Print this Article


සසල සිත නිසල කෙරෙන පරිසරය

සසල සිත නිසල කෙරෙන පරිසරය

සිත හා බැඳෙන දිවිය වඩාත් ආශ්වාදයට යොමුවන්නේ ගෝචරවන අරමුණුවල ස්වභාවය මතය. පඤ්ච ආරම්මන හා පරිසරය අතර දුරස්ත බවක් නොපෙනේ. ඉන්ද්‍රියන්ට ගෝචරවන ආරම්මන මත සිත තුළ රාගික හා විරාගික හැඟීම් ජනනය වීමත් ක්‍රියාකිරිමත් මිනිස් සිතේ පොදු ලක්ෂණයෝ වෙති. කැමැති අරමුණු ලබා ගැනීමටත් අකැමැති අරමුණු දුරලීමටත් නිරතුරුව අරගලයක මිනිස් සිත යෙදී ඇත. ඒ නිසා මිනිසා හා පරිසරය අතර ඇති බැඳීම සමීපවන අතර පරිසරයෙන් තොරව මිනිසාගේ පැවැත්ම, ආස්වාදනය, හෝ විරාගය ගැන කතා කිරීමට ඇති ඉඩ සීමිත බවද පැහැදිලිය.

බුදුරජාණන්වහන්සේ වඩාත් මිනිස් සිත පිළිබඳව මෙන්ම විරාගයට මුල් තැනක් දෙමින් ධර්මය දේශනා කොට ඇති බැවින් පරිසරය හා එහි සුන්දරත්වය ගැන කෙසේ ප්‍රකාශ කළ හැකිද යන ආකල්පය ඇතැමෙකුට ඇතිවීම ස්වභාවිකය. එනමුත් පරිසරයේ සුන්දරත්වය මෙන්ම මිනිස් සිතේ පිවිතුරු බව වඩාත් ඉස්මතු කරමින් බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කොට ඇති අතර මිනිසා හා මිනිස් හිත නිතර ගැටෙන හා බැඳෙන පරිසරයෙන් සිත මුදවා ගන්නා ආකාරය හා පිවිතුරු වූ සිතට ලෝකය හා පරිසරය පෙනෙන ආකාරයද පෙන්වාදීමටද උන්වහන්සේ විසින් උත්සාහ ගෙන ඇත.

පරිසරය හා සත්වයා යනු වෙන් කළ නොහැකි වන ඒකක දෙකකි. එබඳු වූ ඒකක එකිනෙකින් වෙන්කොට කරුණු ගෙන හැර දැක්වීම ප්‍රඥා ගෝචර නොවේ. පරිසරය සත්වයාගේ ආරම්භයට හා පැවැත්මට දායකවන්නේ යම් සේද සත්වයාගේ පැවැත්ම සම්පූර්ණයෙන් රඳා පවතිනුයේද පරිසරයේ ඇති ක්‍රියාකාරිත්වය මත බව අමතක කළ යුතු නොවේ. පරිසරයට බද්ධ වූ මිනිසා පරිසරයට ආදරය කරන්නකුව සිටින තාක් පරිසරය හා ඔහු අතර එම බැඳීම පවතින අතර පරිසරයේ පැවැත්මට මිනිසා යම් දවසක ද්‍රෝහි වේද එතැන් පටන් කුරිරු වන පරිසරයේ සැඩ බව නවත්වාලීමට ඔහුට නොහැකි වේ. පරිසරය විනාශ කිරීමට අයිතියක් මිනිසාට නැත.තම පෞද්ගලික අපේක්ෂාවන් මත එබඳු පරිසර හානියකට පත් කෙරේ නම් ඒ තුළින් ඇතිකරනු ලබන ස්වභාවික බලපෑම තමාට පමණක් නොව මුළු සත්ව වර්ගයාගේ පැවැත්ම සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වනු ඇත. නියඟය, ගංවතුර, සමුද්‍ර ජල ප්‍රහාර හා නායයාම් මීට නිදසුන්ය. පරිසරයෙන්ම උපන් සත්වයා පරිසරයට ආදරය කරන්නකු වන්නේ කෙසේද එමෙන්ම පරිසරය තුළ වෙසෙමින් පරිසරයේම ආශිර්වාදය තුළින් විමුක්තිය කරා තම සිත යොමු කරන්නේ කෙසේද යන මාවත බුදුදහම තුළින් අනාවරණය කර තිබේ.

