Print this Article


දම්පද මිහිර 10 පව්වල විපාකය ගෙන දෙයි දෙලොව ශෝකය

දම්පද මිහිර 10

පව්වල විපාකය ගෙන දෙයි දෙලොව ශෝකය

අසාධ්‍ය රෝගීන් ඔබ දැක තියෙනව නේද? මරණාසන්න මොහොතෙ බොහෝ දෙනෙක් වේදනාවෙන් කෙඳිරිගාමින්, එහෙම නැත්නම් විලාප නගමින්, තවත් සමහරෙක් අවසිහියෙන් විකාර කියවමින් ඉඳල අවසන් හුස්ම හෙළන්නෙ. ඔබ දැක ඇති තවත් සමහර අය, මිය යන වෙලාවෙ බියෙන් විලාප නගනව.අනේ එපා එපා . මාව බේරගන්න කෙනෙක් නැද්දෝ කියල. එහෙම කෑ ගසමින්ම මිය යන අය සිටිනව. සමහරු ඒ වෙලාවට වතුර ඉල්ලමිනුයි කෑ ගහන්නෙ මාව පිච්චෙනවෝ ,පිච්චෙනවෝ කියමින්.

රෝහල් සේවයේ නියුතුව සිටින අයට නම් මේ අත්දැකීම් බහුලයි. වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම තීරණය කරන්නෙ ලෙඩා මැරුණ.මරණයට හේතුව අසවල් රෝගී තත්වයයි කියල. ඒත් මේ මරණාසන්න මොහොතේ වේදනාබර හැසිරීම් රටාව පිළිබඳව නුවණ මෙහෙයවා දකින්න පිළිවන් වෙන්නේ කීයෙන් කී දෙනාටද, ඇයි මේ එකිනෙකා මැරෙන මොහොතෙදී වේදනාවේ සහ හැසිරීමේ විවිධත්වයක්.

අවසන් විනාඩි කිහිපය තුළ, ඒ රෝගියා විඳින වේදනාවේ සැබෑ තත්ත්වය පිළිබඳව හෝ එවැනි තත්වයක් උදාකරන බලවේගය පිළිබඳව හෝ මෙතෙක් කිසිදු විද්‍යාඥයෙකු සොයාගෙන නැහැ. ලෙඩක් හැදුණු විට වේදනා විඳින්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වුණත් අසාමාන්‍ය කෑ ගැසීමත්, එවෙලට නැගෙන වාග් මාලාවත්, ඔහුගෙ ඊ ළඟ භවය පිළිබඳ අපට සංඥාවක් ලබා දෙන බව සියල්ල දත් මගේ බුදුරජාණන් වහන්සේ උගන්වා තිබෙනව.

අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය අයෙකුට නම්, ඒ මොහොතේ සිහිවෙන්නෙ කර්ම නිමිති ගැන හා ගති නිමිති ගැන, ඔහුට ඒ අවස්ථාවත් සසර බිය දැකීම පිණිස ප්‍රඥාවන්ත අත්දැකීමක් වෙනව. තම ජීවිතේ අනාගතය පිළිබඳව තවත් කල්පනාකාරි වීම පිණිස ඒ මළ මිනිසා හෝ ගැහැනිය තමා ඉදිරියේ පෙනී සිටි දේවදූතයෙක් ලෙසයි ඔහු සලකන්නෙ. එහෙත් උගත් වුවද ,නූගත් වුවද පුහුදුන් ලෝ වැසියන්ට එය තවත් එක් මරණයක් පමණයි.

අපේ කුසල් අකුසල් කර්ම වේගය විසින් මේ භවයේ අනාගත ස්වරූපය වගේම අනාගත භවයට උරුම විය යුතු ස්වරූපයත් තීරණය කරනව. කර්ම චක්‍රයේ බිහිසුණු අනාගත සැකැස්ම ධර්ම චක්‍රයේ පිළිසරණින් පමණයි වෙනස් කර ගන්න පුළුවන්. ප්‍රඥාවන්ත මිනිසා, හිස ගිනිගත්තෙකු ඒ ගිනි නිවාගන්න වෙහෙසෙනවා වගේ අප්‍රමාදිව ක්‍රියා කරන බව දේශනා කළේ ඒකයි.

කෙනෙකු සතු කර්ම ශක්තියේ ස්වරූපය කවර හෝ වෙනසකට බඳුන් කිරීමට සමත් කිසිදු පුද්ගලයෙකු, දෙවියන් බඹුන් සහිත ලෝකය තුළ නැහැ. මරණාසන්න මොහොතේ බියෙන් විලාප නැගූ මිනිසාගේ මෙන්ම පිළිසරණක් ඉල්ලා කෑ ගැසූ මිනිසාගේත් වේදනා බර ස්වභාවය සැකසූ බලවේගය වන්නේ ඒ කර්ම වේගයමයි. මේ විශ්මිත යථාර්ථය සොයාගත් අසිරිමත් මිනිසා ඔබත් මාත් සරණ ගිය ලොව්තුරු බුදු සමිඳුන්මයි.

