UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සෝමවතී මහ සෑරදුන් වෙත පිදෙන අභිනව විහාර මන්දිරය තෙමහල් විශ්‍රාම ශාලාව හා දර්ශනීය පහන් ගෙය ජනපති අතින් 25 වන දා විවෘත කෙරේ

සෝමවතී මහ සෑරදුන් වෙත පිදෙන අභිනව විහාර මන්දිරය තෙමහල් විශ්‍රාම ශාලාව හා දර්ශනීය පහන් ගෙය

ජනපති අතින් 25 වන දා විවෘත කෙරේ

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට රුහුණේ කාවන්තිස්ස මහ රජතුමන්ගේ නැගණිය වන සෝමවතී දේවිය හා කැලණීයේ කැලණිතිස්ස රජතුමාගේ බෑනා වන ගිරි අභය කුමරු විසින් ක්‍රි.පූ. 02වන සියවසෙහි ඉදි කරවන ලද පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යස්ථානය වෙත පැමිණෙන සැදැහැවතුන්ට මෙතෙක් අඩුවක්ව පැවති අභිනව විහාර මන්දිරයත්, තෙමහල් විශ්‍රාම ශාලාව හා දර්ශනීය පහන්ගෙය මෙම ඔක්තෝබර් මස 25දින පෙරවරු 10.00ට ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු විශ්ව කීර්ති ශ්‍රී ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සියතින් විවෘත කිරීමට කටයුතු සූදානම් වෙමින් පවතී.


අභිනව විහාර මන්දිරය

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට සාදවන ලද මෙම චෛත්‍යරාජයා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සොහොයුරු වන මහානාග කුමරු රෝහණයට යන මොහොතේ දී එතුමන්ගේ නමින් ම ඉදිකරවන ලද නාගාරාමය නම් මෙම විහාරයෙහි එකී මහානාග කුමරුගේ පුතණුවන් වන යාටලතිස්ස රජතුමාගේ පුතණුවන් වූ ගෝඨාභය රජතුමන්ගේ දියණිය වන සෝමවතී දේවිය මුල් වී මණිඅගිය නමින් ඉදිකරවන ලද චෛත්‍යරාජයා සහිත සෝමවතී විහාරය රාජරාජ මහාමාත්‍යාධීන් ඇතුළු මහජනතාවගේ ඉමහත් පූජෝපහාරයන්ට ලක් වූ බව ක්‍රි.පූ. 41 සිට පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රජතුමන්ගේ බිසව වන ලීලාවතී රැජින විසින් බු.ව. 1700 දී පිහිටුවන ලද ශිලා ලේඛනය තෙක් ඇති ලේඛනවලින් හා ධාතු වංස, ජිනකාලමාලි ආදී ග්‍රන්ථයන්හි මැනවින් තොරතුරු සඳහන් වේ.

සෝමවතී චෛත්‍යරාජයා සහිත මණිඅගිය නම් පෝයගෙයකින් ද සෝම නම් පස්පිළිම විහාරයකින් හා ආරක්ෂිත සුවිශාල ප්‍රාකාර බැමි, ගෝපුර, අට්ටාල ආදී විවිධ ගොඩනැඟිලිවලින් සමලංකෘතව සෝමවතී දේවිය හා ගිරිඅභය කුමරු විසින් ඉදිකරවන ලද මෙම විහාර සංකීර්ණය තවතවත් වැඩිදියුණු කරමින් සුවිශාල කෙත්වතු හා රාජකීය ජලමාර්ග සෑදූ ආකාරයත්, සුවිශාල යුද්ධයකින් විජයග්‍රහණය ලැබූ ගජබා රජතුමාට “යුද්ධ ජයග්‍රාහක” (යුද ජි) යන ගෞරවනාමයන් පවා මහා සංඝරත්නය පිරිනැමූ ආකාරයත් ක්‍රි.ව. 164වන විට එකී විහාර ගොඩනැගිලි නැවත සංරක්ෂණය කොට අභයගිරියෙන් පවා භික්ෂූන් වැඩමවා, මෙම විහාරස්ථානය ආරක්ෂා කිරීමට රාජකාරී ක්‍රමය පනවමින් එම රාජකාරී කඩ කළහොත් කහවනු 500ක් (වර්තමාන මුදලින් රුපියල් කෝටි විස්සක් වැනි) දඩ නියම කරමින් කණිට්ඨතිස්ස රජතුමා ශිලා ලේඛන 03ක් පිහිටුවා මෙම ස්ථානය වැඩිදියුණු කළ ආකාරය ද පැහැදිලි වේ. පරාක්‍රමබාහු රජතුමා සෝමවතිය නම් ඇළක් කඳුරුවඩමන් නම් ප්‍රදේශය දක්වා සාදවා එම ජලයෙන් කුඹුරු සශ්‍රීක කළ ආකාරය ද සඳහන් වන අතර, වළගම්බා රජතුමන්ගේ පියාණන් වන සද්ධාතිස්ස රජතුමාගේ නැන්දනිය වූ සෝමවතී දේවිය මෙවන් විහාර සංකීර්ණයක් ආරම්භ කළ බවත් සඳහන් වන අතර, වළගම්බා රජතුමාගේ බිසව වන සෝමාදේවිය නමින් ඉදිකර ඇත්තේ වර්තමාන ලංකාරාම විහාරය බව සඳහන් කළ යුතු ය.