පරිසරය යනු අප ජීවත් වන වටපිටාව ,ගස්වැල් ආදි අනෙකුත් ලතාවන්ගෙන්ද ගංගාදියෙන් හා කඳුහෙල් පන්තින්ගෙන්ද සත්ව සමූහයා ගෙන්ද සුසැදි අවට ලෝකය පරසරය වේ. විවිධ වර්ණයන්ගෙන් හා විවිධ ගතික ක්‍රියාදාමයකින් යුතු අවට ලෝකයේ සිදුවන ස්වභාවික දෑ ආශ්චර්යාත්මකය. අද්භූතය. විවිධ අංගයන් රැසකගේ දායකත්වය ලබන පරිසරයේ පැවැත්ම ස්වභාවිකය.ස්වාභාවිකත්වයට එහි පැවැත්ම භාරවන අතර පරිසරයේම ඒකකයක්වන් අප සැම පරිසරයේ එක් අංශුවක් පමණක් වේ. වත්මන්හි සමාජය තුළ පරිසර පද්ධතීන් දෙකක් පැහැදිලිව හඳුනා ගත හැකිය. එනම් භෞතික පරිසරය හා මිනිසාගේ ක්‍රියාකාරිත්වය මත ස්වභාවික පරිසරය වෙනස් කරමින් නිර්මිත සංස්කෘතික පරිසරය වශයෙනි. මෙහිදී අප අවධානය යොමු කළ යුතු වන්නේ ස්වාභාවිකත්වයේ දායාදයක් ලෙසින් ලැබුණූ භෞතික පරිසරය වෙතය.භෞතික පරිසරය විනාශ කරමින් සංස්කෘතික පරිසරය නිර්මාණය වේ. එනමුත් එහි පැවැත්ම තාවකාලිකය. ස්වභාවික භෞතික පරිසරයේ පැවැත්ම ස්ථීරවන අතර සමස්ත සත්ව ප්‍රජාවේ පැවැත්ම රඳා පවතිනුයේද එම පරිසරය මත බව අමතක කළ යුතු නොවේ.

බුදු දහම තුළ බුද්ධ චරිතය හා එහි ක්‍රියාකාරිත්වය පරමාදර්ශයක ලෙසින් සැමවිටෙකම බෞද්ධ ජීවන ප්‍රතිපදාව හා බැඳී ඇත. විවිධ වර්ණයන්ගෙන් හැඩ වූ මලින් හා නිල්වන් තුරුලතාවන්ගෙන් සුසැදි විහඟුන්ගේ කාහල නාදයෙන් රසගැන්වූ සුන්දරත්වයෙන් පිරිපුන් වන උයනක් තුළ එදා සිදුහත් උපත සිදුවිය. කිඹුල්වතදී සිද්ධාර්ථ කුමරු සමාපත්ති සුවයට සමවදිනුයේ එළිමහනේ කෙතක් අසල පිහිටි ගසක් යටය. ගිහිගෙය අනියත බව දැන මහණ දිවියට පිවිසෙනුයේ සුදු වැලිතලාවක් අතර නිසොල්මන්ව ගලා බස්නා අනෝමා නම් සුන්දර නදී තෙරදිය.අනුපිය අඹවනය තුළ සතියක් සමවත් සුවෙන් වැඩවෙසෙමින් ගතට සිතට සැනසිල්ලක් ළඟා කරමින් සමාපත්ති සුවයෙන් කල්ගත කොට ඇත. සත්සතිය ගතකරනුයේ ගංගා වැලි තලාවක පිහිටි උරුවෙල් දනව්වේ ඇතිඑළිමහන් භූමියේය. බුද්ධත්වයට පත්වනුයේ නේරංජනා ගංතෙර පිහිටි ඇසටු බෝරුක්මුලදීය. පළමු දම්සක් පැවැතුම් පස්වග මහනුන් වෙත දේශනා කරනුයේද ඇසල සඳ පායා තිබු ඉසිපතානාරාමයේ පිහිටි මනරම් එළිමහන් පරිසරයකදීය.උන්වහන්සේගේ පරිනිර්වාණයද නිස්කලංකත්වය ගැබ්කරගත් පරිසරයක් ඇති වනඋයනක් ඇසුරු කරමින් සිදුවීමද පරිසරය හා බුද්ධ චරිතය අතර බැඳීම වඩාත් පැහැදිලි කරයි. බුද්ධචරිත හා බැඳුණු ප්‍රධාන සිදුවීම් රැසක්ම පරිසරය හා කෙතරම් සමීපත්වයක් තිබේද යන්න මෙම තොරතුරු තුළින් මනාව පැහැදිලි වේ.බුද්ධ චරිතය හා සබැඳි සියලු වැදගත් සිදුවීම් පරිසරිකත්වය හා කෙතෙක් සමීපව පවතින්නේද යන්න හා ඊට හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතු කරුණකි.

