Print this Article


වස්සානයයි සිවුරේ කථාවයි

වස්සානයයි සිවුරේ කථාවයි

චීවර යනු පාලි වචනයයි. සිවුර යනු එහි සිංහල ව්‍යවහාරයයි. එය භික්ෂූන් වහන්සේලා පරිහරණය කළ විශේෂිත වූ වස්ත්‍රයයි. එහි අර්ථයට අනුව චීර යනු කැබැල්ලයි. ඒ අනුව කැබලි එකතු කර සකස් කර ගත් වස්ත්‍රය චීවර නමින් හඳුන්වයි

බුදුරජාණන් වහන්සේ සිය ශ්‍රාවකයන් උදෙසා අනුමත කළ සිවුරු වර්ග තුනක් වේ.

1.පාංසුකූල චීවරය
2. ගහපති චීවරය
3. කඨික චීවරය

තැන් තැන්වල විසිකර දමා තිබෙන හෝ වැටී තිබෙන රෙදි කැබලි එකතු කොට සෝදා පිළිවෙළකට අමුණා මසාගත් සිවුරු පංසුකූල සිවුරු නමින් හඳුන්වයි. මුල් යුගයේ වැඩ විසූ භික්ෂූන් වහන්සේලා මෙම සිවුරු පරිහරණය කළහ.

ගිහියන් විසින් මසා පූජා කරන සිවුර හා නොමසා පුජා කරනලද රෙදිවලින් සකසාගත් සිවුරු මේ නමින් හඳුන්වයි.

භික්ෂුවක් වස් සමාදන් වී මහා පවාරණය කළ පසු තුන් සිවුරට අමතරව භාර ගැනීමට අනුමැතිය ලැබී ඇති සිවුරයි. මෙය පිළිබඳව ඊළඟ පරිච්ඡේදයෙහි කරුණු දැක්වෙන හෙයින් මෙහි සංක්ෂිප්තව තොරතුරු දක්වමු.

මහා වග්ගපාළියට අනුව බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් පාංසුකූලික වස්ත්‍ර සිවුරු වශයෙන් පරිභෝග කළ බව පෙනේ.

“භගවා භන්තේ,පංසුකූලිකො, භික්ඛු, සංඝොච”

මේ අනුව සිවුර පිළිබඳව කිසිදු හැඟීමක් නූපදවා හුදෙක්ම සිවුර පරිහරණයෙහි මූලික අරමුණ ගැන පමණක් අවධානය යොමු කරමින් පාංසුකූලික වස්ත්‍ර පරිහරණයට යොමු වූ බව පෙනේ. ලජ්ජා භය සහිත වූයෙන් විලිබිය වසාගනු සඳහා ද උෂ්ණයෙන් වන පීඩාවන් දුරුකිරීම සඳහාද සීතලෙන් වන පීඩා දුරු කිරීම සඳහා ද මැසි මදුරු ආදි සතුන්ගෙන් වන කරදර නසනු සඳහාද සිවුරු පරිභෝග කළහ. එමගින් කිසිසේත්ම ලෞකික අරමුණක් ප්‍රකට වූයේ නැත. එහෙත් කලියෙන්ම බුදුරජාණන් වහන්සේ ගහපති චීවරය අනුමත කළහ. දිනක් ජීවක කෝමාරභච්ච තෙමේ බුදුන් වහන්සේ වෙත පැමිණ වරයක් ඉල්ලුවේය. තමාගේ රෝගීන් සුවපත් කිරීමේ කුශලතාවය ඇගයීම සඳහා පරජ්ජෝන රජු විසින් සීවෙයචක වඩිනු යුගලයක් දෙන ලදී. එය බොහෝ වස්ත්‍රයන්ට ලක්ෂ ගණන් වස්ත්‍ර යුගලයන්ට වඩා අතිශයින් ශ්‍රේෂ්ඨ ද උතුම් ද වේ. එම වස්ත්‍ර යුගලය පිළිගන්න අනුමැතිය ලබා දෙන ලෙස ජීවක කෝමාරභච්ච විසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. එම කාරණය ගැන අවධානය යොමු කළ උන්වහන්සේ එය අනුමත කළහ.