තෙමහල් විශ්‍රාම ශාලාව

කාලිංග මාඝ ආක්‍රමණ නිසා මුළු උතුරුකරය ම මහා විනාශයට පත්වීමෙන් රජවරු පවා උතුරු ප්‍රදේශය අතහැර දමා පැනගියෙන් මුළු උතුරුකරය ම මහා ඝන කැලෑවක් බවට පත් විය. පොළොන්නරු යුගයෙන් පසු නැවත 1852 පමණ වන විට ඉංගී‍්‍රසි ආණ්ඩුව මඟින් ලංකාව මැනුම් කරන අවස්ථාවන්හි නොයෙක් ආශ්චර්යයමත් සිද්ධීන් දැකීමෙන් ගඩොල්ගොඩක් බවට පත්ව ගරාවැටී තිබූ චෛත්‍ය රාජයා දැක එහි දකුණු දළදා වහන්සේ වැඩ වසන බව දැනගත් මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ කෙනෙක් වන ගිරාගම නිලමේතුමා ඇතුළු පිරිස එම ස්ථානය වෙත ගොස් නොයෙක් කරදරවලට භාජනය වූ බව ඓතිහාසික වාර්තාවල සඳහන් වේ.

එනමුත් 1947 ඩී.එස්. සේනානායක අගමැතිතුමා ගොවිජනපද ආරම්භ කිරීමත් සමඟ මෙම ප්‍රදේශයට ගිය මහජනතාව බුද්ධරශ්මී මාලා ආදී ආශ්චර්යමත් සිද්ධීන් සියැසින් දැක මහනුවර මල්වතු මහා විහාරයෙහි අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේට සැල කිරීමෙන් අනතුරුව සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි, පහමුණේ ශ්‍රී ගුණානන්ද අනුනාහිමි, උඩුගොඩ ශ්‍රී පේමානන්ද නාහිමි ඇතුළු මහ සඟරුවන, මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව, තඹාල, සුන්ගාවිල ආදී ප්‍රදේශවල සිංහල හා මුස්ලිම් ජනතාව සමඟ ඈත සිට ඇසුණු බෙර ශබ්දය හා ගින්දරක් වැනි ආලෝක දහරා දැක චෛත්‍ය රාජයා වෙත ළඟාවී, එතැන්පටන් ශුද්ධ පවිත්‍ර කිරීමේ ආදිය සිදු කොට 1966 වසරේ මුල්ගල් තබා 1981 වසරේ දී කොත් පැලඳවීමෙන් පසු 1985 වන විට ත්‍රස්තවාදීන්ගේ පැමිණීම නිසා සුවිශාල විනාශයකට පත්ව චෛත්‍ය රාජයා සහිත ප්‍රදේශය මහඝන කැලයක බවට පත්විය.