විවෘත භාවය වඩාත් සමීපවන්නේ පරිසරයටය. එමෙන්ම පුද්ගල විවිධත්වය මතු කෙරෙන කෘත්‍රිම පරිසරයකට වඩා ස්වභාවික පරිසරය වඩාත් සංවේදීය. එමෙන්ම සිත පදනම් කරගත් දහමක් වූ බුදුසමය කොටු පුවරුවලින් සීමා වූවක් නොවන අතර නිදහස් චින්තනයට විවර වූවකි. එසේ නම් නිදහස් චින්තනයට තෝතැන්න වනුයේ නිසල පරිසරය බව අමුතුවෙන් විවරණ කළ යුතු නොවේ. එමෙන්ම සැහැල්ලු බවේ ප්‍රතිමූර්තිය ද ස්වභාවික පරිසරයයි. බුදුරදුන්ගේ සරල බව ඍජු බව අවංකත්වය වැනි උදාර ගුණාංග වඩාත් ස්වභාවික පරිසරය බැඳීමත් සමඟ තීව්‍ර වී ඇත.

උන්වහන්සේ සුන්දරත්වයෙන් පිරුණු ස්වභාවික පරිසරයට කෙතෙක් ඇලුම් කළේද යන්න අරියපරියේසන සූත්‍රයෙන් මනාව පැහැදිලි වේ. සිත දමනය කිරීමට ස්වාභාවිකත්වය කෙතෙක් දුරට අදාළ වන්නේද යන්න ද ඉන් මනාව පෙන්වා දෙයි. එහිදී උන්වහන්සේ විසින් මෙසේ ප්‍රකාශ කොට ඇත. “මහණෙනි එහි දී මට මෙබඳු අදහසක් විය. භූමි භාගය රමණීයය. වන ලැහැබ ප්‍රසාද ජනකය. සුදු වැලි තලාව ඇති මනා කොට ඇති සිත් කළු නදියද ගලා බසින්නීය. හාත්පසින් සොඳුරු ගමද වෙයි. පධන්කරනු කැමැති කුල පුත්‍රයෙකුට පධාන් වි්ර්යය සඳහාම මෙය සුදුසුය. (රමණියො ච භූමි භාගො පාසාදිකො ච චණ්සන්ඩෝ නදීව සන්දති සෙතකා සුපතිත්ථා රමණීයා සමන්තා ච ගොචරගාමො අලංවති දං කුලපුත්තස්ස පධානත්ථි කස්ස පධානයාති) යනුවෙන් උරුවෙල් දනව්ව ඇසුරුකොට පැවැති පාරිසරික සුන්දරත්වය බුදුරදුන් විසින් මෙලෙසින් වර්ණනයට ලක් කර තිබේ.

එමෙන්ම පරිනිබ්බාන සූත්‍රයේ දී ද බුදුරදුන් විසින් මෙසේ දේශනා කර ඇත. “රමණීයයි ආනන්ද ය රමණීයයි. වෛශාලිය රමණීයයි. උදේන චේතිය රමණීයයි.ගෝතමක චේතිය රමණියයි. පත්තම්බ චේතිය රමණීයයි. බහුපුත්තක චේතිය රමණීයයි.ආනන්ද චේතිය,රමණීයයි. චාපාල චේතිය රමණීයයි. (රමණීයං ආනන්ද වෙසාලියං රමණීයං උදෙන චේතියං ,රමණීයං ගොතමක චෙතියං රමණීයං පත්තම්බප චේතිය’ රමණීයං බහුපුත්තකචේ’තියං රමණීයං අනාන්ද චේතියං රමණීයං චාපාල චේතියං යස්ස කස්සවි ආනන්ද චත්තාරො...) යනුවෙනි. ඒ ඒ ස්ථානයන්හි ස්වභාවික සෞන්දර්ය බුදුරජාණන් වහන්සේ ආස්වාදනය කරනුයේ සරාගිකත්වයෙන් මුසපත් වූවෙකුගේ ආස්වාදයක් වශයෙන් නොව විරාගිකත්වය මුසුවූ ප්‍රභාස්වර මනසකින් අව්‍යාජව ස්වභාව සෞන්දර්ය වින්දනය කරනු ලැබුවකු ලෙසින් බව පැහැදිලිය. වනාන්තරය සසල මිනිස් සිත නිසල කළ රමණීය භූමියකි. (රමණීයානි අරඤ්ඤානි) වනය විදසුන් වඩනා තෙරවරුන්ගේ ක්ෂේම භූමියක් ද වන්නේය.අරණ්‍ය, සුන්‍යාගාරය හා රුක් මුල් සෙනසුන් බවුන් වඩන භික්ෂූන්ගේ සිත් ගත් තැන් වේ. බුදුරජාණන් වහන්සේ බවුන් වඩන්නට සුදුසු ස්ථාන ලෙස මෙම ස්ථාන නම් කර ඇත. පාරිසරිකත්වය සැම විටෙකම මිනිසා ජීවත් කරවනවා පමණක් නොව මානසික සුවයක් ලබාදෙමින් සසල බව දුරු කොට නිසලබව සුරැකිමින් විමුක්තිය කරා යොමු කිරීමට සමත් බව ථෙරපදානයේ භික්ෂු ජීවිතවලින් ලබාදෙන ආදර්ශයන් තුළින් පැහැදිලි වේ.