“අනුජානාමි භික්ඛවේ, ගහපති චීවරං යො ඉච්ඡති පංසුකූලිකො

හොතු, යො ඉච්ඡති ගහපති චීවරං සාදියතු. යනුවෙන් බුදුන් වහන්සේ ගහපති චීවරය අනුමත කළහ. යමෙක් කැමැති නම් පංසූකූලික වේවා යමෙක් කැමති නම් ගහපති චීවරය ඉවසාවා, මහණෙනි, කුදු මහණ අගය ඇති යම් කිසිවකින් ලද දෙයම සතුටු වීම වර්ණනා කරම් යැයි තවදුරටත් පැහැදිලි කළහ. මෙයත් සමඟම භික්ෂූන් වහන්සේලාට ගහපති චීවර බහුලව ලැබුණේය. එයට අමතරව පොරෝණා සළු, පටපණු නූලෙන් කළ පොරෝණ, සළු හා කොඳු පලස් ආදියද ලැබුණේය.මෙසේ භික්ෂූන් වහන්සේලා තම රුචිකත්වය අනුව ගහපතී චීවර හෝ පංසුකූලික වස්ත්‍ර හෝ දැරීමට නිදහස ලැබුණේය. මෙම ප්‍රඥප්තින් සමඟ භික්ෂූන් වහන්සේට අගය ඇති නැති සිවුුරු ලැබුණේය. එසේම කවරක් සිවුරු භාග්‍යවතුන් වහන්සේ විසින් අනු දක්නා ලද කවර සිවුරු භාග්‍යවතුන් වහන්සේ විසින් නොඅනු දක්නා ලදැයි ගැටලුවක් ඇති විය. එම කරුණු බුදුරදුන් වහන්සේට දන්වන ලද අතර එහිදී සිවුරු වස්ත්‍ර හයක් අනුමාන කළහ.

”අනුජානාමි භික්ඛවෙ. ඛ්චීවරානි, ඛොමං තප්පාසිතං කොසෙය්‍යං කමබලං සාණං භංගං ති”

මෙම ශික්ෂාපදයට අනුව සිවුරු වස්ත්‍ර හය මෙසේය.

1.ඛොමං –කොමු පිළි
2.කප්පාසිකං – කපු පිළි
3.කොසෙය්‍යං –පට පිළි
4.කමබලං – කම්බිලි
5.සාණං – හණවැහැරී පිළි
6. භංගං –මේ පස් නූලෙන් මුසු පිළි

මෙම වස්ත්‍ර වලින් කළ සිවුරු ද ගහපති සිවුරුද, පංසුකූල සිවුරුද වශයෙන් සිවුර වර්ග කිහිපයක් උපන්නේය. එහිදී උද්ගත වූ ගැටලුව වූයේ කවර සිවුරක් දැරීම උචිත ද නොඑසේ නම් යමෙක් සිවුර වර්ග දෙකක් පරිභෝග කිරීම ගැළපේද යන්නයි. ඒ අනුව බුදුන් වහන්සේ වදාළේ යමෙක් ගෘහපති චීවරය ඉවසන්නාහු විසින් පංසුකූල සිවුරු ඉවසන්නටද සුදුසු බවත් ඒ දෙකින්ම සතුටු වීම අනුමත කරන බවත්ය.

සිවුරේ සැකැසීම පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ අවධානය යොමුවිය. ඒ අනුව දිනක් භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සිට දක්ෂිණාගිරිය දක්වා චාරිකාවෙහි වැඩියහ. ඒ අතරතුර මගධ ක්ෂේත්‍රය දුටහ. එහි ස්වභාවය සිවුරෙහි සැකැස්මට ඉතාම යෝග්‍ය වූයෙන් මෙබඳු ලක්ෂණයන්ගෙන් යුක්ත වූ හෙයිනි.

