Print this Article


ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

බෞද්ධ උරුමයන් රැක ගැනීමට කළ අගනා මෙහෙය අදටත් බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට ලක් වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ලාංකිකයන්ට පමණක් නොව සෙසු ලෝකවාසී ජනතාවට එයින් ලැබුණු මානසික විවේකය තවමත් සුවදායී වේ. ඒ අනුව සියලුම ආසියාතික රටවල් මෙන්ම සෑම මහද්වීපයක ම පවතින බෞද්ධ රටවල්වලට සිය ආගමික කටයුතු සඳහා නැවත ඉන්දියාවේ බෞද්ධ උරුමයන් දැකබලා ගැනීමට අවස්ථාව උදා විය.

ඉතා චාම් දිවිපෙවෙතක් ගත කරමින් සිය පරම්පරාවෙන් උරුම වූ ධනය නිර්මල බුදු දහම පෝෂණය කිරීමෙහිලා සිය දිවිය කැපකළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා මෙම සියවසේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ලෝක නායකයින්ගෙන් අතළොස්සක් බව ප්‍රකාශ කිරීම සුදුසු වේ. එතුමා ලාංකිකයෙක් වීම අපට මහත් ආඩම්බරයක් මෙන්ම ගෞරවයක් ද වේ. එතුමා ලද අධ්‍යාපනයත්, සිය පරම්පරාවෙන් උරුම වූ සිය ධනස්කන්දයත් බුදුදහම ඇසුරෙන් සිය ප්‍රජාව යහමගට යොමු කිරීම සඳහා කළ දායකත්වය හා කැපකිරීම ආදර්ශවත්ය.

එකල සමාජය දිනෙන් දින ම පිරිහෙන බව දැකීමෙන් ද බුදු දහමට වූ තර්ජනයත් සිංහල ජාතියට මෙන්ම සියලු ලාංකික ප්‍රජාවට එල්ල වූ විදේශීය බලපෑම තේරුම් ගත් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් සිය ප්‍රඥාව දශක ගණනාවකට පෙර නිමිති කර ගනිමින් එතුමන්ගේ දේශමාමක අරගලය දියත් කිරීම සුවිශේෂී ගති ලක්ෂණයකි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ සිය කටයුතු මෙහෙයවීම සඳහා විවිධ බාධක, පෞද්ගලික අපහාස විඳීමට ද සිදු විය. එහෙත් එතුමාගේ අභීත නායකත්වය ඒ සියල්ල පරාජය කරමින් එතුමා තුළ පැවැති චතුර කථිකත්වය තුළින් සම්මන්ත්‍රණ හා රැස්වීම් පවත්වමින් බුදු දහමේ දර්ශනය සිරිලක පුරා පැතිරවීමටත් ශ්‍රී ලක් ආදරණීය ජනතාව අවධි කිරීමටත් සිය මෙහෙයුම අවිහිංසාවාදී ව දියත් කරන ලදී.

සිය පෞද්ගලික ධනය කැපකරමින් පංචශීලය රැක ගත යුතු සමාජයක් බිහිකිරීමටත්, ගව ඝාතනයට එරෙහි වීමටත්, ගව මස් කෑමෙන් වැළකී සිටීමටත් රට පුරා එතුමා ගෙන ගිය සමාජ හිතකාමී මෙහෙවර අදටත් ඵල දරමින් සිටින අතර ඒ අනුව ලෝක වාසී අනෙකුත් ප්‍රජාවන් කෙරෙහි ද දැනුවත් කිරීමට එතුමන් සිදු කළ මෙහෙවර අද සලකා බලන විට විශ්මය ජනක ක්‍රියාවලියකි. 1800 අගභාගයේ දී එකල පැවති පහසුකම් සලකා බලන විට අපට ම පාලනයක් වූ නිදහස් රාජ්‍යක් ද නොවීය. එකල අප යටත් විජිතවාදී රටවල්වල පාලනයට යටත් වූ සමයක් විය.