මරණාසන්න මොහොතේදී කර්ම නිමිති, ගති නිමිති පහළ වෙනව, නිරයට යන්න කර්ම සකස් වී ඇති පුද්ගලයා මියැදෙන්නට පෙරදීම නිරයේ අපා දුක, ඔහුගේ ගත සිත වෙලා ගන්නව. සිහිනෙන් වගේ පේන්න ගන්නව, අපට නොපෙනෙන, ඔහුට පමණක් පෙනෙන හා දැනෙන ඒ තත්වය ඒ පිළිබඳව ඔබටත් මටත් කළ හැක්කෙ ‘බිය වෙන්න එපා. අපි ළඟ ඉන්නවනේ.’ කිය කියා ලෙඩාගෙ පපුව අතගාන එක විතරයි. හේතුව සංසාර ගමනේද අපමණ වාර ගණනක් අපා දුක් විඳ තිබුණත් දැන් අපට ඒ කිසිවක් මතක නැති නිසා.

දවසක් බුදුරජාණන් වහන්සේ වේළුවන අරණෙ ස්වාමින් වහන්සේලා එක්ක දැහැමි කතා බහක නිරත වී සිටිය. භික්ෂූන් වහන්සේලා කිහිප නමක් උන්වහන්සේට මෙහෙම ප්‍රකාශ කළා.

ස්වාමීනි, පන්සල පිටිපස්සෙ චුන්ද සූකරගෙ ගෙදර හැමදාම උදේට එක ඌරෙක් මරණවලු. ඒ වෙලාවට ඒ ඌරා කෑ ගහන හඬ විනාඩි කිහිපයක් ඇහිල නතර වෙනව. ඒත් දැන් දවස් කීපයක ඉඳල රෑ දවල් දෙකේම ඒ පව්කාර මනුස්සයා ඌරො මරණව. ඒ අහිසංක සත්තු වේදනාවෙන් කෑ ගහන ශබ්දය පාරෙ යන එන කාටත් දවස පුරාම ඇහුනලු. පිණ්ඩපාතෙ වඩින වෙලාවේ අපටත් ඇහුණ,අනේ මෙහෙමත් පව්කාරයෙක්.

මහණෙනි. ගත වූ දින හත පුරාවට ඔබට ඒ ඇහුනෙ ඌරන්ගේ හඬ නෙවෙයි. ඌරන් මැරූ චුන්ද විපාක විඳින හඬ . දවස් හතක් තිස්සෙ ගේ මැද හතර ගාතෙන් වැටිල, අපා ගින්නෙන් දැවි දැවී, ඌරෙක් වගෙ කෑ ගසුව. ඒ දැවිල්ල සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බෑ. ඒත් දින හතක් යනතුරු මරණය ළං වුනේ නෑ. ඔහු හොඳටම විඳෙව්ව. මීට ටිකකට කලින් ඔහු මිය ගියා”

”ස්වාමීනි , චුන්ද දැන් කොහේද ඉපදිලා ඉන්නෙ”

”එසේ තියෙන දෙයක් බිමට වැටෙනවටත් වඩා අඩු කාලෙකින් ඔහු නිරයේ පහළ වුනා. දැන් ඉතින් කල්පයක් නිරයෙ විඳවනව. මහණෙනි, කර්මයේ හැටි එහෙමයි” .

”පන්සලක් ළඟ ඉඳගෙනත්, බුදුවරයෙක් ඒ පන්සලේ වැඩ සිටිද්දීත්, දහස් ගණනක් රහතන් වහන්සේල ඒ නිවස අසලින් පිඩුසිඟා වඩිද්දිත් ඒ පව්කාර ජීවිතේ වෙනස් නොවුනෙ ඇයි ස්වාමීනි”

“තමන්ගෙ සිතේ කුසල මූලයවත් ඉතිරි නැතිව සිඳීගිය කෙනෙකුට, බුදු පසේබුදු මහරහත් උතුමන් කොතෙක් මුණගැසුනත් වැඩක් නෑ මහණෙනි, මේ පන්සල ආරම්භ වෙන්නත් ඉස්සර ඉඳලම ඔහු කළේ ඌරන් මරණ එක තමයි.”

කරත්තෙ පටවගෙන ධාන්‍ය රැගෙන ගම්මාන වලට යන චුන්ද, ඒ ධාන්‍ය වලට හිලව් වෙන්න ඌරු පැටව් අරගෙන එනව. ගේ පිටුපසින් මඩුවක උන්ට නවාතැන තියෙනව. ඌරන්ට කෑම සොයන එකත් මිල මුදල් වැය වන වැඩක් නෙවෙයි.

චුන්ද හැමදාම උදේ ඌරෙකු මරණව. එක් දිනකට එක් ඌරෙකු බැගින් වසර පනස් පහක් ඌරන් මැරුව. වසරකට මැරූ ඌරන් ගණන අවම වශයෙන් තුන්සිය හැට පහක්. ඒක පනස් පහෙන් වැඩි කරල බලන කොට පේනව ඔහු අතින් මිය ගිය ඌරන් ගණන කීයක් විතර වෙනවද කියල. විසි දහසකට වැඩියි.