”අද්දසා ඛො භගවා මගධකේඛනහං අචවිබද්ධං පාලිබද්ධං මරියාදබද්ධං සිංඝාටකබද්ධං”

ඒ අනුව මගධ ක්ෂේත්‍රය ඝනරැස් ලියදි බැන්දා වු දිගින් හා පළලින් මහමියර බැන්දා වූ අතරතුර කුඩා මියර බැන්දා වු සතර හන්දි බැන්දා වූ එකක් විය.එය ආනන්ද තෙරුන්ට පෙන්නුවේය. ඒ අනුව සිවුරු කපා මැසීමට මෙසේ උපදෙස් දුන්හ.

“උස්සහසි ත්වං ආනන්ද, භික්ඛුනං එවරූපානි චීවරානි සංවිදහිතුනනි” උසස්හාමි භගවානි “

එසේම සිවුරක තිබිය යුතු විවිධ කොටස් ද තවදුරටත් මෙසේ පැහැදිලි කර ඇත.

”කුසිමපි නාම කරිස්සති, අඩඨකුසිටම්පි නාම කරිස්සති,මණ්ඩලමවි නාම කරිස්සති, අඩඨමණ්ඩලම්පි නාම කරිස්සති, විවට්ටමපි නාම කරිස්සති, අනුවිවට්ටම්පි නාම කරිස්සති, ගී වෙය්‍යකම්පි නාම කරිස්සති, ජඬෙඝය්‍යමකම්පි කරිස්සති, බාහන්තම්පි නාම කරිස්සති”

1 .දීගනුවාව -දිග් අතට ඇති සිවුරෙහි වාටිය
2. කෙටිනුවාව – පහළට ඇති සිවුරෙහි වාටිය
3. ලොකුකඩ – සිවුරෙහි ඇති විශාල කොටු
4. කුඩා කඩ – සිවුරෙහි ඇති කුඩා කොටු
5. වස් අන්ත – සිවුරෙහි මැද කොටස
6. ඇළ අතු –වසා අන්තේ දෙපස ඇති කොටස්
7. ගී වෙය්‍ය – ගෙළ පටි හෙවත් බෙල්ල ආසන්නව සිටින කොටස
8. ජඩෙගය්‍ය – පාදයේ කෙණ්ඩා මත ගෑවෙන කොටසෙහි පිහිටි පටිය
9. බාහන්න – නූවා අතු හෙවත් බාහුව මත සිටින කොටස

මෙසේ සිවුර සැකසීමේ අරමුණ කිහිපයක් දැක්විය හැකිය

1. ඡන්නකං – කැබලි වලට කැපීම
2. සත්ථලුඛං – ආයුධයෙන් කැපු හෙයින් රළු වීම
3. සමණසාරුප්පං – පැවිද්දන්ට සුදුසු වීම
4. පච්චත්ථික්‍යාංච අනභිජක්ධිතං පසමිතුරන් විසින් නොපැතීම

මෙම කරුණු සතරින් ගම්‍යමාන වන්නේ සිවුරේ විවිධ කොටස් ඇතිව සකස් කරන ලද්දේ එහි ආරක්ෂාව සඳහා බවයි. කැබලිවලට වෙන් කිරීමෙන් එහි අගය හීන වේ. එමගින් සිවුර පරිහරණය කරන්නාට එහි ඇලීමක් ඇති නොවන අතර අන් අයකුට එයින් ප්‍රයෝජනයක් ගත නොහැකි වේ. සුවපහසු වස්ත්‍රයක් හැදීමෙන් භික්ෂූ ජීවිතයේ අරමුණට බාධා පැමිණේ. ආයුධයකින් කැපවීමෙන් වස්ත්‍රයෙහි සුව පහසුව නැති වීමෙන් එහි හුදෙක්ම රළු බව ඇතිවේ. මේ නිසා වස්ත්‍ර පරිභෝග කරන්නාට ඒ පිළිබඳව ආශාවක් ඇති නොවේ. එහෙයින්ම එම වස්ත්‍රය සියලු දුක් නැති කිරීමෙන් නිවන සාක්ෂාත් කරන භික්ෂුවට ඉතාමත් යෝග්‍යය. මෙය දැරිමෙන් එම ගමන තවදුරටත් වහා අවසන් කළ හැකිය.

