැටහෙනු ඇත.

ලෝකාර්ථය උදෙසා යශෝධරාවන් සිය ස්වාමියාගෙන් වෙන්වීමත්, එකම පුතුගෙන් වෙන් වීමත්, එකසේ විඳ දරා ගත්තාය. ඉවසීමේ ගුණය ඇය සතු දහසක් ගුණයන්ගෙන් එකක් පමණකි. සැප සම්පත් කෙරෙහි ලාභ සත්කාර කෙරෙහි ඇය කිසි විටකත් ගිජු නොවූවාය. මහා ප්‍රජාපතී ගෝතමියගේ මූලිකත්වයෙන් භික්ෂුණී ශාසනය ආරම්භ වු පසු යශෝධරාවන්ද පැවිදි දිවියට පත් වුවාය. සැවැත්නුවර වාසය කළ යශෝධරා තෙරණිය බොහෝ ජනයා විසින් ලාභ සත්කාරවලින් පුදන්නට විය. සියලු සැප සම්පත් අතහැර දැමු බැවින් කිසි විටක ලාභ සත්කාරවල ගිජු නොවූ ඇය සැවැත්නුවර අතැහැර විශාලා මහනුවරට පැමිණ මහා ප්‍රජාපතී ගෝතමි සෙවණේ වාසය කිරීමට පටන් ගත්තාය. එයින් ටික කලකට පසු විශාලා මහනුවර ද හැර ගිය ඇය රජගහ නුවර එක් මෙහෙණවරක වාසය ඇරඹුවාය. වයස අවුරුදු 78 දී බුදුන් වහන්සේ හමුවට පැමිණි යශෝධරා මහ රහත් තෙරණිය. “මා ඇතුළු සියලු ලෝ වැසියන් ඔබේ දරුවෝ, මට දැන් වයස අවුරුදු 78 යි. ඔබ වහන්සේ පෙන්වා වදාළ නිවන්පුර වඩින්න මා සූදානම්. අද රෑට එය කිරිම මගේ අදහසයි. සියලු ආර්යාවන් තමන් පිරිනිවන් පානා දිනයෙහි අවුත්, බුදුන් වැඳ සමා කරවා ගැන්ම, සාධාරණ ධර්මයක්, මම ඡායාවක් මෙන් පෙරුම් පුරමින් ඔබ සමඟ සසර ඇවිද්දා, ඔබ සමඟ කළ එම දීර්ඝ සසර ගමනේදී මා අතින් යම් සදොසක් වී නම් මට සමාවෙන්න. මට පිරිනිවන් පාන්න අවසර දෙන්න යැයි” පවසමින් බුදුන් වහන්සේ පාමුල වැඳ වැටුණාය.

සසර පුරා පතිනිය වී සිටි අවධියේ අවංක වූ පතිභක්තියෙන්ද,මෙහෙණියක වූ පසු අවංක බුද්ධ ගෞරවයෙන්ද, නිහතමානී බවින්ද, යුක්ත වූ යශෝධරා තෙරණිය බෞද්ධ කාන්තා චරිත තුළින් දැක ගත හැකි ආදර්ශවත් විශිෂ්ට කාන්තා චරිතයකි.

 

  වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් මස 23 වැනිදා පූර්වභාග 02.35 ට ලබයි. 24 වැනිදා සිකුරාදා පූර්වභාග 03.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 31 වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]