ඒ සතුන් මැරුවෙ එක පහරින් ගෙල සිඳල නෙවෙයි. අප්‍රමාණ වධ දීල. මරන්න තෝරගන්න ඌරට දඟලන්න බැරිවෙන්න කණුවකට තියල බඳිනව. ඇඟ මස් ඉදිමෙන තුරු මුගුරකින් පහර දෙනව. ඊට පස්සෙ කට ඇරල හරහට කෝටුවක් හිර කරනවා. ලිපේ කැකෑරෙන උණු දිය බඳුනකින් අරගෙන කටට වක්කරනව, අසීමිත වේදනාවකින් පෙළෙන ඒ සතාගෙ කුසේ තියෙන මළ මුත්‍රා සේදීගෙන පසු පසින් පිටවන තුරු ඒ උණු දිය වක්කරනව. ඉතිරි වතුර බුබුළු නැගෙද්දී ඇඟ පුරාම හලනව. හම පිළිස්සීගෙන මවිල් ගැලවී යනව. ඊට පස්සෙ බෙල්ලෙ යටි පැත්තෙන් ටිකක් කපල ලේ ටික එකතු කර ගන්නව. ගෙල සහමුලින්ම සිඳ මරා දමන්නෙ ඊටත් පස්සෙ. මේ ක්‍රියාවලිය මොන තරම් කුරිරුද? ඒ දෙස ඔබට බලා ඉන්නවත් පුළුවන්ද?

ඌරු මස් විකුණල මේ ඌරුමරුවා අඹු දරුවන් පෝෂණය කරනව. ඒ ගෙදරත් ඌරුමස් නැති කෑම වේලක් නැති තරම්, එක පැත්තකින් රස තෘෂ්ණාව . අනෙක් පැත්තෙන් දෛනිකව සිදු කරන ප්‍රාණඝාතය, ඔහු මාංශ භක්ෂික තිරිසනෙකුට උපමා කරන්නත් බෑ. මොකද තිරිසන් සතෙක් කුසගිනි නිවාගන්න තමාට හමුවෙන ගොදුරක් ඒ වෙලාවෙ අල්ල ගන්නවා. අමුතු සැලසුමකුත් නැහැ. වධ දිදී මරන්නෙත් නෑ.

නමින් චුන්ද වූ ඔහු චුන්ද සූකර කියලයි හැඳින්නුවේ. එයාට දරුණු ලෙඩක් හැදුන. හිටගෙන ඉන්න බැරි වුණා. ඇඟ දැවෙන්න ගත්ත. දිව එළියට ඇදුන කෑ ගසමින් දන ගගා ගේ පුරා දුවන්න පටන් ගත්ත. ගෙදර අය දොර වැහුවෙ පාලනය කරගන්න බැරි නිසා විතරක් නෙවෙයි. කෑ ගහන ශබ්දය ඈතට ඇහෙන නිසා. ඒත් අසල තිබුණු ගෙවල් හතක මිනිසුන්ට දින හතක් යන තුරු නින්දක් ලබන්න බැරි වුනාලු මේ අඳෙීනාව නිසා. මේව ප්‍රබන්ධ කතා නෙවෙයි. මේ මහ පොළවෙ පය ගහල ජීවත්වෙන මිනිසුන්ගෙ සැබෑ ජීවිත කතන්දර, චුන්ද කළ කර්ම වලට විපාක සකස් වුනා. ඒ නිසාම ඔහු මෙලොවත් ශෝක කළා. නිරයේ ඉපදිලා පරලොවත් ශෝක කරනව. ඔබ කරන කුසල හෝ අකුසල කර්ම වලට සරිලන විපාක ඔබට සැකසෙයි. මා කරන කර්මවල විපාක මට සැකසෙයි. විඳින්න වෙන්නෙ හෝ විඳවන්න වෙන්නෙ තනි තනිවම. අපව බේරගන්න කිසිවෙකුට බැහැ. ඒ නිසා තම තමන්ගෙ ගැලවීම තියෙන්නෙ තමා තුළ බව කිසිවෙකු අමතක කරන්න එපා.

මෙලොවටත් ශෝකය
පරලොව ගියද ශෝකය
දෙලොවටම ශෝකය
උරුම කර දෙයි කර්ම වේගය

පවට අවනත වී
කය වචනය ද නතු වී
කර්මය කිළිටි වී
ගසා ගෙනැ යයි දෑස බොඳ වී

මෙලොවත් හඬාලා
මරුවා ළඟ වැටීලා
ගති නිමිති පාලා
ඇදී යයි කම් ඵල සොයාලා

නොගෙන තුන් දොර රැක
කළ කිළිටි කම් එකි නෙක
සැකසුණු කර්ම දැක
ශෝක වෙයි. ලද විට නිරා දුක


දම්පද මිහිර 9 නොදියුණු මිනිස් සිත රාගයෙන් තෙත්වනු ඇත