භික්ෂූන් වහන්සේලාට බහුල වශයෙන් සිවුරු ලැබෙන්නට විය. මිනිස්සු සිවුරු ගෙන ආරාමවලට පැමිණියහ. එම සිවුරු පිළිගන්නෙකු නොවුයෙන් යළිත් සිවුරු රැගෙන නිවෙස්වලට ගියහ. ඒ නිසා සිවුරු පරිභෝගයන් සමඟ විවිධ තනතුරු ඇති විය. එය හුදෙක්ම සිවුරු පරිභෝගයේ ආරක්ෂාව සඳහා විය. එම විවිධ තනතුරු ස්ථාන හා ඒවායෙහි ස්වභාවය මෙසේ දැක්විය හැකිය.

1. චීවර පටිග්ගාහක

යම් භික්ෂුවක් ඡන්දයෙන් අගතියට නොයන්නේ ද ද්වේශයෙන් අගතියට නොයන්නේද මෝහයෙන් අගතියට නොයන්නේ ද බියෙන් අගතියට නොයන්නේද ගත් නොගත් දෙය දන්නේද එබඳු කරුණු පහකින් යුක්ත භික්ෂුව චීවර පටිග්ගාහක හෙවත් සිවුරු පිළිගන්නකු බවට පැමිණීම අනුකූලය.

2. චීවර නිදහකට

චීවර පටිග්ගාහක භික්ෂුව සිවුරු පිළිගෙන සිවුරු එහිම හැර දාම ගියේය. ඒවා තැන්පත් කිරීමක් නොවුයෙන් සිවුරු තැන්පත් කරන්නෙකු අනුමත කළ අතර ඔහුද කරුණු පහකින් යුක්ත විය යුතුය. ඔහුද ඡන්දයෙන් අගතියට නොයන්නේද ද්වේශයෙන් අගතියට නොයන්නේද, බියෙන් අගතියට නොයන්නේද මෝහයෙන් අගතියට නොයන්නේද තැන්පත් කළ නොකළ දෙය දන්නේද එබඳු වූ භික්ෂුව සිවුරු තැන්පත් කරන තනතුරට සුදුසුය.

3. භාණ්ඩාගාරයක් සම්මත කිරීම

සිවුරු තැන්පත් කරන භික්ෂුවට ඒ සඳහා යෝග්‍ය ස්ථානයක් නොවීය. ඒ නිසා භාරගත් සිවුරු මණ්ඩපවල , රුක් මුල්වල, අගුවල තැන්පත් කළ අතර ඒ නිසා එම සිවුරු වේයන්, මීයන් කෑහ. ඒ නිසා බුදුන් වහන්සේ වෙහෙරක්, අඩ පියසි ගෙයක් හෝ සිවුු ගෙයක් හෝ සඳලු සහිත ගෙයක් හෝ ගුහාවක් හෝ භාණ්ඩාගාරයක් වශයෙන් අනුමත කළහ.

4. භාණ්ඩාගාරික තනතුර

භාණ්ඩාගාරියෙහි සිවුරු ආරක්ෂිත නොවුයෙන් ඡන්ද දෝස භයාදි සතර අගතියට නොපැමිණි රකින නොරකින ලද දේ දන්නා වු භික්ෂුව භාණ්ඩාගාරික තනතුරට පත්විය. සමහර භික්ෂූහු භාණ්ඩාගාරිකයා පහ කළේය.යමෙක් ඔහු පහකරන්නේ ද එම භික්ෂුවට දුකුලා ඇවැත් වේ. මින් පසු ලැබූ සිවුරු බෙදාගන්නටද භාග්‍යවතුන් වහන්සේ අවකාශ ලබා දුන්හ.