එතුමා ජීවමාන ව විසූ වසර 69 ක කාලය තුළ ගෞතම බුදුපියාණන්ගේ බෞද්ධ උරුමයන් ඉන්දියාවේ ම වෙනත් ආගමික නායකයින් විසින් පාලනය කිරීම එතුමා කිසිසේත් ම අනුමත නොකළ කාර්යයකි. 1891 ජනවාරි මාසයේ දී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ඉන්දියාවට ගොස් සියලුම බෞද්ධ උරුමයන් බෞද්ධ ප්‍රජාවට පාලනය කිරීම සඳහා වූ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කෙළේ ය. ඉන්දියාවේ රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා කර ඒවා ලබා ගැනීමට උත්සාහ කළ ද එය එතරම් සාර්ථක නොවීය. එබැවින් අන්‍ය ආගමිකයින්ට එරෙහිව නීත්‍යානුකූලව ඒ අය සමඟ මුහුණට මුහුණලා තර්ක විතර්ක කරමින් ද කායික පීඩා විඳිමින් ද ඉන්දියාවේ බෞද්ධ උරුමයන් රැක ගැනීමට කළ අගනා මෙහෙය අදටත් බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට ලක් වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ලාංකිකයන්ට පමණක් නොව සෙසු ලෝකවාසී ජනතාවට එයින් ලැබුණු මානසික විවේකය තවමත් සුවදායී වේ. ඒ අනුව සියලුම ආසියාතික රටවල් මෙන්ම සෑම මහද්වීපයක ම පවතින බෞද්ධ රටවල්වලට සිය ආගමික කටයුතු සඳහා නැවත ඉන්දියාවේ බෞද්ධ උරුමයන් දැකබලා ගැනීමට අවස්ථාව උදා විය. විශේෂයෙන්ම චීනය, තායිලන්තය, තායිවානය, ජපානය, රුසියාව, වියට්නාමය, ලාඕසය, මැලේසියාව, සිංගප්පූරුව, භූතානය, නේපාලය වැනි රටවල් ආසියාතික රටවලින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ස්පාඤ්ඤය, ටැන්සානියාව වැනි රටවල ද බෞද්ධ ජනතාවගේ ප්‍රබෝධය වැඩි වූ අතර එම ජනතාව ද බුදු දහමේ ඇති අගය තවදුරටත් වටහා ගනිමින් ඉන්දියාවේ බෞද්ධ උරුමයන් වෙත පැමිණ වන්දනාමාන කළහ. තවද එතුමා මහාබෝධි සමාගම නමින් ආරම්භ කළ සංවිධානය අදටත් ව්‍යාප්තව පවතින ශ්‍රී ලංකා මහාබෝධි සමාගම යනුවෙන් ප්‍රචලිතව දැනට ඉතාමත් ක්‍රියාශීලී ලෙස එතුමන්ට උපහාර වශයෙන් පවත්වාගෙන යනු ලැබේ. එමෙන් ම බෞද්ධයා නමින් සඟරාවක් ද එය ඉංගී‍්‍රසි බසින් ඊඩඥ ඕභඤඤඩඪඵබ නමින් අදටත් ප්‍රකාශයට පත් වේ. එයින් ලැබෙන මූල්‍ය අරමුදල් ඉන්දියාවේ බෞද්ධ උරුමයන් රැකීමටත් බෞද්ධ ජනතාවගේ සුබ සිද්ධිය සඳහාත් යොදා ගැනීම ඉතාමත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි.ඉන්දියාවේ මූලගන්ධකුටි විහාරය ඉදිකරනු ලැබුවේ ද එයින් ලැබුණු ආධාර මුදල් යෙදවීමෙනි.

“සිංහලයිනි නැගිටිව් බුද්ධගයාව බේරාගනිව්” යන නිර්භීත සටන් පාඨය එදා දඹදිව අවට ප්‍රදේශයන්හි ගෙන ගිය සංග්‍රාමය ද ශ්‍රී ලංකාව තුළ ගෙන ගිය ඒකීය සංග්‍රාමයද හුදෙක් ලාංකිකයන් සඳහා පමණක් නොව සකල ලෝකවාසී ජනතාව වෙනුවෙන් කරන ලද වික්‍රමයකි.

1864 සැප්තැම්බර් 17 වැනි දින උපත ලද ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ මුල් නම දොන් ඩේවිඩ් හේවාවිතාරණ වේ. එතුමාගේ දෙමාපියන් කොළඹ ජීවත් වූ එවකට උසස් වෙළඳ හිමිකමක් පැවති ධනවත් ව්‍යාපාරිකයින් වේ. දොන් කරෝලිස් හේවාවිතාරණ එතුමාගේ පියාණන් වන අතර මල්ලිකා ධර්මගුණවර්ධන මැතිණිය එතුමාගේ මෑණියන් වේ. කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ එතුමා කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයෙන් ද ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන්ද කොළඹ ඇකඩමියෙන් ද සිය අධ්‍යාපන කටයුතු සිදුකර ඇත.

වයස අවුරුදු 16 දී කර්නල් ඕල්කට්තුමා හමුවී රට පුරා බුදු දහම ප්‍රචලිත කිරීම සඳහා ඔහු සමඟ එක් වී තරුණවියේ දී ම ඔහුට සහය වීම ද විශේෂ සිදුවීමකි. මෙතුළින් බෞද්ධ පාසල් 300 ක් පමණ රටපුරා ආරම්භ කිරීමට එතුමාගේ දායකත්වය ලබා දෙන ලදී. අදටත් ඉතාමත් ජනපි‍්‍රය පාසල් අතර කොළඹ ආනන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ලබා ඇති අතර අදටත් මෙම විද්‍යාල ඇතුළු සියලු බෞද්ධ පාසල්වලින් අධ්‍යාපනය ලබා ජාත්‍යන්තර කීර්තියට පත් මහා පඬිවරු මෙන්ම විද්වතුන් රැසක් ම බිහිකර ඇත. එමෙන් ම රටට දැයට වැඩදායී සැමට ගරු කරන හැඟීම් ඇති ජාතික මාමකත්වයෙන් හෙබි පුරවැසියන් බිහිකර තිබීම සුවිශේෂී ලක්ෂණයකි.

වසර 150කට පෙර මෙම පින්බිමේ උපත ලද ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට උපහාර වශයෙන් සෑම පාසල් දරුවෙකුට ම එතුමාගේ ජීවිත කතාව ඇතුළත් චරිතාපදානයක් ලබා දීම සුදුසු වේ. එතුමාගේ ජීවිත කතාව හා එතුමා කළ කාර්යභාරය පිළිබඳව නැවත නැවතත් සිහිපත් කිරීම සැමට ගරු කරන දේශප්‍රේමීන්ගේ යුතුකම ද වන්නේ ය. එතුමාගේ අවසන් ජීවිත කාලය තුළ පැවති ප්‍රාර්ථනය වූයේ, “බුදු සසුන ආරක්ෂාකර එය ප්‍රචලිත කිරීම සඳහා නැවත නැවතත් ඉපදීමට අවස්ථාව උදාවේවා” යන්නයි. 1933 අප්‍රේල් මස 29 වන දින වයස අවුරුදු 68ක් ආයු වළඳා ඉන්දියාවේ සාරානාත් නගරයේ දී ශ්‍රී දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි දිවිය ආරම්භ කර තිබූ උන්වහන්සේ අපවත් වී වදාළහ.