Print this Article


පරාර්ථය

පරාර්ථය

පරාර්ථකාමි චර්යා රටාවක් ජීවිතයට පුරුදු පුහුණු කරවා ගැනීම අතිශය යෝග්‍ය කාරණයකි. බුදුන් වහන්සේ පන්සාළිස් වසක් පුරාවට ම දිවා රෑ නොතකා තුන්ලොව පුරා නොයෙක් තැන් සැරිසරා නොයෙක් චණ්ඩාතිචණ්ඩ වූ අදාන්ත දුර්දාන්ත සත්ත්වයන් දමනය කොට එම පරාර්ථ චර්යාවෙහි නියැලුණා

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“චත්තාර මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මිං කතමේ චත්තාරෝ ? අත්තහිතාය පටිපන්මෝ නෝ පරහිතාය, පරහිතාය පටිපන්නෝ නෝ අත්තහිතාය, නෙව අත්තහිතාය පටිපන්නෝ පරහිතාය, අත්තහිතාය පටිපන්නෝ පරහිතායාති”

සුපින්වතුනි,

අද වප් මස පුරපසළොස්වක පොහෝ දිනයයි. සම්බුද්ධ සාසන ඉතිහාසයේ ඉතා වටිනා අවස්ථා රාශියක් අනුස්මරණය කරමින් සමරනු ලබන මේ උතුම් පොහෝ දිනය කඨින චීවර මාසය ලෙසද හැඳින්වෙනවා. සිංහල මාස ක්‍රමයෙන් වප් මාසය බොහෝ දනව්වල වී වපුරන එක් කාලයක් බැවින් වප් නාමය ව්‍යවහාරයට පැමිණි බැව් පෙනේ, හුදී ජන පහන් සංවේගය උදෙසා බුද්ධාලම්භන පී‍්‍රතියෙන් යුතුව අපේ සැදැහැති උවසු උවැසියන් මෙම මාසය පුරාවටම විවිධ පින්කම් සිදුකර ගනිමින් දෙලොව සුව සාදා ගනිති. තෙමසක් පුරාවට ම සිය ගොදුරු ගම් ආශ්‍රය කරගනිමින් වස් විසූ උපසපන් භික්ෂූහු මහා පවාරණයෙන් පවාරණය කොට කඨින චීවර පූජාවන් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන්නේ මේ උතුම් පොහෝ දිනයත් සමගමයි. එම උතුම් දිනයේ බුදුරදුන් විසින් දෙසු බණ පද කීපයක් පිළිබඳ අපේ අවධානය යොමු කරන්නටයි බලාපොරොත්තු වන්නේ.බුද්ධ ධර්මය දේශනා කිරීම ලෝකයාට දෙලොවින් ම වැඩ සැලසිය හැකි මහා පරෝපකාරයක් වු උසස් පින්කමෙකි. එබැවින් ම බුදුන් වහන්සේ භික්ෂූන් හට

ගිහීන මුපකරොන්තානං – නිච්චමාමිසදානතෝ
කරෝථ ධම්මදානේන – තේසං පච්චුපකාරකං

වශයෙන් ධර්ම දානයෙහි යෙදෙන්නට අනුදැන වදාළ සේක . එසේම නිසි සේ බණ ඇසීමත් දෙලොව ම දියුණුවට හා ලොව්තුරු සැපත් ලැබීමටත් ඉතාම උපකාර වන උසස් පින්කමෙකි. එබැවින් මෙලොව අතින් ජනයා සුඛිත මුදිත කිරීමට ද, දියුණුවෙහි උද්‍යෝග කිරීමටද, සාමකාමි සහජීවනයෙන් අන්‍යෝන්‍යෝපකාරීව කල් යැවීමට ද ප්‍රඥාව ,වීය¸, නොසැළෙන ධෛය¸ හා අධිෂ්ඨානය ඉවසීම හා ස්වශක්තියෙන්ම සියල්ල පිරිමසා ගන්නට පුරුදු පුහුණු වීමටද බණ දෙසීමෙන් මඟ යෙදේ. මේ නිසා අනුනට නිසි මඟ කියා දී අවැඩින් මුදා වැඩෙහි යොදන අදහසින් අනුන් කෙරෙහි අනුකම්පාවෙන් බණ දෙසනු නම් බණ අසනු නම්, එය උදාර වූ පරෝපකාරයෙකි.