5. චීවර භාජක තනතුර

එසේ භාණ්ඩාගාරයට ලැබුණූ සිවුරු බෙදීම සඳහා සතර අගතියට නොපැමිණි බෙදු නොබෙදු දෙය දන්නා වූ භික්ෂුව ඒ සිවුරු බෙදන්නකු හෙවත් චීවර භාජක තනතුරට සුදුසු බව දැක්වූහ. එකළ භික්ෂූන් වහන්සේලා තමාට ලැබුණු වස්ත්‍ර ගොම හා පඬු වර්ණ මැටියෙන් පඬු පෙවීමෙන් වහා දුර්වර්ණ වූයෙන් සිවුර සඳහා වර්ණයක් නියම කරන්නට සිදු විය. කැබලි එකතු කර සකස් කර ගත් සිවුර එකම පැහැයක් ගැන්වීම සඳහා එකම වර්ණයක් ගැන්වීම සඳහා පඬු පොවනු ලැබේ .සිවුර පඬු පෙවීම සඳහා පඬු වර්ග හයක් භාග්‍යවතුන් වහන්සේ අනුමත කර ඇත්තාහ.

“අනුජානාමි භික්ඛවෙ. ඛ් රජනානි, මූල රජනජ ඛන්ධරජනං
නචරජනං පන්තරජනං,පුපථරජනජ, ඵලරජනං”

එනම්, 1.මුල් පඬු, 2. දඬු පඬු 3.පොතු පඬු 4. කොළ පඬු 54. මල් පඬු 6. ගෙඩි පඬු

එහෙත් ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේලා විවිධ වර්ණයෙන් යුතු සිවුරු පරිභෝග කළ හෙයින් පඬු පෙවීම සඳහා නොගත යුතු වර්ණ ද දැක්වේ.

1.නිල්, 2.දම් 3.කොළ 4. රෝස 5. කළු 6. තද රතු 7. තද කහ

මෙම වර්ණයන් සිවුරු පඬු පෙවීමට භාවිතා නොකරයි.සිවුරේ පැහැය විය යුත්තේ පඬු පැහැයයි. එය වීරාගි බවෙහි සංකේතයයි. සිවුර පඬු පෙවීමත් උපකරණ භික්ෂූන් වහන්සේලාගේ පරිහානියට යෝග්‍ය බව අනුමත කළහ.

1.පඬු පිසින උදුනක් 2. පඬු සැළියක් 3. පඬු කිණිස්සක් 4.පඬු හැන්දක් 5.පඬු කළයක් 6.පඬු ඔරුවක්

ආදිය වරින් වර අනුමත කළහ. මේ නිසා භික්ෂූන් වහන්සේලා පඬු පෙවු මගධ ක්ෂේත්‍රය මෙන් සැකසූ සිවුරු පරිභෝග කළහ.

මෙම පසුබිම යටතේ සිවුරු බහුලව පරිභෝග ද භික්ෂූන් තුළ අල්පේච්ඡ බව නැති වී ගොස් බහුභාණ්ඩ තත්වයට පැමිණියේය. ඒ නිසා සමහර භික්ෂූහු සිවුරු පොදි ඔසවාගත් හිසෙහිද සිවුරු විසි කොට කරෙහිද සිවුරු විසිකොට උකුළෙහි ද තබා ඒ ගමන් කරන භික්ෂූන් විශාලාවෙහි සිටින බව බුදුන් වහන්සේ දුටහ. ඒ නිසා සිවුරු පරිභෝජනයෙහි සීමා තබන්නට සිත් විය. එහෙයින් තුන් සිවුරක් මෙස් අනුමත කළහ.

“අනුජානාමි භික්ඛවෙ නිචීවරං දිග – ණං සංඝාමිං
එකචචියං උත්තරාසංගං, එකවචියං අන්තරාවාසකං”

මහණෙනි, මම දෙපටක් ඇති සඟල සිවුරුද එක් පටක් ඇති උතුරු සඟළ සිවුරුද, එක් පටක් ඇති අඳනා සිවුරුද අනුදනිමි” යනුවෙන් වදාළහ. මෙය වරදවා වටහාගත් භික්ෂූන් වහන්සේලා එක් තුන් සිවුරකින්ම ආරාමවෙහිද නවතුන් සිවුරකින් ගමෙහිද,අනෙක් තුන් සිවුරකින් නෑමෙහිද යෙදීමෙන් ඔවුන්ගේ අල්පේච්ඡ බව ඉක්මවා ගොස් සංකීර්ණත්වය පැමිණියේය. එහෙයින් අතිරේක සිවුරු දැරීම අනුමත නොකළහ.