2002 වසරේ දී රටේ සාමය ඇති වීමට පටන්ගත් අවස්ථාවේ දී එවක රජයේ හා වර්තමාන රජයේ අනුග්‍රහය ලබාගෙන මහ ඝන කැලේ ශුද්ධ පවිත්‍ර කොට ත්‍රස්තවාදීන් විසින් 1985 වසරේ දී ගලවාදමා තිබූ එම චූඩාමාණික්‍ය ම නැවතත් බුද්ධරශ්මි මාලා මධ්‍යයේ පැලඳවීමෙන් අනතුරුව වර්තමාන සංවර්ධනය සිදු කර ගැනීමට හැකි වූ අතර, 1947 වසරේ සිට 2014 වසර දක්වා චෛත්‍යරාජයා වෙත පැමිණීමට තිබූ ඉතා දුෂ්කර මාර්ගය වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ඇමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ බලවත් පරිශ්‍රමය නිසා දර්ශනීය අන්දමින් සකස් කර ගැනීමටත්, ජෝන් සෙනෙවිරත්න ඇමැතිතුමා හා මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමන් ඇතුළු මෙම රජය මගින් ප්‍රධාන විදුලි පද්ධතියෙන් විදුලිය ලබා ගැනීමටත් හැකිවූ අතර, පසුගිය රජයේ හිටපු ජල කලමණාකාර අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මැතිතුමා මුල් වී ජලසම්පත් මණ්ඩලය මඟින් නළමඟින් ජල පහසුකම් ලබා ගැනීමත්, හිටපු විදුලි බල අමාත්‍ය කරු ජයසූරිය මැතිතුමා විසින් ජෙනරේටරයකින් විදුලිය ලබාදීම සිදු කරලීමෙන් කරන ලද සංවර්ධන කටයුතු මෙහිලා කෘතවේදීව සිහිපත් කළ යුතු ය.