පරාර්ථකාමි චර්යා රටාවක් ජීවිතයට පුරුදු පුහුණු කරවා ගැනීම අතිශය යෝග්‍ය කාරණයකි. බුදුන් වහන්සේ පන්සාළිස් වසක් පුරාවට ම දිවා රෑ නොතකා තුන්ලොව පුරා නොයෙක් තැන් සැරිසරා නොයෙක් චණ්ඩාතිචණ්ඩ වූ අදාන්ත දුර්දාන්ත සත්ත්වයන් දමනය කොට එම පරාර්ථ චර්යාවෙහි නියැලුණා. ස්වාර්ථය මෙන්ම පරාර්ථය එක සේ සැලකූ උන්වහන්සේ සිය අනුගාමිකයින්ද එම මඟට යොමු කිරීමට කටයුතු කළා. කිසිදු ධර්මය චින්තාවක් නැතිව නොයෙක් අත චපල වු නොසන්සුන් සිත් ඇතිව කල් යැවීම තිරශ්චීන පිළිවෙතකි.සසර සැරිසරන සත්ත්වයෙකු විසින් මනුෂ්‍යාත්මභාවයක් ලබා ගැනීම අතිශය දුෂ්කර ය. අප අතර වැඩි දෙනෙක්ද මෙම පරමාර්ථ මනුෂ්‍යාත්මභාවයට ජන්මයෙන් ම උරුමකම් ඇති මුත් එය යථාර්ථයෙන් පරමාර්ථ කර ගැනීමට උත්සාහ කරන්මෝ ඉතා අඩුය. පින්වතුනි, මෙ දුර්ලභ වු කාල පරිච්ඡේදය ස්වාර්ථය මෙන්ම පරාර්ථය උදෙසාද අපට යොදාගත හැකි නම් එය මේ ජීවිතයේ අප ලබන ඉතා වටිනා අවස්ථාවකි.

අද මා මාතෘකා කළ ඉහත ධර්ම පාඨය මෙහිලා ඉතා යෝග්‍ය වූවකි. චතුක්ක නිපාතයේ සඳහන් මෙම ධර්ම පාඨය අපේ ජීවිතයට ඉතාම වැදගත් කාරණා කිහිපයක් පෙන්වා දෙනවා. බුදුරදුන් මෙහිදී සමාජයේ ජීවත්වන්නවුන් ප්‍රධාන කොටස් හතරකට බෙදා දක්වනවා. ඉන් පළමු පිරිස නම් ආත්මාර්ථකාමි එහෙත් පරාර්ථකාමි නොවන, එසේම පරාර්ථකාමි නමුත් ආත්මාර්ථකාමි නොවන, ආත්මාර්ථකාමි නොවන එසේම පරාර්ථකාමී ද නොවන ආත්මාර්ථකාමි මෙන්ම පරාර්ථකාමි යන එම සිව් කොටසයි. සාමාන්‍ය ජීවිතය තුළ අප කොතෙකුත් අවස්ථාවන්හිදී තමන් ගැන සිතීමට වඩා අනුන් සම්බන්ධව සිතීමට ,සෙවීමට උත්සාහ ගන්නවා. එය වරදක් නොවේ. පරාර්ථය පිණිස කටයුතු කිරීම ඉතා වටිනා කාරණයක් බව අපේ බුදුරදුන් පවා පෙන්වා දුන්නා. මින් සමහර දෙනෙක් මුලින් දක්වන ලද කොටස් වලට අන්තර්ගත වෙනවා.ඇතමෙක් මුළු ජීවිතයම තමා ගැන පමණක් සෙවිල්ලෙන් කටයුතු කරනවා. මේ අය ආත්මාර්ථකාමි චරිතවලින් යුතු අයයි. ඔවුන් අනුන් පිළිබඳ කිසිදු තැකීමක් නොකරයි. දෙවන චරිතය නම් පරාර්ථකාමි මුත් ආත්මාර්ථකාමි නොවීමයි.මේ චරිතය ඇත්තවුන් හුදෙක් තමාට වඩා අනුන් පිළිබඳ සෙවීමට මුල් වෙනවා. ඉන් සිදුවන්නේ ඔහුට හෝ ඇයට තම ජීවිත අසාර්ථකත්වයයි. මින් තෙවැන්නා ඉහත කොටස් දෙකටම අදාළ නොවේ. හෙතෙම “උපන්නාට මේ ලොව වැනෙනවා විනා” සේ කල් ගත කරනවා. ඔහුගෙන් තමාට හෝ සමාජයට කිසිදු පිළිසරණක් සිදුවන්නේ නැහැ. නිතැතින් ජන්මයෙන්ම ලැබුණු ලාභයන් වනයෙහි වැඩක් නැතිව පිපී පරවී යන මල් මෙන් නිරර්ථකව වඳවී යන්නට සැලසෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් තොරව කටයුතු කිරීම නිසාවෙනි. එසේ නම් ආත්මාර්ථකාමි මෙන්ම පරාර්ථකාමි චරිතයක් ලෙස සදුපදේශයන් තිබියදී අනුන්ගේ ඕපාදූප හෝ ලෝකාමිෂ කථාවෙන්ම යම් පින්වතෙකු ජීවත් වන්නේ නම්, නිකම්ම පරවී සුළඟින් ගසා යන බොරු මලක් මෙන් ජීවන ගමන අනර්ථකාරී ලෙස ගත වී යාවි. ඒ නිසා පින්වත්නි, “පච්චේකං හි පහාය විහරන්තං මිච්ඡා විතක්ක මක්ඛිකා ඛාදන්තී” යි දැක්වු ලෙස වස්තු කාමයන්ගෙන් කයත් ක්ලේෂ කාමයන්ගෙන් සිතත් කිළිටි නොකර ගත යුතුය. සියල්ලන් අතහැර සියල්ලක්ම කමටහන් කොට ගෙන ඔබ ලෝකයෙන් එතෙර වන්න. ආත්මාර්ථයත් පරාර්ථයත් සිදුකරවා ගනිමින් ප්‍රමාදචාරි නොවන පසුතැවිලි නොවන වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට ඔබට වාසනාව ලැබේවා!