එසේම අවස්ථානුකූලව විවිධ වස්ත්‍රයෙන් කළ සිවුරු මෙසේ අනුමත කළහ.

1.අලුත් වස්ත්‍රයෙන් හා වරක් සේදු වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති සඟල සිවුර
2.එක් පටක් ඇති උතුර සඟල සිවුර
3. එක් පටක් ඇති අඳනා සිවුර
4.පැරණි වස්ත්‍රයෙන් කළ සිවුපටක් ඇති සඟල සිවුර
5.පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති උතුර සඟළ සිවුර
6.පැරණි වස්ත්‍රයෙන් කළ දෙපටක් ඇති අඳනා සිවුර
7.පාංසුකූලයෙහි කැමති පමණ පට ඇති සිවුර
8.කඩපිලෙන් අවුළා ගත් වස්ත්‍රයෙන් කළ සිවුර එසේම සිවුරෙහි අණ්ඩලීම ක්‍රම කිහිපයක් වශයෙන් දැක්වීය.

1.අග්ගළං – අණ්ඩලිම
2.තුන්නං – නූලෙන් එල්ලීම
3.ඔවට්ටිකං – වැට් කොට මැසීම
4.කණ්ඩුසතං – හෙවත් කෑලිපිට කෑලි ඇල්ලීම
5.දැළහී කම්මං – දැඩි කිරීම

මෙසේ සිවුරු පරිහරණ කළ අතර එහෙත් ජබ්බග්ගිය භික්ෂූහු විවිධ වර්ණ වලින් යුතු සිවුරුවලට අමතරව විනය නීති ඉක්මවා ගිය වස්ත්‍ර ද දැරූහ. එනම්

1. නොසිඳු දාවලු ඇති සිවුරු දැරීම
2. දික් දාවලු ඇති සිවුරු දැරීම
3. මල්කම්කළ දාවලු ඇති සිවුරු දැරීම
4. පෙණසේ ගෙතු දාවලු ඇති සිවුරු දැරීම
5. සැට්ට දැරීම
6. හිස් වෙළුම් දැරීම

මෙහිදි බුදුරජාණන් වහන්සේ පැනවීම වූයේ ඒ සියල්ල දැරීම දුකුලා ඇවැත් වන බවයි.

”න භික්ඛවෙ සබ්බනීලකානි චීවරානි ධාරෙනනබ්බානි . න

සබ්බපීනකානි චීවරානි ධාරෙනබ්බානි. න සබ්බලොහිතකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බමඤ්ජෙට්ඨකානි චීවරානි ධාරෙනබ්බානි, න සබ්බ කණහානි චීවරානි ධාරෙත ‘බානි. න සබ්බ මහාරධගරත්තානි චීවරානි ධාරෙතබ්බානි, න සබ්බපමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බපානි, න සබ්බමහානාමතේහානි චිවරානි ධාරෙතබ්බානි, න අච්ඡින්නදසානි චීවරානි ධාරෙ තබ්බානි, න දීසදසානි චීවරානි ධාරෙනබ්බානි. න පුප්ඵදසානි චීවරානි ධාරෙතබ්බානි. න ඵණදසානි චීවරානි ධාරෙතබ්බානි, න කකුචුකං ධාරෙතබ්බං ,නිරීටකං ධාරෙතබ්බානි, න වෙඨනං ධාරෙතබ්බං,යො ධාරෙය්‍ය ආපන්හි දුක්කටස්ස”