විශේෂඥ වෛද්‍ය(හෘදරෝග) වසන්ත හෙට්ටිආරච්චි

රංජිත්
කරුණාරත්න

දෙමහල් පෝය සීමාව නුගේගොඩ අල්විස් මහතා ඇතුළු පිරිසක් මහජනතාවගේ පහසුව සඳහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සභාපති රූපසිංහ පෙරේරා මහතා ඇතුළු එකී සංස්ථාවේ සැදැහැවත් පිරිස් සියරා සමාගමේ අධිපති ලොකුගේ මැතිතුමා, කොළඹ මාලඹේ මයික්‍රෝ ආයතනාධිපති පෙරේරා මැතිතුමා ඇතුළු සැදැහැවතුන්ගේ ආධාරයෙන් විශ්‍රාම ශාලා කීපයක් ඉදි කිරීමට හැකිවූ අතර, මේ වන විට ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවර සිරිපාලගම්ලත් මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් සුවිශාල දෙමහල් ධර්ම මන්දිරය ද එසේම සැදැහැවතුන්ගේ ආධාරයෙන් අත්‍යවශ්‍ය ගොඩනැගිලි ද ඉදිකෙරෙමින් පවතී. ක්‍රි.ව. 164 කණිට්ඨ තිස්ස රජතුමා විසින් ඉදි කරන ලද විහාර මන්දිරය ගරාවැටීමෙන් පසුව නැවත විහාර මන්දිරය මෙතෙක් ඉදිවී නැති හෙයින් මෙම විහාර මන්දිරයක අතශ්‍යවශ්‍යතාව දුටු කොළඹ සුරංජිත් මෝටර්ස් අධිපති රංජිත් කරුණාරත්න මැතිතුමා හා එම මැතිනිය, විශේෂඥ වෛද්‍ය ( හෘද රෝග) වසන්ත හෙට්ටිආරච්චි මැතිතුමා හා මැතිනිය ඇතුළු එම පිරිස විසින් සාදවන ලද දෙමහල් විහාර මන්දිරයෙහි පළමු අදියරත්, කොළඹ චන්දන වික්‍රමරත්න මැතිතුමා, මැතිනිය ඇතුළු එම ව්‍යාපාරය මගින් වැඩ නිම කරවන ලද තෙමහල් විශ්‍රාම ශාලාවත්, කිරුලපන මාතර ගරාජයේ අධිපතිතුමා හා එම මැතිනිය මගින් ඉදිකරවන ලද දර්ශනීය පහන් ගෙයත් විවෘත කිරීම මෙම මස 25වන දින මහාවිහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ පරමපූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමියන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව ඇතුළු මහසඟරුවනේ ආශීර්වාදයෙන්, අතිගරු ජනාධිපතිතුමන් විසින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මැතිතුමා, නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මැතිතුමා හා රොෂාන් රණසිංහ මන්ත්‍රීතුමන්, පොළොන්නරු මහ දිසාපති නිමල් අබේසිරි මැතිතුමන් ඇතුළු සම්භාවනීය සැදැහැවත් පින්වතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත අතර, ඒ හා සමගාමීව මෙම 22 දින සිට දොරකඩඅස්න හා අනුශාසනාවෙන් සමන්විත සත් තිස් පැයේ පිරිත් දේශනාවත්, මහා දළදා පූජාවන් සහිත කඨින මහා පින්කම ද 25 හා 26 දිනයන්හි පවත්වා මෙම පින්කම නිමාවට පත් කිරීමට නියමිත අතර, 22වන දින පිරිත් දේශනා සහිත පින්කමේ ප්‍රධාන දායකත්වය විහාර මන්දිරයේ පළමු මහලේ ඉදිකිරීම් කටයුතු සඳහා සුවිශාල මෙහෙයක් සිදු කළ කලවානේ විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ බදුරලිය මැතිතුමා ඇතුළු පිරිස ද, 23 දින රත්නපුර විනිල් මැණික් ආයතනාධිපතිතුමා ඇතුළු පිරිස ද 24වන දින සුරංජිත් මෝටර්ස් අධිපති රංජිත් කරුණාරත්න මැතිතුමා ඇතුළු පිරිස ද 25 දින කඨින මහා පින්කමත් සහිත එකී දායකත්වය කොළඹ චන්දන වික්‍රමරත්න මහතා ඇතුළු පිරිස ද ලබා ගෙන මෙම මහා පින්කම සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශීර්වාද පෙරටුව මෙහිලා සිහිපත් කරන අතර, මෙවන් සංවර්ධන වැඩ කටයුතු සිදු කිරීමට මෙතෙක් උදව් උපකාර කළ මහා සඟරුවන සහිත වත්මන් රජයටත් පසුගිය රජයටත් සැදැහැවතුන් සෑම දෙනාටත් තුණුරුවන්ගේ සරණින් දළදා සමිඳු පිහිටෙන් ඉමහත් ශාන්තියක් සැලසේවායි ප්‍රාර්ථනය කරමි.


වර්තමාන තත්වයට පත්කර ගැනීමට හැකිවීම බලවත් සතුටක්

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ බෞද්ධ ජනතාවගේ පරම පූජනීය සිද්ධස්ථානයකි. ක්‍රි.පූ. 02 වන සියවසේ සෝමවතී දේවිය හා ගිරි අභය කුමරු විසින් ඉදිකරණ ලද මෙම සෝමවතී චෛත්‍ය රාජයා රාජාරාජ මහාමාත්‍යාදීන් හා මහජනතාව විසින් වැඩිදියුණු තත්ත්වයට පත් කරමින් දකුණු දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගත් ආකාරය ඓතිහාසික තොරතුරු අනුව මැනවින් පැහැදිලි වේ. කාලිංග මාඝ චන්ද්‍ර භාණු ආක්‍රමණ නිසා මුළු උතුරු හා උතුර මැද ප්‍රදේශයන්හි වෙහෙර විහාර ඇතුළු සියලු රාජ්‍ය මහජන දේපළ විනාශ වෙමින් කැලෑ බවට පත්විය. නැවතත් මෙම ප්‍රදේශ සොයා ගැනීමට හැකි වූයේ 1947 මහාමාන්‍ය ඩී.එස්.සේනානායක අගමැතිතුමා විසින් ආරම්භ කරණ ලද ගොවිජන පද ව්‍යාපාරය වැඩිදියුණු තත්ත්වයට පත්වීමත් සමඟය.