මේ ශික්ෂාපදයට අනුව පහත දැක්වෙන සිවුරු නො දැරිය යුතුයි. එනම්

1.සියල්ල නිල්පැහැති සිවුරු නො දැරිය යුතුයි
2.සියල්ල රන්වන් වූ සිවුරු නො දැරිය යුතුයි
3.සියල්ල රතු පැහැති සිවුරු නො දැරිය යුතුයි
4. සියල්ල මදටිය පැහැති සිවුර නො දැරිය යුතුයි
5. සියල්ල කළු පැහැති සිවුරු නො දැරිය යුතුයි
6. සියල්ල රන්මෑපිට පැහැති සිවුරු නොදැරිය යුතුයි
7. සියල්ල මුසුපැහැති සිවුරු නො දැරිය යුතුයි
8. නොසිඳී දාවලු ඇතිසිවුරු නො දැරිය යුතුයි
9. දික් දාවලු ඇති සිවුරු නො දැරිය යුතුයි
10. මල් දාවලු ඇති සිවුර නො දැරිය යුතුයි
11ත. පෙණ දාවලු ඇති සිවුර නො දැරිය යුතුයි
12.අඟිය නො දැරිය යුතියි
13. සැට්ය නො දැරිය යුතුයි
14. හිස් වෙළුම් නො දැරිය යුතුයි

යමේ මෙම නො දැරිය යුතු සිවුරු දරන්නේ නම් දුකුලා ඇවැත් සිදුවේ.

සිවුරු පරිහරණ වැදගත් අංගයක් වශයෙන් වැසි සළුව දැක්විය හැකිය. මුල් යුගයේ භික්ෂූන් අතර වැසි සළුව භාවිතා නොවු අතර විශාඛා උපාසිකාවගේ ඉල්ලීම පරිදි අනුමත කළහ. විශාඛාවගේ ඇරයුම මත දානයට වඩින්නට භික්ෂූන් සූදානම් වීමට බොහෝ වේලාවක් ගතවිය. එයට හේතුව වූයේ ජේතවනයට වසින්නා වූ වැස්සෙන් භික්ෂූන්ගේ කය තෙමීමයි. ඉන්පසු භික්ෂූන් වහන්සේලා පසුදින බැහැර කළ සිවුරු ඇතිව කය තෙමූහ. අවසන සිරුරු සිහිල්කොට සුවපත් වු සිරුර ඇති භික්ෂූන් වහන්සේලා තම තමන්ගේ විහාරවලට වැඩියහ. මෙම කාරණය දුටු විශාඛා උපාසිකාව දන් වළදා අවසන් වු බුදුරජාණන් වහන්සේගෙන් වර අට්ක ඉල්ලීය. එයින් එක් වරයක් වූයේ වැසි සළුව පරිහරණ අනුමැතිය ලැබීමයි.

මෙසේ සිවුරු භාවිත සිවුරු ප්‍රයෝජනයට ගත නොහැකි කල්හි ඒවා විවිධ අරමුණූ විෂයෙහි යෙදෙව්වේය

1. දිරාගිය සිවුරුවලින් ඇතිරිලි තනා ගැනීම
2. දිරාගිය ඇතිලිරි වලින් බිසිඋර තනා ගැනීම
3. දිරාගිය බිසිඋරවලින් බිමට අතුරන බුමුතුරුණු තනා ගැනීම.
4. දිරාගිය බුමුතුරුණුවලින් පාපිස්නා බිසි තනා ගැනීම
5. දිරාගිය පාපිස්නාවලින් දුවිලි පිසදමයි

6.පොළොව පිස දැමූ රෙදි කැබලි මැටි හා මිශ්‍රකර බිත්තිවල ආලේප කරයි. මෙසේ විවිධ සංශෝධනවලින් යුක්තව භික්ෂූන් වහන්සේලා භාවිතා චීවරය විවිධාකාර සංවර්ධනය විය. එය භික්ෂූ ජීවිතේ මූලික අරමුණ ආරක්ෂා වන පරිදි අනන්‍යතාවය සුරැකෙන පරිදි විවිධ වෙනස්කම්වලට යොමු විය. නමුත් එය පරම්පරාවෙන් පරම්පරාවට නොවෙනස්ව පැවත එම විශේෂ ලක්ෂණයකි.

මෙම ලිපියෙහි ඉතිරි කොටස වප් අව අටවක ( ඔක්තෝබර් 15 වැනිදා) පත්‍රයේ පළවේ