මහජනතාව එකී ප්‍රදේශයන් හි හැසිරීමෙන් සෝමවතී චෛත්‍ය රාජයා පිළිබඳ තොරතුරු දැනගත් අපේ මල්වතු මහා විහාරයෙහි කාරක සංඝ සභික බඩගමුව රාජමහා විහාරාධිපති සිරිමල්වත්තේ ශ්‍රී පියරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා රාජකීය පණ්ඩිත පහමුණේ ශ්‍රී ගුණානන්දාභිධාන අපේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු මල්වතු මහා විහාරයීය භික්ෂූන් වහන්සේ පොළොන්නරු ප්‍රදේශයෙහි ජනපදවල පදිංචි වූ සිංහල හා මුස්ලිම් ජනතාවත් සම්බන්ධ කරගෙන මෙම ස්ථානය සොයා ගැනීමෙන් පසු 1966 වර්ෂයේදී මුල්ගල් තබා 1981 වර්ෂයේදී කේතු පිළන්දන උත්සවයක් සමඟ මහජනතාගේ නොමද වැඳුම්පිදුම් සත්කාර සම්මානයන්ට භාජනය විය. එනමුත් 1985 දී පමණ ඇති වූ ත්‍රස්තවාදී උවදුරු නිසා සෝමවති චෛත්‍ය රාජයා අවට ප්‍රදේශය මහ ගන කැළයක් බවට පත්විය.

නැවතත් 2002 දී වර්තමාන සෝමවතී රාජමහා විහාරාධිපති අපේ මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්ථවිරයන්ගේ බලවත් උත්සාහය නිසා එවක රජයන් හා මහජනතාව සම්බන්ධ කරගෙන අපගේද අනුශාසනා ලබමින් වර්තමාන තත්වයට පත්කර ගැනීමට හැකි වීම බලවත් සතුටට හේතුවන්නක් විය.

වර්තමාන රජයේද අනුග්‍රහය ලබමින් විදුලියත්, මහාමාර්ගයත් , වර්තමාන තත්ත්වයට පත්කර ගනිමින් මහජනතාවගේ නොමඳ උදව් ආධාරයෙන් අත්‍යවශ්‍ය ගොඩනැගිලි ආදිය ඉදිකරගෙන යන අතර, අඩුවක්ව පැවති විහාර මන්දිරය කොළඹ සුරංජිත් මෝටර්ස් අධිපති රංජිත් කරුණාරත්න මහතා හා විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍ය වසන්ත හෙට්ටිආරච්චි මහතා විසින් ඉදිකර වීමත්, තෙමහල් විශ්‍රාම ශාලාව ඩේවිඩ් වික්‍රමරත්න සමූහ ව්‍යාපාරයේ අධිපති චන්දන වික්‍රමරත්න මහතා ඇතුළු පිරිසක්, දර්ශනීය පහන්ගෙය කිරුළපන මාතර ගරාජයේ අධිපතිතුමා විසින් ද ඉදි කොට මෙම ඔක්තෝබර් 25වන දින සම්බුදු සසුන වෙනුවෙන් පූජා කිරීමට කටයුතු සැලැස්වීම ඉමහත් සතුටට හේතුවන්නකි. මෙවන් පරිත්‍යාගයන් සිදුකරන උක්ත සැදැහැවත් දායක පින්වතුන්ට රට දැය සමය වෙනුවෙන් ඉමහත් සේවයන් සිදු කිරීමට ධෛර්යය හා ශක්තිය ලැබේවායි ආශිංසනය කරන අතරම මහජනතාවගේ නොමද වැඳුම්පිදුම් ගෞරවයට පාත්‍ර වන දකුණු දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාගන්නා මෙම සෝමවති පුණ්‍යභූමිය හා චෛත්‍යස්ථානය වැඩිදියුණු කරමින් මහජනතාවට ආශිර්වාද ලබා ගැනීමට සැලැස්වීම රජයේ හා මහජනතාවගේ පරම යුතුකමක් බව මෙහිදී හිත්‍යාධ්‍යාශයෙන් සිහිපත් කරම්හ.

 

  වප් අමාවක පෝය

වප් අමාවක පෝය ඔක්තෝබර් මස 23 වැනිදා පූර්වභාග 02.35 ට ලබයි. 24 වැනිදා සිකුරාදා පූර්වභාග 03.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 31 වැනි දා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]